• ඔන්ලයින් ක්‍රමයෙන් පැවැති කැබිනට් රැස්වීම

කොරෝනා කෙරෙහි යොමුව තිබූ අවධානය ගිය සතියේ වෙනතකට යොමු වූයේ මහර බන්ධනාගාරයේ ඇති වූ අවාසනාවන්ත සිද්ධියත් සමගිනි. මහර බන්ධනාගාරයේ ගිය ඉරිද‌ා රාත්‍රියේ ඇතිවූ ගැටුමින් රැඳවියන් 11 දෙනෙකු මියගිය අතර 106 දෙනෙක් තුවාල ලැබූහ. ඉන් සිදුවූ දේපළ හානිය ද කෝටි ගණනකි. මේ නිසා ගිය සතිය පුරාවට ද මහර බන්ධනාගාර ගැටුම දේශපාලන කරළිය ද ගිනියම් කළ මාතෘකාවක් බවට පත්ව තිබිණි.


‘කැබිනට්ටුවත් ඔන්ලයින් වෙයි’


සඳුද‌ා හැන්දෑවේ සුපුරුදු පරිදි පැවැත්වෙන සතියේ කැබිනට් රැස්වීම මෙවර පැවැත්වූයේ ඔන්ලයින් ක්‍රමයටය. ඊට හේතුව කොවිඩ් වයිරසයේ අවදානමය. කැබිනට් රැස්වීමක් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව එය විය. ජනාධිපති කාර්යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකය එම කටයුතු සංවිධානය කළේය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම මාවතේ පිහිටි අගමැති නිල නිවසේ සිට ද කැබිනට් රැස්වීමට සම්බන්ධ වූයේ වීඩියෝ තාක්ෂණයෙනි. ඇමැතිවරුන් සිය අමාත්‍යාංශ කාර්යාලවල සිට ඔන්ලයින් හරහා කැබිනට් රැස්වීමට සහභාගි වූ අතර ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සිය ජංගම දුරකථනය ඔස්සේ ඊට සම්බන්ධ විය. මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් ඇමැති ධුරයට ගිය සතියේ පත්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇමැතිවරයා සිය පළමු කැබිනට් රැස්වීමට සම්බන්ධ වූයේ ද ඔන්ලයින් ක්‍රමයට වීම විශේෂත්වයකි.

