(කාංචන කුමාර ආරියදාස)
දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා ඇති ලෝක උරුම බිම්කඩක් වූ නකල්ස් රක්ෂිතයේ මහ පරිමාණ ඉඩම් කොල්ලයක් සිදුවන බව පරිසර සංවිධාන සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනි කවිරත්න මහත්මිය ඉඩම් අමාත්‍යවරයා සහ රජයේ වගකිවයුතු බලධාරීන්ට පවසති.
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පසුගිය දින ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරියේම විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නකල්ස් අධි රක්ෂිත පරිසර කලාපයේ සහ ඒ අවට ප්‍රදේශවල වටිනා ඉඩම් රැසක් මේ වන විට පිට පළාත්වල ව්‍යාපාරිකයන්ට සහ ඇතැම් පුද්ගලයන් වෙත පවරාදීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බව ය. එය ඉඩම් කොල්ලයක් ලෙස හඳුන්වා දෙන බවද ඇය පැවසුවාය.
නකල්ස් ප්‍රදේශය පරිසර සංවේදී කලාපයක් බවත් මෙම ප්‍රදේශයේ දී විවිධ ඉදිකිරීම් සහ සංචාරක හෝටල් ඉදිකිරීම් සිදුවන බවද මන්ත්‍රිවරිය වැඩිදුරටත් සඳහන් කළාය .
එමෙන්ම පෞද්ගලික සත්ව ගොවිපලක් ඉදිකිරීම සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ නකල්ස් ඉහළ කඳු පන්ති ප්‍රදේශයේ අක්කර 900 ක පමණ ප්‍රමාණයක් පෞද්ගලික ආයතනයකට ලබා දී තිබෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
පරිසර සංවිධාන කිහිපයක නියෝජිතයින් ද මෙම මහා විනාශය පිළිබඳව ලිඛිතව බලධාරින් දැනුවත් කර තිබීමද විශේෂත්වයකි.
පරිසරවේදියෙකු වන සජීව චාමිකර මහතා කියා සිටියේ දුම්බර අඩවිය හෙවත් නකල්ස් කඳු පන්තියේ අක්කර 21000 පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය විවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ඇමතිවරයෙකු හා වර්තමාන කැබිනට් ඇමැතිවරයකුගේ හිතවතුන් හා ඥාතීන් වෙත පවරා දී තිබෙන බවයි.
විවිධ පුද්ගලයන්ට පැවරීම සිදුකර ඇත්තේ රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම මගින් කළමනාකරණය ලැබූ වතු ඉඩම් බවද හෙතෙම සඳහන් කළේය.
නකල්ස් දුම්බර අඩවියේ දැඩි ආරක්ෂිතව පවතින අක්කර විසිඑක් දාහක පමණ භූමි ප්‍රමාණයක් මේ ආකාරයෙන් විනාශ වන්නට වුවහොත් මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ වලට ජල පෝෂක ප්‍රදේශයක් අහිමි වන බවද සජීව චාමිකර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
COMMENTS
ජනාධිපතිතුමනි වහාම ක්‍රියාත්මක වන්න... මේ ඔබ ඊළඟ වටයට සුදුසු දැයි කරන පරික්ෂාවකි.
එක පැත්තකින් කදුකරය විනාශ කරනවා අනෙක් පැත්තෙන් විල්පත්තුව, යාල, වගේ රක්ෂිත කැලාවල් විනාශ කරනවා අපේ දේශපාලුවෝ ටික එකතුවෙලා.
නිදහසේ විඳින්න තිබුණු පිරිසිදු වාතය... බොන්න තියෙන පිරිසිදු වතුර ටික අදූරදර්ශි-දූෂිත දේශපාලන බලාධිකාරිය විසින් සමූහ දූෂණය කරනවා. ඔය පළාත්වල ඉන්න ගමේ මිනිස්සුන්ගේ ඉඳන් මේ රටේ අනෙක් සෑම පළාතකම ඉන්න මිනිස්සු පළාතක් වෙනුවෙන් නොවේ. මේ රටේ පිරිසිදු හුස්ම සහ බොන වතුර ටික වෙනුවෙන් ඉදිරිපත් විය යුතුයි. දේශපාලකයන් මේ රටේ මිනිස්සුන්ව පක්ෂවලට බෙදාගෙන ඉන්නේ ඔන්න ඕකයි. මිනිස්සු දේශය පාලනය කරන්නන්ව නිසි මාර්ගයට ගත යුතුයි. එහෙත් අවාසනාවකට මේ රටේ මිනිස්සුන්ට තමන්ගේ ගෙදර වතුර ටික නැතුව යන්න වෙනවා. වතුර ගැන කතා කරන්න... පුදුම ආත්මාර්ථකාමී සාමාන්‍ය ජනතාවක් මේ රටේ ඉන්නේ. ඒ බව දන්නා දේශපාලනය දිගට හරහට මේ රට කෙළෙසනවා. ජනතා ප්‍රතිවිරෝධයක් නොනැගෙනා තැන මේ රට අද මේ යන්නේ අවසන් ගමන බව දන්නේ බොහොම ටික දෙනයි.
මේ රටේ බුද්ධිමතුනි, අවදිවන්න ඔබේ සුවබර නින්දෙන්...
ලියනගේ. ඔබේ ප්‍රතිචාරය ගැනයි මේ ලියන්නේ. සද්ද කරන්න එපා ඔච්චර. එතුමා වහාම ඔය ගැන හොයලා බලලා වැරදි කාරයින්ව දහඅට මාසෙකට යවලයි පස්ස බලන්නේ. ඔන්න බලාගෙන ඉන්න වරදිකාරයින්ට සිද්ද වෙනදේ...
"දේශපාලුවෝ" යනු රටක් විනාශ කර එය නැත්තටම නැතිවෙන්නම උලාකන මහා කාලකන්නි ජාතියකි. එ් අයට පාටක්, පක්ෂයක් නොමැත. තිබෙන්නේ හොරා කෑමේ සහ මහජන දේපළ විනාශකිරීමේ පක්ෂයකි.