IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ප්‍රසන්න රණවීරගෙන් සාගරට කුණු බැණුම්

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගිය සතියේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා එකේදි රැස්වූයේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මුදල් පනත් කිහිපයක් ගැන පැහැදිලි කිරීමෙන් අනතුරුව රැස්වීම තරමක් උණුසුම් වූයේ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මතු කළ හාල් ප්‍රශ්නයක් හේතුවෙනි. “දැන් හාල් තොග මිල රුපියල් 140 ට බැහැලා. ගිය කන්නයේ වී ටික තාම ගොවීන් ගාව තියෙනවා. පිටරටින් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතක් ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ විදියට හාල් පිටරටින් ගේන්න ගියොත් අපේ ගොවියා ට මොකද වෙන්නේ”‍ යැයි මහින්ද අමරවීර දෝස්මුරයක් දැමුවේය.

 ඔහු ප්‍රශ්නය මතු කළේ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටියගෙන් පිළිතුරක් අපේක්ෂාවෙනි. එහෙත් සියඹලාපිටිය ඊට උත්තර දෙන්නට නොගියේය. අමරවීරගේ සහායට මහින්දානන්ද අලු‍ත්ගමගේ ද ඉදිරිපත් විය. මේ විදියට හාල් ගෙන්වීමෙන් ගොවියට වැඩකුත් නෑ පාරිභෝගිකයාට වැඩකුත් නෑ”‍ මහින්දානන්ද කීවේය. තවත් මන්ත්‍රීවරයෙක් “කෝ අපේ වෙළෙඳ ඇමති තුමා” යැයි කියමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග දෙස බැලීය. ඒත් සමගම නලින් ප්‍රනාන්දු වෙළෙඳ ඇමැතිවරයා ද රැස්වීමට පැමිණියේය. ‘‘පසුගිය කාලේ රටේ තිබුණු තත්ත්වය අද ගොඩක් දෙනෙකුට අමතකයි. අපට ලොකු ආහාර අර්බුදයක් ඇති වුණා. ඒ නිසයි අපට හාල් ගෙන්වන්න වුණේ’’ යැයි නලින් ප්‍රනාන්දු උත්තර දුන්නේය. අමරවීර කිව්වේ පසුගිය කන්නයට වඩා හෙක්ටයාර් වැඩි ගණනක් මෙවර වගාකර ඇති බවය. පසුගිය කන්නයේ වී ද ගොවීන් ළඟ තිබෙන බව ඔහු සංඛ්‍යාලේඛන දිරිපත් කරමින් පැහැදිලි කළේය. ඔබතුමා ඔය කියන සංඛ්‍යාලේඛන වැරදියි. ඉස්සරහට එන්නෙ උත්සව සමය. මහා පරිමාණ වී මෝල් හිමියන් හාල් මාකට් එකට දාන්නෙත් නෑ. අපිට මේ තොග මිල තියාගන්න වෙනවා. ඒකට හාල් ගෙන්නන්න වෙනවා.’’ වෙළෙඳ ඇමතිවරයා කීවේය.


චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද මේ කතාවට මැදිහත් විය. ඔහු කීවේ ද සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් එතරම් විශ්වාසයක් තබාගත නොහැකි බවය. මේ ප්‍රශ්නය ගැන ජගත් කුමාර මන්ත්‍රීවරයාද කතා කළේය. ඔහු ඊට පෙරද වී ගොවීන්ගේ ප්‍රශ්න ගැන දිගින් දිගටම කතා කළ මන්ත්‍රීවරයෙකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට යන්න වුණෙත් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ගත් ප්‍රතිපත්තිමය ප්‍රශ්න නිසා. ගියවර ලැබුණු අස්වැන්න ගන්නවත් අපිට රුපියල් බිලියන දෙක දීගන්න බැරි වුණා. ඒ නිසා මේ ප්‍රශ්නය දෙස මීට වඩා පුළුල් විදිහට බලන්න ඕන. ඔහු කීවේය.


