IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අඳුර අඳුර මගේ

ගීවිනිස 119

 

 

රෝහණ මද්දුමරාලයන්ගේ ගේයපද සරණියෙන් ද ප්‍රියා සූරියසේනයන්ගේ හඬ සහ නද සරණියෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ විප්‍රලම්භ ශෘංගාරය දනවයි.

ප්‍රියා සූරියසේනයන්ගේ කාබනික සිරුර දැන් අප හැර ගොසිනි.ඔහුගේ භෞතික සිරුර තැන්පත් කර තිබූ චිතකය ද ඉකුත්දා දැවී ගියේය.එහෙත් ඔහු මෙරට සහෘද රසික හදවතෙහි ඉදි කළ ගී සෑය නම් කිසිදු දවසක දැවී හළු වී නොයනු ඇත.ප්‍රියා වනාහි ගායන ලොවෙි  රසික හදවත් දිනු මහ තාරකාවකි.එබඳු තරු රසික සිත් අහසේ සදා බැබළෙති.කිසිදා නොමියෙති.ප්‍රියා ගැයූ ගීත සියල්ලම එ⁣කිනෙක පරයන සොඳුරු පදවැල් ය.සෑම ගීතයක් ම අතිශය ජනප්‍රිය ය.මෙවර ගීවිනිස සැරසෙන්නේ ප්‍රියා මුලින්ම පටිගත කළ අඳුර අඳුර මගේ නමැති සුපතළ ගීතයෙනි.

මෙි ගීතයේ කථකයා දුර්ලභ සුඛාස්වාදය ලබන පෙම්වතෙකි.හුදෙකලා අඳුරට පෙම් බඳින ඔහු මුළුමහත් ජීවිතය ම ඊට කැප කරයි.සමාජය සතු සියලු සම්පතින් වියෝ කොට සිටින නැත්තන්ගේ ජීවිතවල සැටි එසේ ය.ඔවුහු සියල්ල අහිමි වූ පසු හුදෙකලාවට,තනිකමට,අඳුරට පෙම් බඳිති.කල්පනා යානයේ නැගී සිහින ලෝකයේ සැරිසරති.ප්‍රේමයෙන් පැරදුණු ආදරවන්තයෝ මතක පටු වත දිගේ අතීතයට ගොස් උනුන් එකිනෙකා ගතකළ අතීත ජීවිතයේ රසමුසු තැන් විප්‍රලම්භ ශෘංගාරරසයෙන් මෙනෙහි කරති.එහෙත් නැත්තන්ට වුව ඉඳහිට ඉතා කලාතුරකින් පූර්ණ නො වූවත්‍ සුඛප්‍රහර්ෂ උපදී.මෙි වූ කලි එබදු අවස්ථාවක් නො වෙි ද?

අඳුර අඳුර මගේ 
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ

මෙි ගීතයේ කථකයා ප්‍රේමයෙන් බැටකෑ පරාජිත ප්‍රේමවන්තයෙකි.එබැවින් ඔහු අඳුරට පෙම් බඳියි.අන්ධකාරය කථකයාගේ එකම පෙම්වතිය යි.ඔහු ආයාචනා කරන්නේ තමා ආලෝකයට මුදා නොහරින ලෙස නො වෙි ද? රාත්‍රියේ අන්ධකාරය තීව්‍ර වත් ම,තනි තරුවක වුව ප්‍රදීප්තිය අතිශය ප්‍රභාස්වර ය.උජ්වලතා පූර්ණය.එහෙත් මෙි කථකයා යටකී පුංචි ආලෝක වස්තුවකට පවා අකමැතිය.ඔහු අඳුරට ම පෙම්බඳින හුදෙකලා පෙම්වතෙකි.

