IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


මෛත්‍රී අලුත් ආයුධ සමග

මෛත්‍රීට වෙච්ච දේ

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙනි. ඔහු කීවේ පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් සම්බන්ධයන් තමා දන්නා බවය. තමා දන්නා රහස් උසාවියේ දී හෙළි කළ හැකි බව ඔහු මාධ්‍යයට කීවේය. මෛත්‍රීගේ මේ ප්‍රකාශය ළැව්ගින්නක් මෙන් මාධ්‍ය හරහාම පත්තු වූයේ ඔහු උසාවියට ද ගෙන්වන තැනට පත් කරමිනි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෛත්‍රී ගිය සතියේ සිය කාර්්‍යාලයට කැඳෙව්වේය. එහිදී පැය හයක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රකාශ ගත් සීඅයිඩීය ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දුන්නේය.  ඒ අනුව අධිකරණය ගිය බ්‍රහස්පතින්දා මෛත්‍රියට දැනුම් දුන්නේ ලබන හතරවෙනිදා උසාවියට පැමිණ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙසය.
මෛත්‍රී මේ ප්‍රකාශය මහනුවරදී කරද්දී මෙතරම් ගැටලු‍වකට මුහුණ දෙන්නට සිදුවෙනු ඇතැයි ඔහු  සිතන්නට නැත. ඒත් ඔහු කළ ප්‍රකාශය ඉතාම බරපතළ එකක් බැවින් එය රටේම අවධානය දිනාගත් පුවතක් බවට ද පත්ව තිබේ.

 

මෛත්‍රී සීඅයිඩියේ


“මම ප්‍රකාශය දෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා. ඒකට අවශ්‍ය කටයුතු සකස් කරන්න“ නීතිඥවරුන්ට මෛත්‍රී දැන්වීය. පාස්කු ප්‍රහාරයේ ප්‍රකාශයෙන් හිටපු ජනාධිපතිගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි නිසා ආරක්ෂාව භාර නිලධාරීන්ද වෙනදාට වඩා ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබිණි. හිටපු ජනාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ එහි පිටුපස දොරටුවෙනි. ප්‍රභූවරයෙකුගේ ආරක්ෂාව අනුව, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවීම සිදු නොකළ අතර පිටුපස දොරටුවෙන් ඇතුළුවීමට අවස්ථාව සලසා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දොරටුව අසලට පසුගිය 25 වැනිදා උදේ 9 වන විටත් දෙස් විදෙස් මාධ්‍යව්දීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විශාල පිරිසක් පැමිණ සිටි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු, ක්‍රියාකාරී 80කට අධික පිරිසක් පැමිණ සිටියහ. ප්‍රකාශය ලබා දීමට පැමිණි හිටපු ජනාධිපති සමඟ පොලිස් නිලධාරීන්ද ඉතා සුහදව කටයුතු කර තිබිණි. 
එහිදී ශ්‍රීලනිප ප්‍රධාන ලේකම්, දුෂ්මන්ත මිත්‍රපාල, කැස්බෑව සංවිධායක නීතිඥ කීර්ති උඩවත්ත, හිටපු පළාත් අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ ඇතුළු පිරිසක් මාධ්‍ය වෙත අදහස් පළ කළහ. මේ අතර මෛත්‍රීගේ පාස්කු ප්‍රහාරය ගැන සීඅයිඩීයට පැමිණිලි කළ අරගලයේ සිටි පුද්ගලයෙකුත්, අරගලයේ සිටි ප්‍රසිද්ධ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු පමණ සීඅයිඩීය ඉදිරිපිටට පැමිණ තිබුණේ මෛත්‍රී සීඅයිඩීයට පැමිණෙන තුරු වුවද පසුව ඔවුන්ද ශ්‍රීලනිප ක්‍රියාකාරීන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් කියා සිටියේ “අපිට මෛත්‍රී එක්ක ප්‍රශ්නයක් නෑ. මෛත්‍රී කරන්නේ මේ හොඳ දෙයක්. අපිටත් ඕනැ පාස්කු ප්‍රහාරය එල්ල කළ ඇත්ත මහ මොළකරුවන් හෙළි කරගන්න.“ යනුවෙනි.
සීඅයිඩීයට ගොස් ප්‍රකාශය ලබා දීමෙන් පසු මෛත්‍රී සීඅයිඩී පිටුපස දොරෙන්ම යළි නිල නිවසට පැමිණියේය. එහෙත් මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ පිරිසක් ඒ වන විටත් සීඅයිඩී ප්‍රධාන දොරටුව අසලට වී සිටියේ මෛත්‍රී එනතුරුය. නිල නිවසට පැමිණි මෛත්‍රී, එහි පැමිණි සිටි ක්‍රියාකාරීන් පිරිසක් සමඟ සුහද කතාබහක නිරත වුවද තමන් සිදු කළ ප්‍රකාශය ගැන කිසිවක් හෝ සීඅයිඩීය තුළදී සිදු වූ කාරණා ගැන හෝ සඳහන් නොකිරීමට වගබලාගත්තේය. “මේකේ බරපතළකම සහ අවදානම සුළුවෙන් තකන්න එපා. මේ කරුණු හෙළි කිරීමෙන් මටත් මගේ පවුලේ අයටත් දැඩි අවදානමක් තියෙනවා” යැයි මෛත්‍රී කියා තිබුණේ ඉතා කිට්ටුවන්තයන් කිහිප දෙනෙකුටය. 
මේ අතර, බංගලාදේශයේ තානාපති කාර්යාලයේ පැවැති රාජ්‍ය තාන්ත්‍රික උත්සවයකදී ද ප්‍රධාන මාතෘකාව වී තිබුණේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ පාස්කු ප්‍රහාරයේ ප්‍රකාශය ගැනය. එහිදී පැමිණ සිටි රාජ්‍ය 
තාන්ත්‍රිකයන්ගේද දැඩි අවධානයක් මේ පිළිබඳව යොමුවී ඇති අතර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතුමාගේ ප්‍රකාශ කුමක් වේද යන්න ඔවුන්ද කුතුහලයකින් පසුවෙන බවයි වාර්තා වෙන්නේ.