මේ විදිහට පිටරටින් හාල් ගෙන්වීමෙන් ගොවියාට සහනයක් නෑ. මේකට අපි මොකද කරන්නේ අමරවීර යළිත් ප්‍රශ්න කළේය. නලීන් ප්‍රනාන්දු තරමක් කේන්තියෙන් මෙන් කිව්වෙ “එහෙනම් අපි මේක මුදල් අමාත්‍යාංශයේ ආහාර සුරක්ෂිතතා කමිටුවට දාලා තීන්දුවක් ගනිමු. හාල් නෑ කියලා පස්සේ අපට දොස් කියන්න නම් එපා”‍ යනුවෙනි.
ආණ්ඩු පක්ෂ රැස්වීම යන අතරේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පිටව ගියේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බැවින් ඊට සහභාගි වන බව පවසමිනි. මේ සමග පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා ද පිටව ගියේය. මේ යද්දි සභාවේ සිටි ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමැතිවරයා පසුපසින් ගොස් ඔහුගෙන් විමසා සිටියේ “ඇයි මගේ නම කෝපා කමිටුවෙන් ඉවත් කළේ” යනුවෙනි. ඔහුගේ නම කෝපා කමිටුවට නැවත දාන්නැයි ඔහු ඉල්ලීමක් කළේය. රණවීරගේ කතාවට සාගර කාරියවසම් ට ද කේන්ති ගියේය. ඔයා අයින් කළේ ජනාධිපතිතුමා. ඒක ජනාධිපතිතුමාගෙන් අහන්න”‍ සාගර කිව්වේය. සාගරගේ පිළිතුරට ප්‍රසන්නට යකා නැග්ගේය. ඔහු අත දික් කරමින් සාගරට පහර දෙන්නට කඩාපැන්නේ නොසරුප් වදන් වැලක් ද කියමිනි. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පැමිණ ඔහු අල්ලාගත්තේ වෙන්නට ගිය ලොකු ගැටුමක් වළක්වමිනි. ඒ සමඟම සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයාද වහා එතැනට දිව ආවේය. “මොකක්ද මේ ප්‍රශ්නය. මේවා සාකච්ඡා කරලා විසඳගන්න” යැයි එදිරිමාන්න සාගරට කීවේය.
ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පාර්ලිමේන්තු ලොබියේ කතාබහ කරමින් සිටියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එතැනින් යන්නට පැමිණියේය. ඔහු ප්‍රසන්න ගේ පිටට තට්ටුවක් ද දමමින් විමසා සිටියේ කොහොමද ප්‍රසන්න යනුවෙනි. වරදක් නෑ සර් ප්‍රසන්න කියද්දී මන්ත්‍රීවරයෙකු කිව්වේ මේ ප්‍රසන්න ඇමතිතුමා අපි දාලා යන්න නේ හදන්නේ යනුවෙනි. නෑ සර්, මම කොහේවත් යන්නෙ නෑ. අපි තමයි පක්ෂය හැදුවේ ‘අපි පක්ෂත් එක්ක ඉන්නවා යැයි ප්‍රසන්න කියද්දී මහින්ද කීවේ ‘අපි ප්‍රසන්න ගැන දන්නවා’ කියාය.


