(චමිල් රූපසිංහ)

ඇමැතිවරුන් වෙනස් කර විෂයයන් පැවරීමේ තීන්දු ගෙන ඇත්තේ අගමැතිවරයා බවත් ඊට ජනපතිගේ සතුටක් ඇතැයි තමා නොසිතන බවත් සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා උඩරට සංවර්ධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

මහනුවරදී අද(12) පැවැති උත්සවයකදී එසේ කී ඇමැතිවරයා එය නුසුදුසු බව තමාද පෞද්ගලිකව සිතන බව ප්‍රකාශ කළේය.

මේ අතර ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාළන මැතිවරණය සඳහා දිනය තිරණය කිරිම සම්බන්ධයෙන් රජය පැත්තෙන් අවශ්‍ය කටයුතු ඉදිරි සති දෙකේ දී සුදානම් කර ඒ වගකීම  මැතිවරණ කොමසමේ සභාපතිවරයාට  පවරන බවත් ඇමැතිවරයා කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු භේදයක් නැති බවත් සියලු තීන්දු ගනු ලබන්නේ ජනපති සමග සාකච්ඡා කර බවත් ජනපති සමග රාජපක්ෂ පවුලේ අය හා ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් ද සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු පැවසීය.

ජෝන් අමරතුංග ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකට පිළිතුරු දුන් එස්.බී.දිසානායක ඇමැතිවරයා එය එතරම් ඔළුවට ගත යුතු දෙයක් නොවන බව ප්‍රකාශ කළේය.