IMG-LOGO

තමිල්නාඩු විජේගේ දේශපාලනයට සම්ප්‍රාප්තිය

දෙමළ සිනමා ලෝලීන්ගේ වන්දනාමානයට ලක් වෙන විජේ, දේශපාලනයට පිවිසියේ ඔහු විසින්ම පිහිටුවාගනු ලැබූ නව පක්ෂයකිනි. ‘තමිළාහ වෙට්රි කළහම්’ (තමිල්නාඩු වික්ටරි ෆෙඩරේෂන්) යනු එම පක්ෂයයි. 

දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලු‍පුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසිකාවියන්ගේ ඔල්වරසන් සහ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. බොහෝ දෙනා පැමිණ සිටියේ තමන්ගේ සිනමා වීරයා, තමන්ගේ තලපති දැකගැනීමේ ආසාවෙනි. බාල මහලු‍ කවුරුත් ඒ මහා ජන පොදියේ පොරකන්නට වූහ. දරුවන් ඇකයේ රඳවාගත් කාන්තාවෝ පවා පිරිස අතරේ වූහ. එකම හිස් ගොඩක් වටකරගත් ඒ මහා වේදිකාව හරහා ඇවිද ගිය විජේ දෙසට මල් මාලා පමණක් නොවෙයි, රතු සහ කහමිශ්‍ර සාටක විසි වෙන්න විය. තලපති (කොමාන්ඩර්) යන ආදරණීය නාමයෙන් හැඳින්වෙන, ඉන්දීය දෙමළ සිනමාවේ අසහාය සුපිරි නළු විජේගේ දේශපාලන ආගමනය මෙයයි. 
දෙමළ සිනමා ලෝලීන්ගේ වන්දනාමානයට ලක් වෙන විජේ, දේශපාලනයට පිවිසියේ ඔහු විසින්ම පිහිටුවාගනු ලැබූ නව පක්ෂයකිනි. ‘තමිළාහ වෙට්රි කළහම්’ (තමිල්නාඩු වික්ටරි ෆෙඩරේෂන්) යනු එම පක්ෂයයි. තමිල්නාඩු දේශපාලනයේ, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට අභියෝග කිරීමට බිහිවුණු ‘තමිළාහ වෙට්රි කළහම්’ පක්ෂයේ වර්ණය තද රතු සහ කහ ය.
අප සියලු‍ දෙනා උපතින් එක සමාන බවත්, සෑම අයිතියක්ම අප සියලු‍ දෙනාට හිමි බවත් ‘තමිළාහ වෙට්රි කළහම්’ පක්ෂයේ තේමාවය. පසුගිය 27 වැනිදා, විල්ලු‍පුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ, ඒ මහා වේදිකාවේ සිට තලපති විජේ සිය මංගල දේශපාලන කතාව පැවැත්වීය.‘වෛරී දේශපාලනයට මා විරුද්ධයි. පළිගන්නා දේශපාලනයට මා විරුද්ධයි. දේශපාලකයන් යනු ජනතා සේවකයන්. මා පැමිණියේ ජනතාවට සේවයට කිරීමටයි’ යැයි විජේ පවසද්දී, මහා ජය ඝෝෂාවක් රැස්ව සිටි පිරිස අතරින් නැගෙන්න විය. 
තමන් රංගනයට සමුදී, දේශපාලනයට පිවිස ජනතා සේවයට කැපවෙන බව විජේ ඉඟිකළේ මීට වසර කිහිපයක පටන්ය. රංගන ශිල්පියකු වී සිටිද්දී පවා විජේ තමිල්නාඩුවේ දෙමළ වැසියන්ගේ දුක-සැප සොයා බැලු‍වේය. ශ්‍රී ලංකාවේ උතුරේ දෙමළ වැසියන් වෙනුවෙන් පවා ඔහු පෙනී සිටියේය. විජේ තමිල්නාඩු වැසියන්ගේ ආදරණීය චරිතයකි. රිදී තිරයේ පමණක් නොව තිරයෙන් පිටුපසද ඔහු තමිල්නාඩු වැසියන්ගේ වීරයෙකි.
‘තමිළාහ වෙට්රි කළහම්’ පක්ෂයෙන් තමන් දේශපාලනයට පිවිසෙන බවත්, රංගනයට සමුදෙන බවත් පූර්ණකාලීනව ජනතා සේවකයකු වන බවත් විජේ දැනුම් දුන්නේ පසුගිය පෙබරවාරියේය. ඒඅනුව, විජේගේ පුරෝගාමීත්වය යටතේ ‘තමිළාහ වෙට්රි කළහම්’ බිහිවිය. පක්ෂයේ නායකයාද විජේය. පසුගිය අගෝස්තු මාසයේ පක්ෂයේ නිල ධජය සහ නිල ගීතය එළිදැක්වීම සිදුවිය.
