IMG-LOGO

සමාජ සේවකයන් නොදකින සමාජයේම පැතිකඩක්

ආර්ථික අර්බුදය යනු බඩුමිල ඉහළ යාම පමණක් නොවේ. රටේ ජනයාගේ දෛනික ආහාර රටාව වෙනස්වී එය වේල් එකකට දෙකකට සීමාවීම පමණක් නොවේ.

රටේ සොරකම්, අපරාධ බහුලවීම පමණක් නොවේ. ආර්ථික අර්බුදය යනු කාලාන්තරයක් මුළුල්ලේ වැර වෑයමෙන් උස්  මහත්කර මහත්වූ ප්‍රේමයෙන් රක්ෂා කළ මහා සංස්කෘතික පවුරු පදනම් සොලවා බිමට සමතලා කිරීමට හේතුවන මාරාන්තික ප්‍රහාරයකි.

එම පරිසරය තුළ අවම මිනිස්කම හෝ රැක ගැනීමට අසමත්ව ආධ්‍යාත්මය වැහැරුණු මිනිස් ප්‍රජාවක් බිහිවීම වැළැක්විය නොහැකිය. ඒ බව සනාථ කෙරෙන පුවතක් අප පුවත්පතට ඉකුත්දා වාර්තා කිරීමට සිදූ වූ  බව සංවේගයෙන්  ලියා තැබිය යුතුය. 

අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ උසස් අධ්‍යාපනය සඳහා මුදල් සොයා ගැනීමට බව කියමින් ගණිකා වෘත්තියේ යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු තලංගම දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ප්‍රකාශ කරන බවය.

අත්අඩංගුවට ගත් තරුණියන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් උසස් අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා මුදල් උපයා ගැනීමේ අරමුණෙන් අකමැත්තෙන් වුවද මෙම රැකියාව තෝරාගත් බව ඔවුන් හඬා වැළපෙමින් පැවසී යැයි වැටලීම සිදු කළ උසස් පොලිස් නිලධාරියකු පැවැසූ බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. 

වයස අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන මෙම තරුණියන් කොළඹින් දුර බැහැර ප්‍රදේශවල අය බවත් කොළඹ ප්‍රධාන පෙළේ ආයතනවල උසස් රැකියාවල නිරතවන බවට ඔවුන් තම දෙමාපියන්ට හා ඥාතීන්ට පවසා තිබීම හේතුවෙන් මේ බව නිවෙස්වලට නොදන්වන ලෙස එම තරුණියන් බැගෑපත්ව ඉල්ලා සිටි බවත් එම උසස් පොලිස් නිලධාරියා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. 
‘සත්‍යය ප්‍රබන්ධයට වඩා බලවත්’ බවට ඒකාන්ත පිළිගැනුමකි. උසස් අධ්‍යාපනය ලැබීමට තම ඇඟ මස මුදලට විකිණීමට මේ රටේ දූවරුන්ට සිදුවී ඇත්නම් මේ රට මොනතරම් සාපලත් රටක් දැයි තේරුම් ගැනීම අසීරු  නැත. 

අකුසල කර්මයක් වළක්වාගත හැකි සම්පත් හතරක් බුදු දහමේ දැක්වේ. ඉන් පළමුවැන්න ‘ගති සම්පත්තිය’ වේ. එනම් දුටුවන් මන  නුවන් පිනවන රූප සෝබාවක් සහිතව උපත ලැබීමය. දෙවැන්න ‘උපධි සම්පත්තිය’ වේ. එනම් බලවත් ස්ථානයක උපත ලැබීමය. තෙවැන්න ‘කාල සම්පත්තිය’ වේ. එනම් සෞභාග්‍යවත් කාලයක උපත ලැබීමය. සිව්වැන්න ‘පයෝග සම්පත්තිය’ වේ. එනම් ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීමේ හැකියාවය. 

මෙම සම්පත් හතරෙහි ප්‍රතිවිරුද්ධ කාරණා දෙස බැලුවොත් අයහපත් කාලයක උපත ලැබීම තමන් සතු සියලු පින්සාර වටිනාකම් අහිමි වීමට හේතුවකි. ශුද්ධ වූ සියල්ල කෙළෙසන නරුම ආර්ථික වටපිටාවක තම ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගැනීමට අයෝමය නොවැහැරුණු ආධ්‍යාත්මයක් තිබිය යුතුය. එහෙත් තෙමුණු බිත්තියක් බිමට පාත්වන්නා සේ සකලාකාර සාරධර්ම නාය යමින් තිබෙන මොහොතක මිනිසාට තම ජීවිතය වෙනුවෙන් ඊළඟට ගත යුතු පියවර සම්බන්ධයෙන් එළැඹගත් සිහියෙන් යුතුව කල්පනා කළ නොහැකිවීම පිළිබඳව විමතියට පත්විය යුතු නැත. 

කිසිදු ගැහැනියක කැමැත්තෙන් තම ඇඟමස මුදලට විකිණීමට ඉදිරිපත් නොවන බව ලොව උතුම්ම පදවිය වන මවු පදවියට පත්වීමේ වරම හිමි කාන්තාව සම්බන්ධයෙන් අපමණ ගෞරවයෙන් සටහන් කර තබමු. එහෙත් කුසගින්න ඉවසාගත නොහැකිව කෑ මොර දෙන දරුවාගේ කුසට යමක් එකතු කිරීම වෙනුවෙන් ඒ අම්මා ලොව ඉපැරැණිම වෘත්තිය ලෙස සැලකෙන ගණිකා වෘත්තියට පිවිසෙන්නේ නම් ඒ මවට කැට කැබලිතිවලින් පහර දී පන්නා දැමීමට කිසිවකුට අයිතියක් නැත.

උසස් අධ්‍යාපනය වෙනුවෙන් විය හියදම් සොයා ගැනීමට ඇඟමස විකුණන මාවතට පිවිස අපේම දියණියන්  කුරුසියේ තබා ඇණ ගැසීමට පෙර එම දියණියන් එම පාපතර අධම නරාවළට තල්ලු කළ ජරපත් සමාජ ක්‍රමය කුරුසියේ තබා ඇණ ගැසිය යුතුය. 

(***)

 



අදහස් (0)

සමාජ සේවකයන් නොදකින සමාජයේම පැතිකඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 12932 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 322 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 220 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site