තරුණියක ඝාතනය සහ සැකකරු සියදිවි නසා ගැනීම පිළිබඳ වාර්තාකරණය, නාටකීයකරණය සහ ප්‍රබන්ධකරණය සඳහා මෙරට ප්‍රධාන දහරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මැදිහත් වන ආකාරය විසින් ඇති කරන සමාජ ව්‍යසනය කෙරෙහි කෙටි විමර්ශනයක යෙදීම මෙවර  කිවිදා දැක්මේ’අරමුණ ය. චෝදනාවට ලක්වන මාධ්‍ය සහ පොලීසිය මා සමඟ හෝ පුවත්පත සමඟ හෝ උරණ නොවී මේ ලිපිය කියවනු ඇතැයි සිතමි.

සිදුවීම පිළිබඳ පොලීසිය විසින් ලද තොරතුරු සහ දෘශ්‍ය සාක්ෂි අනවශ්‍ය ලෙස, අවිද්‍යාත්මක ලෙස සහ නොසැලකිලිමත් ලෙස මාධ්‍ය සහ සමාජය වෙත ලබාදීම පළමු වැරැද්දය. ඊට වගකිව යුත්තේ පොලීසිය ය. ලද තොරතුරු සහ දෘශ්‍ය සාක්ෂි අපරාධ වාර්තාකරණය පිළිබඳව ඇති පිළිගත් කිසිදු ආකාරයේ නියාමනයකින්, සදාචාරාත්මක පදනමකින් සහ විද්‍යාත්මක භාවයකින් තොරව සමාජගතකොට සැකකරුගේ සියදිවි නසා ගැනීමට පහසුකම් සැපයූ ප්‍රධාන දහරාවේ මාධ්‍ය ඊළඟ වගඋත්තරකරු ය. මේ ආයතන දෙකම කටයුතු කොට ඇත්තේ පිළිගත් සහ අනුගමනය කළ යුතු ගුණාත්මක සහ සදාචාරාත්මක මූලධර්ම නොතකා ය. අපරාධ පරීක්ෂණවල දී පිළිපැදිය යුතු පරෙස්සම්කාරී උපායමාර්ග ගැන අවධානය යොමු නොකරය. එසේ කළා නම් පොලීසියට සැකකරු ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගැනීමත් තරුණියගේ හිස සොයාගැනීමත් යන දෙකම සාර්ථකව කරගැනීමට ඉඩ තිබුණාය යන්න සාධාරණ උපකල්පනයකි.

එසේම වාර්තාකරණය, ප්‍රබන්ධකරණය, නාටකීයකරණය සහ යළි යළිත් විකාශනය සහ වාර්තාකරණය මගින් සමාජයට සිදු වූ සහ සිදුවන විනාශය අති මහත් ය. ඒ අතින් හැමෝම මාධ්‍යකරුවන්/කාරියන් වී සිටින සමාජ මාධ්‍ය සහ ප්‍රධාන දහරාවේ මාධ්‍ය අතර කිසිදු ගුණාත්මක වෙනසක් නැත. දරුවන්ටවත් පෙන්වන්න එපා කී ලිපිය මුළු ලොවටම පෙන්වූ මාධ්‍ය එය, එනම් නඩු භාණ්ඩයක් මාධ්‍ය සතු කළ පොලීසිය, එසේම සැකකරුගේ බිරිඳගේ, දරුවන්ගේ සහ තරුණියගේ පවුලේ පොදු සහ පෞද්ගලික සියලු‍ තොරතුරු ප්‍රචාරය කළ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය   මෙහෙයුම මගින් පිළිබිඹු වන්නේ ශුද්ධ වූ සියලු‍ දේ කෙලෙසී ඇති බව නොවේ ද? මෙම සිදුවීමේ දී ඇතැම් මාධ්‍ය හැසිරුණු ආකාරය පිළිබඳව, ඒවාට අපගේ ප්‍රශංසාව හිමි විය යුතු ය.