දශක ගණනක් තිස්සේ මාරුවෙන් මාරුවට තමිල්නාඩු දේශපාලනයේ බලයේ සිටින ප්‍රබල බල කණු දෙකකි. ඒ, අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් හෙවත් ඒ.අයි.ඒ.ඩී.එම්.කේ සහ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් හෙවත් ඩී.එම්.කේ යන පක්ෂ දෙකය. අද වන විට තමිල්නාඩුවේ බලයේ සිටින්නේ ඩී.එම්.කේපක්ෂයයි. තමිල්නාඩු මහ ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ එම පක්ෂයේ නායක එම්.කේ. ස්ටාලින්ය. තව වසර දෙකකින් එනම් 2026 දී තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය පැවැත්වෙන අතර, තෙවැනි බලවේගය ලෙස ඊට ඉදිරිපත්වෙයි. ඒ.අයි.ඒ.ඩී.එම්.කේ සහ ඩී.එම්.කේ පක්ෂ දෙකට අභියෝගයක් වීම තලපති විජේ සහ ඔහුගේ ‘තමිළාහ වෙට්රි කළහම්’ පක්ෂයේ බලාපොරොත්තුවයි.
රිදී තිරයේ ජනප්‍රිය නළුවකු වුවත්, විජේට දේශපාලනය කළහැකිද? විල්ලු‍පුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේදී විජේ කළ මංගල කතාවෙන් පසු, මුළු ඉන්දියාවම ඔහු  ගැන කතා කරන්න පටන් ගත්තේය. විවේචන පවා එල්ලවීම සිදුවිය. ‘මාගේ සිනමාව යනු සිංදුවක් හෝ නර්තනයක් හෝ රසවිඳීමක් පමණක්ම නොවෙයි. මගේ සිනමාව තමිල්නාඩු සිනමාවයි. තමිල්නාඩුවේ කලාව, සාහිත්‍යය, ජීවිතය සහ සංස්කෘතිය ඊට ඇතුළත් වෙනවා. ද්‍රවිඩ මතවාදය ජනතාව අතරට ගෙනයෑම කළයුතුයි. මා උත්සාහ ගන්නේ එයයි’ යනු විජේගේ අදහසය. තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති තුළ තමිල්නාඩුවේ ප්‍රධානම දේශපාලන මතවාද දෙක වන දෙමළ මතවාදය සහ දෙමළ ජාතිකවාදය යන දෙකෙහිම බෙදීමක් නොමැති බවද විජේ අවධාරණය කර ඇත. දෙමළ මතවාදය දෙමළ, තෙළිඟු‍, කණ්නඩ, මලයාලම් සහ තුලු‍ යන භාෂා කතා කරන, සුළු ජනයාගේ සමාජ සාධාරණත්වය පදනම් කරගත් මතවාදයක් වන අතර, දෙමළ ජාතිකවාදය යන්නෙන් අදහස් වන්නේ තමිල්නාඩුව දෙමළ භාෂාව කතා කරන්නන් සඳහා පමණක් යන්න, පසුගිය 27 වැනිදා වික්‍රවන්දි නගරේ දේශපාලන වේදිකාවේ සිට තලපති විජේ අවධාරණය කළේය.
තලපති විජේ ශ්‍රී ලංකාවේ පවා ජනප්‍රිය දෙමළ නළුවෙකි. ඔහු දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන එස්.ඒ. චන්ද්‍රසේකර් සහ ගායිකාවක වන ශෝබා ගේ පුත්‍රයා ය. විජේ උපන්නේ චෙන්නායි නුවරදීය. ඒ, 1974 වසරේ ජුනි 22 වැනිදාය. විජේ පළමුව සිනමාවට පිවිසියේ පියා 1992 දී අධ්‍යක්ෂණය කළ ‘නාලයියා තෙරප්පු’චිත්‍රපටයෙනි. පසුව ඔහු දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය , චිත්‍රපට ගීත 29ක් ද ගායනා කර ඇත. ඇතැම් චිත්‍රපට සඳහා ඔහුගේ පෙනුම නිසා ඔහුව තෝරා නොගත් බව ඔහු මාධ්‍ය සම්මුඛ සාකච්ඡා හමුවේ පැහැදිලි කර ඇත.
රංගනයෙන් සමුගන්නා විට, විජේ දායක වූ චිත්‍රපට ගණන 68 කි. ‘තපාකී’,‘කාත්තී’,‘මර්සෙල්’, ‘සර්කාර්’, ‘මාස්ටර්’ සහ‘ලියෝ’ යනු මෑත කාලයේ අතිශය ජනප්‍රිය වූ තලපති විජේගේ සිනමා වික්‍රමයන්ය. විජේගේ අවසන් චිත්‍රපටය ‘ගෝට්’ හෙවත් ‘ග්රේටස් ඔෆ් ඕල් ටයිම්’ ය. මෙයද ආදායම් වාර්තා පිහිටු වූ දෙමිළ චිත්‍රපටයකි. විජේ චරිත කීපයකින් මෙම චිත්‍රපටයේ දකින්න ලැබීම ඔහුගේ අවසන් චිත්‍රපටය ලෙස ඔහුගේ රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කිරීමට හේතුවක් විය.
ලු‍සිත ජයමාන්න
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි 



අදහස් (0)

තමිල්නාඩු විජේගේ දේශපාලනයට සම්ප්‍රාප්තිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 99 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 642 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site