(අජන්ත කුමාර අගලකඩ)

අප්පච්චි නැති කඳවුරක හෘද සාක්ෂියට එකඟව තනතුරක් දැරිය නොහැකි නිසා තමා මධ්‍යම පළාත් සභාවේ යෞවන කටයුතු ඇමතිධුරයෙන් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර  තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවසීය.

ඔහු සිය පළාත් සභා අමාත්‍යධූරයෙන් ඉවත් වීමෙන් පසුව අදහස් දක්වමින් මෙසේද කීවේය.

“අප්පච්චි නැති කඳවුරක මට හෘද සාක්ෂියට එකඟව තනතුරක් දරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම තීන්දු කළා හෘද සාක්ෂියට එකඟ වෙන්න“

“අද යුගයේ දේශපාලනඥයින් ඡන්දවලින් පැරදිලා ඇවිත් තනතුරු බදාගන්න යුගයක්. හැබැයි මම වැඩිම මනාප අරගෙන වැඩිම ප්‍රසාදය අරගෙන ආපු කෙනෙක්. මම පක්ෂයට මෙන්ම ජනතාවට අලුත් පණිවිඩයක් දෙන්න මේ තීරණය ගත්තේ. මගේ තනතුරට හෙට කවුරුහරි පත්කරයි.“

“මම අප්පච්චි වෙනුවෙන් සටනක් ආරම්භ කළා. දුමින්ද දිසානායකට අයිතියක් තියෙනවා නම් බර්ටි ප්‍රේමලාල් වෙනුවෙන් සටන් කරන්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍රට පුළුවන් නම් භාරත ලක්ෂ්මන් වෙනුවෙන් සටන් කරන්න මගේ සටනත් සාධාරණයි“ ඔහු කීවේය.