 

මෛත්‍රීගේ කටඋත්තරයට ඇමතිවරයෙක් උරණවෙයි


මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශීය තානාපතිවරු සඳහා පවත්වන ඉෆ්තාර් සැමරුම යෙදී තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රී සී.අයි.ඩියට ගිය දිනයේ සවසය. හිල්ටන් හෝටලයේ පැවති ඉෆ්තාර් සැමරුමට ආරාධනා ලැබ සිටි ප්‍රබල ඇමතිවරයෙක් සහ මහින්ද රාජපක්ෂ මහතා කතාබහ කරමින් සිටියේ තානාපතිවරු පැමිණෙනතුරුය. මේ අවස්ථාවේ පණිවිඩයක් ආවේ මෛත්‍රී සී.අයි.ඩියේ දී කළා යැයි කියන ප්‍රකාශයක් ගැනය. එයින් කියවුණේ මේ ප්‍රහාරයට ප්‍රබල රටක් සම්බන්ධ යැයි මෛත්‍රී කියා ඇති බවය . මෙය ඇසුණු සැණින් ඇමතිවරයා කිපුණේය. 
“මේ පිස්සෙක්, පිස්සෙක් සර්. දැන් ඉතින් මටනේ මේ ඔක්කොම කුණු කරගහන්න වෙන්නේ. ” ඇමතිවරයා මහින්ද රාජපක්ෂට පැවසීය. මහින්ද ඔහුව සන්සුන් කළේය. එහෙත් මෛත්‍රී අවුළන ගින්න හිතනවාට වඩා බරපතළ බව පෙනෙන්නට පටන් ගෙන තිබේ. එයට හේතුව මෛත්‍රී පසුගිය දවසක තවත් ප්‍රබල රටක කළ පෞද්ගලික සංචාරයයි. මේ සංචාරයෙන් පසුව මෛත්‍රී සන්නද්ධ වී ඇතැයි සමහරුන්ගේ මතයයි. කෙසේ වුවද මෛත්‍රී අධිකරණයේ දී කියන දේ අනුව ඉදිරියේ දී රට ගිනිගනු ඇතිද නැද්ද යන්න තීරණය වනු ඇත.

