IMG-LOGO

දස්කොන් සකිසඳ

ගීවිනිස 126

 

 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත  ප්‍රේමයේ සුඛප්‍රහර්ෂය මෙන්ම අයථාර්ථවත් බව මොනවට පැහැදිලි කරයි.

මෙි ගීතයට පසුබිමින් තිබෙන්නේ දස්කොන් - ප්‍රමිලා ඵෙතිහාසික,අසම්මත ආදර අන්දරය යි.එහෙත් අපට මෙි ගීතය ගෝචර වන්නේ ඒ ඵෙතිහාසික සන්දර්භය නමැති මුක්තාමාලාවෙන් ගිලිහුණු ගීමුතු ඇටයක් ලෙසය.
දස්කොන් චරිතය ආරම්භ වනුයේ අප රටේ සෙල්ලම් නිරිඳු යැයි ප්‍රසිද්ධියට පත් ශ්‍රී වීර පරාක්‍රම නරේද්‍රසිංහ රජුගේ  වකවානුවේදී ය.

සෙල්ලම් නිරිඳු නමින් විරුදාවලිය ලත් දෙවැනි රාජසිංහ රජු ලන්දේසීන්  සමඟ වඩාත්  කුලුපග විය.රාජසභාවෙහි ලන්දේසින්ගෙන් පැවත ආ දස්කොන් නම් කඩවසම් පෙනුමැති නිලධාරියෙක්  විය.රජුන්ගේ අනුහසින් මාලිගාවේ යෙහෙන් වැජඹුණු ඔහු තමන්ට රිසි සේ හැසිරෙන්නට වූයේ ය.ප්‍රමිලා වනාහි දෙවැනි රාජසිංහ රජුගේ එක් බිසවක් පමණි.එහෙත් ඇය කෙරෙහි රජුන්ගේ සිතෙහි වෙසෙස් ආදරයක් තිබිණි.දස්කොන් සහ ප්‍රමිලා බිසව අතර ආදරයක් දළු ලා වැඩෙන්නේ මෙි අතරය.දස්කොන් දක්ෂ කවිකාරයෙක් ද විය.මෙනයින් ප්‍රමිලා දස්කොන්ගේ  කඩවසම් රූපයට පමණක් නොව කවි සිතට ද පෙම් බැන්දේ ය. 
  ප්‍රමිලා හඟුරන්කෙත රජ වාසලේ විසීමත්, රජු වැඩිපුර සෙංකඩගල රජ වාසල විසීමත් හේතුවෙන් ප්‍රමිලා - දස්කොන්  ප්‍රේමය තව තවත් මෝරා වැ⁣ඩෙන්නට විය.අවසානයේදී ඔවුහු කවියෙන් පවා උනුන් එකිනෙකාගේ පෙම් සිතිවිලි ප්‍රකාශයට පත් කළහ.පහත හකුළා දක්වන්නේ ප්‍රමිලා තම ආදරවන්තයා වන දස්කොන්ට ලියූ කවියකි.


යන්නෝ මෙමඟ රෑ දහවල තොර වෙත්ද
බොන්නෝ මෙගඟ දිය බොර කරලා යත්ද
දෙන්නෝ පහස ගෙට අඬගහලා දෙත්ද
දන්නෝ උපා මිණි බැඳිදොර නාරිත් ද

මෙහිදී  දස්කොන් ද තම ආදරවන්තිය වන ප්‍රමිලා වෙනුවෙන් කවියක් පබඳියි.


අකුරු කළේ කුමට ද නුවණ මඳ ගුරු
හකුරු කැලේ දමති ද දියවී යන තුරු
කපුරු මලේ සුවඳට වැනසෙති බඹරු
කපුරු මලේ දැක දැක නොකරන් වියරු

ප්‍රමිලා සහ දස්කොන් ප්‍රේමය වෙනුවෙන් ලියූ යටකී කවි පන්ති දෙකම ධ්වනිතාර්ථපූර්ණ.ව්‍යංග්‍යාර්ථය.
හකුරු කැලයේ දිය වී යන්න දමා තිබෙනු බව මා දනිමි. නමුත් බඹරු කපුරු මලට එක් වී විනාශ වී ගිය ද මෙය මාහට ද හැර යා නොහැකිය. දස්කොන් පෙරළා ප්‍රමිලාට කියයි.