මේ අතර ප්‍රසන්න රණතුංග පොහොට්ටුවේ මේ දිනවල පැවැත්වෙන රැස්වීම් මාලාව ගැන හිටපු ජනාධිපතිවරයා සමග කතා කළේ එතරම් කැමැත්තකින් නොවේ. මේ රැස්වීම් මාලාව තියනවට මම නම් කැමති නෑ. මම ඒක නාමල් මල්ලිටත් කිව්වා. අපි ඉස්සෙල්ලා පාක්ෂිකයෝ ගැන බලන්න ඕන. ඊට පස්සේ පක්ෂය සංවිධානය කරලා තමයි ඔබතුමා ගෙනියන්න ඕන. ප්‍රසන්න එසේ කීවත් මහින්ද ඊට පිළිතුරක් දෙන්නට ගියේ නැත.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැස්වීම් මාලාවක් ආරම්භ කළේ රටපුරා යාමේ අදහසිනි. කළුතර දිස්ත්‍රික්කයෙන් පසුව එය නාවලපිටිය සහ ආණමඩුව යන ප්‍රදේශවලද පැවැත්වූ අතර, ඊළඟ රැස්වීම් පැවැත්වීමට නියමිත තිබුණේ කුරුණෑගල ගම්පහ ආදී වශයෙනි. එහෙත් දැනගන්නට ඇත්තේ එම රැස්වීම් මාලාව තාවකාලිකව නතර කර ඇති බවය. ඊට හේතු වී ඇත්තේ පක්ෂයේම පිරිසක් ඒ සම්බන්ධයෙන් දැක්වූ විරෝධයක් බව දැනගන්නට ඇත.

 

 

ඇමැති අර්බුදය යළි ඇදෙයි

ඇමැති මණ්ඩලයට පොහොට්ටුවෙන් තවත් පිරිසක් පත් කිරීම සම්බන්ධ කාරණය පසුගිය කාලයේ දිගින් දිගටම කතාබහට ලක්විය. ඒ සඳහා පොහොට්ටුවෙන් නාම ලේඛනයක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එවා තිබිණි. එසේ වුවද එම පත්කිරීම් පසුගි‍ය කාලයේ නොවූ තැන පොහොට්ටුවේ ප්‍රබලයන් දිගින් දිගටම ඒ ගැන විමසා සිටියේ කැබිනට් ඇමතිවරුන් පත් කිරීම ඉක්මනින් කරන ලෙසය. ඒ සම්බන්ධයෙන් පොහොට්ටුවේ මැති ඇමතිවරුන් අතර ද ලොකු කලකිරීමක් ඇතිව තිබේ. මේ සම්බන්ධයෙන් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පක්ෂයේ ප්‍රබලයන්ගේ දැනුම් දීම මත මේ ගැන විමසමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇතැයි පැවසේ. එමගින් ඉල්ලා ඇත්තේ පොහොට්ටුවෙන් නම් කළ මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙසය.


මේ අතර ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධ ගැටලු‍ව ද යළිත් කරළියට පැමිණ තිබේ. දැනට සිටින ආණ්ඩුකාරවරුන් නව දෙනාම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද පිරිසකි. ඔවුන් ඉවත්කර පොහොට්ටුවෙන් නම් කරන පස්දෙනෙකුට හා එජාපයේ සිව්දෙනෙකුට ආණ්ඩුකාර ධුර ලබාදීමට ජනාධිපතිවරයා අදහස් කර ඇතැයි වාර්තා වේ. ජෝන් අමරතුංග, ආනන්ද කුලරත්න, දයා ගමගේ සහ ශමල් සෙනරත් යන පිරිසට ආණ්ඩුකාර ධුර ලබාදීම සම්බන්ධයෙන් එජාපයෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි පැවසේ. එහෙත් එජාපයේ 4 දෙනෙකුට ආණ්ඩුකාර ධුර ලබාදීම සම්බන්ධයෙන් පොහොට්ටුව එතරම් කැමැත්තකින් පසුනොවන බව දැනගන්නට ඇත.

ඩලස්, ජී.එල්, ඩිලාන් පසුපෙළට

නිදහස ජනතා සභාවේ ආර්ථික හා දේශපාලන වැඩපිළිවෙළ කොළඹ දී අද එළිදක්වයි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මෙම උත්සවය පැවැත්වෙන අතර, එම කටයුතු නවක පිරිසකට පැවරීමට ඔවුන් තීරණය කර ඇත.


