අපි එකිනෙකාට ඉතා ළංව වැතිර සිටියෙමු. බිම මත වූ සීතල තෙත් බව හෝ තද ගතිය අපට දැනුණේවත් නැත.
ඇය අපේ රෙජිමේන්තුවට පැමිණි දා සිට ම අපි ආදරවන්තයෝ වීමු. මේ ගෙවන පස් වන මාසය ය. මට දහ නවයක් විය. ඇයට දහ අටකි. අප හමු වූයේ ඉතා රහසේ ය. මා මාණ්ඩලික අණදෙන නිලධාරියා වූ අතර ඇය ප්‍රථමාධාර ඒකකයේ සාත්තු සේවිකාවක් වූවාය. අප දෙදෙනා ආදරෙන් බැඳී ඉන්නා බව කිසිවෙක් නොදත්හ.
' මම කියන්නෙ අපට ලැබෙන්නෙ පුතෙක් " ඇය දසවැනි වාරයටත් මට කොඳුරා කීවා ය. ඇය මා සතුටු කිරීමට ඉතා ආශා කළාය.
" අපේ පුතා හරියට ඔයා වගේ වේවි. ''
අපිට දුවක් ලැබුණොත් එයා ඔයා වගේ ම වෙයි '' මා ඇයට කීවත් මගේ සිතුවිලි තිබුණේ ඉන් බොහෝ ඈතක ය.
මීටර් පන්සීයකට පමණ ඈතින්, පෙරමුණේ මගේ සේනාංකයට අයත් හේවායෝ තාවකාලික ආවරණ තුළ සහ යුද අගල්වල වැතිරී නිදා සිටියහ. ඊට මඳක් ඉදිරියෙන් ආරක්ෂක මුරපොළට එහා අංක 162 කඳු බිම ජර්මන් රොකට් වෙඩිවලින් වරින් වර ආලෝකවත් වේ. සතියකට පෙර වෙනත් සේනාංකයක් විසින් අල්ලා ගැනීමට උත්සාහ කළත්, අල්ලා ගැනීමට නොහැකි වූ එම කඳු බිම අල්ලා ගැනීම හෙට අලුයම මගේ සේනාංකයට පැවරී ඇත. මුළු සේනාංකයෙන්ම මේ ගැන දැන සිටියේ නිලධාරීන් පස් දෙනෙකු පමණි. අද හැන්දෑවේ අපේ රෙජිමේන්තුවේ ප්‍රධාන අණදෙන නිලධාරියා බිම්ගෙයි හමුදා මුලස්ථානයට අප කැඳවා මේ නියෝගයන් අපට දක්වා සිටියේ ය. ඉන් පසු ඔහු මා වෙත හැරිණ.
"හොඳින් මතක තියා ගන්නවා. කොළ පාට ගිනිදැල් විහිදිලා කත්යුෂා තුවක්කු පත්තු වෙච්ච හැටියෙ තමුසෙත් වෙඩි තියන්න පටන් ගන්නවා. එතකොට තමුසෙගෙ අසල් වැසි සේනාංක තමුසෙට එකතු වේවි. එ්ත් කඳු බිම අල්ලා ගැනීම තමුසෙට බාරයි. "
අපි දෙ දෙනා එකිනෙකා බදා ගෙන වැතිරී සිටියෙමු. මා ඇය සිප ගත්තත් තව ටික වේලාවකින් ඇතිවෙන්නට යන යුද්ධය ගැන නො සිතා සිටිය හැකි නො වී ය. ඇයට කුමක් සිදුවේදැයි මහත් සංවේගයට පත් මම විසඳුමක් සොයමින් මගේ මොළයට වධ දෙන්නට වීමි.
" දැන් මං දෙන්නෙකුට සැහෙන්න නිදාගන්න ඕනෑ." ඇය ගීතමය කට හඬින් මිමුනුවාය. " ඔයා දන්නව ද සමහර දා රෑ මට හිතෙනව, මං උදේට නැගිටින කොට මේ ඔක්කෝ ම ඉවර වෙලා තියෙයි කියලා. මේ යුද අගල්......මේ ලේ ගලා යාම්.... මේ මරණ ඔක්කෝ ම ඉවර වෙලා තියෙයි කියලා, දැන් අවුරුදු දෙකකටත් වැඩිනේ යුද්ධය පටන් අරන්. මේක සදාකාලික ව පවතින දෙයක් නෙමෙයි නෙ නේද? යුද්ධය නැත්තට ම නැති වුණු දවසක උදේක ඉර පායන එක ගැන හිතල බලන්න."