අවසානයේ දී දස්කොන් - ප්‍රමිලා ප්‍රේමය රජවාසල බොහෝ දෙනෙකුට ප්‍රසිද්ධ රහසක් විය. දස්කොන්ගෙන් පළිගැනීමේ චේතනාවේ සිටි ඇතමෙක්  මෙම කාරණය ඉත්තෙක් කර ගැනීමට මාන බැලූහ. එකල බොහෝ සිංහලයෝ දස්කොන් සමඟ පිටතට නොපෙන්නුව ද අමනාපයකින් පසු වූහ. මෙයට ප්‍රධාන හේතුව දස්කොන් මිෂනාරි කටයුතුවල සම්බන්ධ වී සිටීම ය. කාලයාගේ ඇවෑමෙන් ප්‍රමිලාට අබිරහස් රෝගයක් හට ගැනිණි. රෝගය පිළිබඳ  හේතු සොයන විට දෛවඥයන් පැවසූවෙි බලි තොවිලයක් කළයුතු බවත්, ඒ සඳහා ප්‍රමිලාගේ රුවට සමාන මැටි අනුරුවක් අවශ්‍ය බවත් ය.මෙනයින්  දස්කොන් මූර්ති ශිල්පියකු ලවා ප්‍රමිලා බිසවගේ රුවක් අඹවන ලදී. දස්කොන්ගේ දැනිමේ පරිදි මැටි අනුරුවේ අඩු පාඩුවක් යැයි සලකා ප්‍රමිලාගේ කලවා ප්‍රදේශයේ වූ උපන් ලපයක් මෙම රූපයට යෙදී ය.මෙය දස්කොන්ගේ අවාසියට හේතුවිය.
රජු මෙම බලි රූපය දැක සතුටු වූ නමුදු ඉහත ලපය කෙසේ, කවුරුන් තැබුවාද යන්න පිළිබඳව සැකයක් ඇති කරගත්තේ ය. කෙසේ හෝ අවසානයේ  කරුණු සොයා යාමේදී මෙි සඳහා දස්කොන් සම්බන්ධ වී ඇති බව රජුට දැනගන්නට ලැබිණි. ඒ සමඟ ම මෙම පෙම් පුවත ද රජු අනාවරණය කර ගන්නා ලද අතර රාජ උදහසට නතු වූ දස්කොන් සිරගත කෙරිණි.අවසානයේ දස්කොන් බෝගම්බර දංගෙඩියට ගෙනගොස් පුරාණ දෙතිස් වධයෙන් එක් වධයක් වූ හිස ගසා මැරීමට නතුවිය. දස්කොන් - ප්‍රමිලා අසම්මත පෙම් පුවත අවසන් වුයේ එසේය.

මෙි වූකලි අනියම් පෙම් බැඳුමකි.එහෙත් මෙි පෙම් ⁣බැඳුම සාපේක්ෂ අර්ථයෙන් නියම් පෙම් බැඳුමක් බව මෙි ගීතයෙන් සුවිශද නො වෙි ද?

දස්කොන් සකි සඳ
ඉක්මන් ගමනින්
නොයෙනා ගමනකි යන්නේ
එනමුත් ළඳූනේ මතු අත්භවයේ
ඔබ මා යළි හමුවන්නේ

මෙි ගීතය රමණීය කාව්‍යෝක්තියකි.මහැදුරු සුනිලුන් මෙි සඳහා යොදාගෙන ඇති බස කාව්‍යාත්මකය.සකිසඳ යන යෙදුම ප්‍රමිලා බිසව තුළ තම පෙම්වතා කෙරෙහි පවත්නා අකලංක ප්‍රේමය මොනවට පැහැදිලි කරයි."සකි" යනු කිම? එහි අරුත් රැසකි.දුලබ මිතුරු,සබඳ,ළබඳාට ද සකි යනුවෙන් ආමන්ත්‍රණය කරයි."සඳ" යනු උතුම් ළබඳා යන අරුත් නගයි.මෙනයින් ප්‍රමිලා බිසව තම පෙම්වතාට දස්කොන් සකිසඳ නමින් ඇමතීම කවරනම් වරදක් ද?"නො එනා ගමන"  යනු කෙනකු මළගම් යන බව ධ්වනිත වන වදනකි.තතු එසේ වූව ද දස්කොන්ගේ එකම පැතුම තම ප්‍රාණසම පෙම්වතිය වන ප්‍රමිලා මතු අත්භවයක හෝ දැක ගැනීමය.මෙි භවයේ සඵල නොවූ ප්‍රේමය මතුභවයක හෝ සාක්ෂාත් කර ගැනීමය.මෙි පෙම් පැතුමින් උනුන්ගේ ළබැඳියාව කෙතරම් දැයි ගම්‍ය නො වෙි ද?


