(ප්‍රියාණි මංගලිකා ) 

කොරෝනා වයිරසය ආසාදනය වේ යැයි බියෙන් අවුලේගම සංඝබෝධි මහා විද්‍යාලයේ ගුරුවරුන් නිවාඩු දමා ඇතැයිද, ඒ හේතුවෙන් පාසැල වැසී, සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී, දෙමාපියන් එහි පැමිණ දරුවන් රැගෙන ගිය බවද පාසල් ආරංචි මර්ග සඳහන් කළේය.  

මේ පිළිබඳව නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යාපන අධ්‍යක්ෂ පී.එම්.නසීර් මහතාගෙන් විමසූ විට ඒ මහතා ප්‍රකාශ කළේ පාසැලේ පවතින ගැටලුව සම්බන්ධයෙන් අදාල අංශ දැනුවත් කර ගැටලුව විසඳීම සඳහා පියවර ගත් බවයි.

ආසාධිතයකුගේ සමීප ආශ්‍රිතයන් ලෙස පාසැල් ළමුන් දෙදෙනෙකු සමග නිරෝධායනයට ලක් කළ පවුල් දෙකකින් එක් පවුලක පිරිමි පුද්ගලයෙකු පෙර දින රාත්‍රියේ  මිය යෑම හේතුවෙන්  සහ බලධාරීන් පාසලට නිසි සෞඛ්‍යාරක්ෂාවක් සලසා නැති බැවින්  අවුලේගම සංඝබෝධි මහා  විද්‍යාලයේ ගුරුවරු ඇතුලු කාර්ය මණ්ඩය අද (14)   පෙරවරුවේ  නිවාඩු දමා සේවයෙන් ඉවත් වී සිටිති.

පාසැල් දරුවන්ගේ, ගුරුවරුන්ගේ  සහ කාර්ය මණ්ඩලයේ  සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවද, පාසැල් ආරංචි මර්ග සඳහන් කළේය.

අවුලේගම රඹුක්කන ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි පවුලේ මියගිය පුද්ගලයාගේ සිරුරද, අද පෙරවරු 10. 00 පමණ වෙන තුරුද රැගෙන ගොස් නොතිබිණි.

එම පාසැලේ පාසැල් පංති කාමර දෙකක් පමණක් සෞඛ්‍ය අංශ විසින් විෂබීජහරණයට ලක් කළ බවද,එය ප්‍රමාණවත් නොවන බවත් සම්පූර්ණ පාසැලම විෂබීජහරණයට ලක් කළ යුතු බවත් පවසමින්  පාසැලේ සමස්ත කාර්ය මණ්ඩලයම නිවාඩු දැමීමට පියවර ගත් බවත් අපේක්ෂිත විසඳුම් ලැබෙන තුරු සේවයට වාර්තා නොකරන බවද ඔවුහු පැවසූහ.

දහවල් 12.00 වන විට ළමුන් කිහිප දෙනෙකු හැරෙන්නට සියලුම දරුවන් දෙමාපියන් රැගෙන ගිය  බවත් ,ඒ වන විටත් පාසලට සෞඛ්‍ය අංශ නොපැමිණි බවත් පාසැල්  ආරංචි මර්ග වැඩිදුරටත් සඳහන් කළේය.