ප්‍රවීණ සංගීතඥයකු වූ අභාවප්‍රාප්ත ලක්ෂ්මන් විජේසේකරයන්ගේ අවසන් කටයුතු ඊයේ (14) ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ඉඳුරුවේ කයිකාවල උපන් වෝල්ටර් විජේසේකර කුඩා කාලයේ සිටම දක්‍ෂ චිත්‍ර ශිල්පියකු, මූර්ති ශිල්පියකු ලෙස ප්‍රතිභාව දැක්වූ කලාකරුවෙකි. ඔහුට ගායන හැකියාවත් පිහිටා තිබුණි. 1934 වසරේ ලංකාවට පැමිණි මහා කලාකරු රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ දේශනයක් අසා පැහැදුන වෝල්ටර් එතුමාගේ ශාන්ති නිකේතනයට යාමට සිහින මැව්වේය. කල්කටාවේ ශාන්ති නිකේතනයට ගිය ඔහු තාගෝර්තුමා හමුවී ආශීර්වාදය ලබා ලෝක ප්‍රකට චිත්‍රශිල්පී නන්දලාල් බෝස්ගෙන් චිත්‍ර කලාවද, උදය ශංකර් (රවි ශංකර් නම් ලෝ පසිඳු සංගීතඥයා ගේ වැඩිමහල් සොහොයුරා) යටතේ නර්තන කලාවත් ඉගෙන ගත්තේය. එකල වෝල්ටර්ගේ ශාන්ති නිකේතනයේ සමකාලීන සිසුන්ව ඇත්තේ සත්‍යජිත් රායි හා ලයනල් එදිරිසිංහයන්ය.
ශාන්ති නිකේතනයේදී චිත්‍ර කලාවත්, නර්තනයත් මැනවින් ඉගෙන පෙරළා ලංකාවට පැමිණි වෝල්ටර් තෝරාගෙන ඇත්තේ කලාවට හාත්පසින්ම වෙනස් රජයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරි තනතුරය. ඔහු විවාහ වූයේ කොළොන්නාවේ මීතොටමුල්ල ගර්ට්රූට් ඩේසි නම් යුවතියයි.
‘‘අපට පුතෙක් ලැබුණොත් තාගෝර්තුමා මතක් වෙන්න රවීන්ද්‍ර කියලා නම තියනවා’’ වෝල්ටර් තම බිරියට කීවාය.
එහෙත් මේ යුවළට ලැබුණේ දියණියක. ඇය දේවිකා නම් වූවාය. දේවිකාට පසු 1948 මාර්තු 14 වැනිදා සහෝදරයෙක් පවුලට එකතු විය. මේ පිරිමි දරුවාට ගුරුදේව තාගෝර්තුමා සිහිකරමින් නමක් තැබුවේය.
රවීන්ද්‍රනාත් ලක්ෂ්මන් ද අල්විස් විජේසේකර.
පසුගියදා ජීවිතයෙන් සමුගත් ප්‍රවීණ ගායක, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ, ටෙලිනාට්‍ය රංගවේදී, චිත්‍රපට හා ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්‍ෂ, සංගීත ගුරුවරයකු වූ වචනයේ පරිසමාප්ථාර්තයෙන්ම මානව හිතවාදියකු, නිරහංකාර මිනිසාගේ මතක සුවඳ නම් නොමැකෙන්නේය. මීට වසර දෙකකට පමණ පෙර ගල්කිස්සේ ටෙම්ප්ලර්ස් පාරේ කලාපුර නිවසේදී අප ආදරණීයව කතා කරන ‘‘ලකී’’ සමග නිවී හැනහිල්ලේ ඔහුගේ සුවදුක් විමසද්දී කතා කිරීමට ලැබුණි.
‘‘මගේ තාත්තා මූර්ති ශිල්පියෙක්, නර්තන ශිල්පියකු මෙන්ම චිත්‍රශිල්පියකු වුවත්, සංගීතඥයකු නොවුණේ ඇයිදැයි මට හිතාගන්න බෑ. මට යමක් තේරෙන කාලේ උදේ අවදිවෙන කොට ඇහෙන්නේ තාත්තා කියන මේ සින්දුව.
