(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ඊ.ටී.අයි  ආයතනයේ   හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ  යන අය ලබන 12 දා දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා අද (09)  නියෝග කළේය.

ඊ.ටී.අයි ආයතනයේ සිදුවූ බව කියන  රුපියල් බිලියන 6.4 මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්  මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි .

ඒ අනුව අද (09) පස්වරු 1.30 ට පමණ සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අතර එහි තීන්දුව පසුව 5.55 ට පමණ ලබා දී තිබුණි .

ඊ.ටී.අයි ආයතනයේ  සිදු වූ බව කියන රුපියල් බිලියන 13.7 මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන්  ඉකුත් 5 සහ 6 යන දෙදින තුලදී ද   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  අත්අඩංගුවට ගෙන  කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  සැකකරුවන්ට  ඇප මත ලබාදීමට අධිකරණ නියෝග කර තිබුණි


එසේම සති දෙකකට වරක් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසටත්  ඔවුන්ගේ විදෙස්  ගමන් බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමටත් අධිකරණය නියෝග කෙරිණි