IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අජිත්ගෙන් ඊනියා විචාරකයන්ට කනේ පහරක්

ග්‍රන්ථ විචාරය -10

 

සුන්නද්දූලි කියවීමට පෙර - 2 


අද දවසේ පළ වන පත්තරයක් අරගෙන බලන්න. කොයි තරම් නම් සාකච්ඡා සංවාද ඒවාහී පළ වනවාද? ( මා කතා කරන්නේ ඊනියා දේශපාලන සංවාද ගැන නොවේ .අපේ රටේ සාහිත්‍ය උපාසක මහතුන් සමග කෙරෙන විකාර කතා බහ ගැනය.) ඉදින් මේ සාකච්ඡාකරුවන් ලුහුබඳින්නේ එකම විදියේ පිරිසක් පසු පස බව ඔබ නිරීක්ෂණය නොවිණි ද? බාග විට මේ සම්මුඛ සාකච්ඡා මහාචර්ය මට්ටමේ විගඩම් බවට පත්වී ඇත.

අජිත්ගේ සුන්නද්දූලි කියවීමේ දෙවැනි ලිපිය සඳහා වූ  ප්‍රවේශය යටකී අයුරින් පටන් ගැනීම පිළිබඳ සමාවන්න. එහෙත් මෙලෙස ලිවීමට මා පෙළඹවීමේ හේතුව නම් යටකී සම්මුඛ සාකච්ඡා කරුවනට අජිත් අමතකව තිබීම පිළිබඳ සංවේගයයි. අජිත් පත්තරවලට සම්මුඛ සාකච්ඡා දෙන්නේ නැහැ නොවේදැයි දැන් ඔබ ප්‍රශන කරනවා නියතය. එහි ඇත්තක් නැත්තේ ද නැත. එහෙත් අජිත් තිලකසේන 1974 සහ 1982 යන වර්ෂවල ඒ.ඩී රංජිත් කුමාර සමග සාකච්ඡා දෙකක්(නව දෙබස) පවත්වා ඇති බව මෙහිලා සිහිපත් කිරීම වටනේය.

එම සාකච්ඡා දෙක හැර සාහිත්‍ය පිළිබඳ ඔහුගේ පුද්ගල මතය පළවන අන් තැනක් නොමැත. ඔහු කිසිවිටෙක තමාගේම නිර්මාණ වලට තමාම සංඥාපන ලියමින් එව්වට අරුත් වියකැන් සපයන්නකු නොවේ. මේ නිසා අජිත්ගේ සාහිත්‍ය මතවාදය තවමත් අර සම්මුඛ සාකච්ඡා දෙකට සීමා වී ඇත. 
අජිත් තිලකසේන මීට හතළිස් වසරකට පෙර (1974) ඒ. ඩී. රංජිත් කුමාර ගේ ප්‍රශ්නයකට දී තිබූ පිළිතුර සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් අදටත් වලංගුය. රංජිත් කුමාර අසන්නේ මෙයයි. 
      
“ඔබේ කෙටිකතා තේරුම් ගන්න බැහැයි කියල සමහරු කියනවා"

අජිත් තිලකසේන : මගේ කෙටිකතා තේරුම් කර දෙන අදහසින් නම් මට එක වචනයක් කතා කරන්න පුළුවන් කමක් නැහැ.තමන්ගේ නිර්මාණ ගැන තමන්ම කතා කරන එක අද මෝස්තරයක් වෙලා තියෙන බව මම දන්නවා. සමහරු තමන්ගෙ කෙටිකතා, නවකතා, කවි වලට තන්ම අර්ථ විවරණ ව්‍යාඛ්‍යාන සපයනවා සමහරු තමන්ගේ නවකතා පහදා දෙන්න පොත් හිටන් ලියල තියෙනවා. ඒක වැරදියි කියල මම කියන්නේ නැහැ. මම කියන්නේ මොනවද ලියන්නේ කියල මම පැහැදිලිව දැනගෙන හිටිය නම් මගේ කෙටිකතා නොලියවෙන්න තිබුණා. 

