දේශපාලන කරළිය ගෙවී ගිය සතියේ ගිනියම් කළ අලු‍ත්ම මාතෘකාව වූයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියයි. මෙම ගින්නෙන් හා කන්ටේනර පුපුරා යාමෙන් මෙරට පරිසර පද්ධතියට සිදු වූ හානිය කොතරම් දැයි තවමත් ගණන් බලා නැත. කොරෝනා මර්දන වැඩසටහනට සහාය වෙමින් සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට ද ඒ කටයුතුවලට අමතරව වෙරළ පිරිසිදු කිරීමේ කටයුතුවලට ද දායකත්වය දෙන්නට සිදුව තිබේ. පුත්තලම සිට ගාල්ල දක්වා වෙරළ තීරයට නැවේ අපද්‍රව්‍ය එකතු වීමෙන් සිදුව ඇති හානිය මෙතරම් යැයි කිව නොහැකිය. එය එක් පැත්තකින් ආණ්ඩුවට වැටුණු කොහේවත් යන ලෙඩකි. එසේ වුවද නැවේ ප්‍රශ්නය ආණ්ඩුවට හිසරදයක් වී හමාරය. විපක්ෂයද නැවේ ප්‍රශ්නය අල්ලාගෙන ආණ්ඩුවට දිගින් දිගටම පහර ගසමින් සිටී. එය මේ මොහොතේ විපක්ෂයට ලැබුණු හොඳම අවියක් බවට ද සැකයක් නැත.


කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ සිද්ධිය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට විශේෂ සාකච්ඡාවක් ඉකුත් අඟහරුවාදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. රෝහිත අබේගුණවර්ධන, මහින්ද අමරවීර, ඩග්ලස් දේවානන්ද, කාංචන විජේසේකර, නාලක ගොඩහේවා යන මැති ඇමැතිවරු ද, නීතිපති, පොලිස්පති, නාවික හමුදාපති, වරාය සභාපති ඇතුළු නිලධාරීහු පිරිසක් ද ඊට සහභාගි වූහ. නැවේ කතාව ඇත්තටම කුමක්දැයි ජනාධිපතිවරයා සාකච්ඡාව ආරම්භයේදීම විමසා සිටි අතර, රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරයා ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. නැව ඩුබායිවලින් පිටත් වූ දිනය, කොළඹට ළඟා වූ දිනය, ගින්න ඇති වූ දිනය සහ ගින්නෙන් වූ හානිය ගැන රෝහිත පැහැදිලි කළ අතර විනාශ වූ නැව ගිලී ගියහොත් සිදුවිය හැකි විනාශය ගැන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය සහ එහි නිලධාරීහු පැවසූහ. නැව තිබෙන ස්ථානයේ ගිලී ගියහොත් ලංකාවේ පරිසර පද්ධතියට සිදුවිය හැකි විනාශය ඉතා විශාල බව නාවික හමුදාපතිවරයා කීවේය. නාලක ගොඩහේවා කිව්වේ “නැව එම ස්ථානයේම ගිලු‍නොත් අපේ මිනිස්සු මේක දේශපාලන කාරණාවක් කරගන්නවා” කියාය. “මේක මේ කොහෙවත් යන ප්‍රශ්නයක්. මේක කොහොමද මේ ගොල්ලෝ දේශපාලන ප්‍රශ්නයක් කරගන්නේ” ජනාධිපතිවරයා කීවේය.


ඒ සමගම ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ නැව ඇදගෙන ගොස් ගැඹුරු මුහුදට දමන ලෙසය. “මට දැන් ඔය අරක මේක කිය කිය ඉන්න එපා. ඔව්වා කිය කිය මේක දැන් මෙතන තියාගෙන මොනවා කරන්නද. මේක පුළුවන් තරම් ඉක්මනට ඇදලා ගිහින් දාන්න.”‍ ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.


සංචරණ සීමා තවත් කල් යයි


කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති සංචරණ සීමා ඉවත් කිරීමට නියමිතව තිබුණේ හෙට (07) දිනයේය. එහෙත් එය තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය විශේෂඥයින් රජයට යෝජනා කර තිබිණි. සංචරණ සීමා හෙට දිනයේ දී ඉවත් කළහොත් මෙතෙක් ඒ පනවා තිබූ කාරණේ ප්‍රයෝජනයක් නොමැති වන බව සෞඛ්‍ය විශේෂඥයින්ගේ අදහස විය. ඊට එකඟ වූ ආණ්ඩුව සංචරණ සීමා තවත් සතියකින්, එනම් ලබන 14 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළේය.


ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්, දිසාපතිවරුන් හමුවෙයි


ජනාධිපතිවරයා සෑම මසකටම වරක් පළාත් ආණ්ඩුකාරවරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයේදී හමුවී ඒ ඒ ප්‍රදේශවල කටයුතු සම්බන්ධයෙන් සමාලෝචනයක යෙදෙයි. ඒ අනුව ජනාධිපතිවරයා ඉකුත් අඟහරුවාදා සියලු‍ම ආණ්ඩුකාරවරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයට කැඳවීය. එහිදී වැඩි අවධානයක් යොමුවූයේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙනි.
කොරෝනා මර්දන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ආණ්ඩුව කොතරම් උත්සාහ කළද විපක්ෂය හැමවිටම එය අනවශ්‍ය විදියට විවේචනය කිරීම පමණක් කරන බව ද කොවිඩ් මර්දනයට විපක්ෂය කිසිම සහායක් නොදෙන බව ද ජනාධිපතිවරයා කීවේය. කොරෝනා මර්දන වැඩපිළිවෙළට රජය රුපියල් කෝටි 25,900 දැනටමත් වැය කර ඇති බව ජනාධිපතිවරයා කීවේය. එන්නත්කරණ වැඩපිළිවෙළ ගැන ද පැහැදිලි කළ ජනාධිපතිවරයා සෑම අයකුටම එන්නත් දීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බව කීවේය. මේ අතර කොවිඩ් හේතුවෙන් පීඩාවට පත්ව ඇති අඩු ආදායම්ලාභී පවුල්වලට රුපියල් 5000 දීමනාව ගෙවීමට රුපියල් කෝටි 2700ක් වෙන් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ ඔක්තෝබර්, නොවැම්බර් වනවිට අවසන් කිරීමට රජය ඉලක්ක කර ඇති බව ද ජනාධිපතිවරයා කීවේය.


රසායනික පොහොරවලින් බැහැරව කාබනික පොහොරවලට යොමුවීම ආණ්ඩුව ප්‍රමුඛතම ව්‍යාපෘතියක් බවට පත්කරගෙන ඇත. සමහරු නම් කියන්නේ මෙය ආණ්ඩුව උඩුගං බලා පිහිනීමක් බවය. කාබනික පොහොර භාවිතය හොඳ වුවත්, රසායනික පොහොර තහනම අදියරෙන් අදියර කළ යුතු බව මෙය විවේචනය කරන අයගේ අදහසකි. එහෙත් ආණ්ඩුව රසායනික පොහොර භාවිතය අඩු කිරීමේ තීරණයේ දැඩිව සිටින බවක් පෙනෙන්නට තිබේ. මේ පිළිබඳ සාකච්ඡාවක් ගිය සතියේ පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. මහින්දානන්ද අලු‍ත්ගමගේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, මොහාන් පී. ද සිල්වා ඇතුළු ඇමැතිවරු ද කෘෂිකර්මයට සම්බන්ධ නිලධාරීහු පිරිසක් ද එයට එක්ව සිටියහ. “වගාවට අවශ්‍ය පොහොර නිකම් දෙනවා කියලා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වුණා. ඒ රසායනික පොහොර නෙමෙයි, කාබනික පොහොර නිකම් දෙනවා කියලයි මම කිව්වේ.”‍ ජනාධිපතිවරයා කාරණය පැහැදිලි කළේය. පොහොර ආනයනයට ඩොලර් මිලියන 400 ක් වෙන් කර ඇතැයි කී ජනාධිපතිවරයා ඒ මුදල මේ රටේ කාබනික පොහොර නිෂ්පාදනයට යොදවන්න පුළුවන් බව ද සඳහන් කළේය.