සියලඟ හිමි ළඟ 
හදවත ඔබ ළඟ
කෙලෙසද හද බැඳලන්නේ
කවුදෝ රැකවල් ලන්නේ
ඔබ මා යළි හමුවන්නේ

ප්‍රමිලා බිසව තම සැමියා සමඟ ගතකරන යාන්ත්‍රික ජීවිතය මෙි වදන්වැළෙන් සුවිශද නො වෙි ද?  ඇතැම් බිරියන් තම සැමියන් සමඟ ගෙන යන නීරස,කටුක,අප්‍රසන්න ජීවිතයේ ගොරබිරම් බව මෙයින් ධ්වනිත වෙයි.සැමියා සමඟ ගතින් ළංවූව ද ඇගේ සිත ඇත්තේ දස්කොන් ළඟය.නියම්‍ සැමියාට අයිතිකර ගත හැක්කේ ඇගේ සිරුර පමණි.එහෙත් ඇගේ ප්‍රේමනීය හදවත අනියම් සැමියා ළඟය."හදවත ඔබ ළඟ" යන්න ද ප්‍රේමයේ ආධ්‍යාත්මික බන්ධනය,හැඟීම ප්‍රකාශ කිරීමට යෙදු හෘදයාංගම වදනකි.හීලෑ නැති මිනිස් සිතට කාට කෙසේනම් රැකවල් බැඳීය හැකිද?


මිය යමි මනුලොව 
හමුවෙමි පෙම්ලොව 
ලොව්තුරු සුව වළඳින්නේ
කිසිදා නැත සමුගන්නේ 
ඔබ මා යළි හමුවන්නේ

ලොව සැබෑ ප්‍රේමවන්තයෝ උනුන්ගෙන් වෙන්වුණ ද අතීත සැමරුම් පටුවත දිගේ ඇවිද විප්‍රලම්භ ශෘංගාරය විඳිති.කල්පනා යානෙක නැගී එකල දෙදෙනා ප්‍රේමයෙන් වෙළී උන්හිටි තැන් සොයා යති.ඔවුහු එකිනෙකාට වෛර නොකරති.දස්කොන් ද සැබෑ පෙම්වතෙකි.ඔහුගේ පරම පැතුම මනුලොව මියගිය ද තම පෙම්වතිය ප්‍රමිලා  පෙම්ලොව දී මුණගැසීමය.එසේ හමුවී ලොව්තුරු රස වැළඳීමේ ජීවන ලාලසාවක් ද ඔහු පළ කරයි.සදානන්දනීය ප්‍රේමයක සුඛප්‍රහර්ෂය,සම්භෝග ශෘංගාරරසය යටකී වදන්වැළෙන්  ධ්වනිත නො වෙි ද? මහැදුරු සුනිලුන් මෙි ගෙනහැර පාන්නේ කෙතරම් රමණීය සංකල්පරූප පොකුරක් ද?උත්රීතර හැඟීම් සමුදායක් ද?දස්කොන් - ප්‍රමිලා ප්‍රේමය පිළබඳ විවිධ අර්ථයෙන් ගීත රැසක් ලියවී තිබෙි.එහෙත් මහැදුරු සුනිලුන්ගේ මෙි දුලබ ගීමිණ සදාකල්හි ගී අඹරේ දිදුලමින් ලඹ දෙනු ඇත.



අදහස් (0)

දස්කොන් සකිසඳ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 252 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 420 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 756 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site