කැබිනට් රැස්වීමේ දී වැඩි අවධානය යොමු වුණේ කලින්ද‌ා රාත්‍රියේ ඇතිවූ මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙනි. ඊට හේතු වූයේ මහර බන්ධනාගාර ගැටුම ඒ වන විටත් දේශපාලන කරළිය ගිනියම් කළ මාතෘකාවක් බවට පත්ව තිබූ බැවිනි. කැබිනට් මණ්ඩලයේ අවධානය ඒ ගැන යොමු කරවමින් මුලින්ම කතා කළේ අගමැති මහින්දය. මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සංවිධානාත්මකව සිදු වූ බවක් හුඟ දෙනෙක් කියනවා. අපි මේ ගැන විශේෂ විමර්ශනයක් කරන්න අවශ්‍යයි යැයි අගමැතිවරයා කීවේය. අනතුරුව ජනාධිපතිවරයා ඒ ගැන පැහැදිලි කළේය. ජනාධිපතිවරයා ඒ වන විටත් සිද්ධිය ගැන තොරතුරු දැන සිටි අතර අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගෙන තිබිණි. අපි මේ ගැන අද උදේ සාකච්ඡා කළා. අධිකරණ ඇමැතිතුමා, රාජ්‍ය ඇමැතිතුමා, පොලිස්පති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ආදීන් එක්කත් කතා කරලා මේ ගැන විධිමත් පරික්ෂණයක් පවත්වන්න පොලිස් කණ්ඩායම් හතරකුත් යොදවලයි තියෙන්නේ’ යැයි ජනාධිපතිවරයා කීවේ සිද්ධිය ගැන පැහැදිලි කරමිනි. ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා කීවේ ‘මහර රැඳවියන් තවමත් සෙල්වලට ගිහින් නෑ. එළියේ ඉන්නවා’ යනුවෙනි. මේ සිද්ධිය පිටුපස යම් යම් කණ්ඩායම් සිටින බවට ඇතුළෙන්ම ලැබෙන තොරතුරුවලින් කියැවෙන බව ද ප්‍රසන්න කීවේය. ඇමැති නාමල් රාජපක්ෂ ද ලැප්ටොප් පරිගණකය ඔස්සේ සම්බන්ධ වෙමින් මේ ගැන අදහස් දැක්වීය. ‘හැම බන්ධනාගාරයකම සැලසුම් සහගතව මේක සිද්ධ වෙන බව පේන්න තියෙනවා. වීරවිලටත් කොවිඩ් රෝගියෙක් ගේනවා කියලා පණිවිඩයක් ගිහින්, මීට දවස් කිහිපයකට කලින් මිනිස්සු නොසන්සුන් වෙලා හිටියා. මේවා ප්ලෑන් කරල කරන බව තමයි පේන්නේ.’ යැයි නාමල් කීවේය.
මේ අතර ජනාධිපතිවරයා කීවේ බන්ධනාගාරවල තදබදය වැඩි වී ඇති බවය. රිමාන්ඩ් වෙලා ඉන්න අය හුඟක් වැඩි බව කී ජනාධිපතිවරයා ගැටුමට සම්බන්ධ වී ඇත්තේ ඔවුන් බවට තමාට තොරතුරු ලැබී ඇති බව සඳහන් කළේය. අධිකරණ ඇමැති අලි සබ්‍රි කතා කළේ ජනාධිපතිවරයාගේ අදහස ද අනුමත කරමිනි. හත්ද‌ාහක් ඉන්න ඕනෑ තැන 30,000 ක් ඉන්නවා. මේ තදබදය නැති කරන්න අපි කටයුතු කරගෙන යනවා.’ යැයි කීවේය. කැබිනට් රැස්වීම ඔන්ලයින් ක්‍රමයට පැවැත් වුණ ද එය පැය දෙකක් පමණ ඇදී ගියේය.


දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදහස්


දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුදල් අවභාවිත කළැයි කියමින් යහපාලන ආණ්ඩුව විසින් පවරන ලද නඩුවෙන් බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ගිය සතියේ නිදොස් කොට නිදහස් කරනු ලැබීය. බැසිල් පමණක් නොව තවත් නිලධාරීන් තිදෙනෙකුට ද එරෙහිව කොළඹ මහාධිකරණයේ එම නඩුව පවරා තිබූ අතර එම නිලධාරීහු තිදෙනා ද නිදොස් කොට නිදහස් කරනු ලැබූහ. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණු දින බැසිල් ද උසාවියට පැමිණ සිටියේය.


ඔහුගේ සහායට ප්‍රසන්න රණතුංග, නිමල් ලාන්සා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද හිටපු ඇමැති ලක්ෂ්මන් යාපා අ​බේවර්ධන ද පැමිණ සිටියහ.


නඩුවේ තීන්දුවෙන් පසුව බැසිල් එම පිරිස ද සමග මුලින්ම කොටුව සම්බුද්ධාලෝක විහාරයට ගොස් ආගමික වතාවත්වල නිරතව පසුව ගංගාරාමයට ගියේය. ගංගාරාමයේ ආගමික වතාවත්වලින් පසුව ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් අනුශාසනා කරමින් කියා සිටියේ දේශීය ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රායෝගික පැත්ත දන්නේ ඔබතුමා. ඒ නිසා ඔබතුමා පාර්ලිමේන්තුවට එන්න ඕනෑ යනුවෙනි. බැසිල් හිනා වුණා මිස පිළිතුරක් නොදුන්නේය. අනතුරුව බැසිල් හා මැති ඇමැතිවරුන් පිරිස දවල් කෑමට ජයික් හිල්ටන් හෝටලය වෙත පැමිණියේ හිතවතකු එහි දිවා ආහාරය සූදානම් කර තිබූ බැවිනි.