 

 

 

පන්දාහේ දීමනාව පවුල් ලක්ෂ  හැටකට ගෙවනවා

 

 

 

 



ආණ්ඩුව පෙරපාසල් ගුරුවරියන්ට සලකයි


පෙරපාසල් ගුරුවරියන්ට ආණ්ඩුවෙන් මෙතෙක් ලැබුණේ රුපියල් 250ක් වැනි සුළු මුදලකි. එය සරලව කිවහොත් ඉතා සොච්චමකි. පෙරපාසල් ගුරුවරියන්ට ගෙවන සොච්චම් මුදල රුපියල් 2,500 දක්වා වැඩි කරන්නට ආණ්ඩුව ගිය සතියේ තීරණය කළේය. ඒ, කැබිනට් මණ්ඩල තීරණයකට අනුවය.
කැබිනට් රැස්වීම කොරෝනා හේතුවෙන් ගිය සතියේ ද සුපුරුදු පරිදි පැවැත්වුණේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේය. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. පෙරපාසල් ගුරුවරියන්ගේ දීමනාව රුපියල් 2,500 දක්වා වැඩි කිරීමේ කැබිනට් සංදේශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසිනි. එම දීමනාව වැඩි කිරීම අගය කරමින් ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග කතා කළහ. “මේ වගේ අමාරුකම් තියෙන කාලෙක පෙරපාසල් ගුරුවරියන්ගේ 250 දීමනාව දෙදහස් පන්සියය දක්වා වැඩි කිරීම ලොකු දෙයක්”‍ බන්දුල කීවේය. අනතුරුව කතා කළේ ප්‍රසන්න රණතුංගය. ඔහු කීවේ පෙරපාසල් ගුරුවරියන්ගේ දීමනාව වැඩි කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද තිබූ බවය. “කොරෝනා වසංගතය තියෙද්දිත් මේ වගේ තීරණ ගන්න එක ලොකු දෙයක්”‍ ප්‍රසන්න කීවේය. අනතුරුව කතා කළේ ජනාධිපතිවරයාය. “රජය ගන්න මේ වගේ වැදගත් තීන්දු තීරණ ගැන වැඩි ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ”‍ යැයි ජනාධිපතිවරයා කිව්වේ කොවිඩ් වසංගතය මර්දනයට රජය මේ වනවිටත් රුපියල් බිලියන 250කට වැඩි මුදලක් වියදම් කර ඇති බව සඳහන් කරමිනි. නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ඒ ගැන පැහැදිලි කළේය. “රටේ සංවර්ධන කටයුතු ගැන ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවැරැදිව සිදු කෙරෙනවා. වැඩේ තියෙන්නෙ දිනෙන් දින අලු‍ත් අලු‍ත් මාතෘකා එකතු වෙන එකයි.”‍ නාමල් කියද්දී ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද එය අනුමත කරමින් කතා කළේය. “නාමල් ඇමැතිතුමා කියන කතාව හරි. අපි සංවර්ධන කටයුතු ගැන ජනතාව දැනුවත් කරනවා. අපිට පහුගිය දවස්වල වරාය නගර පනත ගැන වැඩි අවධානයක් යොමු කරන්න සිදු වුණා.” කෙහෙළිය කීවේය. ඒ සමගම ඔහු කීවේ පෙරපාසල් දීමනාව වැඩි කිරීම, රුපියල් පන්දාහේ දීමනාව ලබාදීම සඳහා රුපියල් කෝටි 3,000ක් වැය කිරීම වගේ කාරණා ද වරින් වර මතු කරන බවය. අගමැති මහින්ද කිව්වේ 5,000 දීමනාව පවුල් ලක්ෂ 60කට ගෙවන බවය. එම දීමනාව ගෙවීම ග්‍රාමීය කමිටු හරහා කරගෙන යාමට කටයුතු සලසා ඇති බව ද අගමැතිවරයා කීවේ පන්දාහේ දීමනාව ගෙවීම ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කරමිනි.
එන්නත්කරණ වැඩපිළිවෙළ හා එන්නත් මිලදී ගැනීම ගැන ද කැබිනට් මණ්ඩලයේ දී දීර්ඝ කතාබහක් ඇති විය. චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත බංගලාදේශයට දෙන මුදලට වඩා වැඩි මිලකට ලංකාවට දී ඇති බව අලි සබ්රි ඇමැතිවරයා කීවේය. ජනාධිපතිවරයා කිව්වේ එන්නත මිලදී ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුවම සිදුව ඇති බවය. එය විනිවිදභාවයෙන් යුතුවම සිදු වී ඇති බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය. ඇමැති ප්‍රසන්න කීවේ විපක්ෂය නගන ඔය චෝදනාව ගැන චීන තානාපතිවරයා පැහැදිලි උත්තරයක් දී තිබූ බවය. උදය ගම්මන්පිල ද ඒ ගැන අදහස් දැක්වීය. “ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුවම එන්නත් මිලදී ගැනීමට හැකි වීම ගැන අප සතුටු වෙනවා. විපක්ෂයේ ඔය චෝදනා නිසා බංගලාදේශයේ සෞඛ්‍ය ඇමැතිවරයාත් දැඩි අපහසුතාවට ලක් වුණා.”‍ උදය ගම්මන්පිල කීවේය. අනතුරුව පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය එන්නත් මිලදී ගැනීමේ වැඩපිළිවෙළ හා එහි ප්‍රගතිය ගැන දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළාය. “අපි රුපියල් මිලියන 41.5ක එන්නත් මේ වනවිට ඇණවුම් කර තිබෙනවා. මේ වෙනකොටත් එකම එන්නතක් හෝ ලබාගැනීමට නොහැකි වූ රටවල් 45ක් තියෙනවා.”‍ පවිත්‍රා කීවාය.


