IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


හැමදාම ළමා වයසේ සිටි සිබිල් නැන්දා

පහළොස් හැවිරිදි වියේදි නව මඟ පොත් පෙළට චිත්‍ර ඇඳීමෙන් චිත්‍ර කලාවට එළැඹි සිබිල් වෙත්තසිංහ 93 වැනි වියේදී ජීවිතයෙන් සමුගෙන ගියාය.

1928 ඔක්තෝබර් 31 වැනිදා දකුණේ ගිංතොටදී ජන්ම ලාභය ලත් සිබිල් ද සිල්වා ගෙදරදී විවේක කාලයේදි ඇන්ද චිත්‍ර කිහිපයක් ඇගේ පියා ඇයටත් නොදන්වා ලංකා කලා සංගමය මෙහෙයවූ චිත්‍ර ප්‍රදර්ශනයකට තැපැල් කළේය. එම චිත්‍ර දුටු එවක රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රධානාචාර්ය එච්.ඩී. සුගතපාල මහතා ඇය සොයාගෙන ගියේ තම නව මඟ පොත් පෙළට චිත්‍ර අන්දවා ගන්නටය. මව ඊට තදින් විරුද්ධ වුවාය. පසුව සුගතපාල මැතිනිය පැමිණ කළ පෙරැත්තයෙන් පසු එක් පොතකට පමණක් චිත්‍ර ඇඳීමට අවසර දුන්නාය.

එතැනින් ඇරැඹුණු ඇගේ චිත්‍ර කලා චාරිකාව 93 වැනි විය දක්වා අඛණ්ඩව ගමනක් විය. ඇය නතර වුණේ බියට්‍රික්ස් ෆොටර් - ටෝච් ජැන්සන් වැනි ජගත් කීර්තිධර ළමා සිත්තරුන් අතරය. ජගත් ළමා චිත්‍ර විචාරකයන් කියන්නේ සිබිල් සම කළ හැකි වන්නේ ස්වීඩන් ජාතික ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රන්ට පමණක් බවයි.

සිබිලුත්-ඇස්ට්‍රිඩුත් දෙදෙනාම කියන්නේ ඔවුන් චිත්‍ර අඳින්නේ තමන් තුළ සිටින ළමයාට බවයි.

තාත්තා කොළඹින් මිලදී ගෙන ගමේ සිටි මට ගෙනැවිත් දුන් පින්තූර පොතේ සිටි නත්තල් සීයාව කවදා හෝ දකින්නට මම ප්‍රාර්ථනා කළා. තාරකා-බැලුනවලින් සැරසූ නත්තල් ගස ලොම් ඇඳුම ඇඳ සිටි ළමයින් දැක ඒවා පිටපත් කළ සිබිල් ගමේ පාසලෙන් කොළඹ ආවේ සිතකින් නොවේ. ගමත් ගමේ චරිතත් රැගෙන ආ ඇය බම්බලපිටියේ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට ඇතුළත් කරනු ලැබුවාය.

චිත්‍ර කලාවට හිත ගිය ඇය ගණිත පොතේ චිත්‍ර අඳිමින් සිට අසුවු විට දුටුවේ ගුරුතුමියගේ මුහුණ විකට ස්වරූපයෙන් ඇඳ ඇති සැටිය. ඇයට කළ දඬුවම අවලංගු කළ ගුරුතුමිය ඇගේ පොත මුළු පංතියටම පෙන්නා ප්‍රශංසා කළාය.

ඇගේ සීයා අනුරාධපුර රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණයේදී සෑ මලුව වටා ඇති ඇත් පවුර වාත්තු කළ සීයාගේ දෑතේ උරුමය තමන්ට ලැබුණු බව සිබිල්ගේ විශ්වාසයයි. ඔහු එඩ්වඩ් රීඩ් සහ බෙග් වාස්තු විද්‍යා හා ඉංජිනේරු සමාගමේ නිවාස සැලසුම් කරුවකුවූ කේ.ඩී. සාදිරිස් ද සිල්වා. නිදහස් අනුස්මරණ ශාලාව වටා ඇති සිංහ රූපද ලේක් හවුස් ආයතනය ඉදිරිපිට කණු වල ලන්තෑරුම් හැඩය ගත් පහන්ද ඔහුගේ නිමැවුම්ය.

ගණිතයට අඩුම ලකුණු ලද සිබිල් පාසලින් අස්කිරීමට විදුහපතිනියගේ තීරණය වෙනස් කළේ පාඩමට නියමිත “LOCHINVAR” කාව්‍ය අඩි  6x4 චිත්‍රයක් ලෙස සිබිල් ලවා අන්දවා පෙන්වීමෙන් පසුවය.

මවගේ බලකිරීමට වාස්තු විද්‍යාඥයකු වෙත යවනු ලැබූ සිබිල් එහිදීද චිත්‍ර ශිල්පිනියකට වහ වැටී චිත්‍ර අඳින්නට වුවාය. ඩුකිනි පෙට්රෝනි නමැති ඉතාලි ජාතික චිත්‍ර ශිල්පිනියගෙන් ගුරුහරුකම් ලත් සිබිල් තුළ බිඳුණු කැඩපතකින් දුටු මුහුණ නමැති චිත්‍රය 1942 ලංකා කලා සංගමයේ ප්‍රදර්ශනයට තැබීමෙන් සිබිල්ගේ ජීවිතයේ නව පිටුවක් පෙරලිණි. එහිදී නවමග කර්තෘ සුගතපාල මහතා සිබිල් ඩී.බී. ධනපාල මහතාට හඳුන්වාදීමෙන් ඇයට Times of Ceylon පත්‍රයට බැඳෙන්නට අවස්ථාව උදාවිය.