" මම දන්ම ම යනවා මේජර් හම්බවෙන්න. '' ඇගේ හිසට යට වී තිබුණු මගේ අත මෘදු ලෙස ඉවතට ගත් මම නැගිට සිටියෙමි. " මම එයාට සේරම කතාව කියනවා. මං කියනව ඔයාව අද ම ගෙදර යවන්න යි කියල. "
" ඔයා ඔච්චර මෝඩද? මේජර් ඔයා ව පණ පිටින් හම ගහයි "
ඉන් පසු රෙජිමේන්තුවේ ප්‍රධාන අණදෙන්නා ගේ ගැඹුරු රළු කටහඬ අනුකරණය කරමින් ඇය මුමුනන්නට වූවාය.
" තමන්ගේ යටත් සේවක සේවිකාවෝ එක්ක අයථා සම්බන්ධ කම් පවත්වන්න යෑමෙන් සිද්ධ වෙන්නෙ තමන්ගේ සේනාංක තිබිය යුතු සටන්කාමී ගතිය පහළ බසින එක යි. නිලධාරියෙකු ළඟ තිබිය යුතු බල සම්පන්නකම පිරිහිලා යන එකයි. කවුරු හරි නිලධාරියෙක් ඒ වගේ පටලැවිල්ලක් ඇති කරගෙන ඉන්නව මට අහු වුණොත් එහෙම මං එයාව කෙළින් ම පන්නල දානවා, එයාගේ තාතාන්තරේ මොකක් වුණත් මට කමක් නෑ. ජීවිතේට ලබාගන්න බැරි විදියෙ සහතිකේකුත් මගෙන් එයාට ලැබෙයි. ඉස්සෙල්ල යුද්ධය දිනා ගනිමු. ඊට පස්සෙ පුළුවන් තමන් කැමති ඕනැම කෙනෙකුට ඕනෑම තරමක් ආදරය කරන්න. ඒත් සේනාංක බාර නිලධාරියෙක් හැටියට දැනට මම ඒක සම්පුර්ණයෙන් ම තහනම් කරනවා."
මහත් සතුටට පත් ඇය නැවතත් වැතිර ගෙන හඬ නොනැඟෙන පරිදි සිනාසුණේ කිසිවෙකුට නැසෙන ලෙසිනි. මේජර්ගෙන් හොඳක් නොවන බව මම දැන සිටියෙමි. ඉතාමත් විනයගරුක පුද්ගලයෙකු වූ මේජර්, යුද්ධය ගැහැනුන්ට සහ අදාරයට ඉඩක් නැති තැනක් බව අපට ඒත්තු ගන්වා තිබිණ.
" කොහොම වුණත් මම යනවා ලොක්ක ව මුණ ගැහෙන්න.
"ෂ්...." ඇය ඇගේ කම්මුල මගේ කම්මුලෙහි ඇතිල්ලුවාය. ටික වේලාවකට පසු සුසුමක් හෙළූ ඇය කොඳුරන්නට වූවාය.
" මම ඒ ගැන බලා ගන්නම්. මං ඒ ගැන සේරම හිතල ඉවර යි. තාත්ත වෙන්නෙ ඔයා නෙමෙයි.
" තාත්ත වෙන්නෙ මම නෙමෙයි.'' මගෙ සිරුර ගිනි ගන්නා සේ දැනිණ. '' ඔයා මොනවද මේ කියන්නේ? '
" ඔයා කොච්චර මෝඩ ද ! ඇය සතුටින් සිනාසුණාය.
" දෙවියන් ගෙ පිහිටෙන් ළමයා ඔයා වගේ නුණොත් - මං ඒ ඔක්කොම බලාගන්නම්කො. උප්පැන්න සහතිකෙනුයි හැම අතින් මයි ඔයා තමයි තාත්තා. නමුත් මං දැන් මේජර්ට කියන්න යන්නෙ වෙන ම කතාවක්. ''
හැම විටම අවංක වුත් දරුවකු සේ සත්‍යවාදී වූත් ඇය ගේ මේ කපටි ප්‍රයෝගකාරී බව මා පුදුමයට පත් කෙළේය.
