IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


තැන තැන කසුකුසු අස්සේ පොදු අපේක්ෂක කතා

ආණ්ඩුව එක්ක එකතුවෙන්න හිතන්නෙවත් නෑ

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රුස්වීම පැවැත්වුණේ පසුගිය 8 වෙනිදා ය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි.


‘‘නායකතුමා මේ තැන් තැන්වල සමහරු කියනවා ඔබතුමා සහ සමගි ජන බලවේගය ආණ්ඩුව එක්ක එකතු වෙලා ඇමතිකම් අගමැතිකම් ගන්නවා කියලා මේක ඇත්තද?”‍
එහෙම ඇසුවේ චන්ද්‍රානි බණ්ඩාර ය. රවී සමරවීරද ඒ ගැන ඇසුවේය. 


‘‘මේව සම්පූර්ණ බොරු. මේ දුර්දාන්ත ආණ්ඩුව එක්ක එකතු වෙන්න අපි කිසි කෙනෙක් කැමති නෑ. එහෙම කිසි තීන්දුවක්වත්, සාකච්ඡාවක්වත් නැහැ. එහෙම සාකච්ඡාවක් කරන්න හිතන්නවත් ඉඩක් නැහැ”‍සජිත් සත්‍ය තත්ත්වය පැහැදිලි කළේය.


ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමඟ එක්නොවිය යුතු බවටත්, තනතුරු ලබා නොගතයුතු බවටත් සමගි ජන බලවේගයේ  කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණයක් ගනු ලැබීය.


යම් හෙයකින්  ආණ්ඩුව සමග එක්වීමක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීම හෝ එවැනි යෝජනා ගෙන ඒම ජනතාවගේ නාමයෙන් කරනු ලබන බලවත් වරදක් හෙයින් එවැන්නක් නොකළයුතු බවටත් එවැන්නක් සිදුකිරීම සපුරාම තහනම් බවටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කරනු ලැබීය.


‘‘හැබැයි එක දෙයක් විතරක් අපි කියනවා. රටට හිතැති ප්‍රගතිශීලී කටයුතු පිළිබඳව සහය ලබාදීමේදී පක්ෂයක් ලෙස සාකච්ඡා කරලා තීන්දු ගන්නවා”‍ සජිත් කීවේය.

ජනාධිපතිවරණයේ දී සජබෙන් පොදු අපේක්ෂකයෝ නෑ

කෘත්‍යාධිකාරිය ඒ අතරතුර තවත් විශේෂ කරුණකට අවධානය යොමු කළේය.
‘‘එළැඹෙන ජනාධිපතිවරණයේදී  සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළයුතුයි.”‍
මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර එහෙම කීවේය.


‘‘ඔව් ඒකේ කතා දෙකක් නෑ. පොදු අපේක්ෂකයෝ, වෙන වෙන අපේක්ෂකයෝ ඒවා නැහැ. සමගි ජන බලවේගයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. ඒ වගේම ඒ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත සන්ධානයක් හදනවා”‍ සජිත් කීවේය.
‘‘ඒක ගොඩක් හොඳයි. හැබැයි ඒ සන්ධානයේ නායකයා ඔබතුමා විය යුතුයි.”‍  රවී සමරවීර කීවේය. ‘‘අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඕන”‍
රවී සමරවීර ගේ යෝජනාව කෘත්‍යාධිකාරි මණ්ඩලය එක හඬින් අනුමත කළහ.


ඉන් අනතුරුව සාකච්ඡාවට ගැනුණේ පක්ෂයෙ තීන්දුවලට පිටින් කටයුතු කළ කිහිප දෙනා පිළිබඳව ගන්නා තීරණ ගැන ය. ඒ අනුව, පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ  තීරණවලට එරෙහිව කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් බලය පැවරීය.

නිකේෂල බලන්න සජිත් යයි

කඩුවෙල දී පොහොට්ටුවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ පහරකෑමට ලක්ව තුවාල ලබා සිටින සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම අරගලයේ ක්‍රියාකාරිකයෙකු ද වූ පියත් නිකේෂලගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිකුරාදා පෙරවරැවේ කොළඹ ජාතික රෝහල වෙත ගියේය.