ජනපති තරුණ මන්ත්‍රීන් හමුවෙයි.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුන් අතර හමුවක් ගිය බ්‍රහස්පතින්දා දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.


ඊට පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරු 24 දෙනෙක් පමණ සහභාගි වූහ. නිලධාරීන්ගෙන් සහභාගි වූයේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුන් පමණි. මන්ත්‍රීවරුන්ට තම තමන්ගේ ප්‍රශ්න යෝජනා වෙන වෙනම ඉදිරිපත් කරන්නට අවස්ථාව දී තිබූ අතර ජනාධිපතිවරයා සාකච්ඡාව ආරම්භ කරමින් කීවේ මම කැබිනට් ඇමැතිවරුන් සති පතා හමු වෙනවා, රාජ්‍ය ඇමැතිවරුන් මාසයකට වරක් හමු වෙනවා. සංවර්ධන කමිටු සභාපතිවරුන් මාසයකට වරක් හමු වෙනවා. පසු පෙළ මන්ත්‍රීවරුත් මේ විදියට මාසයකට වරක් හමුවෙනවා යනුවෙනි. එදින සාකච්ඡාවට සහභාගි නොවූ මන්ත්‍රීවරුන්ට ඊට පසු දින සාකච්ඡාවක් ලබා දී ඇති බව ද ජනාධිපතිවරයා කීවේය. මන්ත්‍රීවරුන් ද තම තමන්ගේ ප්‍රදේශවල තිබෙන ගැටලු ප්‍රශ්න මෙන්ම කාලීන වශයෙන් වැදගත් කාරණා ගැන ද අදහස් යෝජනා ඉදිරිපත් කළේ ජනාධිපතිවරයා දුන් අවස්ථාව උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමිනි.


අපි ආණ්ඩුව විදියට කරගෙන යන වැඩ හොයලා බලන්න දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් විදිහට ඔබ තුමාලාට පුළුවන්. යම් තැනක ප්‍රමාදයක් වෙනවා නම් ඒවත් හොයලා බලලා වාර්තා කරන්න ජනාධිපතිවරයා කීවේය. ප්‍රමිත බණ්ඩාර තෙන්න​කෝන් මන්ත්‍රීවරයා මතු කළේ තවත් කරුණකි. ඔහු කීවේ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළේ එවකට සිටි ජනාධිපති ලේකම්වරයාගේ ලිපියකින් බවය. එය ව්‍යවස්ථාවට ද පටහැනි බැවින් නිවැරැදි කළ යුතුව ඇතැයි ප්‍රමිත කීවේය.


බැසිල් රාජපක්ෂ හිටපු අමැතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ඇමැති ධුරයක් ද දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් 113 දෙනෙකු විසින් අත්සන් කරන ලද ලිපියක් ජගත් කුමාර මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට බාර දුන්නේය. එය බාර ගනිමින් ජනාධිපතිවරයා කීවේ මම ඊයෙත් එයාට පාර්ලිමේන්තුවට එන්න කිව්වා. එයා තමයි ප්‍රමාද කරන්නේ යනුවෙනි. පාර්ලිමේන්තුවට එන්න ඇයි මෙච්චර ප්‍රමාද වෙන්නේ. ඔයාලත් නැවත කියලා බලන්න යනුවෙනි. සාකච්ඡාව යන අතරේ මාතර කරුණා කොඩිතුවක්කු මන්ත්‍රීවරයා පිටව යාමට අවසර ඉල්ලුවේ තමාගේ පුතාගේ විවාහ මංගල උත්සවය එදින පැවැත්වෙන බව කියමිනි. ඔයා අද මොකටද ආවේ හෙට එන්න තිබුණේ යැයි ජනාධිපතිවරයා කීවේය. කරුණා මන්ත්‍රීවරයා කරුණු 10 ක් ඇතුළත් ලිපියක් ලියාගෙන ඇවිත් සිටි අතර ඔහු එය ජනාධිපතිවරයාට බාර දී පිටත්ව ගියේය.