දැනට දශක කීපයකට පෙර ලෝකයේ විවිධ පැතිවල ආණ්ඩුවලින්, දරදඬු පාලකයන්ගෙන්, ජාවාරම්කාර බලවත් පුද්ගලයන්ගෙන්, සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් සහ වෙනත් සමාජ විරෝධී සහ සන්නද්ධ කණ්ඩායම්වලින් මාධ්‍යකරුවන්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ලවූ තර්ජන, බියවැද්දීම්, පහරදීම්, ඝාතන සහ වාරණ සුලබ ප්‍රවෘත්ති විය. එසේම ඒවාට විරුද්ධව මතුවූ සමාජ-දේශපාලන ව්‍යාපාර ද බොහෝ ය. මාධ්‍ය නිදහස, මාධ්‍යකරුවන්ගේ ආරක්ෂාව සහ මාධ්‍ය ආයතනවල ආරක්ෂාව තහවුරු කර ගැනීම ඒ ව්‍යාපාරවල මුඛ්‍ය අරමුණු විය. මාධ්‍යයට එරෙහිව ආණ්ඩු විසින් යෙදවූ රාජ්‍ය බලහත්කාරය එහි දී නිර්දය ලෙස හෙළා දකිනු ලැබීය. එසේම මාධ්‍යයට එරෙහිව සිදුවන රාජ්‍ය නොවන බලහත්කාරකම් වැළක්වීමට ආණ්ඩු අපොහොසත් වීම සහ නොසලකා හැරීම පිළිබඳව මතු වූ සමාජ විරෝධය ප්‍රබල විය. මේ සමස්තය තුළ ජනමාධ්‍ය සමාජ අනුකම්පාව සහ රැකවරණය ලබන කලාපයක් විය. මාළුවාට ජලය සේ මාධ්‍යකරුවාට සමාජය අදාළ විය. එසේම සමාජ යහපැවැත්ම සහ ප්‍රගමනය ජනමාධ්‍යයේ ප්‍රමුඛ වගකීමක් වූ අතර ජනයාට වඩා මාධ්‍ය ඉදිරිගාමී විය යුතුය යන්න ප්‍රධාන ආචාරධර්මයක් වූවා මෙන්ම මාධ්‍යකරුවා සහ මාධ්‍ය වෘත්තීය වගකීම් සහගත සමාජ සංවේදී පදනමක පිහිටා කටයුතු කළ යුතුය යන්න පිළිගත් මූලධර්මයක් විය. ඒ ආචාරධර්ම සහ මූලධර්ම අදට ද අදාළය.

එහෙත් මේ මොහොතේ ඒ සියල්ල වෙනත් ස්වරූපයක් ගෙන ඇත. මාධ්‍ය බලහත්කාරය සහ අශීලාචාරය ආණ්ඩු බලහත්කාරයට සහ අශීලාචාරයටත් වඩා ප්‍රබල වී ඇත. බලහත්කාරයටත් වඩා හානිකර වී ඇත්තේ අශීලාචාරකමය. ස්වයං නියාමනයකුත් නැති විධිමත් සහ ගුණාත්මක ආයතනික හෝ රාජ්‍ය නියාමනයකුත් නැති වෘත්තීයමය සහ  ගුණාත්මක බවින් ගිලිහුණු මාධ්‍ය හැසිරීම සමස්ත සමාජයම විනාශ කරමින් සිටී. මාධ්‍ය නිදහස යනු, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භුක්ති විඳීම යනු, මෙය නොවන බව අප තේරුම් ගත යුතු ය. එසේම නිදහස සහ අයිතිය යනු ශිෂ්ට සමාජ භාවිතයක් මිස නොදන්නවුන්ගේ සහ ජාවාරම්කරුවන්ගේ මෙවලමක් නොවන බව ද අප තේරුම් ගත යුතු ය. සමාජය ශිෂ්ට කිරීම මිස අශීලාචාර අශිෂ්ට කලාපයක් කිරීම මාධ්‍ය සතු කාර්යයක් නොවුවද සිදුවෙමින් පවතින්නේ ඒ නොවිය යුතු දේමය. මෙය ලෝක තත්ත්වයකි. සමාජ වගකීමෙන් මිදී අධි ලාභ ලැබිය හැකි කර්මාන්තයක් වෙළඳාමක් බවට මාධ්‍ය පත් වීම සහ අන්තර්ජාල මාධ්‍ය විසින් නිදහස සහ අයිතිය පිළිබඳ සියලු‍ ගුණාත්මක සීමා බිඳ දැමීම මෙන්ම ඕනෑම අයකුට කිසිදු වෘත්තීයමය හෝ ගුණාත්මක හෝ සදාචාරාත්මක පදනමකින් සහ සුදුසුකමකින් තොරව මාධ්‍ය කලාපය තුළ සැරිසැරීමට ඉඩ ලැබීම මේ ව්‍යසනයට ප්‍රධාන හේතුය.