‘‘ඇයි තරහෙන් මාන්නකාරි
පලා දුවන්නේ
දමලා මා මෙහි
ඉවසිලිවන්ති කෝප නොවෙවී
ශාන්තදාන්ත වේ
කෝපෙ නෑ නෙත බැලුවම තීගේ
සන්සුන් ලීලාවෙන්
තිබේ සැදී සුබාව සේවේ
එපාය මිතුරි ගැන සංචල්
සකි එපාය මිතුරී ගැන සංචල්...’’
තාත්තා කියන ගීතය කොතරම් ආසා තිබුණා ද යත් මට බහ තේරෙන කාලයේම තාලයට කටපාඩමින් කියන්න පුළුවන් වුණා. මම ඒ සින්දුව කියන කොට අම්මයි, තාත්තයි හොරෙන් හැංගිලා අහගෙන ඉඳලා තියෙනවා. දේවිකා අක්කාට පසු පවුලේ දෙවැනියා මම. ඊට පස්සේ ශේෂනාත්, අශෝක් නාත්, රාජ්නාත්, ජනකනාත්, නිශාන්ති, චූලාංගනී සහෝදර සහෝදරියන් හය දෙනෙක් හිටියා.’’
ලක්ෂ්මන් මුලින්ම ගාල්ලේ බොනවිස්ටාවෙන් ඉගෙන අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ගොස් ඇත. කුරුණෑගල මලියදේව විද්‍යාලය ඔහුගේ කලා ජීවිතය ආලෝකමත් කළ තක්‍ෂිලාවක් වී ඇත. ගායකයකු ලෙස ලක්‍ෂමන් කැපී පෙනුණි. ඔහු සී.ටී. ප්‍රනාන්දුගේ ගීත සති අන්තයේ පැවැත්වෙන සමිතියේ ගැයීම නිසා ‘පොඩි සී.ටී.’ නම පටබැඳී ඇත.
‘‘ඒ කාලයේ මලියදේව විද්‍යාලයේ විදුහල්පති කර්නල් ඊ.ඒ. පේරුසිංහ මහතා. (පසුව කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති) දැඩි විනය පාලකයෙක්. අපිට සංගීතය ඉගැන්වූ කේ.ඒ. දයාපාල සර් මගේ ගායන හැකියාව වර්ධනය කරන්න උදව් කළා. මට විශේෂ පන්ති පැවැත්තුවා. මට වඩා ඉහළ පන්තියක සිටි ටී.එම්. ජයරත්නත්, මේ සංගීත පන්තියට ආවා. ඉස්කෝලේ යන කාලේ මම නළුවෙක් වෙන්න ආසාවෙන් හිටියෙ. මලියදේව පිරිමි පාසලක් නිසා පාසල් නාට්‍යවල මම රඟපෑවේ කාන්තා චරිත.’’ තම අතීත කතාව කීවේය.
ලක්ෂ්මන් ගේ දේවිකා විජේසේකර අක්කා 1963 වසරේදී ‘‘අංගුලිමාල’ වේදිකා නාට්‍ය රඟපෑවාය. අක්කා රඟපෑවේ අහිංසකගේ පෙම්වතී හැටියට. රණසිංහ නම් මහතෙක් නිෂ්පාදනය කරමින් අංගුලිමාල ලෙස රඟපෑ මේ නාට්‍යය ඒ කාලයේ තිබුණ ‘විසිතුර’ පන්තරේ අනුග්‍රහයෙන් කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ රඟදැක්විය. එදා මේ නාට්‍යයේ අක්කා වෙනුවෙන් පසුබිම් ගායනා කළේ ලක්ෂ්මන් මල්ලී වීම විශේෂයකි. එදා හැමෝම කතාකර ඇත්තේ කාන්තා හඬකින් කන්කළු ලෙස ගී ගැයූ මල්ලී ගැනලු.