බන්දුලගේ කිව් ෂොප් බලන්න රෝසි එයි


​වෙ​ෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනට ගිය සතියේ දුරකථන ඇමතුමක් ලැබුණේ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායකගෙනි. රෝසි ඇමතුම දෙමින් කීවේ බන්දුල කොළඹ නගර​ෙය් ආරම්භ කර ඇති කිව් ෂොප් වැඩසටහන ඉතා හොඳ දෙයක් බවය. තමා වෙනත් පක්ෂයක් නියෝජනය කළ ද මේ වැඩේ අගය කරන බව ඇය කීවාය. අලුත් කිව් ෂොප් එක බලන්න තමා හෙටම එනවා යැයි රෝසි කීවාය. එන්න එන්න මාත් එන්නම්. යැයි බන්දුල කීවේ රෝසිට පහුවදා උදේ එන්නයි ආරාධනා කරමිනි. ඒ අනුව පසුවදා දහවල් රෝසි සේනානායක කොළඹ නවම් මාවතේ පිහිටි කිව් ෂොප් එක බලන්න පැමිණියාය. බන්දුල ද කලින්ම ඇවිත් සිටි අතර රෝසි කිව් ෂොප් එක බලා හොඳ වැඩක් යැයි කියමින් අගය කළාය. කොළඹ නගරයේ කිව් ෂොප් තවත් 20 ක් දාන්න බන්දුල රෝසිට පොරොන්දුවක් ද දුන්නේ මේ අතර වාරයේය. අයවැය කාරක සභා අවස්ථා විවාදය මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අතර එහි ඡන්ද විමසීම ලබන 10 වැනිදා පැවැත්වේ. විවාදය නිසා මැති ඇමැතිවරුන් වැඩි දෙනෙකු මේ දිනවල සිටින්නේ පාර්ලිමේන්තුවේය. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හතර වැනි පේළියේ අසුන්වල සිටින වැඩි දෙනකු ජ්‍යෙෂ්‍ඨ මන්ත්‍රීවරුන් වන අතර ඔවුහු සියලු දෙනාම පාහේ කලින් ආණ්ඩුවල ප්‍රබල ඇමැති ධුර හෙබවූ අය ද වෙති. එහෙත් මෙවර ඔවුන්ට ඇමැති ධුර හිමිව නැත. මේ පිරිස අසුන්ගෙන සිටි තැනට ආ බදුල්ලේ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා එහි සිටි මන්ත්‍රීවරුන් ද හිනස්සමින් කීවේ අපූරු කතාවකි. මේ හතර වැනි පේළිය තියෙනවා නේද? මේක තනිකරම එක්ස්පයර් පේළියක්. බැරි වෙලාවත් විහිළුවටත් මෙහෙ නම් ඇවිත් ඉඳ ගන්න එපා. යැයි ඔහු කීවේ එහි සිටි සියලු දෙනා හිනස්සමිනි. මේ අතර චාමර අය වැය විවාදය සඳහා සිය කතාව ලියාගෙන පැමිණ සිටියේ හාෆ්ෂීට් කොළයක තනි පැත්තේය. එහි සඳහන්ව තිබුණේ විපක්ෂයෙ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් දෙකක් පමණි. එකක් හරින් ප්‍රනාන්දුය. අනෙක සරත් ෆොන්සේකාය. ළඟ සිටි ආණ්ඩු පක්ෂයේ හිතවත් මන්ත්‍රීවරයෙකු චාමරගෙන් ඇසුවේ මචං මේ උඹගේ කතාවද? මේකෙ නම් දෙකක් විතරනෙ තියෙන්නේ. වෙන මොකුත් නැහැනේ යනුවෙනි. මගේ කතාවේ මම කරන්නේ මේ දෙන්නට බනින එකනෙ. ඒක අමතක වෙන නිසා තමයි නම් දෙක ලියාගෙනම ආවේ චාමර කීවේ හැමෝම හිනස්සමිනි.


