අංජුල මහික වීරරත්න
 
ගෝලීය හා දේශීය ස්වභාවික ව්‍යසනයන් හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතා ශක්තිමත් පදනමක් සකසා ගැනීමට හැකි වීම අතිශය අගය කළ යුතු කරුණක් බවත්, ශ්‍රී ලංකාවේ අනාගත යටිතල පහසුකම් හා ආයෝජන සඳහා සහය ලබාදීමට ලන්ඩන් කොටස් වෙළඳපොළ සූදානම් බවත්, ලන්ඩන් කොටස් වෙළඳපොළ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ෂ්විමර් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය.
 
නොර්වේ සංචාරයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) ලන්ඩන් කොටස් වෙළඳපොළ සමාරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අවස්ථාවේදී ප්‍රධාන විධායක නිලධරයා මේ බව කීය.
 
සඳුදා පෙරවරු 08 ට විශේෂ ආරාධිතයෙකු ලවා ලන්ඩන් කොටස් වෙළදපොළ සමාරම්භ කරවීම ඈත අතීතයේ සිට පැවතෙන සම්ප්‍රදායකි.
 
ශ්‍රී ලංකාවේ මුල්‍ය කටයුතු පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ විශේෂ නියෝජිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන, ලන්ඩන් කොටස් වෙළඳපොළ පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිකිල් රතී මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.