සුකීර්තමත් ගේය පද රචක සුනිල් සරත් පෙරේරාණන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් ද දයාරත්න රණතුංගයන්ගේ ස්වර සංරචනයෙන් හා ගායනයෙන් ද යුතු මෙි මහරු ගීමිණ කරුණරසය හෙවත් ශෝකී හැඟුම් දනවයි.
මිනිසා වනාහි පැතුම් සයුරක කිමිදී එහිම ඇලී ගැලී සිටිමින් අතීත මතකය ආවර්ජනය කරමින් ජීවත් වීමට කැමති අපුරු සත්වයෙකි.මිනිස් සිතෙහි උපදින පැතුම් ද අනන්න ය.අප්‍රමාණ ය.එහෙත් මිනිසාගේ පැතුම් අතර මානවබන්ධුත්වය තර කරන එක්තරා සුන්දර පැතුමක් ද ඇත.මෙි වූකලි අන් කිසිවක් නොව ස්ත්‍රියක සහ පුරුෂයකු අතර නිරායාසයෙන් උපදින පෙම් පැතුම් ය.මෙකී පෙම් පැතුම් අතර පල දැරූ ඒවා මෙන්ම පල නොදැරූ පැතුම් ද ඇත.
විප්‍රලම්බ ශෘංගාර සයුරේ ගිලෙන ප්‍රේමවන්තයෝ සැබෑ ප්‍රේමභුංගරාජයෝ ය.ඔවුහු තමන්ට අහිමිවී ගිය භෞතික ශරීරය වෙනුවෙන් නිති හඬාදොඩා වැළපෙමින් කල් නොගෙවති.එහෙත් ඒ අතීත මතකය ආවර්ජනය කරමින් කාල්පනික ලොක්වල සිහින මාලිගා තනමින් ජීවත් වෙති.එයින් උනුන් කිසිවකුට කරදරයක් හිරිහැරයක් ද නැත.සැමරුම් වනාහි හැඟීම්ය.මෙි සියලු හැඟීම් පිරිපහදු කොට ගැනීමෙන් පෙම්වතාට හෝ පෙම්වතියට විප්‍රලම්බ ශෘංගාර සයුරේ කිමිදීමට හැකිය.එහෙත් මතකය කෙතරම් සුන්දර වස්තුවක් වුව ද එය අයථාර්ථවත් දෙයකි.නිෂ්ළුල ව්‍යායාමයකි.මෙනයින් අනුන්ගේ දුක්දොම්නස් කවුරු අසත් ද?අප තුළ ශෝකය දනවන මෙබඳු ගීත අපගේ ප්‍රියතම ගීත නොවෙිද?සොබාදහමත් සභ්‍යත්වයත් සමඟ ගැටෙමින් ජීවත් වන මිනිසාට කිසිවක් පාලනය කළ නොහැකිය.මිනිසා විඳින අනවරත ශෝකයේ විශ්වීය විස්මය මෙයයි.මෙකී ශෝකය සාහිත්‍ය කලාවට නැංවුණු කල්හි ආස්වාදයක් උපදියි.සුනිල් සරතුන්ගේ මෙි ගීතයෙන් කියැවෙන්නේ වියෝගයක් ගැනය.මෙි නම් අතීත ප්‍රේමයක සැමරුමකි.මෙහි කථකයා ජීවිතයේ පශ්චිම යාමය ගත කරන හුදෙකලා ආදරවන්තයෙකි.ඔහුගේ පෙම් පැතුම් ඉටුවී නැත.මෙසේ පැතුම් ඉටු නොවී යෑම මහත් දුකක් නොවෙිද? එහෙත් ඔහු ඒ දුක තුනීකර ගැනීමට විප්‍රලම්බ ශෘංගාරයට අතවනයි.
සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
මෙි කථකයාට පමණක් නොව සන්සුන් වූ මනසක් ඇති ඔිනෑම කෙනකුට අතීත සැමරුම් ගලා එන්නේ රාත්‍රි කාලය ආසන්න වන විටය.හිරු අවරට යත්ම ඝෝෂාකාරී පරිසරය සෙමෙන් තුරන් වී යයි.මෙහිදී කාලය කවුළු දොරින් නික්ම මළහිරුට මුවි වී යන බව රචකයා කියයි.රාත්‍රි අහසේ වලාකුළු අතරින් සඳවතිය එබෙන විට සිතට කිසියම් සැහැල්ලුවක් සිසිලසක් දැනේ.මෙි ගීතය රමණීය රූපක ගොන්නකින් පිරී ඇත.
"කාලය කවුළු දොරින් මිය යනවා" යන්න රචකයා යොදාගත් තවත් අපූරු රූපකයක් නොවෙිද ? ජීවිතයේ ඇති අනියත බව මෙයින් ගම්‍ය වෙි.
ඈත අතීතෙන් පියවර නගමින්
කණවැල අල්ලන් කවුදෝ එනවා
බලාපොරොත්තුව ළයට තුරුළු වී
ඈ එන පෙරමඟ බලා හිඳිනවා
මෙි කථකයා ජීවිතයේ සැදෑසමය ගෙවමින් සිටිය ද තමන්ට අහිමි වුණු පෙම්වතිය වෙනුවෙන් තවමත් ප්‍රාර්ථනා දල්වයි.ඔහු අතීත සැමරුම් මතක පටුවත දිගේ ගමන් කරයි.එවිට ඔහුට පෙනෙන්නේ ඈත සිට කණවැල අල්ලගෙන එන කිසියම් කෙනකුගේ බොඳ වූ දසුනකි.මෙහි අර්ථය නම් තමන්ගේ ආදරවන්තිය පිළිබඳ මතකය නොපැහැලිව යන්තමින් සිතට ගලා එන බව නොවෙිද ?එවිට ඔහුගේ සිතට තුරුලු වන්නේ සුන්දර බලාපොරොත්තුවකි.වියපත් ජීවිතය යහපත් කරගැනීමට ඔහු තවමත් ඇයගේ සොඳුරු සංස්පර්ශය අපේක්ෂා කරයි.එහෙත් මෙි ප්‍රාර්ථනා කවදානම් සැබෑ වෙිවිද?
දුකට මිහිර දෙන පාළුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා
අදත් එදා මෙන් නුපුරුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට ඇදෙනවා
බිඳුණු පැතුම් යළි සපල නොවන බව ඔහු දනී.එහෙත් සිත තුළ පවතින දුක තව තවත් මෝරා වැඩෙයි.දුකට මිහිර දීම යනු දුක වැඩි කිරීම නොවෙිද?පාළුව,තනිකම,කාන්සිය ඔහුගේ වියපත් අඳුරු දිවිය දවයි.එවිට ඔහු වසා නැගී සිටින්නේ කදුළු ඕඝයක් පමණි."අදත් එදා මෙන් නුපුරුදු සුවඳක් දැනෙනවා" යන්නෙන් කියැවෙන්නේ එකල බිඳුණු පැතුම මෙකල ද යථාර්ථයක් වී නැති බවයි.සුනිල් සරතුන් ඔහුගේ අනෙකුත් ගීතවල මෙන් මෙි ගීතයෙන් ද කාල අවකාශය සහ ජීවිතයේ අනිත්‍ය බව සංකේතවත් කරයි.මෙහිදී සංකල්ප රූප රස මංජරියක රසිකයා ගිල්වමින් බිඳී ගිය ප්‍රේමයක විප්‍රලම්බ ශෘංගාර රසය මතක් කර දීමට රචකයා යත්න දරයි.සමස්ත ගීතය අවසානයේදී පෙනෙන්නේ පරිමිත පෙම් බැඳුම්වලට අපරිමිත කාල අවකාශය තරණය කළ නොහැකි බව නොවෙිද?
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්