මෙවැනි පසුබිමක මාධ්‍යයට අදාළ සටන් පාඨ වෙනස් විය යුතු ය. එනම් මාධ්‍යයෙන් සමාජය බේරා ගමු, මාධ්‍ය බලහත්කාරයට එරෙහිව පෙළ ගැසෙමු, මාධ්‍ය දුරාචාරය පිටු දකිමු, අශීලාචාර මාධ්‍ය භාවිතය පිටු දකිමු, මාධ්‍ය ප්‍රණ්ඩත්වයට එරෙහි වෙමු, සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී මාධ්‍ය පිටුදකිමු යනාදිය ඒ අලු‍ත් සටන් පාඨ විය යුතු ය. මෙවැනි සටන් පාඨ යෝජනා කරන විට සිහියට නැගෙන්නේ කලකට පෙර පුවත් වාරණයට එරෙහිව, පුවත් බලධාරීන්ට එරෙහිව, මාධ්‍යකරුවන්ට පහර දීමට එරෙහිව, මාධ්‍යකරුවන් ඝාතනයට එරෙහිව, අතුරුදන් කිරීමට එරෙහිව අප සාමූහිකව නැගූ හඬ ය. රිචඩ් ඩි සොයිසා සැමරුම සහ මාධ්‍ය නිදහස උදෙසා කොරළවැල්ලේ සිට කොළඹ විහාරමහාදේවි උද්‍යානයට පැමිණි පා ගමනය. එවක නුවරඑළිය පුරපතිනිය විසින් යුක්තිය පුවත්පත ඒ ප්‍රදේශයේ තහනම් කළ විට ඊට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් ලෙස අප ද සහභාගි වූ උද්ඝෝෂණ ව්‍යාපාරය ය. එහෙත් ඒ මතක අපට වැදගත් වූවාට අදට වැදගත් නැත. මන්ද ඒ සියලු‍ විරෝධතා දැන් එල්ල විය යුත්තේ මාධ්‍යයට ය. වෙනසට හේතුව කාලය නොව මුග්ධකම සහ පෙරේතකම ය යන්න මගේ කිවි දා දැක්මය.

මලාවි මාධ්‍ය කවුන්සිලයේ (Media Council of Malawi) විධායක අධ්‍යක්ෂ බාල්ඩ්වින් චියම්වකා පෙන්වා දෙන ආකාරයට වගකීම් විරහිතව මාධ්‍ය ක්‍රියාකරනවිට ජන සමාජයට අත්වන්නේ අනවශ්‍ය සහ අනපේක්ෂිත විපත් ය. එසේම මාධ්‍ය කෙරෙහි වන විශ්වසනීයත්වය බිඳ වැටෙන අතර සමාජයේ මුර බල්ලන් ලෙස මාධ්‍යයට හිමි වැදගත් භූමිකාව දුර්වලවී ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්ම අර්බුදයට ලක්වනු ඇත.