එහිදී ඔහුගේ තත්ත්වය පිළිබඳව සොයා බැලූ සජිත් වෛද්‍යවරැන් කිහිප දෙනෙකුටද දුරකතනයෙන් කතා කොට ඔහුගේ තත්ත්වය පිළිබඳව සොයා බැලිය.
‘‘ඔයාට මොනවද වෙන්න ඕන?”‍ මොනවා හරි දෙයක් තියෙනවනම් දෙපාරක් හිතන්න එපා කියන්න. අධිකරණමය කටයුතු සම්බන්ධයෙන් ඕනනං මං අපේ නීතිඥ කණ්ඩායමක් යොමු කරන්නම්”‍ සජිත් කීවේය.


‘‘දැනට නීතිඥ කණ්ඩායමක් ඉන්නව සර්.ඔබතුමාගෙනුත් දෙන්න පුලු‍වන් නම් වටිනවා”‍ නිකේෂල කීවේය.
‘‘ඒ මොහොතේම සජිත් ජනාධිපති නීතිඥවරු දෙදෙනෙකුට කතා කොට ඔහුට සම්බන්ධ කොට දුන්නේ ය.
ඔහුගේ සුවදුක් බලා නැවත එන අතර එම රෝහලේ සිටි සෙසු රෝගීන්ගේ ද සුවදුක් බැලීමට සජිත් අමතක නොකළේය. රෝහල් වාට්ටු වල සිටි හෙද හෙදියන් විශාල පිරිසක් ද සජිත් පැමිණි බව සැලවීමත් සමග ඔහු හමුවීමට පැමිණ කතා කරන්නට විය.


රෝහලේ ප්‍රධාන ගේට්ටුව අභියස සිටි මාධ්‍යවේදීන් සමග අදහස් දැක්වීමට ද සජිත් අමතක නොකළේය.

චාල්ස්ට ආරාධනයක් 

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ගිය ජනපති රනිල්ට චාල්ස් රජුගෙන් හිමිවූවේ ගෞරවාන්විත පිළිගැනීමකි.  පොදු රාජ්‍ය මණ්ඩල නායකයින් ජනපති රනිල් මුණ ගැසී සාකච්ඡා කරද්දී ජනපති බිරිද මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ එක්වූවේ එහි කාන්තා සමුළුවකටය. ඇය එහිදි පිළිකා රෝගීන් ගැන කළ කතාව සැමගේ ඇගයුමට ලක්විනි.
ලන්ඩන් නුවරට ගිය රනිල් ඔවුන් නවාතැන්ගත් හෝටලයේ ආලින්දයේ කොටසක් වෙන් කර ගත්තේ චාල්ස් රජුගේ රාජාභිෂේකයට පැමිණෙන රාජ්‍ය නායකයින්, ව්‍යාපාරිකයන් මෙන්ම නිලධාරීන්ද මුණ ගැසී සාකච්ඡා කිරීමටය. රාජාභිෂේකයට පෙර පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුව පැවැතියේ එම ස්ථානයේ බැවින් ජනපති රනිල්ට රාජ්‍ය නායකයන් හා ව්‍යාපාරිකයන් මුණ ගැසීම පහසු වූවේය.


ජනපති රනිල් ව්‍යාපාරිකයන් රැසක් එහිදි මුණ ගැසුණු අතර මෙරට ආයෝජන අවස්ථා ගැන ඔවුන්ට පෙන්වා දුන්නේ දඹුළු ගොසින් තලගොයින් මරාගෙන ඒමේ පිරුළ ක්‍රියාවට නංවමිනි. සුහද හමුවේදී ජනපති අසලට පැමිණි චාල්ස් රජු ඔහුගේ පැමිණිම අගය කළේය.


එසැණින් ක්‍රියාත්මක වූ ජනපති රනිල් චාල්ස් රජු කලකට පෙර ශ්‍රී ලංකාවේ කළ සංචාරය ගැන සිහිපත් කර දුන්නේය. එසේම නැවත මෙරටට පැමිණීමට කැමති දැයි විමසා සිටි ජනපති ඔහුට මෙරට සංචාරයක් වෙනුවෙන් ආරාධනා කර සිටිමට ද අමතක නොකළේය.


පැරණි මතකයන් හා දෙරටේ ආර්ථික තත්ත්වයන් ගැන දෙදෙනා අදහස් හුවමාරු කර ගැනීමෙන් පසු චාල්ස් රජු පිටත්ව යද්දී ලංකාවට පැමිණිම ගැන සිතා බලන බව කීවේ ජනපතිට කිට්ටු වෙමිනි.