මේ පිළිබඳ සාකච්ඡාවක් නාවල පිහිටි තුන්වෙනි පටුමග කාර්යාලයේදී ඉකුත් සතියේ පැවති අතර, ඩලස් අලහප්පෙරුම මෙන්ම මහාචාර්ය ජී.එල්. පීරිස් ද කීවේ අපි මේ කටයුත්ත සම්පූර්ණයෙන් නවක මන්ත්‍රීවරුන්ට භාර දිය යුතු බවය. ඒ අනුව එහි පිළිගැනීමේ කතාව මහාචාර්ය චන්න ජයසුමනට ලබාදීමට ඩලස් යෝජනා කළ අතර, දේශපාලන වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීම මහාචාර්ය චරිත හේරත්ට දිය යුතු යැයි ජී.එල්. පීරිස් යෝජනා කළේය. ඩිලාන් කීවේ ස්තුති කතාව අනුරාධපුරයේ කුමාරසිරිට දෙමු කියාය. එහි සිටි පිරිස කීවේ ජී.එල්. ඩලස් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් ද මෙහිදී කතා කළ යුතු බවය. එහෙත් ඩලස් ජී.එල්. දෙදෙනාම කියා සිටියේ අපි මේ කටයුතුවල පස්සෙන්ම ඉන්නවා. ඉස්සරහට එන්න ඕන අලු‍ත් පරම්පරාවේ කට්ටිය කියාය.

කැපිලා පේන අය ගැන දයාසිරිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ගිය සතියේ වෘත්තීයවේදීන්ගේ සංවිධානයක් පිහිටු වීය. සාකච්ඡාව කැඳවා තිබුණේ පක්ෂ මූලස්ථානයේ ය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොවිඩ් ආසාදනය වී සිටින බැවින්, වෘත්තීයවේදීන්ගේ සංවිධානය පිහිටුවීමේ රැස්වීම පැවැත්වුණේ පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා ඇතුළු කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙනි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වී සිටි අතර, හිටපු ජනපති මෛත්‍රීද දුරකථනය ඔස්සේ ඊට සම්බන්ධ විය.


මේ අතර කොවිඩ් වැලඳුණු මෛත්‍රීට සහ ඔහුගේ බිරියට ආශිර්වාද කර බෝධි පූජාවක්ද පක්ෂයේ කාන්තා සංවිධානයේ මෙහෙයවීමෙන් ගංගාරාම විහාරස්ථානයේදී පසුගිය අඟහරුවාදා පැවැත්විණි. පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර, උපසභාපති ශාන් විජයලාල් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් ද ඊට සහභාගි වී සිටියහ. බෝධි පූජාව අවසන් වී එළියට එද්දී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සම්බන්ධ වීම ගැනය. මේ විදියට ඔක්කොම ගියාම කැපිල පෙනෙන අය ඔබතුමාලගේ පක්ෂයේ නෑනේ යැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය. හයියෙන් හිනා වුණු දයාසිරි එතන සිටි ෂාන් විජයලාල් පෙන්වූයේ මේ ඉන්නෙ ඕනම දෙයකින් කැපී පෙනෙන කෙනෙක් යැයි කියමිනි.

සජබෙන් කවුරුත් ආණ්ඩුවට යන්නෙ නෑ

පසුගිය සතියේ අනුරාධපුර ප්‍රදේශයේ බලමණ්ඩල කිහිපයකට එක්වූ සජිත්, තන්තිරිමලේ විශේෂ කටයුත්තකට එක්විය.
ඒ කඨින පුණ්‍ය මහෝත්සවයටයි. එහි සම්පූර්ණයෙන්ම දායකත්වය දැරුවේ ඔහුගේ බිරිඳය.


“මීට මාසෙකට කලින් මහියංගන රජමහ විහාරයේ අට මහා කුසල් කඨින පිංකමට සම්පූර්ණ දායකත්වය දක්වලා, නැවත තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ කඨින පිංකමත් කරනවා. මේක ඓතිහාසිකයි. වසරකදී කඨින පිංකම් දෙකකට දායකත්වය දුන්න අවස්ථාවක් ගැන මට අහන්න දකින්න ලැබිලා නෑ”‍ තන්තිරිමලය රජමහා විහාරස්ථානයේ නායක මාහිමිපාණන් වහන්සේ සජිත්ට සහ සහ ජලනිට කීහ.