( අජිත් තිලකසේන 1974 දී.)
     
අජිත්ගේ කෙටිකතා සම්බන්ධයෙන් මේ රටේ විචාරකයන්ට ප්‍රශ්නයක් ඇති බව පැහැදිලිය. රංජිත් කුමාරගේ අර ප්‍රශ්නය හරහා එළියට පනින්නේ එම අර්බුධයයි. අජිත් තිලකසේන්ගේ කෙටිකතා ඔවුන් ගිරවුන් මෙන් වනපොත් කළ සම්ප්‍රදායික මිනුම් දඬුවලට හසු නොවන බැවින් ඒවා මගහැර යාම ඇඟට ගුණ බව ඔවුහු දනිති. ඒවා ගැන කතා කරන්නට බිය සැක නැතිව ඉදිරිපත් වීම ගැන මහාචාර් ය කුලතිලක කුමාර සිංහට මම ගරු කරමි. එහෙත් එහිදී ඔහුට  සිදුවන තුවාල ගැන අපට කළ හැකි දෙයක් නැත. 
විචාරකයාගේ කාර්ය භාරය නම් ලේඛකයා සහ පාඨකයා අතර පාලමක් වීම යයි මේ මහත්වරු කල්පනා කරති. නිර්මාණකරුවාගේ නිර්මාණ අධ්‍යාශය තේරුම් ගෙන එහි සෞන්දර් යාත්මක වින්දනය පාඨකයාට තේරුම් කර දෙන්නේ විචාරකයා යන්න මින් අදහස් කරන බැව් ඔබ දන්නේය. එහෙත් හතළිස් වසරකට පෙර සිටම අජිත් තිලකසේන මේ අදහස විකාරයක් කොට සලකා අවඥාවෙන් බැහැර කළේය.කලා කෘතියක් යනු චමත්කාර ජනක වස්තුවක් පමණකැයි කී අජිත් විචාරකයන් පතුරු ගසන්නේ මෙසේය.

 

“ඔව්, විචාරකයොත් සාහිත්‍ය කෘතිවල තේරුම් සෙවීම කොයි තරම් දුරට කරනව ද කිව්වොත් ඔවුන් ඒවා විවරණය කරනවා. ඒවාට ව්‍යාඛ්‍යාන සපයනවා.. සාහිත්‍ය කෘතියක් දෙකට බෙදනවා. “ආකෘතිය” කියන එක තවත් යම් කිසිවකින් වෙන් කරනවා. ඒකට තමයි විෂය හෙවත් අන්තර්ගත දේ කියල කියන්නේ”

(කලාවයි හුදකලාවයි- අජිත් තිලකසේන )

 

විචාරකයන් පිළිබඳව අජිත් කර ඇති නර්මාලාප මදකට පසෙක ලා ඔවුන් ගැන ලියෝ ටෝල්ස්ටෝයි කියා ඇත්තේ කුමක්දැයි විමසමු.

“විචාරකයෝ පැහැදිලි කර දෙති. කුමක්ද ඔවුන් පැහැදිලි කරන්නේ? කලාකරුවා සැබෑ කලාකරුවකු නම් තමන් වින්දනය කරනු ලැබූ වේදයිතයන් අන්‍යයන් වෙත ගෙන එන්නේය.මෙහි පැහැදිලි කිරීමට ඇත්තේ කිම? කෘතිය සැබෑ කලා කෘතියක් නම් සදාචාරාත්මක වේවා, එසේ නොවේවා, කලාකරුවා විසින් ඉදිරිපත් කෙරෙන වේදයිතය නිරායාසයෙන්ම අන්‍යයන් වෙත පැමිණේ. අන්‍යයන් වෙත ගෙන එනු ලබන ඒ වේදයිතය අන්‍යයෝ විඳගනිති. එහි පැහැදිලි කිරීමට කිසිවක් නැත. කෘතිය අන්‍යයන් ආශ්වාදනය නොකරන්නේ නම් පැහැදිලි ලිරීම් මගින් එය අනුන් වෙත ආරෝපණය නොවන්නේය. කලාකරුවකුගේ කෘතියක් පුනරාර්ථ විචාරයක් කළ නොහැකිය.”