" තාත්ත කවුරු යි කියල ද ඔයා කියන්න යන්නේ ?"
" සටනකදී මැරිච්ච එක්කෙනෙකුගේ නමක් කියනවා. ''
" මැරිච්ච මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න.''
"එහෙනම් කින්දියෙෆ් "
සාජන්ට් කින්දියෙෆ් කඩවසම් සල්ලාල තරුණයෙක් විය. හොඳට ම බීමට ඇබ්බැහි වී සිටි ඔහු ළඟ දී සොරකමකට අසු වී සේනාංකයෙන් පහකර දමන ලදී.
දැඩි ලෙස හිත සසල වී ගිය මම මගේ පිට කබාය විවර කොට ඇය මා වෙත තුරුලු කර ගතිමි.
" ඔය! ඉවසන්න පුරුදු වෙන්න.'' බියපත් වූ ඇය දෑත් මීට මොළවා මගෙ පපුව මත තැබුවා ය.
" ඔයා අපි ව පොඩි කරනවා. (ඇය ගැන බහු වචනයෙන් කතා කිරීමෙන් ඇය ළමයෙකු මෙන් සතුටට පත් වූවා ය.)
" ඔයා කොච්චර මෝඩ ද! හැබෑට ඔයාට මාව ම හම්බවෙච්ච එක ඔයාගෙ වාසනාවක්. මං එක්ක ඉන්නකං ඔයාට කවදාවත් වරදින්නේ නෑ. '
ඇය සිනාසුණේ සතුටිනි. එහෙත් මට එසේ සිනාසීමට හැකි කමක් නො වීය.
" මේ අහන්න. ඔයා දැන්මම ගිහිල්ල මේජර් ව හම්බවෙන්න. '' මම කීවෙමි.
"මේ මහ රෑ "
'' මං ඔයාව ගිහින් ඇරලවන්නම්. ඔයා ලොක්කට කියන්න ඔයා ඉන්න තත්වයේ හැටියට මෙහේ ඉන්න බැහැයි කියල. ''
" ඒත් ඒක ඇත්ත නෙමෙයි නෙ."
'' ඒ වුණාට මං වෙනුවෙන් ඔයා මෙහෙන් පිටවෙලා යන්න ඕනෑ. ඔයා මෙහේ ඉන්න එක අන්තරාදායක යි. බැරි වෙලා හෙට උදේ පටන් ගන්න තියෙන සටනෙදී .....'
" මොනව ? හෙට උදේ සටනක් ඇය මහත් උනන්දුවෙන් ඇසුවාය. '' ඔයා ඇත්ත ම ද ඔය කියන්නේ.?"
" ඔව් ඇත්තමයි. "
ස්වල්ප වේලාවක් ඇය නිහඬ ව වැතිර සිටියාය. එහෙත් ඇගේ හුස්ම ගන්නා හඬ අනුව, මට හුරු පුරුදු ඇගේ ආදරණිය හඬ අනුව ඇය කැලඹීමට පත් ව ඇති බව මට හැගිණ.
"කමක් නෑ. එක් කෙනෙක් විතරක් සටනෙන් පැනල යන්න ඕනැ නෑ.'' අවසානයේ දී ඇය කීවා ය. '' මට ඕනැ කළත් මට ඒක කරන්න හම්බවෙන්නෙත් නෑ. වෛද්‍ය කොමිසම මාව පරීක්ෂා කරල තීන්දුවක් දෙන්න කල් යනව නේ.......මං හෙට මේජර්ට කතා කරන්නම්.''
මම කිසිවක් නොකියා සිටියෙමි. කීමට තරම් කිසිවක් මට සිතාගත හැකි නොවීය.
" ඔයා ඇත්තට ම හිතනවද මං ගිහින් ලොක්කට කතා කරයි කියලා. ඇය හිටි හැටියේම කොඳුරන්නට වූවාය. '' ඊට වැඩිය හොඳයි මං මැරෙන එක. මේජර් මට හැම තිස්සෙම කිව්වෙ ......
" හොඳට මතක තියාගන්න ඕනෑ ඔළුව පාවිච්චි කරල වැඩ කරන්න.''