සමගි ජන බලවේග මන්ත්‍රීන් මහරට


සසුනට අරුණ දීප ව්‍යාප්ත වැඩසටහනට සමගාමීව මානජ්ජාව විවේකාරාම පිංබිමෙහි ඉදිවූ නාපාන මාහිමි සමරු මහා සෑරදුන් වහන්සේ, සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පුණ්‍යකර්මය පැවැතියේ ගිය ඉරිදාය.
සසුනට අරුණ ව‍්‍යාපෘතිය හරහා දිවයින පුරා චෛත්‍යය 1125 ක් ඉදි කිරීමට නියමිතය.
ගාල්ලෙත් චෛත්‍යයක් ඉදිවෙනවා. මේ කීවෙනි චෛත්‍යය ද නායකතුමා ? ගයන්ත ඇසුවේය.
ලංකාවේ සසුනට පූජා කරන අටවැනි චෛත්‍යය තමයි මේ චෛත්‍යය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ හයවෙනි චෛත්‍යය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වගේ ම චෛත්‍ය ඉදි වෙනවා. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ තවත් චෛත්‍යයක් ඉදිවෙනවා. මේවට අමතරව අම්පාර, පුත්තලම, වව්නියාව, බදුල්ල, රත්නපුර, ගාල්ල, මඩකළපුව, කුරුණෑගල, ගම්පහ, මොණරාගල, කොළඹ, අවිස්සාවේල්ල බල ප්‍රදේශ​ෙය වගේම මාතර බල ප්‍රදේශයේ තවත් චෛත්‍යය දහතුනක් ඉදිකරමින් පවතිනවා. සජිත් කීවේය.


“ඉස්සර උදාගම්වලදිත් එහෙමනේ. ගෙවල් ගාන, සාමාජිකයන් ගාන, හදලා තියෙන ගාන, සේරම බලන් හිටියා වගේ ඔබතුමා කියනවනේ”‍ ගයන්ත කීවේය.


“සසුනට අරුණ පටන් ගන්නකොට මම මුලින්ම ඒ ගැන කීවේ නාපානේ මහනායක හාමුදුරුවන්ට”‍සජිත් සිහිපත් කළේය.


“උන් වහන්සේ බොහොම ගෞරවනීය විදිහට කටයුතු කරපු මහා උත්තමයෙක්’’ දිලිප් කීවේය.
“ශාසනික කටයුතුවලට මුල් තැන දීලා උන් වහන්සේ ජාතික වැදගත්කමක් ඇති වැඩ වලදිත් දේශපාලන හැඟීමක් නැතිව වැඩ කළා’’ එහෙම කීවේ ෆොන්සේකාය.


“ඒක ඇත්ත. උදාර අරමුණු තිබුණ, ශ්‍රේෂ්ඨ හිමි නමක්”‍ සජිත් කීවේය.


මහනාහිමියන් සහ තමන් අතර පැවැති හිතෛශීවන්ත බව සජිත් සිය කතාවේදී ද සිහිපත් කළේය.
“උන්වහන්සේගේ අවවාද අනුශාසනා මගේ ආගමික සහ සමාජ, දේශපාලන කටයුතු වෙනුවෙන් විශාල ආශිර්වාදයක් වුණා. මගේ ආගමික ශාසනික සහ සමාජයීය කටයුතු වලදී සෑම විටකම මම තෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තා. අපගේ නාපානේ පේමසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හමුවෙලා ආශිර්වාද ලබා ගැනීම මම නිරන්තරයෙන් සිදු කළා.


විශේෂෙන්ම මට මතකයි සසුනට අරුණ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට පෙරාතුව මම තෛනිකායික මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබාගත්තා. ඒ වගේම නාපාන පේමසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සසුනට අරුණ ගැන දැනුම් දෙන්න උන් වහන්සේව බැහැ දකින්න ගියා. මම තරමක් ඈතින් වාඩි වුණාම උන්වහන්සේ මට කතා කරලා කිව්වා ”‍ඈත වැඩී, ළඟට ඇවිත් වාඩි වෙන්න කියලා.


