තරිඳු ජයවර්ධන සහ සුරේෂ් කේ පෙරේරා

උද්ඝෝෂණය කළ ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම සිදු කරන්නේ නම් මර්දනයට එරෙහිව සියලු ගුරු සංගම් එක්ව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ගුරු වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක් අද කොළඹ විශ්ව විද්‍යාලයයේ දී පැවසූහ.

උද්ඝෝෂණය කළ විශ්ව විද්‍යාල සිසු සිසුවියන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගුරු වෘත්තීය සමිති පහක් එක්ව  කොළඹ විශ්ව විද්‍යාලයේදී අද මාධ්‍ය හමුවක් පැවැත්වීය.

සයිටම් සම්බන්ධයෙන් රජය නිකුත් කළ නිවේදනය නොපිළි ගන්නා බවත්, එහි දැක්වෙන්නේ ආණ්ඩුව කළින් ප්‍රකාශ කළ විසඳුම් බවත්, සයිටම් වලට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන යන අරගලයට උපරිම සහයෝගය දෙන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

‘ගෙවල් වලට ඇවිත් පොලිසිය ශිෂ්‍යයන් අරගෙන යනවා. රාගම වෛද්‍ය පීඨයේ පළමු වසර ශිෂ්‍යයෙක් සොයා පොලිසිය කටානේ නිවසට ගොස් තිබෙනවා. නිවස වට කර නිවසට ඇතුළු වී එම ශිෂ්‍යයාව පොලිසිය අරගෙන ගොස් තිබුණත් ඔහුගේ පවුලේ අය මරදාන පොලිසියට ගිය විය අත්අඩංගුවට ගැනීඹ ප්‍රතික්ෂේප කළා. පසුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පිළිගෙන තිබෙනවා. වරෙන්ති නිකුත් වී සිටි ඥාණසාර හිමියන් අත්අඩංගුවට නොගත් පොලිසිය ගුටිකාලා රෝහලේ ප්‍රතිකාර ලබමින් හිටපු සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගත්තා. නීතිය ක්‍රියාත්මක කරන ආකාරය වෙනස් බව එයින්ම පෙන්නුම් කරනවා. ‘

සයිටම් සම්බන්ධයෙන් ගුරු විදුහල්පති ප්‍රජාව දැනුම්වත් කිරීමට බලා පොරොත්තු වන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය. ගුරු වෘත්තීය සමිති පමණක් නොව අනෙකුත් වෘත්තීය සමිති සමගද සාකච්ඡා කර මර්දනයට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජයසිංහ මහතා කීවේය.

ලංකා ප්‍රගති ගුරු සංගමය නියෝජනය කරමින් මයුර සමරසිංහ මහතා ද, ශ්‍රී ලංකා පොදු ජන ගුරු සංගමය නියෝජනය කරමින් වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ද, උපාලි සෙනවිරත්න මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.