(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

“මෙම සිද්ධියට අදාළව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප‍්‍රශ්න 10ක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මා වෙත ඉදිරිපත් කළ ලිපියට පිළිතුරු ලබා දීමට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව විගණකාධිපතිවරයා ලෙස මා බැඳී නැතත් ජාතික වැදගත්මක් සහිත ප‍්‍රශ්නයක් ලෙස සළකා මා ඊට පිළිතුරු ලබා දුන්නා. මා එසේ තොරතුරු ලබාදුන්නේ ඒ අවස්ථාව වන විට රටේ විශාල සංවාදයක් ඇති වී තිබු නිසයි. කෝප් කමිටුවටත්, රවී කරුණානායක මහතාටත්, මා මේ පිළිබඳව දැනුම් දුන්නා“ යැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසීය.

විගණකාධිපතිවරයා ලෙස රාජ්‍ය ආයතන විගණනය කිරීමේදී එහි ඇති දුර්වලතා කවරේද යන්න දැනුම් දිය යුතු නේදැයි කොමිසමේ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතාගේ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් විජේසිංහ මහතා මෙම බැඳුම්කර ගනුදෙනුවේදී සිදුවු දුර්වලතා 14ක් තමා හඳුනා ගෙන ඒ බව තමාගේ වාර්තාවේ සඳහන් කළේ යැයිද වැඩිදුරටත් කීය.

“සේවක අර්ථ සාධක අරමුදල බැඳුම්කර වෙළෙඳ පොළේ ආයෝජනය කරන්නේ නැතුව මෙම වෙන්දේසියෙන් දින කිහිපයකට පසුව පර්පචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයෙන් වැඩි පොළියට බැඳුම්කර මිලදී ගෙන තියෙනවා. බැඳුම්කර වෙන්දේසියෙන් ඒවා ලබානොගෙන පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ගත් බැඳුම්කර අතින් අත ගිහින් අවසානයේදී සේවක අර්ථ සාධක අරමුදල පාඩුවට බැඳුම්කර මිලදී ගෙන තියෙනවා. ඒ ආකාරයෙන් සේවක අර්ථ සාධක අරමුදලට පාඩු සිදුව තියෙනවා“ යැයි විගණකාධිපතිවරයා වැඩිදුරටත් කීය.

කොමිසම් ශාලාවේ සවිකරන ලද ප‍්‍රදර්ශන පුවරුවක් මත විශාල කල දත්ත සාක්කිකරුට පෙන්වමින් ඔහුගේ සාක්කි විමසන ලදී.