IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි

වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද යනුවෙන් හැඳින්වෙන්නේ සුර්යාගේ සංක්‍රමණයයි. සුර්යා මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රමණය වන අවස්ථාව සම්බන්ධ කොට ගෙන සිංහල දෙමළ ජනතාවට ආවේනික චාරිත්‍ර විධි, සිරිත් - විරිත්, සංස්කෘතික ලක්ෂණ ක්‍රියාත්මක වීම හා කිරීම සිංහල අලුත් අවුරුද්දෙ සුවිශේෂත්වයයි.

සූර්යා මීන රාශියෙන් මේෂ රාශිය කරා සංක්‍රමණය වෙන වේලාව නොනගතය නමින් හැඳින් වේ.

නක්ෂත්‍රානුකූලව මෙලෙස සුර්යාගේ සංක්‍රමනය සම්බන්ධ කොට අලුත් චාරිත්‍ර විධි ක්‍රියාත්මක කළ ද ඊට එහා ගැඹුරු චාරිත්‍ර ධර්ම පද්ධතියක් සමඟ සිංහල අලුත් අවුරුද්ද අත්වැල් බැඳගෙන තිබෙන අයුරු පැහැදිලිව දක්නට ලැබේ.

ක්‍රමක්‍රමයෙන් ගිලිහීගෙන යන එම චාරිත්‍ර හා සිරිත් විරිත් අලුත් අවුරුද්ද උදාවනවාත් සමඟම මතක් කර ගැනීම ඉතා වැදගත් වේ.

වසරක් ගෙවී නව වසරක් උදා වෙනවා යනු ළමයි තරුණ වීමත්, තරුණයින් වැඩිහිටියන් වීමත්, වැඩිහිටියන් මරණයට ආසන්න වීමත් යන පුද්ගල විපර්යාසයන් සමූහයකි. වයසත් සමග සිදුවන වෙනස්වීමත් සමඟ පරණ සිරිත් විරිත් අමතක වී යෑමක් සිදු වේ.

ඊටත් වඩා අද ගෙවන නවීන තාක්ෂණයත් සමඟ අපට ආවේණිකව තිබූ ක්‍රීඩා බොහොමයක් අමතක වී තිබේ. ඒවා ඉදිරි පරම්පරාව උදෙසා දායාද කර දීමට වැඩිහිටියන් හා සමාජයේ වගකිව යුත්තන් උත්සාහවත් විය යුතුය.

එසේ නොමැති වුවහොත් අපට ඉදිරි ලෝකය තුළ දැක ගන්නට ලැබෙන්නෙ කෘතිම මිනිසුන් රිමෝට් වලින් වැඩ කරන ආකාරයකි. ඒ තරමටම අද ලෝකයත් මිනිසාත් වෙනසකට බදුන් වී හමාරය.

නවීන තාක්ෂණය නුසුදුසුයැයි කියා සඳහන් නොකරමු. එසේ වුවද නවීන තාක්ෂණයත් සමඟ ජිවත් වීමේදී අපට ආවේණික වූ ක්‍රමවේදයන් හා ගති සිරිත් අමතක නොකළ යුතු බව සිහිපත් කර සිටිමු. ඒවා වල පල්ලට නොදැමිය යුතු බව මෙයින් ප්‍රකාශ කර සිටිමු. කෙනෙකු අලුත් ලෝකයක් වැලඳ ගැනීමට සිතන්නේ පැරණි සිරිත් විරිත් අමතක කොට නම් ඔහු සංස්කෘතික ලක්ෂණ නොමැති රොබෝ මිනිසෙකු වනවාට කිසිදු සැකයක් නැත.

එනිසා අප හැම කෙනෙක්ම එම වටිනා චාරිත්‍ර විධි ඉදිරියට ද පවත්වා ගෙන යෑමට උත්සාහ කළ යුතුය. අලුත් අවුරුද්ද තුළ කා බී විනෝද වීම පමණක්ම ප්‍රමාණවත් නොවන බව මතක තබා ගත යුතුය. අලුත් ඇඳුම් අදිමින්, ගෙවල් දොරවල් අලුත් කරමින් අවුරුදු සැමරුවට මිනිසුන්ගේ සිතුම් පැතුම් ආකල්ප අලුත් නොවන්නේ නම් එම අවුරුදු සැමරීමෙන් පලක් නොමැත.

සුර්යා මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රමණය වන වේලාව තුළ නොනගතය කියා හඳුන්වනු ඇත. ඒ කාලය තුළ වැඩ කටයුතු වශයෙන් යමක් නොකරන අතර පිං කටයුතු කිරිම සුදුසු බව සඳහන් වේ. එනිසා ”පුණ්‍ය කාලය” හැටියට එම කාලය යොදාගෙන ඇත.

ඒ කාලය තුළ මිනිසුන් විහාරස්ථාන වලට ගොස් ආගමික චාරිත්‍ර වල නියැලීම අලුත් අවුරුද්දේ සිදු කරන සුවිශේෂිතම කාර්යයක් ලෙස හැඳින් වීමට පුලුවන. එයට හේතුව වශයෙන් සැලකෙන්නේ තුනුරුවන්ට මුල් තැන දී සුභ මොහාතින් වැඩ කටයුතු ආරම්භ කිරීම නිසාය. සිංහල බෞද්ධයින් උපතේ සිට විපත දක්වා ම ගෙවන කාලය තුළ සියලු කටයුතු තුනුරුවන් මුල් කරගෙන සිදු කිරීම නොරහසකිග සාමාන්‍ය ස්වභාවයයි. ඒ අනුව අලුත් අවුරුද්ද තුළ ද මුල් තැන ලැබෙන්නේ ආගමික චාරිත්‍ර සඳහායග එය ඉතා වටිනා ගුණ ධර්මයක් සේම පිංකමක් ද වන්නේය.

සිංහල අලුත් අවුරුද්දක් තුළ සැම අංශයක් තුළම සමගිය, සාමූහිකත්වය, දැක ගැනීමට ලැබීම සුලභ කාරණයකි. මිනිසුන් තුළ නැති වී යන ගුණ ධර්ම නැවත අලුත් වීම, අමතක වී යන චාරිත්‍ර ධර්ම නැවත අලුත් වීම සිංහල අවුරුද්දක් තුළ දැකිය ප්‍රධාන හැකි ලක්ෂණය විය යුතුය.

සෑම නිවසකම මල් :පහන්* පැළක් තැනීම, පහනක් දැල්වීම, කැවුම්, කිරිබත්, රසකැවිලි හැදීම, අලුත් ඇඳුම් ඇඳීම. ගෙවල් දොරවල් අලුත් වැඩියා කිරීම හා පිරිසිදු කිරීම, නෑගම් යෑම ආදී විවිධ චාරිත්‍ර සිදු කිරීමට සිංහල හා දෙමළ සෑම කෙනෙක් ම උත්සාහවත් වනු ඇත.

කලින් තිබූ අසමගිකම් නැතිකර ගැනීම අවුරුද්දක් තුල සිදුවන සුවිශේෂී ලක්ෂණයකි වේ. ඒ සඳහා අසල්වාසී නිවෙස් වලට (කැවුම් කිරිබත් සකසාගෙන) ගොස් සුහදව කතා බත් කොට ආහාර වේලක් අනුභව කොට එතෙක් කල් පැවතුනා වූ අසමගිකම් නැති කර ගැනීම සිදු කරනු ඇත. මිනිසුන්ගේ දුර්වල මානසික මට්ටම් කරණකොට ගෙන හටගන්නා අසමගිකම් මෙවැනි සිංහල අලුත් අවුරුද්දක් තුළ හෝ නැති කර ගන්නේ නම් එය ඉතා වැදගත් සිදුවීමකි.

විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්ද තුළ බාල පරපුරෙන් වැඩිහිටියන් උදෙසා විශේෂ ගෞරවක් දැක්වීමද සුවිශේෂි ක්‍රියාවලියකි. එහිදී බුලත් අත විශේෂ තැනක් ගනී. බුලත් අතක් දී සුහදව වැඳ නමස්කාර කර සිනා මුසු මුහුණින් කතා බස් කිරීමට බොහෝ දෙනෙක් පෙලඹෙනු ඇත.

දෙමාපියන්ට දරුවන් ද, ගුරුවරුන්ට ශිෂ්‍යයින්ද, ස්වාමියාට සේවකයින් ද, වැඩිහිටියන්ට බාලයින්ද, පැවිදි පක්ෂයට ගිහි අයද යනාදී වශයෙන් ඒ ඒ අය අතර අන්යෝන්‍ය වශයෙන් ගෞරව සත්කාර සිදුවෙනු ඇත. එහිදී කිසිදු වාද භේදයක් නොමැතිව කාටත් පොදුවෙ බලපාන අයුරින් එම චාරිත්‍ර විධි සිඳු වේ. එම චාරිත්‍ර තුළින් කාටත් ප්‍රීතියක් සේම ආශිර්වාදයක් ද ලගා කර දෙති.

පුංචි ළමයි අතර ද දක්නට ලැබෙන්නේ ප්‍රීතිය වඩවන ස්වභාවයකි. ඔවුන් වැඩිහිටියන් දෙන තෑගි බෝග ද ලබමින් සතුට බෙදා ගනු ඇත. රතිඤ්ඤා, නිලාකූරු, අහස්කූරු, බඹර චක්‍ර වැනි අවුරුදු හඬ නංවන දේවල්ද දල්වමින් පුංචි ළමයි එම සතුට බෙදාගනිති. සතුට නිසාම අවුරුදු දින තුල ආහාර ගැනීමටද ළමයින් උත්සුක නොවී සතුටම භුක්ති විදිති.

ඒ තරමටම අවුරුදු චාරිත්‍ර තුළින් ළමයි ඇතුලු සැමට සතුටත් ප්‍රීතියත් ගෙන දෙනු ඇත. දැනට වසර 20 කට 30 කට පෙර එම සිරිත් විරිත් විධිමත්ව සිදු වුවද අද වන විට ඒවා තුළ යම් කඩාවැටීමක් දක්නට ලැබේ. එනිසා අප නැවත නැවත සිහිපත් කර සිටින්නේ ඉදිරි පරම්පරාවට එම අවුරුදු චාරිත්‍ර දැක බලාගෙන විනෝද වීමට සේම අධ්‍යනයක් ලැබීමට ඒවා සුරැකිය යුතු බවයග සමස්ථයක් වශයෙන් ගත් කල්හි මෙවර සිංහල, දෙමළ අලුත් අවුරුද්ද විකාශනය වන්නේ මේ අයුරින්ය.

නව සඳ බැලීම 

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 30 වන ඉරිදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 01 වැනි බ්‍රහස්පතින්දා දින ද, නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 13 වන ඉරිදා දින දිඹුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සඳුදා දින පූර්වභාග 03.21 ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි. පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපරභාග 08.57 සිට පසුදින එනම් 14 වන සඳුදා පූර්වභාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 08.57 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 14 වන සඳුදා පූර්වභාග 03.21 සිට 14 වන සඳුදා පූර්වභාග 09.45 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදි නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන සඳුදා පූර්වභාග 04.04 ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක්ද කිරි සහ විලඳ ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කීරිම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්වභාග 06.44 ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 16 වෙනි බදාදා පූර්වභාග 09.04ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 09.03 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

පැළ සිටුවීම

අප්‍රේල් මස 18 වැනි සිකුරාදා පූර්වභාග 10.16 ට විචිත්‍ර වර්ණ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.

සිංහල දෙමළ අලුත් අවුරුද්දත් සමඟම සිදුවන සිංහල ජන සමාජයට ආවේණික ක්‍රීඩා විධිද අපට වැදගත් වේ. ඒවා කුඩා, තරුණ, මහළු කාගේත් සහභාගිත්වයෙන් සිදු කරනු ඇත. එයට අවුරුදු උත්සවය කියා සඳහන් කරනු ලැබේ. විවිධ ක්‍රීඩා වර්ග අවුරුදු උත්සවයක් තුල දැකගත හැකිය.

එම ක්‍රීඩා බොහෝ දුරට දුර්ලභ ගණයේ ඒවා වෙති. විශේෂයෙන් අද පරපුරට එම ක්‍රීඩා සිංහල අවුරුද්දෙදි පමණක් දැක ගත හැකි ඒවාද විය හැකිය. අපටම ආවේනික ක්‍රීඩා සමූහයක් පැරණි මුතුන් මිත්තන් ආරක්ෂා කරගනිමින් පවත්වාගෙන ආහ. ඒවා තුළ උසස් සංස්කෘතික ලක්ෂණ ද විද්‍යාමාන වේ. එම ක්‍රීඩා තුළින් සමගිය සමාදානය, සහජීවනය, ප්‍රීතිය මොහොතක් ගානේ උදාවනු ඇත. ඒවා තුල ආගමික පසුබිමක් ද නිරූපණය වේ. චාරිත්‍රානුකූලවම එම ක්‍රීඩා සිදු වන අයුරු ඉතා පැහැදිලිය. එම හේතුව නිසා අද ජිවත් වන්නන්ද එම ක්‍රීඩා ආරක්ෂා කරමින් ඉදිරි පරම්පරාවටද දායද කළ යුතුව ඇත.

එම ක්‍රීඩා වලින් කීපයක් මතක් කිරීම වැදගත් යැයි මට සිතේ. එනම් අං ඇඳීම, පොර පොල් ගැසීම, කඹ ඇඳීම, කොට්ට පොර ගැසීම, වල්ගුඩු පැනීම, රබන් ගැසීම, කොඩි ගසේ නැගීම, (ග්‍රීස් ගහේ) ජනකවි ගායනා කිරීම, අවුරුදු කුමර කුමරියන් තේරීම, පංච ඇදීම, කැට ගැසීම, එල්ලෙ ගැසීම වැනි ක්‍රීඩා ඉතා වැදගත් වේ. අද ළමා පරපුරට මේ වගේ ක්‍රීඩාත් තියෙනවාද කියන තරමටම එම ක්‍රීඩා ළමා පරපුරට දැක බලා ගැනීමට නොහැකි තරමටම ඒවා කාලයාගේ වැලිතලාවෙන් යට වී ගොස් හමාරය. එනිසා එම ක්‍රීඩා ඉදිරියට පවත්වාගෙන යෑම වනාහි බාල පරපුරට අපේ පැරණි චාරිත්‍ර විධි මතක් කර දීමක් වන්නේය. එම ක්‍රීඩා වලින් දිනුම පැරදුම පමණක් නොව අපේකම, පැරණිකම, සංස්කෘතිය, ශිෂ්ඨාචාර විධි වැනි දේවල් ද මතකයට නගාගත හැකිය. ලොකු කුඩා කවුරුත් අලුත් අවුරුදු චාරිත්‍ර හා පැරණි සිරිත් විරිත් ඉදිරියට ගෙනයාමට දායක විය යුතු බව මතක තබා ගත යුතුය.

ඉහතින් සඳහන් කළ ආකාරයට අවුරුදු චාරිත්‍ර නිතර සිහියට ගෙන අපට නැති වී යන එම උතුම් ගුණාංග හා චාරිත්‍ර විධි ඉදිරියට පවත්වාගෙන යාමට උත්සාහවත් විය යුතුය. සිංහල, දෙමළ, මුස්ලිම්. බර්ගර්, අප කාහටත් ජාති ආගම්, කුළ භේදයකින් තොරව සමගියෙන් නෑගම් යෑමට හා අලුත් අවුරුදු චාරිත්‍ර සැමරීමට මෙවර උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද ප්‍රයෝජනයට ගත යුතුය.

මෙම වර්ෂය මුලදී අප මතක් කළා සේම සිංහල, දෙමළ අලුත් අවුරුදු උදාවත් සමගම සිතිය යුත්තේ සියලු වාද භේද ඉවතලා පක්ෂ භේදයකින් තොරව එකම රටක එකම මවකගෙ දරුවන් විලසින් ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට මඟ පාදා ගැනීම පිළිබඳවය. ඒ සඳහා සෑම කෙනෙකුගේම දායකත්වය ලැබෙන අයුරින් උදාවන අලුත් අවුරුද්ද සැමරිය යුතුය. අලුත් අවුරුද්ද තුළ පුද්ගල චරිත තුළ චර්යාමය වෙනසක් සේම ආකල්පමය වෙනසක් ද ඇති කර ගත යුතුය. තවද අලුත් අවුරුද්ද තුළ අලුත් සිතුම් පැතුම් ඇති කරගන්නවා සේම පරණ අමනාපකම්ද ඉවතදා සමගියෙන්, සමාදානයෙන් ජීවත් වීමට මෙරට පුරවැසියන් සෑම දෙනෙකුටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි යන්න මගේ ප්‍රාර්ථනයයි.

මහව උඩගම ශ්‍රී ඉන්දසුමන මහ පිරිවෙන්හි ජ්‍යෙෂ්ඨාචාර්ය,

ප්‍රවචන කීර්ති ශ්‍රී ලේඛණ ශාස්ත්‍රීල

ගලගෙදර රතනවංස හිමි.

 



අදහස් (0)

සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 322 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 173 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 568 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 563 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 166 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 47 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 273 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 77 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1104 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site