රංගේ ගේ අලි දමනය 

බ්‍රිතාන්‍ය සංචාරය නිමවා පැමිණි සඳුදා දින සිටම ජනපති යළි රාජකාරි ආරම්භ කළ අතර එදින සවස අමාත්‍ය මණ්ඩල රැස්වීමට ද සහභාගී වූවේය. ඊට පෙර ඔහු තවත් සාකච්ඡා වට කිහිපයක්ම ජනාධිපති කාර්යාලයේදී පැවැත් වූ අතර ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම ද ඉන් එකක් විය.


අඟහරුවාදා සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු රුස්වීමට ජනපති ද සහභාගී වූවේය. ජනපති මදක් පමා වී එහි පැමිණිය ද ඔහු අසුන් ගන්නටත් පෙරම පක්ෂ මහලේකම්  රංගේ බණ්ඩාර දෙස බලමින් මැයි දිනය සාර්ථකව පැවැත්වීම ගැන සුබ පැතීමට අමතක නොකළේය.
මහලේකම් රංගේ පක්ෂයේ බල මණ්ඩල පැවැත්වීම හා එහි ප්‍රගතිය ගැන දීර්ඝ විස්තරයක් කළේය. සති අන්තයේ මන්නාරම, වවුනියා හා මුලතිව් බල මණ්ඩල පිහිටුවීමට ගිය අවස්ථාවේ ජනතාව පළ කළ අදහස් කිහිපයක් ද රංගේ ජනපති කනේ තැබුවේය.


“සර් දැන් දමිළ මිනිස්සුන්ට උතුරේ දේශපාලන සංවිධාන එපා වෙලා ඉන්නේ. ඔවුන් ඒ හැම එකක්ම ප්‍රතික්ෂේප කරනවා. එකම බලාපොරොත්තුව ජනාධිපතිතුමා ගැන විතරයි.” රංගේ සිය අත්දැකිම කීවේ එලෙසිනි.


“සර් මහලේකම්තුමා වවුනියාවේ ඉඳලා එද්දී තනි අලියෙක්වත් දමනය කරලයි ඇවිල්ලා තියෙන්නේ.” ශමල් සෙනරත් කියද්දී සැවොම රංගේ දෙස බැලු‍වේ කුතුහලයෙනි.
“නෑ සර් මම චෙට්ටිකුලම් පහු කරලා තන්තිරිමලේ හාමුදුරුවෝ බැහැදකින්න එද්දී ලොකු වාහන තදබදයක් තිබුණා. ඒක මොකක්ද කියලා හොයලා බලද්දී තනි අලියෙක් මාර්ගය මැද නැවතිලා පාර දෙපැත්තෙම වාහන යන්න දෙන්නේ නැතුව අවහිර කරගෙන හිටියා. ඒ සතාව එතනින් අයින් කරලා වාහන යන්න හදලා දුන්නා. ඒ ගැන තමයි ශමල් මේ කියන්නේ.” රංගේ දුන්නේ එවැනි උත්තරයකි.


“නෑ නෑ ඊට වඩා දෙයක් වුනා කියලා තමයි අපිට ආරංචි.” රුවන් කීවේ සිනාසෙමිනි.
“එතන හිටපු අය මගෙන් ඉල්ලු‍වා අලියව එලවලා දෙන්න වෙඩි තියන්න කියලා. පස්සේ මම අහසට වෙඩි තිබ්බා. අලියා මගේ දිහා බලලා කැලේට දිව්වා.” මහලේකම් ඇඟට පතට නොදැනී කියද්දී සැවොම මුහුණට මුහුණ බලාගත්හ.


පසුව ජනපති රනිල් කීවේ පක්ෂ බල මණ්ඩල පැවැත්වීම් දිගටම කරගෙන යන ලෙසටය. රට පුරා බලමණ්ඩල 80 ක් 100 ක් පමණ පවත්වන ලෙස ජනපති රනිල් රංගේ දෙස බලමින් කීවේය. රංගේ ප්‍රතිචාර දැක්වූවේ ජූලි මාසය වන විට රට පුරා බලමණ්ඩල 80 ක් පමණ පැවැත්විය හැකි බවය.
නවීන් දිසානායක මෙන්ම රවී කරුණානායක ද එහි සිටි අතර බලමණ්ඩල පවත්වන්නැයි කියමින් පක්ෂයේ වගකීම් පැවරීම තුළ මහලේකම්ධූරයේ වෙනසක් නොවන බවට ඉඟියක් ජනපති දුන් බව එහි සිටි සිරිකොත නිලධාරින් එකි නෙකාට කියා ගත්හ.


බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිකොට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් උත්සවයක් බණ්ඩාරනායක සම්බන්ත්‍රණ ශාලාවේ පැවැතුනේ ජනපති, අගමැති මෙන්ම චීන තානාපති කාර්යාලයේ නිලධාරින්ගේ ද සහභාගීත්වයෙනි. ආසියාවේ සමගියට බාධාවන කිසිදු කර්තව්‍යයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව සහාය නොදෙන බව ජනපති රනිල් උත්සවයේ මුඛ්‍ය දේශණය පවත්වමින් කියා සිටියේය.

රහුමානියා කෑම මිස්වෙයි 

එදින රාත්‍රියේ විදේශ අමාත්‍යා අලි සබ්‍රී ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිස ජනපති මුණ ගැසුනේ 2030 රටේ විදේශ ප්‍රතිපත්තිය ගැන සාකච්ඡා කිරීමටය. රාත්‍රී භෝජනය ද සහිතව පැවැති මෙම සාකච්ඡාවට ජනපති සමග ලේකම් සමන් ඒකනායක හා කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද එක්ව සිටියහ.


2030 ප්‍රතිපත්තිය ගැන විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා පිළිබඳව ජනපති එතරම් පැහැදීමක නොමැති බව ලේකම් සමන්ට හා සාගලට පෙනී ගියේය. සාගලගේ කනට කිට්ටු කළ ලේකම් සමන් “රහුමානියා එකෙන් කෑමක් කන්න වගෙයි යන්නේ.” යි කියද්දී කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල සිනහව වළකා ගත්තේ අසීරැවෙනි.
නිලධාරීන්ගේ යෝජනා හා අදහස් සාවධානව අසා සිටි ජනපති රනිල් 1948 සිට මෙරට විදේශ ප්‍රතිපත්තිය ගැන විග්‍රහයක් කරන්නට වූවේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලංකාව සම්බන්ධ වූ ආකාරයත් සිරිමාවෝ අගමැතිනියගේ විදේශ ප්‍රතිපත්තිය ගැනත් ජේ.ආර් ජයවර්ධන ජනපතිගේ විදේශ ප්‍රතිපත්තියත් පෙන්වා දුන් ජනපති පසුව වර්තමානයේ පවතින රාජ්‍යයන් අතර බලතුලනය ගැන ද විග්‍රහයක් කළේය.


අප්‍රිකා මහද්වීපයේ පවතින ආර්ථික ප්‍රවණතාවයත් අසියාවනු ආර්ථික ප්‍රවණතාවයත් විග්‍රහ කරමින් කළ කතාව අසා විදේශ අමාත්‍යාංශ නිලධාරීන්ගේ ඇස් උඩ ගියේය.
“ජනාධිපතිතුමාගේ මේ දැනුම ගැන අපි පුදුම වෙනවා. ඇත්තටම එතුමා ජනාධිපති වෙන්න තිබුණේ මීට කලින්. එහෙම නම් මේ රටේ තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා.” විදේශ අමාත්‍යාංශ නිලධාරියෙකු කීවේ ලේකම් සමන්ටය.


“මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.” යැයි විදේශ ඇමති අලි සබි්‍ර කිවේ රාත්‍රී භෝජනයේදි සාගල සමඟය. රහුමානියා හෝටලයෙන් කන්න සිදුවෙතැයි සිතුව ද එය වෙනස් කරමින් සුහදව සාකච්ඡාව අවසන් වූ අතර ජනපති පුණ පුණා කීවේ ලෝකය ඉදිරියේ රට ඔසවා තැබීමට කැප වන ලෙසය.

“යු.එන්.පි කට්ටියට ආණ්ඩුකාරධුර දෙනවද?”


ජනපති බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශය වෙත පැමිණියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුණ ගැසීමටය. එම හමුවට පෙර මුදල් අමාත්‍යංශය වෙත පැමිණ සිටි මැති ඇමතිවරැන් සමඟ විනාඩි කිහිපයක සුහද සංවාදයක් ද පැවැත්විනි.


“පොදු රාජ්‍ය මණ්ඩල හමුව අමතමින් ජනපතිතුමා ලෝකයට හොද පණිවුඩයක් දුන්නා.” ඇමති ශෙහාන් සේමසිංහ කතාව ආරම්භ කළේ එලෙසිනි.
“දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවෙන්නේ කොහොමද? බැංකු කඩා වැටෙනවා කියලාත් විපක්ෂය ප්‍රචාරයක් ගෙනියනවා.” මධුර විතානගේ මන්ත්‍රීවරයා විමසුවේ ජනපතිගෙනි.
“විපක්ෂයේ බොරැ ප්‍රචාරයක්නේ. මහබැංකු අධිපතිතුමා සහතිකයක් දීලා තිබුණා බැංකු කඩා වැටෙන්නේ නෑ කියලා. මොකද මෙතනදි කරන්නේ ණය ගෙවන්නේ නෑ කියන එක නොවෙයි. ණය ගෙවන කාලය දීර්ඝ කර ගැනීම විතරයි.” ශෙහාන් කීවේ ජනපති දෙස බලමිනි.


“ආණ්ඩුකාරවරැ හතර දෙනෙකුට ඉල්ලා අස්වෙන්න කියලා ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දුන්නා කියලා මාධ්‍ය කියනවා.” වජිර ද ප්‍රශ්නයක් මතු කළේය.
“හුඟක් ආණ්ඩුකාරවරුන්ට පළාතේ මන්ත්‍රීවරැ විරුද්ධයි. පළාතේ මන්ත්‍රීවරු විරුද්ධ වුණාම එයාලට වැඩ කරන්න බෑ. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. අනෙක ජනාධිපතිතුමාට පුළුවන් එයාලට අයින් වෙන්න කියන්න. මොකද එතුමාගේ නියෝජිතයා හැටියටනේ ඒ අය වැඩ කරන්නේ.” කරුණු පැහැදිලි කළේ මහාචාර්ය ආශු මාරසිංහය.
“යු.එන්.පි කට්ටියට ආණ්ඩුකාරධුර දෙනවද?” වජිර විමසද්දී ජනපති කීවේ තමන් කාටවත් ආණ්ඩුකාරධුර දෙන බවට පොරොන්දු දී නැති බවකි.
ටි.එන්.ඒ සාකච්ඡා ගැන විමසුවේ ඇමති ප්‍රසන්නය. තවම සාකච්ඡා අවසන් නැති බව ඊට පිළිතුරැ ලෙස ජනපති කීවේය.


“දෙමළ සන්ධානය අතරත් එක මතයක් නෑ. සැලැස්මක් නෑ. ඒ අය මතයක් නැතුව බෙදිලා බව පේනවා.” සාගල කතාව අවසන් කළේ එලෙසිනි.

බාලගිරි දෝෂය හැදුණු කැබිනට් සංශෝධනය

කැබිනට් සංශෝධනය අද වෙනවා හෙට වෙනවා යැයි පසුගිය කාලය පුරා දිගින් දිගටම ආරංචි පැතිර ගියේය. මාස කීපයක් තිස්සේ පැතිර ගිය ආරංචිය තවමත්  හුදු ආරංචියක්ම  පමණි. පොහොට්ටුවේ ප්‍රබලයකු මෙන්ම කටකාර මන්ත්‍රීවරයකු  වන එස් බී දිසානායක මන්ත්‍රීවරයා ඉකුත්  ජනවාරි මාසේදී දිගින් දිගටම කියා සිටියේ කැබිනට් සංශෝධනය මාර්තු වන විට සිදුවන බවත්, එහිදී තමාට ද අමාත්‍ය ධුරයක් හිමිවන බවත් ය. මාර්තු පහු වී මාස දෙකකුත් ගතවෙලා ය. තවමත් එය  සිදුවන බවක් පෙනෙන්නට නැත.

පොහොට්ටු ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් ආණ්ඩු පක්ෂ රැස්වීම වර්ජනයක

 

 

ඇමතිකම් නොලැබීම ගැන පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ  මන්ත්‍රීවරුන් පිරිසක් සිටින්නේ දැඩි කලකිරීමෙනි. ඔවුන්ට ඇමතිකම් දෙන්නැයි  පොහොට්ටුවේ ප්‍රබලයන් ජනාධිපතිවරයාට නාමලේඛනයක් ද සහිතව ලිපියක් යවා දැනට මාස හත හතරක් ගත වී හමාරය.ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, සී බී රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන් ,එස් බී දිසානායකම,ගාමිණී ලොකුගේ, විමලවීර දිසානායක,සරත්  වීරසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨයන්  කිහිප දෙනකු ගේ නම් එහි විය. ඇමතිකම්  ලැබේ යයි බලා සිටින මේ පිරිසගේද ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු දැන් පාර්ලිමේන්තු එන්නෙත් නැත. ආවත් ඉඳහිට ය. ආණ්ඩු පක්ෂ රැස්වීම් වලට මෙන්ම වෙනත් සාකච්ඡා වලට එන්නේත් නැත. පසුගියදා පැවති පොහොට්ටුවේ මැයි රැළියට ද ඉන් වැඩි දෙනෙකු පැමිණියේ නැත.ඒ තරමටම ඒ අයගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස්ය.
මේ පිරිස සූදානම් වන්නේ  විපක්ෂයට යන්නටය.පාර්ලිමේන්තුවේ තැන්තැන්වල රැස්වී කුටු කුටු ගාන්නේත්  ඒ ගැනය. ජ්‍යෙෂ්ඨ  ඇමතිවරයකු කිව්වේ අපි අවුරුදු  තිහකට කලින් පාර්ලිමේන්තුවට ඇවිත් ඉඳගත්තේ ත් හතරවෙනි පේලියේ කියාය.දැනුත් අපිට 4 වැනි පේලියේ ඉන්න  සිදුවී ඇති බව ඔහු කීවේය


මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා  හැන්දෑවේ  ජනාධිපති කාර්යාලයේ දි රැස්විය  එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ විවාදය පැවැත්වෙන නිසා, එ දින ආණ්ඩු පක්ෂ රැස්වීමට නීතිපතිවරයාද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ද සහභාගි වී සිටියහ. එක්ස්ප්‍රස් පර්ල්  නැව  ගිනි ගැනීම සම්බන්ධයෙන්  නඩුවක් සිංගප්පූරුවේ උසාවියක පැවරීමට කටයුතු කරගෙන යන අන්දම නීතිපතිවරයා පැහැදිලි කළේය. විජයදාස රාජපක්ෂ ඇමතිවරයා කීවේ නිතිපති දෙපාර්තමේන්තුව එහෙම කටයුතු කරද්දී මීපා එක වෙන දේවල් කරන බවය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ කුමක්දැයි විමසා සිටි අතර, විජයදාස කිව්වේ නීතිපති දෙපාර්තමේන්තුව එහෙම කටයුතු කරද්දී මීපා එක නැව් සමාගමේ  දේශීය නියෝජිතයා සමඟ බේරුම්කරණයකට  සාකච්ඡා කරමින් සිටින බව ය. මීපා ආයතනය එවැනි ක්‍රියාමාර්ගයක් ගන්නේ ඇයි දැයි ජනාධිපතිවරයා. විමසීය එහි  සභාපතිවරයා කිව්වේ එසේ කළේ ඔවුන් ද මෙම නඩුවට මැදිහත් කර ගැනීමට බවය. එහෙත් අත්අඩංගුවට  ගනීවී යැයි බය නිසා එම නියෝජිතයා ලංකාවට  නොපැමිණි බව ඔහු කීවේය.ජනාධිපතිවරයා කීවේ කවුද එහෙම කිව්වේ. එයාට  එන්න කියන්න  කියාය.ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැව මුහුදෙන් ඉවත් කිරීමට නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා මැදිහත් වූ බවට වන චෝදනාව එදින ආණ්ඩු පක්ෂ රැස්වීමේදී  ද එල්ල විය. මධුර විතානගේ මන්ත්‍රීවරයා කියා සිටියේ මේ සියලු‍ දේවල් රටට හෙළි කළ යුතු බවය.


අනතුරුව කතාබහට ලක්වුණේ මහ බැංකු පනත සම්බන්ධයෙනි. ඒ සඳහා මහ බැංකු අධිපතිවරයාද සහභාගි වි සිටි අතර, පනත් කෙටුම්පත ගැන රංජිත් සියඹලාපිටිය රාජ්‍ය ඇමතිවරයා පැහැදිලි කරන්නට ගියේ ය. ජනාධිපතිවරයා කීවේ පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවේදී විවාදයට නොගන්නා බැවින් ඒ ගැන පැහැදිලි කිරීමක් අනවශ්‍ය බව ය. අනෙක ඒ කැබිනට් පේපර් එක -කැබිනට් එකටවත් ආවෙ නැති බව ජනාධිපතිවරයා  කීවේය


ලෝක බැංකු ආධාර යටතේ  අඩු ආදායම් පවුල් වලට මූල්‍ය සහන ලබාදීමේ වැඩපිළිවෙළක් සමාජ ප්‍රතිලාභ මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. ඒ ගැන පැහැදිලි කිරීමට සමාජ ප්‍රතිලාභ මණ්ඩලයේ  සභාපතිවරයාද පැමිණ සිටියේය. ඔහු එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරද්දී කීවේ රාජ්‍ය බැංකු හරහා මුදල් බෙදාහැරීමේ කටයුතු සිදුවන බවය. සමෘද්ධි  ව්‍යාපාරයට හා  සමෘද්ධි බැංකුවලට එහිදී  අසාධාරණයක් සිදුව ඇති බව කියමින් ජගත් කුමාර මන්ත්‍රීවරයා නැගී සිටියේය. ඔහු කීවේ සමෘද්ධි ව්‍යාපාරයත් සමෘද්ධි  බැංකු පද්ධතියත්  විශාල සේවාවක් කරන බව ය එසේ තිබියදී මේ කටයුත්තට සමුර්ධි බැංකුව සම්බන්ධ කර නොගැනීම  අසාධාරණ බව ඔහු කීවේය.ජනාධිපතිවරයා කීවේ  අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකගතා එක්කයි. ලෝක බැංකු ආධාර මුදල් බෙදා හැරෙන්නේ මහ බැංකුවේ නියාමනය අනුවය බැංකු එක්කයි. සමුර්දි බැංකුව ඊට ඇතුළත් නොවන නිසා මේ කටයුත්ත ඒකට පවරන්න අපහසුයි”‍ ජනාධිපතිවරයා කීවේය
මේ අතර ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙමින් කීවේ අපි අවුරුද්දත් හොඳට කළා, වෙසක් එකත් හොඳට කළා. දැන් පොසොන් එකත් හොඳට කරන්න ඔබතුමාලට දැන් ගමට යන්න පුළුවන් කියාය. ලෝක  බැංකු ආධාර යටතේ  අඩු ආදායම්ලාභී පවුල්වලට සහන සැලසෙන බැවින් දැන් ගම්වලට ගොස් වැඩ කළ හැකි බව ජනාධිපතිවරයා කීවේය.+

සේමසිංහ- ප්‍රමිත රනිල් ඉල්ලති

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ  නම් සහාය දෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ම  එපියට ප්‍රකාශ කර ඇත. තවත්  පිරිසක් තිරය පිටුපස සිට ඒ සඳහා ක්‍රියාත්මක වෙමින් සිටින බව පැහැදිලිය. එක් කෙනෙක් ප්‍රසන්න රණතුංග ය තවත් කෙනෙක් කාංචන විජේසේකර ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ෂෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනා ගිය  සතියේ රූපවාහිනී වැඩසටහන් දෙකකට සහභාගි වෙමින් කීවේ ඊළඟ ජනාධිපතිවරනයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම්,ඔවුන් වැඩ කරන්නේ ඔහු දිනවීමට බවය. රූපවාහිනී වැඩසටහනේ දී නිවේදකයකු  ප්‍රමිත ගෙන් ඇසූවේ ජනාධිපතිවරණයේදී කුමක් කරන්නේද කියාය.ජනාධිපතිවරණය ගැන  කතා කරන්න කල් වැඩියි. ඒ නමුත් ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතතුමා ඉල්ලු‍වොත් අපි සහය දෙනවා. තරුණ අය ගොඩක් ඉන්නේ එතුමා එක්කයි”‍ ඔහු කීවේය. ප්‍රමිත කීවේ   පොහොට්ටුවේ නිලධාරී මණ්ඩලය ගැන පොහොට්ටු අය වත් නොදන්නා බවය. යුද්ධය තවදුරටත් විකිණිය නොහැකි බවත්, පොහොට්ටුවට අනාගතයක් අවශ්‍ය නම් ඒ සඳහා නව දර්ශනයක් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඔහු කීවේය. මේ අතර ෂෙහාන් සේමසිංහ ගෙන්  රූපවාහිනී සංවාදයකදී මාධ්‍යවේදියකු විමසුවේ ඊළග ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂ  සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා ඉදිරිපත් වුවහොත් ඡන්දය දෙන්නේ කාටද කියාය.සේමසිංහ ගත් කටටම කිව්වේ රනිල් වික්‍රමසිංහට කියාය.