ගන රෑ කළුවර - තනියම කුටියේ
ගතකළ දිවියේ - රස තැන් සිහිවේ
කුටියේ කෙළවර - එළියක් දිස්වේ
එළිය සොඳුර මගේ -දිවියට ළංවේ

ප්‍රේමය බිඳී ගිය පසු ලොව කොතෙක් කළ ද ඔසු එයින් කිසිදු පලක් නැත.බිඳුණු සිතක් යළි සුවපත් කළ නොහැකිය.ප්‍රේමයේ හැටි එසේ ය.ගන අන්ධකාරයේ පාළුවෙන්,කාන්සියෙන් තනියම ජීවත් වූව ද මෙි කථකයා එයින් සුඛාස්වාදයක් වින්ද බව කියැවෙි.එසේනම් ඔහු බිඳුණු ප්‍රේමය වෙනුවෙන් හඬා වැලපී නැත.මෙි ගීතයේ නිරූපිත වන්නේ එවැනි දුර්ලභ වෙයිදිතයක්,සුඛාස්වාදයක් නො වෙි ද?මෙහිදි ඔහු වෙසෙන කාමරයේ කෙළවරින් එකවර ම සියුම් ආලෝකයක් මතු වෙයි.එකී එළිය ඔහුගේ ජීවිතයට සමීප වන්නේ සොඳුරියක ලෙසින් දැයි ඔහු තුළ කිසියම්  විචිකිච්ඡාවක් මතුවෙයි.

පෙම් එළි විහිදා - නිවා දැමූ පසු
දුන් නෙත් පීඩා - දනිමී පෙරදා
සදාකාලිකය - අඳුරේ රැජිනිය
ඔබ හැර යන්නට - නොදේවී මගෙ හිත

මෙි ගීතයේ දීපක ගුණය හෙවත් දැල්වෙන තැන අවසන් අන්තරා කොටස නො වෙි ද? මෙයින් ගම්‍ය වන්නේ කථකයා අතීතයේ ප්‍රේමයෙන් පැරදුණු ආදරවන්තයකු බවයි.ඔහු සදාකාලිකව අඳුරට පෙම් බැඳීමට හේතුව ඔහු සතු වියෝගී හදවතයි.එබැවින් ඔහු නැවත ආදර අන්දරයක පැටලීමට මැලිකමක් දක්වයි.අවසානයේ අන්ධකාරය රැජනක් ලෙස දකින ඔහු ඊට සදාකාලිකව ම පෙම් බැඳීමට තීරණය කරයි.වත්මන් සමාජයේ මානවබන්ධුත්වය ගිලිහී පුද්ගලයා හුදෙකලා වන ආකාරය මෙි ගීතයෙන් මොනවට පැහැදිලි වෙයි.අද්‍යතන සමාජය පුද්ගල අනුවලට සිඳි ගොසිනි.මෙි මගේ නෑයා ය.මෙි මගේ සහෝදරයා ය, කියා කියන්නට කෙනෙක් නැත.සියලුදෙනා හුදෙකලාවේ ජීවත් වෙති.මෙනයින් බලන කල පුද්ගලයා යනු තනි තිතකි.මේ අතින් ඔහු දුබලය.එවිට ඔහුගේ හදවතේ පාළුව,තනිකම,කාන්සිය රජයයි.එහෙයින් ඇතමෙක් සමාජයෙන් වියෝ වී අඳුරට පෙම් බඳිමින් හුදෙකලා ජීවිත ගත කරති.මෙහිදි සහචරණය හෙවත් සහචරලාභය  නැත්තෝ අවසනාවන්තයෝ ය.ඔවුහු  පාළුවෙන් වෙළී කල් ගෙවති.එහෙත් යටකී ප්‍රේමවන්තයෝ අඳුරට පෙම් බඳිමින් හුදෙකලා දිවිපෙවතක් ගත කිරීමට ලොබ ලිය වඩති.මෙි ගීතයේ ගැබ් වන්නේ එකී රමණිය අත්දැකීම නො වෙි ද?



අදහස් (0)

අඳුර අඳුර මගේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 581 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site