ආණ්ඩුවේ යාන්ත්‍රණය ගැන ජනතාවට විශ්වාසයක් නෑ
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

 

පක්ෂ විපක්ෂ හැමෝගෙම අදහස් අරන් හරිම තීන්දු ගන්න ඕනෑ වෙලාවක් මේක


කොරෝනා ආසාදිතව සිටින විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස තවමත් සිටින්නේ රෝහල්ගතවය. මේ වනවිට ක්‍රමයෙන් සුවය ලබමින් තිබුණත් පූර්ණ සුවය ලැබෙන තෙක් රෝහලින් පිටවීමට අවස්ථාව ලැබෙන්නේ නැත.
රෝහල්ගතව සිටියත් රටේ දේශපාලන තත්ත්වය ගැන නිරන්තරයෙන් සොයා බැලීමට ඔහු කටයුතු කළේය. දින දෙකකට වරක් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග දුරකතන සංවාදයක යෙදෙන්නේ කෝල් කන්ෆරන්ස් ක්‍රමයටය.


“මුහුණට මුහුණ හමුවෙලා කතා කරන්න බැරි වුණත් මේ විදියට හරි ජනතාවගේ ප‍්‍රශ්න කතා කරලා විසඳුම් දෙන්න බලපෑම් කරන එක ලොකු දෙයක්. ජනතාව අසරණ වෙලා ඉන්න වෙලාවක් මේක.” පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර දුරකතන සංවාදය ආරම්භ කළේය.


“ලොක්ඩවුන් එක සාර්ථකව ක්‍රියාත්මක වෙනවාද?” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසුවේය.
“ලොක්ඩවුන් එක කොච්චර හොඳද කියනවා නම් සමහර තැන්වල වෙනදාට වැඩියෙන් ට‍්‍රැෆික් තියෙනවා. ස්ටිකර් අලවන ක්‍රමයක් හදලා මිනිස්සු පැය ගණන් පාරේ වාහන පෝලිම්වල තියනවා.” එස්.එම්. මරික්කාර් මන්ත‍්‍රීවරයා කීය.


“ඒ කියන්නේ ට‍්‍රැෆික් පොකුරකුත් හදන්න ආණ්ඩුව උත්සාහ ගන්නවාද දන්නේ නෑ.” ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා කීවේ සියල්ලන්ම සිනා ගන්වමිනි.


“මේකෙන් පේන්නේ ආණ්ඩුවට හරියට රට වහගන්නවත් බෑ කියන එකනේ. ආණ්ඩුවේ සියලු‍ම යාන්ත‍්‍රණ ගැන ජනතාවගේ විශ්වාසයක් නැති බව තමයි මේකෙන් පේන්නේ.” සජිත් පැහැදිලි කළේය.


“ආණ්ඩුව පොහොර තහනමක් ගෙනාවා. අපේ පැතිවල තේ වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. කුඹුරු ගොවියා අසරණයි. සිස්ටම් චේන්ජ් කියලා කරන විකාර වැඩ නිසා ගම්වල ඉන්න මිනිස්සු තමයි අසරණ වෙලා ඉන්නේ.” මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පැවසුවේ පොහොර තහනම පිටුපස තිබෙන ජාවාරම් ගැන ද ඉඟි පළ කරමිනි.


“ගොවීන් විතරක් නෙවෙයි, ධීවර ජනතාවත් අසරණ වෙලා ඉන්නේ. එක්ස්ප‍්‍රස් පර්ල් නැවට එන්න දීලා, මුහුද විනාශ කළා විතරක් නෙවෙයි, ධීවර කර්මාන්තයත් විනාශ කළා.” දිලිප් වෙදආරච්චි කීය.