ඩලස් යුරෝපයේ

නිදහස ජනතා සභාවේ  නායක ඩලස් අලහප්පෙරුම  මන්ත්‍රීවරයා මේ දිනවල සිටින්නේ යුරෝපයේ ය. චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයට ගිය  දිනට කලින් දිනයේ ඩලස් ද බ්‍රිතන්‍යයට  ගියේය. ඒ  ඔහුගේ පවුලේ සමීපතම ඥාතියකුගේ විශේෂ අවශ්‍යතාවක් වෙනුවෙනි. ඩලස් මෙම සංචාරයේදී  බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය, ඉතාලිය යන රටවල කම්කරු පක්ෂ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සහ ජනරජ පක්ෂ යන පක්ෂ සමඟ නිදහස  ජනතා සභාව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

චම්පික පැන්සල අතට ගනී

සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පසුගිය කාලය පුරාම සිටියේ සමගි ජන බලවේගය සමග විරසකයෙනි .ඔහු එම පක්ෂයේ කටයුතු වලට  පසුගිය කාලයේ සම්බන්ධ නොවූ අතර, හතළිස් තුන් වෙනි සේනාංකය නමින් නව සංවිධානයක් ද පිහිටුවාගෙන රටපුරා ගියේය. 43 වැනි සේනාංකය  ආරම්භ කිරීම නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ  චම්පික ගේ ඉලක්කය විය. ඔහු අලු‍ත් දේශපාලන පක්ෂයක් බිහි කරන්නට  අත තබා ඇත. එය  නම් කර ඇත්තේ එක්සත් ජනරජ පෙරමුණ යනුවෙනි. පක්ෂයේ  ලකුණ පැන්සල ය ජනරජ දිනය යෙදී ඇති ලබන විසි දෙවැනි දා මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී එක්සත්  ජන රජ පෙරමුණ එළිදැක්වීමට ද චම්පික පියවර ගෙන ඇත

බැසිල් ඇ​ෙමරිකාවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් සති අන්තයේ ඇ​ෙමරිකාව බලා පිටත්ව ගියේ සිය බිරිය ද සමඟ ය.මුලින් ඩුබායිවලට  ගිය ඔහු පසුව ඇ​ෙමරිකාව   බලා  පිටත්ව    යාමට නියමිතව සිටියේය.මාසයක පමණ කාලයක් ඇමෙරිකාවේ ගතකර ඔහු  මෙරටට පැමිණිමට නියමිත යැයි දැනගන්නට ඇත.

පොදු අපේක්ෂක බිල්ලා  යළි කරළියට

උත්තර ලංකා සභාගයේ  දේශපාලන මණ්ඩලය කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දි ඉකුත් සදුදා පැවැත්විණි. වාසුදේව නානයක්කාර, ඩිව් ගුණසේකර, උදය ගම්මන්පිල,ජයන්ත සමරවීර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, වීරසුමන වීරසිංහ ගෙවිදු  කුමාරතුංග ඇතුළු පිරිසක් ඊට සහභාගි වී සිටියහ. විරුද්ධ දේශපාලන ව්‍යාපාර කුඩුපට්ටම් කර දැමීමේ ව්‍යාපාරයක ආණ්ඩුව නිරතවන බවටද ඔවුහු චෝදනා කළහ. ඔවුන් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සැරසෙන්නේ හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට බවය. ව්‍යවස්ථා  සංශෝධනයක් හරහා එය  මේ වසරේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ඔවුන්ගේ අදහස විය. එසේ වුවහොත් ඊට මුහුණ දෙන්නේ කෙසේද සහ පොදු අපේක්ෂකයකු සොයාගන්නේ කෙසේද යන කාරණා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බව වාර්තා වේ. 

ලු කතාව 


පසුගිය සතියේ ගම්පහ පොහොට්ටුවේ දෙන්නෙක් ජනාධිපතිවරයා හමුවෙන්න ගියාලු. ඉන්දික අනුරැද්ධගේ ඇමතිකම ඉවත්කර ඒ ඇමතිකම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට දෙන්න කියලා මේ දෙන්නා කියලලු.  මේ කේස් තියන වෙලාවේ ලේසියෙන්ම ඇමතිකමෙන් අයින් කරලා සුදර්ශනීට ඒ රාජ්‍ය ඇමතිකම දෙමු කියා මේ දෙන්නා කිව්වාලු. කේස් වලට ඇමතිකම්වලින් අයින් කරනවා නම් ඉස්සෙල්ලම අයින් කරන්න වෙන්නේ ඔයාවනේ* කියා ජනාධිපතිවරයා මේ දවස්වල ටිකක් කෙට්ටු වෙලා ඉන්න පොහොට්ටු ඇමතිට කිව්වාලු.

■ ගජබා

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

තැන තැන කසුකුසු අස්සේ පොදු අපේක්ෂක කතා

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 255 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 420 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 251 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 250 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 337 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 266 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 480 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1928 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1700 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site