ඉන් කලකට පසු ලේක් හවුස් ආයතනය “ජනතා” සවස පුවත්පත අරඹද්දී ඩෙන්සිල් පීරිස් කර්තෘවරයා ඇය ඊට බඳවා ගත්තේය. 1952 ජනතා පත්‍රයට බැඳුණු ඇයට Sunday Observer Annual එකට චිත්‍ර ඇන්දාය. ජනතා පත්‍රයේ උප කර්තෘවයකු වු ධර්මපාල වෙත්තසිංහ ඇයට බොහෝ පොතපත සපයා දෙමින් ළමා කතන්දර ලිවීමට ඇය උනන්දු කළේය. ඇය ජනතා පත්‍රයට “කුමාර මණ්ඩපය” නම් ළමා පිටුව නිර්මාණය කළාය. ඇගේ චිත්‍රවලටත් කතන්දරවලටත් ඩෙන්සිල් පීරිස් මෙන්ම ධර්මපාල වෙත්තසිංහද ප්‍රසාදය පළ කළහ. එතැනින් සිළුමිණටත් ලේක් හවුස් ප්‍රකාශන සියල්ලට ඇය දායක වූවාය. “මා වෙනුවෙන්” ළමා කතාවක් ලියන්නැයි සිබිල්ගෙන් ඉල්ලා සිටි ධර්මපාල වෙත්තසිංහ ඇගේ ස්වාමි පුරුෂයා විය. සූත්තර පුංචා, කුසුමලතා, කමලා නිර්මාණය කළ ඇය සිළුමිණ කලා ළමා සමාජයටද ළමා කතා ලිව්වාය. ඇය මුල් අවදියේ ලියූ කුඩ හොරා, චූටිගේ සෙල්ලම්ගෙය, පුල්ලිගේ සෙල්ලම් ගෙය අතිශයින් ජනප්‍රිය විය. නාරද හිමියන්ගේ “සදහම් මඟ” මාර්ටින් වික්‍රමසිංහගේ “අපේ ගම” කේ. ඩී. ද ලැනරෝල්ගේ “රම්‍ය කතා” පොත් පෙළ ඩී.එෆ්.ඊ. පනාගොඩගේ “ගණිත පොත්” පෙළටද ඇගේ චිත්‍ර ඇතුළත් වූ කෘති කිහිපයක් පමණි.

ලංකා බයිබල් සංගමයේ ආරාධනයෙන් ඇය නිර්මාණය කළ “දීප්ත ළමා” බයිබලය ඇගේ විශිෂ්ටතම නිර්මාණ අතර ප්‍රධාන ස්ථානයක් ගනී.

සිබිල් ගේ කුඩ හොරා විදේශ භාෂා 7 කට පරිවර්තනය වී තිබේ. 1988 “Asia Week” සඟරාවට ‘Asian Tales For Young Readers’  නම් ලිපියෙන් කුඩ හොරා ලෝ පුරා ජනප්‍රිය ළමා කතාවක් බව සඳහන් කර ඇත.

ලොව නානා රටවල පැවැති ළමා පොත් පිළිබඳ සම්මේලන රැසකට සහභාගි වූ සිබිල් වෙත්තසිංහ, 1957 යුනෙස්කෝ, රැන්ගුන් සම්මේලනය, 1983 බොළොඥා ළමා පොත් සල්පිල, චෙකොස්ලොවැකියාවේ මාටින් නගරයේ ළමා චිත්‍ර උළෙල, 1993 ටෙහෙරානයේ T1B1 චිත්‍ර තරගය, බර්ලිනයේ IBBY කොන්ග්‍රසය ඉන් කිහිපයක් පමණි.

ළමා සාහිත්‍යයටත් ළමා චිත්‍ර කලාවටත් අනුපමේය මෙහෙවරක් ඉටු කළ සිබිල් දරු සිව් දෙනෙකුගේ මවකි. සූරිය, සෂී, කුසලා, විනෝද් දියණියන් දෙදෙනෙකි. පුතුන් දෙදනෙකි.

2020 ජුනි 30 වැනිදා රාත්‍රී සිබිල් වෙත්තසිංහ වරෙක කියා සිටියේ තමන්ගේ හිත පිරෙන්න තිබුණු ළමා සිතුවිලි සියල්ල ළමයින් වෙනුවෙන් මාහැඟි වස්තුවක් ලෙස ප්‍රදානය කරන්නට ලැබීම ගැන තමන් මරණ මංචකයේදීත් සතුටට පත්වන බවයි.


*** තිලකරත්න කුරුවිටබණ්‍ඩාර

 



අදහස් (0)

හැමදාම ළමා වයසේ සිටි සිබිල් නැන්දා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 21004 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18098 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10835 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 524 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 160 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 823 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site