“ඕනෑම කටයුත්තක් කරද්දි පුංචි හරි අතපසුවීමක් අඩු පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ කඨින පින්කම්වල දී කිසිම අඩුපාඩුවක් නැතිව සර්ව සම්පූර්ණයෙන්ම ඉෂ්ට සිද්ධ වුණා”‍ උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් යුත් ජාතික සීමා නිර්ණය කමිටුව හදිසියේ ස්ථාපිත කිරීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ඇතුළු සමගි ජන බලවේගයේ විශේෂ අවධානය යොමු විය.


“මොකක්ද මේ හදිසියේ ආණ්ඩුවට සීමා නිර්ණය කොමිසමක් නිර්මාණය කරන්න වුවමනා වෙලා තියෙන්නෙ?”‍ අශෝක් අබේසිංහ ඇසුවේය.
“පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ උපක්‍රමයක්. වෙන මොකක්ද තියන අරමුණ”‍ හේෂා කීවේ ය.
“එක එක උප්පරවැට්ටි දාලා ආණ්ඩුව මැතිවරණය කල් දාන්න හදනවා. අපි මහින්ද දේශප්‍රිය මහත්තයාට කියනවා මේ ආණ්ඩුවේ උපක්‍රමයට අහුවෙච්ච අතකොළුවක් වෙන්න එපා කියලා. අපි කියනවා මේ උගුලෙන් ඉල්ලා අස්වෙන්න කියලා”‍ සජිත් පළමුවරට බටහිර අනුරාධපුර බලමණ්ඩල රැස්වීමේදී එහෙම කීවේය.
මැතිවරණය කල් දැමීම වෙනුවෙන් ආණ්ඩුව ගෙන ඇති අලු‍ත්ම උපක්‍රමය සීමානිර්ණ කොමිසම බව සජිත්ගේ කතාවෙන් බොහෝ දෙනකුට අවබෝධ විය.
ඒ අනුව විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව හඬ නගන්නට වූහ.


“දැන් ආපහු ආරම්භ වෙලා මැති ඇමති සූදුව. ආරංචි හැටියට තවත් පස් දෙනෙක් පත් කරන්න යනවා ලු‍. ජනතාව ඉන්නේ මහ පොළවේ. ආණ්ඩුව ඉන්නේ අහසේ.
ජනතාවට තියෙනවා කුසගින්න නිවා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. ආණ්ඩුවට තියෙනවා ඇමතිකම් ටික බෙදාහදා ගැනීම ගැන ප්‍රශ්නයක්. දූදරුවන්ට තියෙනවා කුසගින්නට ආහාර ටිකක් ගැනීම ගැන ප්‍රශ්නයක්. ආණ්ඩුවට තියෙනවා ඇමතිවරු බෙදාහදා ගැනීම ගැන ප්‍රශ්නයක්.”‍  සජිත් කීවේය.
“මේ වෙලාවේ විකල්පයක් නෑ. එකම විකල්පය තමා මැතිවරණයකට යන එක.
එ් මැතිවරණයේ දී මේ රටේ ජනතාව තීන්දුවක් දෙයි”‍ ගයන්ත කීවේය.


“ඔව් ඔය විදිහටම ජනාධිපතිතුමාට, රාජපක්ෂලා යි, එයාගෙ ගජමිතුරොයි වැල් පාලමෙන් එතෙර කරන්න කියලා ජනතාව ඡන්දෙ දුන්නොත් අපි ඒකටත් ගරු කරනවා. නෑ, මේ යන ගමන වැරදියි. ඒක වෙනස් කරන්න සමගි ජන බලවේගය දිනවන්න ඕන කියලා ජනතාව තීන්දු කළොත් ඒකත් අපි ගෞරවයෙන් බාරගන්නවා.”‍ මහලේකම් රංජිත් කීවේය.
“විපක්ෂයේ ඉඳගෙනත් ඉතිහාසයේ කිසිම දේශපාලන පක්ෂයක් නොකරපු විදිහට වැඩ කරන කණ්ඩායමට රට බාර දෙනවද, ආණ්ඩු බලය අරගෙනත් තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවකට මේ විදිහටම රට බාර දෙනව ද?”‍ එහෙම කිව්වේ නලීන් බණ්ඩාර ය.