ලක්ෂ්මන්ගේ ලොකු තාත්තා (පියාගේ එක කුස උපන් සහෝදරයා) වූයේ මෙරට සිටි සංස්කෘත භාෂා විශාරදයකු වූ මහාචාර්ය ඕ.එච්. ද ඒ. විජේසේකර ය. කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයකු වූ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු සංස්කෘත මහාචාර්යවරයකු හා භාෂා පීඨාධිපතිවරයෙකි. මහාචාර්ය විජේසේකරගේ පුතුන් වූයේ දොස්තර ගාමිණි විජේසේකර (එක්සත් ජාතික පක්‍ෂයේ ලේකම්, මහරගම අතුරු මැතිවරණයට තරඟ කරද්දී ත්‍රස්තවාදී බෝම්බයකින් ඔහු මිය ගියේය) හා විශේෂඥ ස්නායු රෝග ශල්‍ය වෛද්‍ය ජගත් විජේසේකරය. ලක්ෂ්මන්ගේ මව විසින් රෙදිවලින් සැරසූ ලස්සන චිත්‍ර රටා නිර්මාණයේ ප්‍රවීණතා දැක්වූ කලා ශිල්පිනියකි. තම මව විසින් නිර්මාණය කළ සිතුවම් රටා ලක්ෂ්මන්ගේ නිවසේ බිත්ති අලංකාර කරමින් වැජඹෙයි. මවගේ එක කුස උපන් සොහොයුරිය එනම් ලොකු අම්මාගේ දියණිය ප්‍රීති සෙනෙවිරත්න (රන්දෙනිය) ප්‍රකට කිවිඳියකි. රංගවේදියකි. ඇය විවාහ වී සිටින්නේ සම්මානනීය රංගවේදී රවීන්ද්‍ර රන්දෙනියයි.
ලක්ෂ්මන් විජේසේකරයන් රජයේ සංගීත විද්‍යාලයට (අද සෞන්දර්ය විශ්වවිද්‍යාලය) ඇතුළත් වන්නේ 1968වසරේදීය. ඔහුගේ පන්තියේ සිටි මිතුරු මිතුරියන් වූයේ රෝහණ වීරසිංහ, ආනන්ද වීරසිංහ, මාලිනී බුලත්සිංහල, බන්දුල විජේවීර, බණ්ඩාර අතාවුද ආදීන්ය. සංගීත උපාධිය ලබා අනුරාධපුර තම්මැන්නා වේළුසුමන විද්‍යාල්‍ය, විජයපුර ආදර්ශ විද්‍යාල්‍ය, ඉසිපතන විද්‍යාලය හා කොළඹ ඩී.එස්. සේනානායක ආදී විද්‍යාලවල සංගීත උපදේශකවරයකු ලෙස සේවය කර ඇත.
‘‘මම මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවේ රඟපෑවේ ‘විරෝදාන’ නාට්‍යයේ. මේ නාට්‍යය රචනය කළේ කුසුම් දිසානායක (මහාචාර්ය ජේ.බී. දිසානායකගේ බිරිය) විසින්. සංගීතය අධ්‍යක්‍ෂණය කළේ සංගීත විශාරදයකු වූ සදානන්ද පට්ටිආරච්චි සර්. මම රඟපෑවේ සිද්ධාර්ථ චරිතය. බියට්‍රිස් බටපොල යශෝධරාගේ චරිතය. නාට්‍යය වේදිකාගතවීමට තිබුණේ දින තුනයි. මට ඇස් රෝගය හැදිලා රඟපාන්න බැරිව ගියා. පට්ටිආරච්චි සර්ගේ වාදක මණ්ඩලයේ හිටිය මගේ හොඳම මිතුරෙකු වූ රෝහණ වීරසිංහත් හිටියා.
‘‘ලක්ෂ්මන්, හරි වැඩේනේ, දැන් තියෙන තත්ත්වය නිසා වෙන විකල්පයක් මට හිතා ගන්න බැහැ. තව දවස් තුනයි තියේන්නේ. අපි මොකද කරන්නේ?’’
‘‘සර් අපි රෝහණට කියමු මගේ චරිතය රඟපාන්න කියලා. එයා රඟපාන්නත් දක්‍ෂයි.’’
රෝහණ නාට්‍යයේ සංවාද, ගීත පදමාලා හොඳින් දැන සිටියා. එයා අපේ යෝජනාවට කැමති වුණේ යශෝදරාවට රඟපෑ බියට්‍රිස් බටපොල (පසුව රෝහණගේ බිරිය) සමඟ තිබූ ප්‍රේම සම්බන්ධය නිසා. රෝහණ ඉතා හොඳින් රඟපෑවා. රෝහණ හා බියට්‍රිස් රඟපෑවේ එකම එක වරක් පමණයි. දෙවැනි දර්ශනයේ ඉඳලා මම බියට්‍රිස් එක්ක දිගටම රඟපෑවා.’’
තම පියා ගෙදරදී ගැයූ ‘‘ඇයි තරහෙන් මාන්නකාරි’’ ගීතය ලක්‍ෂමන්, විසින් රෝහණ වීරසිංහයන්ගේ නව සංගීත නිර්මාණය යටතේ නැවත ගැයීය. ඔහුගේ මුල්ම සරල ගීතය වූයේ කිංස්ලි රාජසිංහත්, ලක්‍ෂ්මන් වරින්වර තනුව නිර්මාණය කරමින්, නිර්මලා රණතුංග සමග ගැයූ මේ ගීතය රචනය කළේ කුමාරදාස සපුතන්ත්‍රීය. සෝමපාල රත්නායක සංගීතය සංයෝජනය කළ ගීතය අතිශයින් ජනප්‍රිය විය.
‘‘ඔබ මට තරුවකි ගනඳුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා
ළා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා...’’
තමාගේ මිතුරකු වූ කිංස්ලි රාජසිංහ තනුව නිර්මාණය කළ කුමාරදාස සපුතන්ත්‍රී රචනා කළ මේ ගීතය ලක්‍ෂමන්ගේ ගායන ලෝකය මංසලකුණකි.
‘‘දෑත දෙපාලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිව්සිය ගව්දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්...’’
රෝහණ වීරසිංහගේ සංගීතය ලක්‍ෂ්මන් ගැයූ නිර්මාණ 1975 සිට 1980 දක්වා සංගීත අඹරේ දිදුළුනේය. ගීත රචනය වසන්ත කුමාර කොබවකය.
‘‘ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
පොරණේ මිහි සයනේ ගොඩ නැඟූ මිනිස්සු
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු...’’
ලක්‍ෂ්මන්ගේ කලා ජීවිතයේ අමුතු පෙරළියක් ඩී.බී. නිහාල්සිංහගේ ‘
‘රේඛා’ ටෙලිනාට්‍ය සමඟය. ‘රේඛා’ පටන් ගැනීමට සැලසුම් කර තිබූ කාලයේ නිහාල්සිංහයන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්‍ෂණය කළ ‘මූදු ලිහිණි’ චිත්‍රපටයේ කැමරාව මෙහෙයවමින් සිටියේය. ටෙලි නාට්‍යයේ ගීත රචනය පවරා තිබුණේ සුනිලුන්ටය.
‘‘මිස්ටර් නිහාල්සිංහ අපි ‘රේඛා’ ටෙලිනාට්‍යයට අලුත් සංගීත අධ්‍යක්‍ෂවරයෙක් හඳුන්වා දෙමු.’’
‘‘කවුද?’’
‘‘රෝහණ වීරසිංහ.’’
සුනිලුන්ගේ යෝජනාවට නිහාල්සිංහයන් එකඟ විය. රෝහණ දුටු නිහාල්සිංහයන් යෝජනාවක් ගෙනාවේය.
‘‘රෝහණ, ඔයා සංගීත අධ්‍යක්‍ෂණය කරන ගමන්ම ‘රේඛා’ ටෙලිනාට්‍යයේ රඟපාන්න.’’
‘‘අපෝ... මට වඩා ගැලනෙ කෙනෙක් ඉන්නවා, ලක්ෂ්මන් විජේසේකර කියලා. එයාට රඟපාන්නත් පුළුවන්, ගායනයත් පුළුවන්.’’
‘රේඛා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට නිහාල්සිංහයන් ප්‍රධාන චරිතයට, චන්ද්‍රලේඛා පෙරේරාව තෝරාගෙන තිබුණි. ලක්‍ෂමන්ව ‘රේඛා’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට තෝරා ගත්තද ඔහුගේ හිතට හරි නැත.
‘‘සර්, මේක බැරෑරුම් චරිතයක්. වෙන කෙනෙකු මේකට වෙන කෙනෙක් තෝරා ගන්න. මගේ හිතට හරි නෑ.’’
‘‘තමුසෙට හරි නැති වුණාට මට හරිනේ. මම කියන විදියට ඉන්නවා. තමුසෙ හොඳටම හොඳයි.’’
ලක්ෂ්මන් හා චන්ද්‍රලේඛා ප්‍රධාන චරිත රඟපෑ අතර ඔවුන් ගැයූ මේ ගීතය රෝහණ තනු නිර්මාණය කළ අතර සුනිලුන් ගේය පද රචනා කර තිබූ අතර මේ නිර්මාණ සම්මානවලින් පිදුම් ලැබූහ.
‘‘දැල් වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දලුලා වැඩේවා
ළංවු ළවන් හමුවී පිපේවා
වෙන්වූ නුවන් කඳුළින් මිදේවා
විරහී හදින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා
නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණ අහසේ දිසේවා...’’
‘ගංගා නිශ්ශංක’ ටෙලිනාට්‍යයේ ලක්ෂ්මන් හා සමීතා මුදුන්කොටුව ගැයූ ‘‘සිනා පිපෙනා මේ වසන්තය, නෙළා දෝතින් මලක් සේ සිනාසී...’’ ගීතයේ රචනය කුමාරදාස සපුතන්ත්‍රි ගෙනි. මෙහි සංගීත නිර්මාණය රෝහණ වීරසිංහ ගෙනි. මේ ටෙලි නාට්‍යයේ නිශ්ශංක ලෙස ලක්‍ෂ්මන් ද, ගංගා ලෙස චම්පා ශ්‍රියානිය. චන්ද්‍රරත්න මාපිටිගමගේ අධ්‍යක්‍ෂණය කළ ‘ඉර පායා’ ටෙලි නාට්‍යයේ සමිතා සමඟ ගැයූ ‘‘ඉර පායා ඉර පායා’’ ගීතයද අතිශයින්ම ජනප්‍රිය විය.
ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණයට ඔහු දැක්වූ ප්‍රතිභාව වඩාත් කැපී පෙනුණේ ‘විලම්බීත’ නම් ටී.බී. ඉලංගරත්න මහතාගේ නවකතාව අපූරුවට පුංචි තිරයට නැංවීමෙනි. පී.යූ.ඩී. පෙරේරාගේ ‘සින්ඩරැල්ලාගේ සෙරෙප්පුව’, ‘සුදු ඇතාගේ කතාව’ චිත්‍රපටවලද සුසීමා දමයන්තිගේ කෙටි චිත්‍රපටයේද, ටී.ජී. සුසිරන් ද සිල්වාගේ ‘මිස් ජෙනිසන්’ චිත්‍රපටයේද ‘බුමුතුරුණු’, ‘අත්ත බිඳෙයි’, ‘හිමි අහිම’, ‘මවකගේ ගීතය’ ටෙලි නාට්‍යවලද ඔහු සංගීත අධ්‍යක්‍ෂණය කළේය. වෙළෙඳ ප්‍රචාරක දැන්වීම් රැසක් අධ්‍යක්‍ෂණය කළ ලක්ෂ්මන්ගේ පසුබිමේ සිටියේ ‘ටෙලිස්ටාර්’ අධිපති බන්දුල වීරක්කොඩිය. ලක්‍ෂමන්ට ගීත ගියූවන් අතර බුද්ධදාස ගලප්පත්ති, කපිල කුමාර කාලිංග, යමුනා මාලිනි පෙරේරා ද වෙති.
ලක්ෂ්මන්ට අනාගත බිරිය හමවුන්නේ දයානන්ද ගුණවර්ධනගේ ‘බක්මහ අකුණු’ වේදිකා නාට්‍යයේ ඔහු වාදක මණ්ඩලයේ ගිටාර් වාදකයකු ලෙසද, රෝහණ වීරසිංහ සිතාර් වාදකයකු ලෙස සිටි අවදියේ දීය. ලක්ෂ්මන්ගේ නෙත නාට්‍යයේ රඟපෑ සම්මානනීය නිළි චන්ද්‍රා කළුආරච්චිගේ නෙත හමුවූහ. 1975 වසරේ මේ දෙදෙනා විවාහ වූහ. ඔවුන්ට දරුවන් දෙදෙනෙකි. දියණිය අමා විජේසේකර සම්මානනීය රංග ශිල්පිනියකි. ඇය විවාහවී සිටින්නේ ප්‍රවීණ කලා විචාරක (අයි.ටී.එන්. නාලිකාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ) විමල් කැටපේ ආරච්චි සමඟය. පුතා විහඟ ‘ඉවෙන්ට් මැනේජ්මන්ට්’ ආයතනය පවත්වාගෙන යයි.
ඉහවහා ගිය මානව දයාවෙන් යුතු ලක්ෂ්මන් තම ආදරණීය බිරිය චන්ද්‍රා කළුආරච්චි මිය යනතුරුම සමීපව සිට උපස්ථාන කළ බව රහසක් නොවේය. ලක්ෂ්මන්ගේ අභාවයෙන් පසු සමාජ මාධ්‍යයක ඔහු ගැන මාධ්‍යවේදීයකු ලියූ මේ සටහනෙන් මේ ලිපිය අවසන් කරමු.
‘‘ඔහු තම දියණියට හා පුත්‍රයාට පෑ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා ඈ සතර බ්‍රහ්ම විහරණ මට මෙන්ම සෙසු දූ දරුවන්ටත් එක ලෙස පෑ බව සියලු දූ දරුවන් සාක්‍ෂි දරනු ඇත. වසර 50 කට ආසන්න ඔහුගේ සුන්දර මානව හිතවාදී කලා ජීවිතය තුළ ඔහු කාට හෝ කුහකකමක්, කප්පාදුවක්, කකුල් මාට්ටු දැමීමක් සිදුකර ඇත්නම් මා හට පෙන්වා දෙන ලෙස මම ඕනෑම කෙනෙකුට අභියෝග කරමි. අද ජීවත්වන සමාජයේ මිනිසකු ගැන විශේෂයෙන් කලාකරුවකු ගැන මෙවැනි සහතිකයක් දිය හැකි වනුයේ ඉතා අල්ප ප්‍රමාණයකට බව බුද්ධිමත්හු වටහා ගනිති.’’
ලක්ෂ්මන්ට මීට වඩා වෙන උපහාරයක් කුමටද?
(*** ඒ.ඩී. රන්ජිත් කුමාර)
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වේදිකාවේ රඟපෑ අක්කාට පසුබිම් ගී ගැයූ මල්ලී
hesa Monday, 15 November 2021 09:20 PM
නිරතුරවම මුවග රැඳි අහිංසක සිනහවත් මුසුව ගීත ගයන එතුමන් වෙනු වෙන් ලියැවෙන මේ රසවත්, සුන්දර, ආදරනීය ගුන වැයුම් ඉතාමත් අගේ කරමි.. එයයි ඔහු ලබන සදා ආදරය එතුමන්ගේ රසික රසිකාවියන් ගෙන්.. අප හද වත් තුල සදා නොමැකෙන ආදරනීයයාණෙනි ඔබතුමාට අමා මහ නිවන් සුවය ලැබේවා!
විපරමා Monday, 15 November 2021 11:05 PM
ඔබගේ ලිපියෙන් අප නොදත් බොහොමයක් ඔහු පිළිබඳව දැනගත්තා. ස්තූතියි .ලක්ෂ්මන් විජේසේකර මා දැක්කේ සිනාමුසු මුහුණින් ඉන්න සුන්දර මිනිසෙක් විදියට .ඔහුට නිවන්සුව අත්වේවා !
Pubudu Tuesday, 16 November 2021 07:53 AM
විශිෂ්ට මිනිසෙකු සහ සැබෑ කලාකරුවෙකු වෙනුවෙන් කල අපූරු සටහනක්. ස්තුතියි!
sumithra dharmasena wijesekara Tuesday, 16 November 2021 02:04 PM
ඔහු අප්‍රසිද්ධ ප්‍රසිද්ධම කලාකරුවාමය .නිවන් සුව ලැබීමට නියමිතය !