
(ඩයනා උදයංගනී)
කෙරවලපිටිය බලාගාරයේ ග්‍රිඩ් උපපොළක නඩත්තු කටයුත්තක් අතරතුරදී සිදුවූ අත්වැරදීමකින් ඉකුත් 17 වැනිදා රට පුරා විදුලි බලය බිඳවැටීම සම්බන්ධ සිද්ධියේ සම්පූර්ණ වගකීම එම අත්වැරදීම සිදුවූ විදුලි අධිකාරීවරයා මත පැටවිය නොහැකි බව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුව පවසයි.
මෙය විදුලි නඩත්තු කටයුතු සිදුකරන ක්‍රමවේදයේ අඩුපාඩුවක් හේතුවෙන් ඇතිවූ තත්ත්වයක් බව පෙනී යන්නේ යැයි ද එම කමිටුව සඳහන් කරයි.
මෙවන් නඩත්තු කටයුත්තක් ඉතා අවදානම් බැවින් එවැන්නකදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇති බවත්, මෙම නඩත්තු කටයුත්තේදී එය අනුගමනය කර ඇති බව කමිටුවට නිරීක්‍ෂණය නොවූ බවත් කමිටුවේ සභාපති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ උපාධි අධ්‍යයන හා පර්යේෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය රාහුල අතලගේ මහතා අද (28) පැවසීය.
ඔහු මේ බව පැවසුවේ කමිටුව විසින් ඉකුත් දා විදුලිබල ඇමතිවරයාට ලබාදුන් අතුරු වාර්තාව සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
නොරොච්චෝල විදුලි බලාගාරයේ වූ බිඳවැටීම් සම්බන්ධයෙන් සෙවීමට 2016 වසරේ පත්කළ විශේෂඥ කමිටුව කළ ඇතැම් නිර්දේශ විදුලිබල මණ්ඩලය මගින් ක්‍රියාත්මක කර නොතිබීම ද පද්ධතිය නැවත යථා තත්ත්වයට පත්කර කොළඹ නගරයට විදුලිය ලබාගැනීමට දිගුවේලාවක් ගතවීමට හේතු වූ බව මහාචාර්යවරයා සඳහන් කළේය.
විදුලි පද්ධතියේ සිදුකරන අධි අවදානම් නඩත්තු කටයුතුවලදී වැරැද්දක්වීම වළක්වාගැනීමේ ක්‍රමවේද තිබෙන නමුත් මෙම නඩත්තු කටයුත්තේදී එම විශේෂිත ක්‍රමවේදය වෙනුවට සාම්ප්‍රදායික ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බව පෙනෙන්නේ යැයි ද ඔහු පැවසීය.
මෙවැනි නඩත්තු කටයුත්තකදී අයෙක් කරන දේ අධීක්‍ෂණයට තව අය පත්කර සිටින නමුත් මෙහිදී එවැනි අධීක්‍ෂණයක් සිදුවී නැතැයි කී අතලගේ මහතා එසේ අධීක්‍ෂණයක් විණි නම් අත්වැරැද්දකට ඉඩක් නැතැයි ද කීවේය.
එමෙන්ම වර්තමානයේ දී භාවිතා වන නිවැරදි නඩත්තු කටයුතු පටිපාටි සම්බන්ධයෙන් සකස් කර ඇති නඩත්තු අත්පොතක් මෙම ග්‍රිඩ් පොලෙහි තිබී නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ කමිටු සාමාජික මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩී.පී චන්දිම මහතා පැවසුවේ කමිටුව විසින්විදුලි බිඳවැටීමේ වගකීම විදුලි අධිකාරීවරයාට පමණක් පවරා නැති බවයි. නිසි ක්‍රමවේදයට අනුගමනය නොකිරීම ගැන ඔහුට ඉහළ සියලු දෙනා වගකීම භාරගත යුතු බව ද ඔහු පැවසීය.
මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් ද මාධ්‍ය හමුවට සහභාගී වූහ.
COMMENTS
ඇමැති, මැති සියලු දෙනාම වගකියන්න ඕනේ.
බෑ කියලා බෑ. මේක ලංකාව. එදා ඉඳලම වුනේ මේක... අපිට සම්ප්‍රදාය කඩන්න බෑ. එදා ඉඳලාම දේශපාලකයින් බේරිලා පහළ ඉන්න පොඩි මිනිහෙක් තමයිලු පෝරකයට ගියේ.. ඒ නිසා සම්ප්‍රදාය කඩලා රටට ලැජ්ජා කරන්න එපා. දේශපාලකයන්ට බුරුල දීලා මේ වගේ පොඩි අය හිරේ දාන්න. එහෙම නැත්නම් ටර්බයින් එක හිරේට දාමු. ඒක තමයි රටම අඳුරේ තියලා නැවතුනේ.
මේවා ඔක්කොම මාධ්‍ය සංදර්ශන විතරමයි. වෙච්ච පාඩු, අපහසුතා අපටයි.
විදුලි අධිකාරි වගේම, විදුලි ඉංජිනේරු වගකිව යුතුබව, විදුලි ඉංජිනේරුවරයාගේ නොසැලකිල්ල කියලා කෙලින් කියන්න කමිටුවත් බය බව පැහැදිලි වෙනවා. මෙහෙමත් රටක විදුලිය තියෙන එක ගැන අපි සතුටුවෙමු. විදුලි මාෆියාව හා ඉංජිනේරු මාෆියාව යනු කුමක්දැයි පැහැදිලි කිරීමට මෙය ප්‍රමාණවත්...
ඒකට මමත් එකඟයි.. අපිත් හිටපු රජයේ සේවකයෝ.. කෙනෙක් හිතාමතා මෙවැනි දෙයක් කරන්නේ නැහැ. මෙවැනි වැරදීම් වෙනවා. දේශපාලකයෝ හිතාමතා කරපු වැරැදිවලට ජනතාව තවමත් දුක්විඳිනවා. මේක මොකක්ද? වැඩක් නිවැරැදිව කරන්න චෙක් ලිස්ට් එකක් හදා තියන්න.
ඇමැති කියන විදිහට එයා පත්වෙලා පැයවලින් කිව්වට, වගකීම් එයාට යනවා. මොකද එහෙමයි කියා බේරෙන්න බැහැනේ. හැබැයි ඔය සිටින සියලුම නිලධාරියෝ වගකියන්න ඕනේ මේ සිදුවුණු ප්‍රමාදයට...
මේක තමයි ලංකාවේ අවාසනාව... 2016 වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරලා නැහැලු. තව අවුරුදු 2-3 ආපහු මේ වගේ දෙයක් ඕනෑ වුණාම කියයි... 2020 වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරලා නැහැ කියලා.
ඉංජිනේරු සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු විධායකය සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.
අපි වැඩකළ ආයතනවල පොඩි අතපසුවීමකින් මැෂින් එකක් නැවතුණහොත් එදාම රස්සාවෙන් දොට්ට දානවා. තව දඩ ගෙවන්නත් වෙනවා අලාභයට... මුලු රටේ විදුලියට වගවෙලා බේරිලා ඉන්නේ කොහොමද?
ඒක ඉතින් ඇමතිතුමා එදත් කිව්වනෙ, "ඩලස්ගාලා ලයිට් ගියා" කියලා.