මානව හිමිකම් කවුන්සිලයේ එකඟතා කඩකරමින් ශ්‍රී ලංකාවේ ත්‍රස්ත පනත උපයෝගී කරගෙන ජනතාවට එරෙහිව මර්දනයක් ක්‍රියාත්මක කරන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී සඳහන් විය. ඒ, ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේය.


එහිදී තෙරේසා විලියම්ස් පෙන්වා දුන්නේ රාජපක්ෂ රෙජීමය ලංකාවේ ආර්ථිකය විනාශ කළ බවත්, ඔවුන්ගෙන් පසුව ආ නායකයාත් විශාල වර්ධනයක් දැනට පෙන්නුම් නොකරන බවත්ය.


“ආණ්ඩුව මේ දිගින් දිගටම කරන මර්දනය නිසා රට හැම පැත්තෙන්ම පිරිහෙනවා. එක පැත්තකින් ආර්ථිකය කඩන් වැටෙනවා. අනෙක් පැත්තෙන් ලෝකෙන්ම විශාල අපකීර්තියක් එනවා”‍ හර්ෂ කීවේය.


"COP 27 සමුළුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් ට අතට අත දීලා පැය කිහිපයක් ඇතුළත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් මෙහෙම චෝදනාවක් ලංකාවට එල්ල වෙච්ච එක හරිම බරපතළයි”‍ මරික්කාර් කීවේය.


දැන් සමහරු ආපහු නිවුස් ප්ලාන්ට් කරන්න පටන් අරන් අපෙන් පහක් යනවා, හයක් යනවා, දහයක් යනවා කියලා.”‍ අශෝක් කීවේය.
“ඕවට කියන්නෙ එදාවේල විගඩම් කියලා. ඔය කියන විදිහට යනවනම් මේ වෙනකොට සමගි ජන බලවේගයේ කිසිම කෙනෙක් නෑ.” මුජිබර් කීවේය.
“එහෙට මෙහෙට පනින දේශපාලන අවස්ථාවාදීන්ට අනාගත දේශපාලනය ඇතුළේ පැවැත්මක් නෑ. මිනිස්සු දැන් ඉස්සර වගේ නෙවෙයි. ප්‍රතිපත්තියක් නැති හැම කෙනාටම මිනිස්සු පාඩම උගන්වනවා”‍ ගයන්ත එහෙම කීවේය. 


“ඒක හරි. ගියොත් ගියාම තමා. අනිත් එක මේ වගේ අයාලේ යන ආණ්ඩුවකට ඔක්සිජන් දෙන්න යන්න පුළුවන් කාටද?”‍ නලින් බණ්ඩාර කීවේය.

 

ජවිපෙට පොලිසියේ සහාය

විශ්‍රාම ලබා සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හා නියෝජ්‍ය පොලිස්පතිවරු ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී ජාතික මට්ටමෙන් පක්ෂයට සහාය දැක්වීමට එකඟතාව දැක් වූහ.


මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවීමට එහි ගිය අනුර කුමාර දිසානායක මහතා එම සංචාරය පිළිබඳව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට දැනුම්දීම ද ඉකුත් සතියේ සිදුවිය.
සංචාරක හා ධීවර කර්මාන්තවලින් යහපත් ආර්ථික මට්ටමක් ලබා සිටින මාලදිවයින පිළිබඳව එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විස්තර කර ඇති අතර මෙරට එම කර්මාන්ත දෙක දියුණු කිරීමට ඇති නොහැකියාව පිළිබඳව පැහැදිලි කළ බවද ඔහු කීය. මෙරට එම අංශ දෙක දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට ද ඔවුන් එකඟතාව දක්වා ඇත.
ජනතා විමුක්ති පෙරමුණ රජයක් යටතේ ධීවර හා සංචාරක ක්ෂේත්‍රවලින් ආදායම උපදවා ගැනීමට මාලදිවයින ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළ මෙරට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද එරට සිටින ශ්‍රී ලාංකිකයන් පෙන්වා දුන් බව අනුර කුමාර දිසානායක මහතා කීය.


