( නාලක සංජීව දහනායක)

මහනුවර නගරයේ පවතින අධික රථවාහන තදබදය තුරන් කිරීම සදහා ක්‍රියාත්මක කෙරෙන විදුලි දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට රජය තීරණය කර ඇත.

මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ මෙය ඉදිකෙරෙන අතර එය මෙරට පළමු විදුලි දුම්රිය මාර්ගය වේ.
 
ඒ අනුව මෙම දුම්රිය මාර්ගය රඹුක්කන සිට කඩුගන්නාව දක්වාත්, කඩුගන්නාවේ සිට මහනුවර හරහා කටුගස්තොට දක්වාත් ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකරනු ලැබේ.
 
එමෙන්ම කඩුගන්නාවේ සිට ගම්පොළ දක්වා දැනට ඉදිකෙරෙන දුම්රිය මාර්ගය නාවලපිටිය දක්වාම දීර්ඝ කිරීමට නියමිතය.
 
මෙම දුම්රිය මාර්ගය කොන්ක්‍රිටි කුළුණු මත ඉදිකෙරෙන අතර ශ්‍රී දළදා මාළිගාව ඉක්මවන තෙක් කිලෝමීටර එකහමාරක් පමණ භූගත උමං මාර්ගයක් සේ ඉදිකරන බව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යංශයේ ප්‍රකාශකයකු ලංකාදීපයට පැවැසීය. එමෙන්ම මහනුවර ගුඞ්ෂෙඞ් බස්නැවතුම්පළ හා ඒ අවට ප්‍රදේශය ප්‍රවාහන මධ්‍යස්ථානයක් සේ සංවර්ධනය කරන බවද එම ප්‍රකාශකයා කීය.
 
ස්පාඤ්ඤ සමාගමක් විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන අතර ඒ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 2020ක් ඇස්තමේන්තු කර ඇති අතර 2023 වසර වනවටි මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය.