IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ශ්‍රී ලාංකික ජනතාවට දුකත් සතුටත් මුසු දවසක්

මෙම සටහන තබන අද දිනය දුලබ දිනයකි. එයට හේතුව සංවේගයත් සතුටත්  සම්මිතව මෙම සටහන තැබීමට හැකිවීම ගැනය. සංවේගයට කාරණාව නම් මහ වැස්සෙන් පීඩාවට පත් ලක්ෂයකට ආසන්න ජනයා සම්බන්ධයෙනි. සතුටට කාරණාව නම් අභිමානවත් ශ්‍රී ලාංකිකයන් හයදෙනකු රටට ඉමහත් ගෞරවයක් හා ජයග්‍රහණයක් අත්පත් කරදීමය.

දිස්ත්‍රික්ක 11 කට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් දාහතර දහස් තුන්සිය නවයකට අයත් පුද්ගලයන් පනස්හය දහස් හයසිය තිහක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම මේ වනවිට ආරක්ෂිත ස්ථාන 36 ක පවුල් 1660 කට අයත් පුද්ගලයන් 5383 දෙනකු රැඳී සිටින බවද එම මධ්‍යස්ථානය පවසයි. ගං වතුරට හසුවීමෙන් හා කඳු නායයෑම හේතුවෙන් මේ වනවිටත් පස්දෙනෙක් මිය ගොස් ඇත්තාහ.

කලින් නොදන්වා පැමිණි ස්වභාවික විපතින් පීඩාවට පත්ව සිටින්නෝ අපේම පුරවැසියෝ වෙති. එම පුරවැසියන්ට අවශ්‍ය රැකවරණය හා පහසුකම් නොපමාව සැපයීම බලධාරීන්ගේ වගකීමය. එමෙන්ම විපතට පත් ජනයාට අපගේ සහයෝගය ඇවැසිම මොහොත මේ මොහොතය. ඒ සඳහා නොමසුරුව දායකවිය හැකි සුධීමතුන්ට සුදුසුම අවස්ථාව ද මෙය බව අපි අවධාරණය කරමු.

තෙවසරකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ කඳුළුවල තෙතමනය රැඳි පුවත් වැඩි වැඩියෙන් වාර්තා කළ අප පුවත්පත ඕනෑම පුරවැසියකුට සීමාව ඉක්මවා යන සතුටක් දැනෙන පුවත් කීපයක් ඊයේ වාර්තා කළේය. ඉන් එක් පුවතකින් කියැවුණේ රුසියාවේ පැවැති අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ මාරියා චිත්‍රපටයට හිමිවී ඇති බවය. අපගේ සිනමාව දැන් ළදරු නැත. හැත්තෑ විය පසුකළ පරිණතයෙකි. මෙම කාලය තුළ ජාත්‍යන්තරය තුළ සම්භාවනාවට පාත්‍ර වූ චිත්‍රපට ගණනක් දේශීය සිනමාව තුළ දැකිය හැකිය. ආසන්න මෑත කාලය තුළ ද නිවුස් පේපර් චිත්‍රපටයද අන්තර්ජාතික සිනමා උළෙලකදී සම්මානයට පාත්‍ර විය. නවතම ජයග්‍රහණය මාරියා චිත්‍රපටය වේ.

මෙම සම්මාන උළෙලේදී තරගකාරී අංශයේ අවසන් වටයට චිත්‍රපට 8 ක් තේරී ඇති අතර එයින් හොඳම චිත්‍රපටය ලෙස විදෙස් රටවල චිත්‍රපට අබිබවමින් ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් වන මාරියා චිත්‍රපටය හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීම වෙසෙසින් කැපී පෙනෙන්නකි. එමෙන්ම මෙම චිත්‍රපටයට මීට පෙරද අන්තර් ජාතික සිනමා සම්මානයක් හිමිවීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව තවත් අසිරිමත් මෙන්ම අභිමානවත් ජයග්‍රහණයකින් සැරසීමට ෂෙහාන් කරුණාතිලක සමත්විය. ග්‍රන්ථකරණය සම්බන්ධයෙන් ලොව ඉහළින්ම පිළිගැනෙන අන්තර්ජාතික බුකර් සම්මානය මෙවර හිමිවී තිබෙන්නේ ඔහුටය. තිස් වසරක් පුරා මෙරට පැවැති යුද්ධය සම්බන්ධයෙන් දේශපාලන උත්ප්‍රාසය අඟවමින් ඔහු රචනා කළ The Sevn Moon Of Mali Almeda හෙවත් මාලි අල්මේදාගේ සත් සඳ යන කෘතියට මෙම සම්මානය පිරිනමා තිබේ.

ලොව වෙසෙන ඕනෑම ලේඛකයකුට අන්තර් ජාතික බුකර් සම්මානය යනු ජීවිතය තුළ අත්පත් කරගත හැකි ඉහළම සම්මානයකි. එමෙන්ම එය රටකට ලැබෙන අනගිතම ජයග්‍රහණයකි. බුකර් සම්මානය හිමිකර ගැනීම දුලබ සිදුවීමකි. ඒ නයින් ගත් කල්හි ෂෙහාන් කරුණාතිලකගේ ජයග්‍රහණය ශ්‍රී ලාංකිකයන් සියල්ලන්ටම අමන්දානන්දයෙන් යුතුව සැමරිය හැකි අනගිතම ජයග්‍රහණකි. එම ජයග්‍රහණයෙන් ලක්මව සැරසූ ෂෙහාන් කරුණාතිලකට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමමු.

අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ ලෝකයේ  හොඳම විද්‍යාඥයන් අතරට කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන් සිවුදෙනකු තේරී සිටින බවය. කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනකද සිල්වා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ පරපෝෂවේද අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහජන සෞඛ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අසිත ද සිල්වා ලොව හොඳම විද්‍යාඥයන්ගේ කණ්ඩායමට ඇතුළත් බව එම ප්‍රවෘත්තියෙහි දැක්වේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය විසින් කරන ලද විශ්ලේෂණයක් එම තෝරාගැනීම සිදුකර තිබේ. මේ අනුව පැහැදිලි වන්නේ අප රටට අභිමානයට පත්විය හැකි අමන්දානන්දයට පත්විය හැකි ඕනෑ තරම් සාධක තිබෙන බවය. භූමියේ පිහිටීම ඇතුළුව ජාත්‍යන්තරය දිග්විජය කිරීම දක්වාවූ සෑම පරාසයකම මෙම ජයග්‍රහණ පොකුරු තිබේ.

එහෙත් දූෂිත නාස්තිකාර ත්‍රාඩ දේශපාලන ගමන් මග නිසා එම ජයග්‍රහණ පොකුරු වැසී තිබේ. ඉඳහිට හෝ මතුවන ඉහත ජයග්‍රහණ එයට හිමි නිසි බරින් සැමරීමේ අවස්ථාව මෙම ශාපලත් පරිසරය තුළ අහිමි වී තිබේ. කෙසේ වෙතත් ලෝක සිතියමේ අබැටක් තරමේ වූ අප රටට එකවිට ජයග්‍රහණ ගෙනා අභිමානවත් ශ්‍රී ලාංකිකයන්ට අප අපගේ ආදරය මෙසේ පිරිනමමු.

(***)



අදහස් (0)

ශ්‍රී ලාංකික ජනතාවට දුකත් සතුටත් මුසු දවසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 380 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site