" ඒත් මං කොහොම ද වැඩ කරල තියෙන්නේ ....'' වචන ගිලගත් ඇය පසෙකට හැරී ඇගේ කබායේ අත් තුළ මුහුණ සඟවා ගත්තාය. නිහඬව ඉකි බිඳී ඇගේ සිරුර ගැස්සිණ. ඇය මා වෙත තුරුලු කරගත් මම ඇගේ මුහුණ, නළල සහ දෙනෙත් සිප ගතිමි. ඇගේ කඳුළුවල ලුණු රස මට දැනිණ.
' මම දැන් යන්නම්." ඇය කෙඳිරුවා ය. " ඔයා මාව ඇරලවන්න එනවද? ''
සේනාංකයේ වෛද්‍ය මධ්‍යස්ථානය පිහිටා තිබෙන තෙත් වූ අන්ධකාර වූ පටු මිටියාවත දෙසට අපි ගමන් කළෙමු. යන්තමින් ඉස්සීගෙන එන ඇගේ උකුළු පෙදෙසින් අල්ලා මම ඇය මා වෙතට වත්තම් කරගත්තෙමි. මම ඇය දැතින් න්ම අල්ලාගෙන ඇයට වැටෙන්නට හෝ ලිස්සා යාමට ඉඩ නොදී පියවරින් පියවර පරිස්සමින් ගෙන ගියෙමි. හෙට අලුයම ඇතිවන සටතේදීත් ඇය මට මේ විදියට ම ආරක්ෂා කරගත හැකි නම් ඇයට දිවීමටත් පය පැකිළී බිම ඇද වැටීමටත්, ආරක්ෂා සහිත ස්ථානයක් කරා තුවාල කරුවන් රැගෙන යාමටත් සිදුවනු ඇත.
ඒ සිදුවීමෙන් පසු දැන් අවුරුදු පහළොවක් ගත ව ඇතත් මේ ඊයේ සිදුවුණාක් මෙන් මට එය මතකය. එදා අරුණලු නැඟෙත් ම අහස පුරා පැතිරුණ " කත්යූෂා '' මෝටර් වෙඩිවල කොළ පැහැති එළිය සමග කාලතුවක්කු වෙඩි ද සතුරාට පහර දුන්නේ කන් බිහිරි කරවමිනි.
හිරු නැඟ එන විට මම ඉතිරි වූ සෙබළුන් සමග කඳු බිම අල්ලා ගැනීමට ඉදිරියට ගියෙමි. පැය භාගයකට පමණ පසු ජර්මානුන් ගේ සවිමත් යුද අගල්වල සිට රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමා සහ අනෙකුත් නිලධාරිහු මට ප්‍රීතිය ප්‍රකාශ කළහ. මා වැළඳ ගත්හ. මගේ අතට අත දී සුබ පැතුහ. මම එහි ලී කොටයක් මෙන් සිටගෙන සිටියෙමි. මට කිසිවක් නොදැනිණ. කිසිවක් නොඇසිණ.
"මේ ඉර..අනේ මට එය ආපසු ක්ෂිතිජය තුළට ගිල්ලන්න පුළුවන් නම් ඈ ජීවත් වූ ඒ අලුයම් කාලය නැවත කැඳවා ගත හැකි නම් පැය දෙකකට ඉස්සෙල්ල අපි තුන්දෙනෙක් හිටිය...."
එහෙත් කිසිදු කරුණාවකින් තොරවම ඉර සෙමින් නැගී ආවේය. මම කඳු බිම මත සිටගෙන සිටියෙමි. ඇය ඒ අසල නැවතී සිටියාය. මළ සිරුරු භූමදාන කරන කණ්ඩායම ඒ අසල එහා මෙහා යනු මට දැක ගත හැකිවිය.
ඇය මට කෙතරම් වටිනා කෙනෙක් වී දැයි කිසිවෙක් නො දත්හ. අප තිදෙනෙකු වූ බවත් කිසිවෙක් නොදත්හ.
පරිවර්තනය
රම්‍යා පුෂ්පලතා අමරසිංහ
ඇඳුම් ආයිත්තම් වලින්තදබද වුණු ෂොපින් මෝල් එකේ දැනෙන්නේ ගම්බද පොළක දැනෙන ගතියක්.වායු සමීකරණ යන්ත්‍රවලට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් ඒ සීමිත ඉඩකඩේ ගාල් වෙ
මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.
’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.
සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ
සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව
“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්‍රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අළු වී ගිය අලුයම