ඊට පස්සේ උන් වහන්සේ මගෙන් ඇහුවා මොනවද දැන් කරන්නේ කියලා. මම කිව්වා සසුනට අරුණ වැඩසටහන ආරම්භ කරනවා කියලා. උන් වහන්සේ මගෙන් අහපු ප්‍රශ්නෙ තමයි කොහොමද ආණ්ඩු බලයක් නැතිව මේවා කරන්නේ කියලා. මම කීවා විපක්ෂයේ ඉඳගෙන හරි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මම කළ හැකි සියල්ල කරනවා කියලා. මම කිව්වා මූලිකවම මේකෙ වැඩ කටයුතු ආරම්භ කරන්නේ රුපියල් 50,000ක පුංචි අරමුදලක් විහාරස්ථානයට ලබාදීලා කියලා. ඒක අහපු අපේ නායක මාහිමිපාණන් වහන්සේ මගේ දෑතම අල්ලලා ඒකට ආශිර්වාදය ලබා දුන්නා.”‍ සජිත් සිහිපත් කළේය.


මහර බන්ධනාගාරයේ සිදුවීම සමගි ජන බලවේගයට ඉමහත් කම්පනයක් ඇති කරන සිදුවීමක් විය.
“මහර ප්‍රශ්නයක්ලු‍’’ සජිත්ට ආරංචිය කීවේ හරීන්ය. ඒ වනවිටත් සජිත් ඒ පිළිබඳව බොහෝ තොරතුරු සොයාගෙන තිබිණි.


“වැලිකඩින් පිරිසක් මහරට ගෙනත් තියෙනවා. කොරෝනා පොකුර ආවේ ඒකෙන්.”‍ සජිත් කීවේය.
”‍අපි හෙට මහර ගිහින් මේ වෙච්ච දේ බලනවා.”‍ හරීන් කීවේය.


“ඒක හොඳයි. තව කීපදෙනෙක් එක්ක යන්න. හැබැයි ඇතුළට යන්න දුන්නොත් පුදුමයි”‍ සජිත් කීවේය.
හරීන්ලා මහර ගියේ සජිත්ගේ ද අනුමැතිය අනුවය. නලීන්, හෙක්ටර්, මුජිබුර්, රෝහිණි, තුෂාර ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.


සජිත් කීවාක් මෙන්ම ඔවුන්ට ඇතුළට යන්න බලධාරීන් ඉඩ දුන්නේ නැත.


කෙසේ වෙතත් බන්ධනාගාරය ඉදිරියේ සිටි රැඳවියන්ගේ ඥාතීහු හඬමින් වැලපෙමින් සිය වේදනාව මන්ත්‍රීරීවරුන්ට කියා සිටියහ.


“අඩු තරමේ මේ අයගේ මරණ පරීක්ෂණ වාර්තාවත් ලැබිලා නෑ. මැරුණේ කවුද කියලවත් ඒ අය දන්නෙ නෑ. ඒ මිනිස්සු විලාප තියනවා. ඒක ආණ්ඩුවට පේන්නෙත් නෑ”‍ හරීන් කීවේය.


“මහර සිදුවීම යට ගහන්න එපා. ඒ ගැන වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ”‍ සජිත් වහාම පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට කීවේය.


“පිටත සිටියත් ඇතුළත සිටියත් බන්ධනාගාරයේ සිටියත් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒ වගේම ආණ්ඩුව සිරකරුවන් පිළිබඳව ආඥා පනත උල්ලංඝණය කරලා. මේ විදිහට කටයුතු කරන්න එපා”‍ සජිත් කීවේය.


එදින හවස සජිත් සමගි ජනබලවේගය කාර්යාලයට ගියේ විශේෂ කටයුත්තක් සඳහා ය. ඒ සමගි ජනබලවේගයේ ව්‍යවස්ථා කෙටුම්පත හඳුන්වා දීමේ අවස්ථාවටය.


”‍මේක ඔබ කාගේත් පක්ෂය. මේ පක්ෂයේ තනි තීන්දු ගන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන අපි, ප්‍රජාතන්ත්‍රවාදී විදිහටයි වැඩ කරන්නේ. මේ සියලු‍ දෙනා මම ආරක්ෂා කරනවා. හැමෝටම වගකීමක් තියෙනවා. මම කාටත් ඇහුම්කන් දෙනවා. හැබැයි සෘජුව තීන්දුත් ගන්නවා”‍ සජිත් කීවේය .


අනතුරුව සමගි ජනබලවේගයේ ව්‍යවස්ථා කෙටුම්පත අවසන් කිරීමට සජිත් කමිටුවක් පත් කළේ මහලේකම්තුමාගේ මූලිකත්වයෙනි. එම කටයුතු ලබන 9 වැනිදා වන විට අවසන් වීමට නියමිතය.
දිගින් දිගටම ආණ්ඩුවේ ඇතැමුන් විපක්ෂ නායකයා ඉලක්කකොට මඩ ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඇතිවිය.


“මේවා අමූලික බොරු කියලා රටම දන්නවා. හැබැයි ආණ්ඩුව මේ පෙන්වන්නේ විපක්ෂ නායකයාට තියෙන බය”‍


හේෂා එහෙම කියද්දී සියලු‍දෙනා එය අනුමත කළහ.


“පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරලා නායකතුමාට මඩ ගහන එක එයාලගේ එකම අරමුණ”‍ තිස්ස අත්තනායක කීවේය.


”‍බලන්න නිවාස අමාත්‍යංශය ගැන විවාදය වෙලාවේ අපේ ඉම්තියාස් ඇමතිතුමා කතා කරපු හැටි. ඒ කතාවල අහලකින් තියෙන්න පුලු‍වන් ද ආණ්ඩුවේ අය ?”‍ මහලේකම් රංජිත් කීවේය.


“නායකතුමා හිටපු ඇමති විදිහට විවාදය වෙලාවේ පාර්ලිමේන්තුවේ නෑ කියලා අර ඉන්දික කීවා”‍ එහෙම කීවේ ගයන්තය.


“මෙහෙමයි, එයා එහෙම කීවට දැන් ඒ විෂය භාර අගමැතිටනේ. එයා හිටියෙත් නෑනෙ. ඒ විතරක් නෙවේ, ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂය වෙලාවේ නාමල් හිටියෙත් නෑනේ. හැබැයි ඒවා අල්ලගෙන මඩ ගහන්න තරම් අපි බංකොලොත් නෑ. ඒ විදිහේ පහත් දේශපාලනයක් කරන්න සජිත් ප්‍රේමදාස මහත්තයා ඉඩ දෙන්නෙත් නෑ”‍ රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


එජාප නියෝජ්‍ය නායක රුවන් මොණරාගලදී පක්ෂ ක්‍රියාකාරිකයන් හමුවෙයි


එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාකාරීන් හමුවීමේ වැඩපිළිවෙළක් පසුගිය සතියේ මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්කවල පැවැත්වුණි. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා එම සාකච්ඡාවලට සහභාගි වූයේය. පාන්දර හතර වන විට කොළඹින් පිටත් වූ විජයවර්ධන මහතා ඇතුළු පිරිස උදේ 8.00 වන විට මොණරාගලට පැමිණියහ. පාලිත රංගෙබණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, සමන් රත්නප්‍රිය, ආශු මාරසිංහ, සන්දිත් සමරසිංහ, ශාන්තිනී කෝන්ගහගේ යන මහත්ම මහත්මීහු කොළඹින් ගිය පිරිස අතර වූහ.


මොණරාගල පෞද්ගලික හෝටලයක පැවැති සාකච්ඡාවට දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීහු රාශියක් සහභාගි වී සිටියහ. මෙහිදී පාලිත තෙවරප්පෙරුම හිටපු රාජ්‍ය ඇමැතිවරයා හා ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් අතර පැවැති වචන හුවමාරුවක් රුවන් විජයවර්ධන මහතා මැදිහත් වී සමථයකට පත් කළේය. පක්ෂය භේද කළ අයට විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පාලිත තෙවරප්පෙරුම මහතා කළ ප්‍රකාශයට ප්‍රාදේශීය සභා සභාපතිවරයා විරෝධය දැක්වීමෙන් වචන හුවමාරුව සිදුවිය.


