
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමකට ලක් වූ ‘එම්.ටී නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප්‍රවාහන නෞකාව වටා කිලෝමීටරයක මුහුදු ප්‍රදේශයේ කළු පැහැ තෙල් පැල්ලම් දක්නට ලැබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය.
නෞකාවේ එන්ජින් කාමරයේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා දින කිහිපයක් තිස්සේ ඒ වෙත ජලය යෙදීමෙන් මේ වන විට එම කාමරය ජලයෙන් පිරී ගොස් ඇතැයි කී කපිතාන්වරයා එම ජලය සමඟ මුසුවී එන්ජින් කාමරයේ ඇති ඩීසල් මුහුදු ජලයට එක්වීමෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව ද සඳහන් කළේය.
එමෙන්ම එන්ජින් කාමරයේ ජලය පිරීමෙන් එය පිහිටි නෞකාවේ පිටුපස ප්‍රදේශය පහත් වී ඉදිරිපස ප්‍රදේශය ඉහළ ගොස් ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මුහුදු ජලයට එක්වූ මෙම ඩීසල්වලින් විය හැකි හානි අවම වන පරිදි එම ඩීසල්වල සංයෝගය වෙනස් කළ හැකි රසායනික ද්‍රව්‍යයක් එම ප්‍රදේශයට ඉසීමට කටයුතු කර තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
මත්තල ගුවන් තොටුපලේ සිට විශේෂ ගුවන් යානයක් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට ගොස් මෙම කාර්යයේ නිරතවීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේය.
මෙම නෞකාවෙන් බොරතෙල් කාන්දුවක් සිදුව නැතැයි ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.