 

මෛත්‍රීත් ගේමකට සැරසෙයි


ඉතා වැදගත් තීන්දු රැසක් දැනුම් දීම සඳහා වහාම මේ සති අන්තයේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන්, විධායක සභිකයන්, ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්, පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සියලු‍ නිලධාරීන් පක්ෂ මූලස්ථානයට කැඳවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ.
මෙම රැස්වීමට පැමිණීම අනිවාර්යය බවටද ලිපියක් මගින් සියලු‍ දෙනාට දන්වා තිබේ. එහිදී සන්ධාන ගත වෙනවා ද? තනිව තරග කරනවා ද? යන්නත් තීන්දු කිරීමට නියමිතයි. 
දේශපාලන පෙරළි සිදුවෙන සාකච්ඡා කිහිපයක්ද ආරම්භ කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමට පොහොට්ටුවේ බස්නාහිර පළාතේ ප්‍රබලයින් 6ක් සාකච්ඡා පවත්වා එකඟතාවකට පැමිණ තිබේ. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, දේශපාලනයේ මහ ගෙදර වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ යළි වැඩ කිරීමට තමන් කැමැත්තෙන් පසුවෙන බවයි. නැගෙනහිර පළාතේ ප්‍රබල දෙමළ නායකයන් කිහිප දෙනෙකුද සාකච්ඡා ආරම්භ කර තිබේ.

 

මැතිවරණවලට පොහොට්ටුව බෙදෙයි


මේ වෙනවිට රටේම කතාබහ මැතිවරණ ගැනය. සමහරු ජනාධිපතිවරණය ඉල්ලති. තවත් සමහරු මහ මැතිවරණය ඉල්ලති. ජනාධිපතිවරයා මෙන්ම යූ එන් පියත් කියන්නේ මුලින්ම එන්නේ ජනාධිපතිවරණය බවය. එහෙත් ජනාධිපතිවරයාට සහාය පළ කරන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කියන්නේ ද ජනාධිපතිවරණය මුලින් පැවැත්විය යුතු බවය. පොහොට්ටුවේ තවත් පිරිසක්  සිටින්නේ ඊට වෙනස් මතයකය. පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාට සමීප පිරිස දිගින් දිගටම කියන්නේ මහ මැතිවරණයක් අවශ්‍ය බවය. හිටපු ජනපති  මහින්ද රාජපක්ෂ මෙන්ම නාමල් රාජපක්ෂද කියන්නේ මහ මැතිවරණයක් පැවැත්වීම වඩා සුදුසු බවය. 
පොහොට්ටුවේ ප්‍රබලයකු මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය සමීපතමයකු බවට මෑතකදී පත්ව සිටින ප්‍රසන්න රණතුංග දිගින් දිගටම ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් කියන්නේ ජනාධිපතිවරණය මුලින් පැවැත්විය  යුතු බවය. ඔහුගේ අදහසට අනුව නම් ජනාධිපතිවරණයට වෙනත් කිසිදු සුදුස්සෙකු නැත. ඉන්නේ රනිල් වික්‍රමසිංහ පමණි. මෑතකදී  මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රසන්න කීවේ ජනාධිපතිවරණයට සුදුස්සකු පොහොට්ටුවේ කිසිදු කෙනෙකු පේන තෙක් මානයක නැති බවය.

 

නාමල්ට සංවිධායකකම දෙන්න පොහොට්ටුව රැස්වේ?


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව ඉකුත් බදාදා බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටු කාර්යාලයේ දී රැස්විය. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.  හිටපු ජාතික සංවිධායකවරයා වන බැසිල් රාජපක්ෂ මහතා ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ රැසක් ද ඊට  සහභාගි වී සිටියහ. ආණ්ඩුව සමග කටයුතු කරමින් ජනාධිපතිවරයාට සමීපව සිටින ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වී සිටි අතර, ආණ්ඩුව සමඟ සිටින තවත් කිහිප දෙනෙකු සහභාගි වූයේ නැත. පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා ලෙස මීට පෙර කටයුතු කළේ හිටපු ඇමති බැසිල් ය. ඔහු පහුගිය කාලයේ පක්ෂයේ කටයුතුවලට ඍජුව මැදිහත් වුවද ජාතික සංවිධායක ධුරයෙන් ඈත්ව සිටියේය. පොහොට්ටුවේ ජාතික සංවිධායක ධුරයට නාමල්  රාජපක්ෂ මන්ත්‍රීවරයා පත් කරන්නට යෝජනා විය. යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා විසිනි. ඔහු බැසිල් රාජපක්ෂගේ  අතිශය සමීපතමයෙකි. කැටගොඩගේ යෝජනාවට විධායක සභාවේ සියලු‍ දෙනා ඒකමතිකව කැමැත්ත පළ කළහ. බැසිල් කීවේ පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට  තරුණ මන්ත්‍රීවරයකු පත්කිරීම පිළිබඳව සතුටු වෙන බවය. තමා පක්ෂයේ තනතුරු නොදැරුව ද පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් දිගටම කැපවී වැඩ කරන බවද බැසිල් කීවේය.
මන්ත්‍රීවරු කිහිපදෙනෙකු හිටපු ජනාධිපති මහින්දගෙන් විමසා සිටියේ ‘‘සර් ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන මොකද කියන්නේ කියාය.”‍ 
‘‘ඒ ගැන කලබල වෙන්න එපා. පක්ෂය නිල ප්‍රකාශයක් සිදු කරනවා. ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන  ඉදිරි මැතිවරණවලට තරග  කළ යුතු ආකාරය ගැන හිතුමතේ අදහස් දක්වන්න එපා’’. මහින්ද අවවාදයක් දෙමින් කීවේය
ඒ සමගම මහින්ද කීවේ සුදුසු ජනාධිපතිවරණ අපේක්ෂකයන් හා මැතිවරණයට තරග කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අපි දැනටමත් සමීක්ෂණයක් කරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් පක්ෂය ඉදිරි පෙළ නායකයන්, ක්‍රියාකාරීන්, වෘත්තියේදීන් සමඟ සාකච්ඡාවක් කරගෙන යනවා,  මහින්ද කීවේය.
අනතුරුව කතාබහට ලක් වුණේ පොහොට්ටුවේ මැයි දින සැමරුම ගැනය. බැසිල් කීවේ මැයි දිනය මෙවර කැම්බල් පිටියේ පවත්වන බවය. ඒ සඳහා කමිටුවක්ද පත්කර ඇති බව ඔහු කීවේය. මහින්ද ද කීවේ මැයි දින සැමරුම ඉතාම සාර්ථකව පැවැත්විය යුතු බවය.
පොහොට්ටු කාර්යාලයේ රැස්වීම අවසන් වී එළියට ආ ප්‍රසන්නගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ ජනාධිපති අපේක්ෂකයා ගැනය.
‘‘ සුදුසු අපේක්ෂකයකු පොහොට්ටුවේ තාම නෑ. ඒ නිසා මම නම් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දෙන්න ඕනැ කියලයි. ඒක මම දිගටම හිටපු මතය. මම ඒ මතයෙ දිගටම ඉන්නවා’’  ප්‍රසන්න කීවේය
ඒ සමගම ඔහු කීවේ මහ මැතිවරණය නොව  ජනාධිපතිවරණය මුලින් පැවැත්විය යුතු බවය. ‘ඒ වුණාට පොහොට්ටු අය ඉල්ලන්නේ මහ මැතිවරණයක් නේ’ මාධ්‍යවේදියෙක් විමසීය. ‘ඒක එයාලගේ මතය වෙන්න පුළුවන්. නමුත් මම නම් කියන්නේ ජනාධිපතිවරණය තමයි කලින් තියන්න ඕනැ’ ප්‍රසන්න කීවේය
මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජාතික සංවිධායක ධුරයට පත්වීම සම්බන්ධයෙන් ද ප්‍රසන්න කතා කළේය. ඔහු කීවේ නාමල්ට තව කල් තිබෙන නිසා ජාතික සංවිධායකවරයා ලෙස බැසිල් දිගටම සිටියා නම් සුදුසු බවය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වගකීම් භාර ගැනීම හොඳ නමුත් ඔහුට ජනාධිපති අපේක්ෂකත්වයට තව කල් තිබෙන බව ප්‍රසන්න කීවේ කුමන අරමුණකින් ද යන්න පැහැදිලි නැත.
නාමල්ගේ හිතවතකු මෙන්ම, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතමයකු ලෙස කටයුතු කළ  පුද්ගලයෙකු පසුගියදා සමාජ මාධ්‍යයට ලිපියක් යොමු කරමින් කාංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග , ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු කිහිපදෙනෙකු විවේචනය කර තිබිණි. පොහොට්ටු විධායක සභා රැස්වීම අවසානයේ පිටව යද්දී මෙම කාරණය ද පත්තු විය. එම පුද්ගලයා දුටු කාංචන විජේසේකර ඇමැතිවරයා ඔහුට බැණ වැදුණේ ‘‘ඔයා අහුවෙනකන් තමයි මම හිටියේ. ගෝඨාභය මහත්තයට ලණු දීල ඒ මනුස්සයත් විනාශ කළා. දැන් පක්ෂයත් විනාශ කරන්න යනවා’’ කියමිනි.

 

නාමල් සංවිධායකවීම ගැන ආණ්ඩුවේ කතා


බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති රනිල් කාර්යාලයට එද්දී පිරිසක් බලා සිටියේ ඊට පෙර දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ තොරතුරු ජනපති කනේ තැබීමටය. 
“පොහොට්ටුවේ ජාතික සංවිධායක ලෙස පත් කරන්න නියමිත වෙලා ඉඳලා තියෙන්නේ රෝහිත අබේගුණවර්ධන කියලා තමයි දැන ගන්න ලැබුණේ. නමුත් නාමල්ව පත් කිරීම කාන්තා පාර්ශ්වයකගේ මැදිහත්වීමෙන් වුණා කියලා තමයි අපිට කට්ටිය කිව්වේ.” ඇමති මනූෂ කතාව ආරම්භ කළේ එලෙසිනි.
“බැසිල් ජාතික සංවිධායක කමින් අයින් වුණාට පස්සේ චමල්, මහින්ද, බැසිල්, ගෝඨාභය මුණ ගැසිලා ජාතික සංවිධායක ධුරය දෙන කෙනා ගැන කතා කරලා තියෙනවා. එතනදී චමල් ගේ අදහස වෙලා තියෙන්නේ, රාජපක්ෂවරු ටික කාලයකට තනතුරු අත් හරින්න ඕනෑ කියන එකයි. මොකද, රාජපක්ෂවරුන්ට විරුද්ධ මතයක් ජවිපෙ, සජබ සහ පොහොට්ටුවෙන් කැඩී ගිය පිරිස නිර්මාණය කරන නිසා. රාජපක්ෂවරුන්ගෙන් පිට කෙනෙකුට මේ තනතුර දීලා එහෙම එකක් නෑ කියලා රටට පෙන්නමු කියන කාරණය තමයි චමල් කියලා තියෙන්නේ. ඒකට හැමෝම කැමති වෙලා තියෙනවා.”  ආශු මාරසිංහ කීවේ තමන්ට ලැබුණ තොරතුරුය.
“ජාතික සංවිධායක වෙනුවෙන් නම් දෙකක් යෝජනා වෙලා තියෙනවා. එකක් ප්‍රසන්න රණතුංගගේ අනෙක් නම රෝහිත අබේගුණවර්ධනගේ. තමන් ආණ්ඩු පක්ෂ සංවිධායක නිසා මේක බාර ගැනීම අනෙක් පක්ෂ එක්ක ගනුදෙනු කිරීමට බාධාවක් කියලා තනතුර බාර ගන්න ප්‍රසන්න කැමති වෙලා නෑ. හැබැයි රෝහිත මේ තනතුර ගන්න කැමති වෙලා ඉදිද්දි තමයි වැඩේ අනෙක් පැත්තට හැරිලා තියෙන්නේ.” මන්ත්‍රී වජිර ද කතාවට හවුල් වූවේ එලෙසිනි.
“ඇමතිවරු විධායක සභාවට ගිහිල්ලා තියෙන්නේ නාමල්ව පත් කරන එක දැනගෙන නොවෙයි. වැඩ රාජකාරි නිසා බොහෝ දෙනෙක් ප්‍රමාද වෙලා ගිහින් තියෙන්නේ. නමුත් මේ පත්කිරීම නිසා එයාලා පුදුම වෙලා තියෙනවා. චමල් ඇමතිතුමා කලකිරිලා පැත්තකට වෙලා ඉන්නේ කියලා එයාගේ මිතුරෙක් මට කිව්වා.” මනුෂ යළි හඬ අවදි කළේය.
“දැන් මේ කට්ටිය දෙකට බෙදිලා ඉන්නේ. බැසිල් රාජපක්ෂත් කලකිරිලා ඉන්නේ කියලා ආරංචියි. අනෙක, නාමල්ගේ පත්කිරීම ගැන මාධ්‍යයට ප්‍රකාශ දුන්නු කිසිවෙක් නාමල්ව උලු‍ප්පලා කතා කළේ නෑ. දියාරු විදිහට තමයි ප්‍රකාශ දුන්නේ. මේ බෙදීම ඉදිරි ඡන්දවලටත් බලපාන්න පුළුවන්. මෙතනදි අපිත්පරිස්සම් වෙන්න වෙනවා.” රංගේගේ කතාව එය විය.
“පක්ෂෙත් අවුල්, පවුල ඇතුළෙත් අවුල් ඇති වෙලා. ඒ නිසා අපි බැලන්ස් එකේ යන්න වෙනවා. අපිට හැමෝම එක්ක තමයි ජනාධිපතිවරණයට යන්න වෙන්නේ.” කියමින් ආශු කතාව අවසන් කරද්දී සියල්ල සාවධානව අසා සිටි ජනපති සිනා සුණා මිස කිසිවක් කියන්නට ගියේ නැත.

 

උත්තර සභාගයත් අලු‍ත් සන්ධානයකට මුල පුරයි


විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, ජී. වීරසිංහ ඇතුළු කණ්ඩායමකින් යුත් උත්තර ලංකා සභාගය ගිය සති අන්තයේ මහරගම ජාතික තරුණ සේවා සභාවේදී රැස්වී සමුළුවක් පැවැත්වූයේ ඉදිරි මැතිවරණ වෙනුවෙන් නව සන්ධාන වැඩපිළිවෙළක්  ගොඩනැගීම වෙනුවෙනි. ඒ සඳහා අතුරලියේ රතන හිමි, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායම්වලට ද ආරාධනා කර තිබිණි. ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ සඳහා සියලු‍ පක්ෂ එක්ව අලු‍ත් සන්ධානයක් ගොඩනැගිය යුතු බවට එහිදී අදහස් පළ වූ අතර, දයාසිරි, ඩලස් ඇතුළු කණ්ඩායම ද එහිදී අදහස් දක්වමින් කීවේ නව වැඩපිළිවෙළක අවශ්‍යතාව ය. එහෙත් ඩලස්ලා දයාසිරිලා එම සන්ධානයට එක්වෙන්නේදැයි තාම නිශ්චිත ප්‍රකාශයක් කර නැත.

■ රාජ-දූත



අදහස් (0)

මෛත්‍රී අලුත් ආයුධ සමග

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 201 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 418 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 242 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 249 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 337 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 266 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 390 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1787 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1618 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site