(සුජිත් හේවාජුලිගේ)

ශිෂ්‍යත්ව ලබා විදේශ  රටවලට  ගොස් සිටි ශ්‍රී  ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් 38 දෙනෙකු  ආගිය අතක්  නැතැයි එම විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිරිසෙන්  වැඩි දෙනෙකු  සහාය කථිකාචාර්යවරුන් බව පැවසේ.

විශ්ව විද්‍යාලයෙන්  පිරිනැමුණු  විශේෂ දීමනා  හා වැටුප් ද ලබමින්  මොවුන්  විදේශයන් හි  අධ්‍යාපන කටයුතු වල යෙදී  සිටියදී  මෙසේ  අතුරුදන්  වී ඇති බවත්  මේ පිරිස විශ්ව විද්‍යාලය සමඟ අස්සන්  කෙරුණු බැදුම්කර ගිවිසුම කඩ  කිරිම නිසා  විශ්ව විද්‍යාලයට  රුපියල්  අට කෝටි  විසි ලක්ෂ අසු එක් දහස් පනස්  හතරක පමණ පාඩුවක්  සිදුවී ඇති බවත් එම ආරංචි  මාර්ග කියයි.

මේ කථිකාචාර්යවරුන්ට හා  ඔවුන්ගේ  ඇපකරුවන්ට විශ්ව විද්‍යාලය සහ නීතිපති දෙපාර්තමේන්තුව මගින් වරින් වර  එන්තරවාසි  යොමු කර  ඇතත්  සමහර  ලිපි සඳහා  මේ වන තෙක් පිළිතුරක්  හෝ ලැබී  නැතියි  වාර්තා වෙයි. තවත් සමහර  එන්තරවාසී හැරෙන තැපෑලෙන්  විශ්වවිද්‍යාලයට  ආපසු ලැබී ඇත.

මේ පිළිබඳව ‘ලංකාදීපය’කළ විමසුමක දී  අදහස් දැක් වු  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වසන්ත පෙරේරා මහතා  පැවසුවේ ආගිය අතක්  නැතිව සිටින මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා  වරෙන්තු නිකුත් කිරිමට  හැකියාව ඇත්දැයි  නීතිපතිවරුන්ගෙන්  උපදෙස්  ගැනීමට  කටයුතු කරගෙන යන බවයි.මොවුන්  ආගිය අතක් නැති බව හෙළිවිමෙන් පසුව ඔවුනට  ගෙවීම නැවැත්වු බවද ලේඛකාධිකාරිවරයා සඳහන් කළේය.