ලියෝ ටෝල්ස්තෝයි
( කලාව යනු කුමක්ද? -පරිවර්තනය: ඒ.වී සුරවීර)

 

ටෝල්ස්ටෝයි මෙහිලා කියන්නේ කුමක්ද? විචාරකයාගේ කාර්යභාරය ලේඛකයාට අත්වැලක් වීම යනුවෙන් වූ ප්‍රවාදය මින්  ඔහු එකහෙලාම ප්‍රතික්ෂේප කරයි. ටෝල්ස්ටෝයි ඊටත් වඩා වූ ලෙස එළිදරව්  කරුණක් නම් සම්භාව්‍ය කලා කෘති අනුකරණය කරන ලෙස බල කරන විචාරයේ පවත්නා අධිපතිවාදී ස්වභාවයයි.අජිත් තිලකසේන අනුදත් සාහිත්‍ය ව්‍යාපාරය ටෝල්ස්ටෝයිගේ යටකී ප්‍රවාදය සමග සම අසුන් ගනී. 

ඇත්තටම නම් අද අප රටේ විචාරය නමැති නාමකරණය ඔස්සේ පවතින්නේ ටෝල්ස්ටෝයි පවා හෙළා දුටු අධිපතිවාදී නන්දෙඩවිලිය. එක්කෝ ඔවුහු තමන්ගේම නිර්මාණ ඒවාට තමාම ලියන සංඥාපන ඔස්සේ උඩ දමා ගනිති. නැත්නම් තම හිත්වතුන් ලවා හෝ පිටකසවා ගනිති. ඔවුනට අනුව විචාරකයාගේ කාර්ය භාරය නම්  සාහිත්‍ය බලවතුන්ගේ පිට කැසීමය. 
මා හිතන විදියට අද දවසේ විචාරකයාගේ වෑයම විය යුත්ග්තේ සාහිත්‍යකරුවාට අතීතයට දිවයන ලෙස ආඥා පැනවීම නොවේ. අප දෙපා රඳවා ගතයුත්තේ මේ මොහොත මතය. අජිත් තිලක්සේන මහතා කලාව කලින් කලට නවීකරණය විය යුතු යයි තදින් ඇදහුවේය.කිසිවකු චෙකෝෆ් වගේ ලියනවා යයි කීම ඔහුටවත් චෙකෝෆ්ටවත් කරන ප්‍රශංසාවක් සේ සැලකිය නොහැකි බව අජිත් පවසයි “විද්‍යා චක්‍ර වර්ති වගේ ගද්‍ය රචනා කිරීමට හෝ රාහුල හිමියන් වගේ කවි ලිවීමට නම් අප වැඩ වසම් යුගයේ ජීවත් විය යුතුය” යනුවෙන් ඔහු  එදා රංජිත් කුමාර සමග පවසන විට ප්‍රතික්ෂේප කළේ ගතානුගතික වූ සම්ප්‍රදායික හන මිටියයි. එහෙත් සම්ප්‍රදාය ගැඹුරින් හැදෑරිය යුතු නැතැයි ඔහු කී බවක් මින් ගම්‍ය  වන්නේ නැත.
සුන්නද්දූලි යනු අප ඉහත විදාරණය කළ ශික්ෂණයක් සහිත නිර්මාණ කරුවකුගේ කෙටිකතාය. එම නිර්මාණ පිළිබඳව අප මීළඟට කතා කරමු.

මතු සම්බන්ධයි.



අදහස් (0)

අජිත්ගෙන් ඊනියා විචාරකයන්ට කනේ පහරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 685 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site