බිඟුන් මේනක ගමගේ
යුද්ධයේදී මියගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ වැන්දඹු බිරින්දෑවරුන්ට ජීවිතාන්තය දක්වා වැටුප ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදෙන්නැයි සමස්ත ලංකා රණවිරු සංසද ඒකාබද්ධ බිරින්දෑවරුන්ගේ ඒකාබද්ධ සංවිධානය ජනාධිපතිවරයා ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.
මෙම කාරණය සම්බන්ධයෙන් පසුගිය දෙවසර පුරා ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූව ද අවසාන තීන්දුවක් නොගත නමුත් ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයන්ට පමණක් එම ඉල්ලීම ඉටුකිරීමට රජය සැරසෙන බවට ඔවුහු චෝදනා කරති.
මිය ගිය, ආබාධිත හා අතුරුදන් වශයෙන් වූ සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන්ට පැවැති සෑම රජයක්ම එකම හැන්දෙන් බෙදූ නමුත් රජය ක්‍රියාත්මක කිරීමට යන නව ප්‍රතිපත්තියෙන් රණවිරු බිරින්ඳෑවරුන්ට අසාධාරණයක් සිදුවන්නේ යැයි ද එහි සඳහන් වේ.
සිය දරුවන්ගේ අධ්‍යාපන හා සෞඛ්‍ය කටයුතුත් බැංකුණය ආදී කරුණු නිසා විශ්‍රාම වැටුපෙන් යැපීමට අපහසු තත්ත්වයක් උද්ගතව ඇතැයි ද එම නිසා මෙම තත්ත්වය ගැන අවධානය යොමුකර සාධාරණය ඉටුකිරීමට ආරක්ෂක ඇමැති වශයෙන් මැදිහත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එම සංවිධානයේ සභාපති කුමාරි ඇන්තනි මහත්මියගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
මේවට ඉල්ලිම කරන්න ඕනේ නැහැ රජය රට වෙනුවෙන් ජීවිතය පුජා කල රණවිරුවන්ට අනිවාර්යෙන් දෙන්න ඕනේ. මේ බිරිඳවරු ඉල්ලිම් කරනවානම් රජය ලජ්ජා වෙන්න ඕනේ.
හරිම සාධාරණයි මෙම රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත් නිදහස නිසා තමයි අපි දැන් මේ මොහොතේත් යම්කිසි නිදහසකින් සිටින්නේ. රට කාබාසිනියා කරන අයගේ පඩි වැඩිකිරීම, එම අම්බරුවන්ට ලබාදෙන පහසුකම් වැඩිකිරීමට වචනයක් හෝ නාස්ති නොකර වටිනා කාලය නාස්තිනොකර එම නිවට ඉල්ලීම්වලට පයින් ගසාදමා මෙම රණවිරුවන්ගෙන් යැපෙන්නන්ගේ ඉල්ලීම ගැන ක්‍රියාත්මකවීම ඉතාම සර්ව සාධාරණ බව කිවයුතුය. අප රටේ මුල් පුරවැසියා විසින් මෙහි සඳහන් සියලුම වචන හොඳින් තේරුම් ගනියි යන්න අපගේ බලාපොරොත්තුවයි.
අපි රටක් විදියට අතිශයින් ලැජ්ජා වෙන්න ඕනෑ කාරණාවක්. ඇමැතිවරුන්ට 225% පඩි වැඩි කරනවා රටට මෙලෝ වැඩක් නෑ. අපිට නිදහසේ හුස්ම ගන්න ජීවිතේ පූජා කරපු මිනිස්සු වෙනුවෙන් නිසි ඇගයීමක් නෑ.
පැන්ෂන් එක පමණක් දීලා මදි, පාසල් යන වයසේ දරුවෝ ඉන්නවා නම් ඔවුන් උසස්පෙල කරන කම් යම් දීමනාවක් ගෙවන්න ඕනේ... උසස් අධ්‍යාපනය ලබනවා නම් ඒවා ඉවරවෙනකම්වත් ගෙවන්න ඕනේ... නිවාස ණය වැනි දේවල් අරගෙන තිබෙනවා නම් ඒවගේ වාරිකත් රජයෙන් ගෙවන්න ඕනේ.. නැත්නම් දරුපවුල පාරට වැටෙනවා.
මෙයා බාගෙන කන වල ඉහගෙන කන්න හදනවා වගේ අදහසක්! ඔය විදිහට නම් විශ්‍රාම කාරයන් ඔක්කෝටමත් විශ්‍රාම නැතුව සම්පූර්ණ වැටුප ඉල්ලා සිටින්න පුළුවනි, මැරෙන තුරුම!
මේවා හොඳ වැඩ. ඒ වගේම පුරවැසියෝත් අාදායම් බදු ගෙවන්න ඕනේ... මේවා ගෙවන්න නැත්නම් හාල් පිටි සීනිවල වක්‍ර බදු වැඩිවෙනවා.
මට නම් කියන්න තියෙන්නේ හදවතක් නැති මුග්ධ දේශපාලකයින්ට කිසිම ගුණවන්ත කමක් නැහැ කියලයි. ඉතාමත් සංවේදී ඉල්ලීමක් මේ අය ඉල්ලන්නේ. ඇත්තෙන්ම කිසිම කලගුණ සැලකීමක් නොදන්නා මේ වගෙ රැළක්ද මේ රට මෙහෙයවන්නේ. අපි බලමු ජනාධිපතිතුමාටවත් සංවේදී හදවතක් තියේද කියලා.
එතකොට යුධ පෙරමුණේ සටන්කරලා යුද්ධෙත් දිනවලා පණත් බේරාගෙන ඇවිල්ලා විශ්‍රාම යන සෙබළුන්ට මොනවද කරන්නේ...? එයාලට අඩුමගානේ පඩි දෙකක්වත් දෙන්න ඕනෑ...
අදාළ වැන්දඹුවන් යළි විවාහ වන තෙක් ලෙස ලබා දෙන්නේ නම් ගැලපෙනවා. ජීවිතාන්තය දක්වා කිව්වොත් යළි විවාහ වෙන අයෙකුත් මේක ගන්නවා. අනික මේ ප්‍රවෘත්තිය අනුව මේ ඉල්ලීම කරන්නේ නොලැබෙන එකට නොවෙයි ආබාධිත අයට දෙන්න යන හින්දා අපිටත් දෙන්න කියන පදනමින්.
සෙබලාගේ අවුරුදු 22ක සේවා කාලය සම්පූර්ණ වෙන තෙක් වැටුප වැන්දඹුවට ලබලා දෙන්න. ඊට පස්සේ විශ්‍රාම වැටුප දෙන්න. නැවත විවාහ වුණා කියලා වැටුප හෝ විශ්‍රාම වැටුප අහිමි කරන එක අසාධාරණයි. ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා නම් ඔවුන්ට උපකාරයක් කරන්න. එකවරක් විවාහ වුණු කාන්තාවට ලංකාවේ නැවත විවාහ වෙනකොට ලැබෙන්නේ අඩු තක්සේරුවක්.. එහෙම නිසා වැටුපත් අහිමි කිරීම හොඳ නැත... දෙවැනි විවාහයේ සැමියත් මිය ගියහොත් හෝ දික්කසාද වුනොත් ඇයට මොකද වෙන්නේ?