ෆ්ලොරිඩාවේ පොයින්ටර් ආයතනයේ (Poynter institute in Florida) බොබ්ස්ටීල් යනු පුවත් කලාවේ ආචාරධර්ම ප්‍රවර්ධනය කිරීම පිළිබඳව කටයුතු කරන ලොව පිළිගත් ප්‍රමුඛයෙකි. ස්ටීල් සිය “මාධ්‍යවේදියා සඳහා මාර්ගෝපදේශ මූලධර්ම” (Guiding Principles for the Journalist) නම් වූ ලිපිය මගින් පෙන්වා දෙන්නේ පුවත් කලාවේදී මාධ්‍යවේදීන් ප්‍රධාන කරුණු තුනක් අනුගමනය කළ යුතු බවය. ඔහු පළමුවැන්න ලෙස දක්වන්නේ සත්‍යය සෙවීම සහ හැකි තරම් එය වාර්තා කිරීමය. දෙවැන්න ලෙස දක්වන්නේ ස්වාධීනව කටයුතු කිරීම ය. තෙවැන්න වන්නේ හානි අවම කිරීම ය. ඊට තවත් මූලධර්මයක් එකතු කළේ වෘත්තීය ජනමාධ්‍යවේදීන් සඳහා වූ සංගමයය. එනම් ස්ටීල්ගේ ඉහත සඳහන් මාර්ගෝපදේශ තුන අනුගමනය කළ යුතු අතරම ඊට  “වගවීම” නම් මූලධර්මය ද එකතු කළේය.

මේ මූලධර්ම හතර තුළ ඇති හානි ‘අවම කිරීම කෙරෙහි පමණක්’ මා අවධාරණය කරන්නේ මෙරට මෑත කාලීන මාධ්‍ය හැසිරීම්වලට එය තීරණාත්මක නිසා ය. වාර්තාකරණයේ දී හානි සිදුවීම සියයට සියයකින් ම වැළක්විය නොහැකි බව ස්ටීල් පිළිගනී. එහෙත් හානි උපරිම අයුරින් අවම කිරීමේ වගකීම සහ අවංක උනන්දුව මාධ්‍ය ආයතන සහ මාධ්‍යකරුවන් විසින් ගත යුතුම ය. හොඳම වාර්තාකරණය පවා මිනිසුන්ට ගැටලු‍ සහ හානි ඇති කළ හැකි බව ස්ටීල් හඳුනාගනී.  එහෙත් ඒ අවම හානිය පවා සිදුවිය යුත්තේ වින්දිතයන්ට, ජනතාවට, සහ සමාජයට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයට ය. එනම් ඒ අවම හානිය සමාජයට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා වූ ආවස්ථික පිරිවැයක් විය යුතුම ය. සමාජ ප්‍රතිලාභය හානියේ ප්‍රමාණය ඉක්මවා යා යුතුයි. වාර්තාකරණය සැමවිටම සැලකිලිමත් විය යුත්තේ එමගින් විශාලතම සංඛ්‍යාවකට වඩාත්ම හොඳ දේ ප්‍රවර්ධනය කරන්නේ ද යන්න පිළිබඳවය. එකී කාරණා මනසේ තබාගෙන හානි උපරිම ලෙස අවම කරමින් ක්‍රියා කිරීම මාධ්‍යයේ අත්හළ නොයුතු වගකීමක් ය.

ස්වකීය ආයතනික සහ පෞද්ගලික ලාභ පමණක් අරමුණු කරගත් මාධ්‍ය භාවිතය සමාජයට අත්කර දෙන්නේ බලවත් හානියකි. සමාජය පදනමින්ම දෙදරුම් කවන විනාශයකි. මාධ්‍යයේ කාර්යභාරය සහ වගකීම විය යුත්තේ ඌරන් කැකුණ ඇට හපන විට හබන් කුකුළන්ට ජය මගුල් න්‍යායෙන්’ ක්‍රියා කිරීම නොව ජරාජීර්ණ වී ඇති සමාජය ගොඩ ගැනීමේ  අරමුණෙන් කටයුතු කිරීමය. සමාජය විනාශ කිරීමේ කාරකයක් නොවී ගොඩ ගැනීමේ පහසුකාරකයක් බවට මාධ්‍ය පත්විය යුතුය. ඒ සඳහා අනුන්ගේ හිසක් සොයනවාට වඩා තමන්ට හිසක් සවිකර ගැනීම අත්‍යාවශ්‍යය.

(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ  
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක