(අජන්ත කුමාර අගලකඩ නිව්යෝක් නුවර සිට)
ශ්‍රී ලංකාව තුළ නැවත යුද්ධයක් ඇති නොවන්නට සියලු ජාතීන් තුළ සමගිය ඇති කරන්නට රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දෙන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා සියලු රජයන්වලින් අද(20) ඉල්ලීමක් කළේය.
ආර්ථික සමෘද්ධියක් ඇති කරමින් හා යහපත් සමාජයක් ගොඩනගමින් ශ්‍රී ලංකාව ආදර්ශමත් රටක් ලෙස ඉදිරියට ගෙනයන්නට ඉඩ දෙන්නැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනපති මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72වැනි සැසිවාරය අමතමිනි.
එම සැසිවාරයෙ එක්සත් ජාතින්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස් මහතා සහ ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු විදෙස් නායකයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ(19) ආරම්භ විය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 3ට සැසිවාරය ඇමතීය. එහිදී අදහස් දැක්වූ ජනපති ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය සුරකිමින් යන්නා වූ ගමනේදී නිදහස් සාමකාමී රටක් වශයෙන් සෙමින් ගමනක් ගොස් පැහැදිලි ඉලක්කයක් කරා යන්න සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවද සඳහන් කළේය.
ඇතැම් අන්තවාදී පිරිස් කඩිනම් විසඳුම් බලාපොරොත්තු වුවද වසර 30ක යුද්ධයක් පැවැති රටක් ලෙස සෙමින් යන සාර්ථක ගමනක් යායුතු බව කී ජනපති වේගවත් ගමන අනතුරුදායක බවද කීවේය.
ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් හා රට තුළ ජීවත්වන සියලුම ජාතීන් අතර සහෝදරත්වය ගොඩනමින් සෑම කෙනකුටම නිදහසේ ජීවත්විය හැකි සමාජයක් ගොඩනැගීමට තම රජය කටයුතු කරන බවද ජනපති එහිදී කීවේය.
විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් සාධාරණ සමාජයක් ගොඩනැගීමේ කාර්යයට තම රජය කැපවී සිටින බවද පැවසූ ජනපතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව යුද කාලයේ පැවැති තත්ත්වයන් ඇසුරින් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව රජය සැලකිල්ලට ගෙන ඊට ප්‍රමුඛතාව දී කරුණු විසඳීමට කටයුතු කරන්නේ යැයි ද කීය. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීම යන කරුණු පදනම් කරගෙන රජය ගෙවී ගිය වසර දෙක හමාර තුළ සාර්ථක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කිරීමේ කාර්යය ඉටුකර තිබෙන බවද ජනපති ප්‍රකාශ කර සිටියේය.


COMMENTS
වෙනින් රටවලින් සහය ඉල්ලන්න ඉස්සෙල්ල අපිට කරන්න පුළුවන් දේ කරන්න..
චීන කියන දේ අපිට තේරෙන්නෙත් නැහැ අපි කියනදේ චීනට තේරෙන්නෙත් නැහැ. මෙය සරල උදාහරණයකි.
සම්පත්, ඔබට වඩා මෙය තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? අපි මේක කරමු... ඇනකොටා ගන්න අවශ්‍ය නැහැ.
සහය ඉල්ලනවා කියන්නේ ණය ඉල්ලනවා කියන එකයි.
මෙතුමාගේ කතාවට විනාඩි 22 යි. එතකොට එක විනාඩියකට ලක්ෂ කීයද? මීට කලින් කළ දේශන දෙකේ පසු විපරම් ප්‍රගතිය කෝ? මේ රටේ ඡන්ද දායකයා ට අයිතියක් තියනවා නේද දැන ගන්න.
මේක ඉතාමත් හොඳ කතාවක්.