“කොළඹ තට්ටු නිවාසවල ඉන්න අය, වතු නිවාසවල ඉන්න අය ගැන ආණ්ඩුව කිසිම සැලකිල්ලක් දක්වන්නේ නෑ. ඒ අය වෙනුවෙන් කිසිම වැඩපිළිවෙළක් නෑ.” එරාන් වික්‍රමරත්න කීවේ වතු ජනතාවගේ ගැටලු‍ ද ඉදිරිපත් කරමිනි.


“දැන් අවුරුදු දෙකක් තිස්සේ රට අර්බුදයක තියෙන්නේ. තනි තනිව මේවාට විසඳුම් සොයනවාට වඩා සර්ව පාක්ෂික හමුවකින් හැමෝගේම අදහස් අරගෙන මේකට විසඳුම් සොයන්න ඕනෑ. කැබිනට් එකට හරි, අගමැතිට, ජනාධිපතිට හරි විතරක් තනි තීන්දු ගන්න දෙනවාට වඩා පක්ෂ විපක්ෂ හැමෝගේම අදහස් අරගෙන හරිම තීන්දු ගන්න ඕනෑ වෙලාවක් මේක. ඒ නිසා සර්ව පාක්ෂික හමුවක් කැඳවන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.” සජිත් කළ යෝජනාවට සියල්ලන්ගේම කැමැත්ත හිමිවිය.


“කොරෝනා අර්බුදය ගරානාවක් කරගත්ත අය කොරෝනා අරමුදලත් කාබාසිනියා කරලාද දන්නේ නෑ.” ජේ.සී. අලවතුවල මන්ත‍්‍රීවරයා කීය.


“මිලියන එක්දහස් හත්සියයක් එකතු වුණා කිව්වට තවම මිලියන තුන්සීයක් විතරයි වියදම් කරලා තියෙන්නේ. මේ මුදල් වියදම් කරලා එන්නත් ගෙන්වීම කළ යුතුයි. ඒකට ආණ්ඩුවට බලපෑම් කරන්න.” සජිත් උපදෙස් දුන්නේය.


නැව ගැන සොයන්න


රෝහල්ගතව සිටියත් විපක්ෂ නායකවරයා එහි තිබෙන රූපවාහිනියෙන් දවසේ ප‍්‍රවෘත්ති නැරඹීමට අමතක කළේ නැත. එක්ස්ප‍්‍රස් පර්ල් නැවෙන් සිදුවූ හානිය ගැන ඔහු වැඩි අවධානයකින් සිටියේය.


“මේ නැව වෙනත් රටවල වරායන් දෙකකින් ප‍්‍රතික්ෂේප කරලා. එහෙම තිබියදී ලංකාවට එන්න අවසර දුන්නේ කවුද? මේවා ගැන පොඩ්ඩක් සොයා බලන්න.” සජිත් තමන්ගේ කාර්ය මණ්ඩලයේ අයෙක්ට වගකීමක් පැවරුවේය.


මේ අතර පරිසරයට සිදුව ඇති හානිය ගැනත් සොයා බලන ලෙස පක්ෂයට සම්බන්ධ පරිසරවේදීන්ට සජිත් උපදෙස් දුන්නේය. ඒ අනුව සිදුව ඇති පරිසර හානිය ගැන පරිසරවේදීන් සජිත්ට කරුණු ඉදිරිපත් කළේය.
“ඔයාලා මේ ගැන රටට කියන්න. ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා පරිසර හානිය ගැන සහ පරිසරයට අදාළ තාක්ෂණික කාරණා ජනතාවට කියන්න.” සජිත් උපදෙස් දුන්නේය.


“ඔය නෞකාව මෙරට සමුද්‍ර කලාපයට යාත්‍රා කළේ කාගේ අවසරය පිටද? නෞකාව මෙරට සමුද්‍ර පද්ධතියට පැමිණෙන බව අදාළ පාර්ශ්වවලට විධිමත්ව දැනුම් දුන්නාද? ඒ සඳහා වගකීම භාර ගන්නේ කවුද? සිදුවී ඇති පාරිසරික හානිය හේතුවෙන් අදාළ නෞකාව අයත් ආයතනය ශ්‍රී ලංකාවට කොපමණ වන්දියක් ගෙවිය යුතුද? හානිය තක්සේරු කරන්නේ කවුද? එම වන්දිය ලැබෙන බව විශ්වාසද? මේ සියලු‍ කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකොට අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සත්‍ය හොළිදරව් කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.”‍ සජිත් ද ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

 

-ගජබා-