රුවන් විජයවර්ධන මහතා ඒ අවස්ථාවේ වේදිකාවට පැමිණ කීවේ ‘අපි වාද කරගත යුතු නැහැ. මේවගේ සාකච්ඡා තියන්නේ අදහස් හුවමාරු කරගන්න. සියලු දෙනාටම තමන්ගේ අදහස් කියන්න අයිතියක් තියෙනවා. ඒ අදහස් ආරාවුලකට යා යුතු නැහැ.’ යනුවෙනි. එම ප්‍රකාශයෙන් පසු පිරිස කිසිදු වාදයක් ඇති කරගත්තේ නැත.


ඇතිවූ සිද්ධිය මධ්‍යයට නොයා යුතු බවට මෙහිදී කීප දෙනෙක් ප්‍රකාශ කර සිටියහ. එහිදී විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ‘නැහැ. අපි මාධ්‍යයට සීමා දැමිය යුතු නැහැ. ඔවුන්ට අවශ්‍ය දෙයක් කරගත්තාවේ. අපි බලපෑම් කළ යුතු නැහැ. මාධ්‍ය නිදහසට බාධා කළ යුතු නැහැ. ඔවුන් කැමැති විදියට කටයුතු කරගන්න අරින්න.’ යනුවෙනි.


මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තුවේ පත්කළ මන්ත්‍රී තනතුරට රුවන් විජයවර්ධන මහතා පත්විය යුතු බවට යෝජනා කෙරිණි. එම තනතුරට වඩාත්ම සුදුස්සා ඔහු වන බැවින් එම පත්වීම කළයුතු බවට යෝජනා විය.
එහිදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ පක්ෂයේ නායකයාගේ නම ඒ සඳහා යෝජනා වී තිබෙන බවය.


මෙම සාකච්ඡාවෙන් පසු රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිස මාලිගාවිල රජමහා විහාරයට හා යුධගනාව දෙමටමල් විහාරයට ගොස් වැඳපුද‌ා ගත්හ.


එහිදී මාලිගාවිල රජමහා විහාරාධිපති හිමියන් ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ව්ටිනාකම දැන් ජනතාව තේරුම් ගෙන ඇති බවයි. පක්ෂයේ හිටපු නායකයන් ගැන කතා කළ උන්වහන්සේ රුවන්ගේ නායකත්වයෙන් පක්ෂයට විශාල ජයග්‍රහණයක් ලැබිය හැකි බව ද ප්‍රකාශ කර සිටියහ.


එදිනම අම්පාරට පැමිණි පිරිස හිටපු ඇමැති දයා ගමගේ මහතාගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වූහ.


පසුවද‌ා උදේ ඩී.එස්. සේනානායක, අනගාරික ධර්මපාල හා ඩෙන්සිල් කොබ්බෑකඩුව පිළිරූවලට පුෂ්පෝපහාර දැක්වූ රුවන් විජයවර්ධන මහතා දයා ඇපරල් ආයතනයේ ශ්‍රවණාගාරයේදී පක්ෂයේ ක්‍රියාකාරීන් හමුවිය. ඉන් අනතුරුව බුද්ධංගල ආරණ්‍ය සේනාසනයට ගිය පිරිසට හමුවූයේ විශේෂ හිමිනමකි. උන්වහන්සේ දේශපාලනඥයකුගේ සොහොයුරෙකි.


ඉන් අනතුරුව පිරිස දීඝවාපිය හා දීඝවාපී පරිවාර චෛත්‍යය ද වැඳ පුද‌ා ගත්හ.


කොළඹට පැමිණි රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පදිංචි කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ නිවසට ගොස් ඉදිරි කටයුතු සාකච්ඡා කළේය. ලේකම් තනතුර පුරප්පාඩු වීමෙන් සිරිකොත පක්ෂ කාර්යාලයේ වැඩකටයුතුවලට බාධා පවතින බව මෙහිදී විජයවර්ධන මහතා පෙන්වා දී ඇති අතර එහිදී එම තනතුර සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කීප දෙනකු පිළිබඳව අවධානය යොමුකර ඇත.

 

 

-ගජබා-