(හර්ෂණ තුෂාර සිල්වා)

රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 7ට ලබා දී තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්  තවත් පැය 24කින් දීර්ඝ කරන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මෙලෙස එම අනතුරු ඇඟවීම දීර්ඝ කෙරුණේ අඛණ්ඩව තෙවැනි දිනට වන අතර හෙට පස්වරු 1.00 වන තෙක් මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙයි.

අඛණ්ඩව වර්ෂාපතනය පැවැතියහොත් නායයෑම් සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ අවධානය යොමු කරන්නැයි ද එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මෙසේය

රත්නපුර - රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න හා නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

කෑගල්ල - බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට හා දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

ගාල්ල - බද්දේගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියගම හා නියගොඩ හා ආශ්‍රිත ප්‍රදේශ  

කළුතර - බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට හා බදුරලිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්‍රදේශ

මාතර - කොටපොල, පස්ගොඩ, පිටබැද්දර හා මූලටියන යන ප්‍රදේශ