ජනදිපතිතුමනි, සත්‍ය කතා කරමු. ඔබ එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුව අමතන්නේ, අප රටේ නියෝජිතයා වශයෙනි. එ් තුලින්, අප රටේ කිළුටු ඇදුම් සේදීමවත් හෝ එය දේශපාලන වේදිකාවක් ලෙස භාවිතා කිරීමවත් නොකළ යුතු බව අපේ හැඟීමයි. ඔබ බලයට පැමිණීමට කලින්, මුළු ලෝකයේම පාලකයන් අතුරින් "අසීමිතම" බලයක්, ශ්‍රී ලංකාවේ පාලයකයා සතුව තිබු බවත්, ඔබ එය කපා දැමු බවත් සඳහන් කළා. ඔබට, උතුරු කොරියාව, කියුබාව, වෙනිසියුලාව, සෞදි අරාබියාව, "සෙන්ට්‍රල්" ඇමෙරිකා රටවල්, ... වැනි රටවල් අමතක වුනාද? ඊට වඩා, විධායක ජනාධිපති ධුරය අවලංගු කරනවා යැයි කියා බලයට පත්වූ ඔබ, දැන් 2020 ජනාදිපති කමට තරග කිරීමට සැරසෙන්නේ නැත්ද? රට තුල "අසීමිත" නිදහසක් ගොඩ නැගු බව කියන ඔබතුමාගේ රජය, විශ්ව විද්‍යාල සිසුන්ගේ ඔලු පලා, ආබාධිත රණවිරුවන්ට කදුළු ගෑස් ගසපු බව, ඒ සමුළුවට කියන්න අමතක වුනාද? රටේ ආර්ථික වරදානයක් ඇති කළා බව කියන ඔබට, රටේ වර්ධනය 7% සිට, 4% දක්වා අවපාත වී ඇති බවත් අමතක වුවද? වසර 30 ක යුද්දය නිමා කළා බව කියූ ඔබ, ඒ වෙනුවෙන් කළ කිසිම දෙයක් නෑ නේද? එය, සරත් ෆොන්සේකා, කෝට්ටෙගොඩ, ගෝඨාභය සහ මහින්ද ගේ කාර්යයක් බව කීමටත් අමතක වූවාද?
කතා කරනකොට "හිටං" කියා කිවුවේ නැද්ද දන්නේ නැහැ...
ජනාධිපතිතුමනි, සෙමෙන් රට වර්ධනය කිරීම හොඳ බවත්, සීඝ්‍රව වර්ධනය වන රටකට "අන්තරාදායක" බවත් ඔබට කියාදුන්නේ, වසර 30ක් 10% පමණ "සීඝ්‍ර" වර්ධනයක්ව පෙන්නා ඇති දියුණු චීනයද? නැත්නම්, වසර 30ක් අඛණ්ඩව 6% කට වඩා වර්ධනයක් පෙන්නන ඉන්දියාවද? නැත්නම් "සීඝ්‍ර වර්ධනයක්" තුලින් දියුණු වූ සිංගප්පූරුවද? දකුණු කොරියාවද? ජපානයද? රටේ කෘෂිකර්මිකව දියුණු යයි කියන ඔබට, දුප්පත් ගොවීන්ගේ පොහොර සහනාධාරය කප්පාදු කිරීම තුලින්, කලින් සහලින් ස්වයංපෝෂිතව තිබු අපේ මාතෘභූමිය, අද ඉන්දුනීසියාවෙන් සහ වියට්නාමයෙන් සහල් ආනයනය කරන බවත් ප්‍රකාශ කිරීමට අමතක වූවාද? මින් පසු මෙවන් වැදගත් සමුළුවකදී කතා කිරීමට ප්‍රථම, හිටපු ජනාධිපති ඔබාමා විසින් එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා කරන ලද කතා යූ ටියුබ් හරහා බලන්න. ඔබත්, අප මෙන් රටට ආදරයක් දක්වන බව මම විශ්වාස කරමි. නමුත් තමන්ට කරන්ට බැරිවූ දේ, නරියා "මිදි අැඹුල්" කීවා මෙන්, අපහාසයට හෝ හෑල්ලුවට ලක් නොකරන්න. ස්තුතියි!!!.
නිවට බොරු කාරයින්, රට පාවා දෙන්නන් තවත් ඉන්නවද? රට විනාශ කරන විදේශ රටවල් ඉදිරියේ දන ගහන අය තවත් ඉන්නවද?
රටක ජනාධිපතිවරයකු විසින් නොකළ යුතු කතාවක්..ද? එතනත් කලේ කාටහරි අපහාස කිරීමක්.. අන්න බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මගින් ශ්‍රී ලංකාව ආයෝජනය සදහා ඉතා අවදානම් රටක් ලෙස නම් කරලා ඉවරයි..තවත් බොරු එපා...