මාලදිවයින සංචාරයෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ක්වේට් බලා පිටත්ව ගියේය.


ජනතා විමුක්ති පෙරමුණේ ආසන සමුළු පැවැත්වීමේ වැඩපිළිවෙළ රටපුරාම පවත්වා අවසන් කිරීමට ද තීරණය කරනු ලැබුවේය.


ත්‍රස්තවාදී පනත යටතේ වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන් රඳවා තබා ගැනීම පිළිබඳව ද පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාකච්ඡාවට භාජනය විය.
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම කරනු ලබන බව ද මධ්‍යම කාරක සභාවේ දී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය.
ලාල් කාන්ත මහතා කියා සිටියේ වෘත්තීය සමිති සමුළුවලට තමා සහභාගී වන බවයි. තරුණ සේවා සභාවේ පැවැති විදුලි සේවක සමුළුවට සහභාගි වූ බව සඳහන් කළ ලාල් කාන්ත මහතා ඉදිරියේදී දුම්රිය, වරාය, හෝටල් සේවක වෘත්තීය සමුළුවලට සහභාගී වන බව ද කීවේය.

දූෂණ විරෝධී පුළුල් ක්‍රියාවලියකට කරු යොමු වෙයි

ශ්‍රී ලංකාව තුළ මුල් බැසගෙන ඇති මහා පරිමාණ දූෂණ වලක්වාලීම සඳහා පුළුල් ක්‍රියාන්විතයකට යොමුවීමට කරු ජයසූරිය මහතා පියවර ගෙන තිබේ. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මූලික වෙමින් ඒ සඳහා වන සැලසුම් මේ දිනවල දී සිදුකරමින් පවතින අතර මේ වන විටත් ඒ සඳහා ඉදිරි පෙළ කමිටුවක් නම් කර ඇත. 
එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙස කටයුතු කළ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියයි. එහි ප්‍රථම පියවර ලෙස දූෂණ විරෝධී පනතට නව යෝජනා ඉදිරිපත් කරමින් එම යෝජනා ක්‍රියාත්මක කරවීම සඳහා දැනටමත් රජයේ අවධානයට යොමු කර ඇති අතර දූෂණ චෝදනා බහුල ලෙස එල්ලවෙමින් පවතින ආයතන දෙකක් ඉලක්ක කරගෙන ක්‍රියාකාරී සැලස්මක් ද සකස් කර තිබේ. ඒ සමගම මෑත යුගයේ රට තුළ සිදු වූ මහා පරිමාණ දූෂණ සිදුවීම් දහයක් ඉලක්ක කරගනිමින් ඒ පිළිබද ගවේෂණාත්මක හෙළිදරව්වක් කරමින් අදාළ වගකිවයුත්තන්ට නඩු පැවරීමට ද සූදානමක් පවතී. ඒ සියලු සැලසුම් හා ක්‍රියාමාර්ග දෙසැම්බර් මස මුල් දින කිහිපය තුළ රටට හෙළිදරව් කිරීමට කරු අපේක්ෂා කරයි.

 

ගජබා

 

 

 

 



අදහස් (0)

ප්‍රසන්න රණවීරගෙන් සාගරට කුණු බැණුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

කරලියේ කතාබහ

පොහොට්ටුවෙන් පූට්ටුවක්
2024 ජුලි මස 22 793 0

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කර ඇති නමුත් පොහොට්ටුව දිගින් දිගටම


මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 1041 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 749 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 560 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 477 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 401 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1237 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1515 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 394 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site