(චමිල් රුපසිංහ )

ආබාධිතයින්ට සමාන පහසුකම්  නොමැතිව අලුතින් ඉදි කෙරෙන කිසිම පොදු ස්ථානයක් සෑදීමට ඉඩ නොදෙන බවත් එලෙස නොකරන ස්ථාන වලට නඩු දමා නීති මාර්ගයෙන් කටයුතු කරන බවත්  සමාජ සවිබල ගැන්වීමේ හා කඳුරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා මහනුවරදි පැවැසිය.

අමාත්‍යවරයා මෙසේ පැවැසුයේ ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සමරා මධ්‍යම පළාත් ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සංගමය මගින් සංවිධානය කරන ලද සුදු සැරයටි පා ගමන අවසානයේදි  සැමරුම් උත්සවය අමතමිනි.

‘‘ආබාධිතයන් කියන්නෙ අපේ රටේ කොටසක් ඔවුන්ටත් අනිත් මිනිසුන්ට වගේම සම අයිතියක් තියෙන්න අපි රජයක් හැටියට වැඩ කටයුතු කරන්න ඕනෑ. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. පැරණි ගොඩනැගිලිවලත් අපි දැන් සොයා බලනවා අලුතින් මේ දේවල් කරන්නෙ කොහොමද කියල ඒවායෙ වුණත් අපිට ආබාධිත අයට අවශ්‍ය කටයුතු කරලා දෙන්න බැරිවන එකක් නෑ.‘‘ යැයි ද ඇමැතිවරයා කීය.

ඉදිරියේදි මහාමාර්ග වල මාර්ග සංඥා ඇති ස්ථානවල ආලෝක පද්ධතියට අමතරව ආබාධිතයන්ට ඇසෙන ලෙස ශබ්දයක් ඇතිවන අයුරින් නව ක්‍රමයක් හඳුන්වාදිමට ද පියවර ගන්නා බවත් ආබාධිතයින්ගේ දස්කම් සලකා බලා උපාධි පිරිනැමීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසිය.