IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


රසවින්දනයට මොකද වුණේ? 

බල්ලො මරා හෝ සල්ලි හොයා ජොලියේ සිටින්නට කෙටිමං සොයන සමාජය අද වනවිට යථාර්ථයක් වී අවසානය. එය සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍ර සියල්ලෙහි පිළිලයක් සේ පැතිරී ගොස් තිබේ. කලාව වැනි උත්තරීතර ක්ෂේත්‍රවල පවා මේ නොහොබිනා පිළිලය වැඩෙමින් තිබේ. එම පරිසරය තුළ බල්ලො මරලා හෝ සල්ලි හොයන තැනට කලාව ද පත්වෙමින් තිබේ.

යහපත් සමාජ සංස්කෘතිය ඉදිරියට රැගෙන යන්නේ සභ්‍යත්වයයි. ඒ සැබි බව වර්ධනය කිරීමෙහි ලා කලාවෙන් ඉටුවන්නේ ප්‍රබල මෙහෙයකි. කලාව මිනිසාට අවැසි වන්නේ මානවයා ශිෂ්ටත්වයට යන ගමන සඳහාය. ඊට උසස් රසිකත්වය දායක වේ. රටක මානවයාගේ රසිකත්වය ගල් මුගුරුවලින් තීරණය වේ නම් ඒ අශිෂ්ටත්වය මිස අන් කවරක් ද?

මැදිරිගිරිය සංගීත ප්‍රසංගයක දී පසුගියදා සිදු වූ කලබැගෑනිය මේ සඳහා එක් උදාහරණයකි. දරාගැනීම, ඉවසීම, වින්දනය වෙනුවට කලහකාරීත්වය පෙරට ඒ නම් එතැන කලාව තිබිය හැකි ද? මෙරට සමාජයේ රසිකත්වයට සිදුවී ඇත්තේ කුමක්ද? මෙම ලිපියෙන් අප සැකැවින් විමසා බලන්නේ එයයි.

ප්‍රවීණ ගීත රචක, ප්‍රවීණ විචාරක ධම්මික බණ්ඩාරයන්ගෙන් අපි මේ පිළිබඳව විමසා සිටියෙමු. ඔහු ඊට පිළිතුරු බැන්දේ මෙපරිදිය.

‘‘පළමුවැනි දේ තමයි රසිකයා කලාව අඳුනගන්න ඕනෑ. ඒක හරියට අඳුනගත්තොත් තමයි එහි රහ ගුණ වරුණ තේරෙන්නෙ. කලාව අඳුනගත්තෙ නැති වුණාම අපි ගෝත්‍රිකයො වෙනවා. මැදිරිගිරිය සංගීත ප්‍රසංගය එක සිදුවීමක් පමණයි. එය වාගේ දෙයක් ඕනෑම තැනක වෙන්න පුළුවන්. සංගීත ප්‍රසංගය යම්කිසි හේතුවක් නිසා යම්කිසි වෙලාවක නතර කළාට පස්සෙ ප්‍රේක්ෂකයො කුපිත වෙනවා. සංගීත භාණ්ඩ කුඩු කරලා දානවා. ඒක එහෙම වෙන්නෙ ඇයි?

බුදු දහමෙ කියැවෙනවා

‘යායිසං වපතී බීජං

තායිසං හරතේ පලං’

කියලා. යම් පමණක් බීජ වපුරන්නේ ද ඒ තරමටයි පල ලැබෙන්නේ. මේ සංගීත සංදර්ශන සංස්කෘතියේ අපි මේ දක්වා වපුරා ගත්ත දේවල් තමයි අද පල හැටියට ලැබෙන්නෙ. මේ සංස්කෘතිය ඇතුළෙ මනුස්සයෙක් හදලා නෑ. මේ තුළ හදල තියෙන්නෙ තිරිසන්නු ටිකක්. ගොබ්බයෝ ටිකක්. බොහෝ විට මේ ප්‍රසංගවලට සහභාගි වෙන්නෙ හැන්දෑවට වැඩ ඇරිලා මොනවායින් හරි මත්වෙලා කාලෙ ගෙවාගන්න එන පිරිසක්. ඒ වගේ පිරිසකට කලාවේ ගුණ අගුණ කියල දෙනවට වඩා හොඳයි මිරිස්ගලේ කට උලාගන්න එක.

හැබැයි කලාව ඉදිරියේ හැමෝම මෙහෙම ආක්‍රමණශීලී නෑ. වෙලා තියෙන්නෙ පළමුවැනි ගල ගහන කෙනා දිහා බලන අනිත් අයත් හිතනවා අපිත් ගල් නොගැහුවොත් අපි දුර්වලයො කියලා. ඒ නිසා මේ සිද්ධියෙ දී මැදිරිගිරියට විතරක් දොස් කියන එක වැරදියි. ඒක කේවල සිද්ධියක් විතරයි. මේ පරිසරය ඇතුළෙ එවැනි සිද්ධියක් ඕනෑම තැනක වෙන්න පුළුවන්. ඩ්‍රමකට යකඩ පොල්ලකින් ගහන ගිටාරයක් පොළොව ගහන කෙනෙකුට මොකටද සංගීතය? මේ පේන්නෙ සමස්ත සමාජයේ ඛේදවාචකය මිස වෙන මොකවත් නෙවෙයි.

දැන් බලන්න සංගීත කණ්ඩායම්වලට දාන නම්. ඒකෙන්ම පුළුවන් රසවින්දනයේ මට්ටම හොයාගන්න. අපි මේ කතා කරන්නෙ ඒ සංගීත කණ්ඩායම්වල නම් ගැන මිස ඒවායේ ඉන්න අය ගැන නෙවෙයි. වස්ති. අපේ ගම්වල වස්ති කියල කියන්නෙ බඩ වේළිච්චි අයට කරන ප්‍රතිකාර ක්‍රමයක්. වස්තිය දුන්නාම කිරිපනුවො දඟලනවා. ඒක තමයි ඔය වුණේ.’’

කලාවේ අරමුණ හුදු විනෝදය පමණකැයි සිතන එහි අරුත් රස හා ගැඹුරු ජීවන දෘෂ්ටීන් නොතකන නූතන පරපුරක් බිහිවෙමින් ඇති බවට විද්වත්හු බොහෝ දෙනා බොහෝ අවස්ථාවල ප්‍රකාශ කරති. ඔවුන් තම විනෝදය සඳහා තෝරා බේරා ගන්නා රුචි කරන ගීත පවා අවර ගණයේ ඒවා බව ද ඔවුහු පෙන්වා දෙති. එහෙත් කලාවේ රසවින්දන මට්ටම් උසස් හා පහත් යැයි බෙදා වෙන් කරන සීමා මායිමක් සලකුණු කළ හැකි ද? ධම්මික බණ්ඩාරයන් ඊට දුන්නේ මෙවන් පිළිතුරකි.

‘‘මේක ලිබරල් සමාජයෙක් හැටියට සැලකෙන්නෙ. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් රස විඳීමේ අවස්ථාව තියෙනවා. ඒකට කාටවත් බාධා කරන්න බෑ. උසස් රසය කුමක්ද? පහත් රසය කුමක්ද කියල මනින කිසිම කෝදුවක් නෑ. කේ. ජයතිලක මහත්තයා එක තැනකදි පැහැදිලි කරනවා මෙහෙම. සාමාන්‍ය රසිකයකුට ඕනෑම චිත්‍රපටයක් බලන්න පුළුවන්. එයා රසවින්දනය වැඩිදියුණු කරගත්තාම සරල නිර්මාණ වගේම සත්‍යජිත් රායිගෙ පාතර් පංචලී බලන්නත් පුළුවන්. වැඩිදියුණු නොකළොත් ඔහු හැමදාම රසවිඳින්නෙ ඔහුට වැටහෙන සරල නිර්මාණ පමණයි. ඔවුන් එක තැනක නතර වෙනවා.

ඒත් රසවින්දනය කියලා කියන්නෙ උත්තරීතර මනුෂ්‍යත්වය මතු කිරීමකට. මිනිසාට කලාව අවශ්‍ය වෙන්නෙ ගෝත්‍රික භාවයෙන් සහ වනචාරී බවෙන් මිදිමටයි. මූලික අවශ්‍යතා ඉටු කරගද්දි බල්ලො කරන දේ අපිත් කරනවා. අපි කරන දේ බල්ලොත් කරනවා. මනුෂ්‍යා වෙනස් වෙන්නෙ බල්ලො කරන විදිහට කරන්න නැති නිසා. ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගේ ‘අත්’ නාට්‍යය මේකට හොඳ උදාහරණයක්. වික්ටෝරස් කියන ඒකාධිපතියා පරාජය කරන්න බල්ලෙක් සමග වීරයෙක් යනවා. වික්ටෝරස් වීරයා බල්ලා බවට පත් කරනවා. බල්ලා වීරයා කරනවා. වික්ටෝරස් යම් තැනක දී අහනවා මිනිසෙක් වුණු බල්ලාගෙන් ‘උඹ කැමති නැද්ද ආයෙ බල්ලෙක් වෙන්න’ කියලා. ඔහු ‘නෑ’ කියලා අකැමැත්ත පළ කරනවා.

‘ඇයි උඹ කැමති නැත්තෙ?’

‘මිනිසෙක් වුණ බල්ලා කියනවා.

‘වික්ටෝරස් උතුමාණෙනි, බල්ලො වුණාම කරන්න පුළුවන් බලු වැඩ විතරයි. ඒ මිනිහෙක් වුණාම මිනිස්සු කරන වැඩයි බලු වැඩයි දෙකම කරන්න පුළුවන්. ඒ නිසා මට නැවත බල්ලෙක් වෙන්න බෑ.’

කලාව කියන දේ අවශ්‍ය වෙන්නෙ මෙන්න මේ ‘බලු’ තත්වයෙන් ගොඩ ගැනීම සඳහායි. අපේ ලංකාවෙ මොන එළිමහන් වේදිකාව ද මිනිසා බලු තත්වයෙන් මුදා ගන්න වැඩ කරලා තියෙන්නෙ. ඒවායේ ප්‍රතිඵල නේද අපි මේ භුක්ති විඳින්නේ.

දියුණු රටවල මැදිරිගිරියේ වුණා වගේ සිද්ධියක් කවදාවත් වෙන්නෙ නෑ. ප්‍රකෝටි ගණන් ජනතාව එනවා ඒ රටවල ප්‍රසංග බලන්න. මොන රටේ ද පුටුවක් පොළොව ගහල තියෙන්නෙ? ඕනෑ නම් අත්පුඩි ගහයි. ඒ හික්මීම නැති නිසයි අපේ රටේ මෙහෙම සිද්ධි අහන්න ලැබෙන්නෙ. හික්මීම නැති සමාජයක් ගොඩ නැගෙන්නෙ ධනය පමණක් ඉලක්ක කරගත්, මනුස්සකම් බාල්දු කරපු සමාජ ආර්ථික ප්‍රවාහයක අතුරු ප්‍රතිඵල හැටියට. ඒවා අපි දැන් විඳගන්න ඕනෑ.’’

මීට දශක කිහිපයකට පෙර මෙරට සමාජයේ රසිකත්වය දියුණු පවුණු කිරීම සඳහා මුල්වූ ආයතන කිහිපයක් විය. ගුවන් විදුලිය, පුවත්පත්, සඟරා ඒ අතර මූලික විය. ජනතාවට ලබාදිය යුත්තේ මොනවාද? යන්න පිළිබඳ ඒවායේ යම් සංස්කරණයක් විය. සභාවට සුදුසු එනම් සභ්‍ය දේ කුමක්දැයි යම් වැටහීමක් විය. එහෙත් අද ඒ සියල්ල අභිබවා සමාජ මාධ්‍ය පෙරට පැමිණ ඇති වග රහසක් නොවේ. මේ සමාජ මාධ්‍යයෙහි සංසරණය වන බොහෝ දෑ සංස්කරණයෙන් තොරය. එය සභ්‍ය වූවක් ද ? නැද්ද ? යන්න පිළිබඳ තෝරා බේරා ගැනීමක් නොවේ. රසිකත්වය සමාජය තුළ පිරිහී යාමට මෙය හේතුවක් වී තිබේද? ධම්මික බණ්ඩාරයන් ඒ පිළිබඳව දරන්නේ මෙවන් අදහසකි.

‘‘සමාජ මාධ්‍ය දැළි පිහියක් වගේ. ඒකෙන් කිරි පැණි කන්නත් පුළුවනි. රැවුල කොණ්ඩෙ බා ගන්නත් පුළුවනි. ඕනැනම් බෙල්ල කපන්නත් පුළුවන්. අද බොහෝ විට සමාජ මාධ්‍ය භාවිත වෙන්නෙ අනෙකාගේ බෙල්ල කපන්න. ඒවයේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නෙ.

අද ඕනෑම කෙනෙකුට පාලනයකින් තොරව ගීතයක් රෙකෝඩ් කරලා අන්තර්ජාලයට මුදාහරින්න පුළුවන්. සුදුසු දේ නුසුදුසු දේ දරුවකුට තෝරා බේරාගන්න අවස්ථාවක් නෑ. බොහෝ නාලිකාවල ගායන තරගවල දී අවුරුදු පහේ පොඩි දරුවා ලවා ගායනා කරවන්නෙත් එක්කෝ පෙම්වතියක් ගැන. නැත්නම් විරහ ශෝකාලාපයක්. දරුවා දන්නෙත් නෑ කියන්නෙ මොනවද කියලා. ඒක තමයි මාර්කටිං. රටේ ඉන්නෙ ඌරො නම් ජරාව විකුණන්න ඕනැ. රටේ ඉන්නෙ හරක් නම් පුන්නක්කු සහ තණකොළ විකුණන්න ඕනැ කියල මේ අය හිතනව ඇති.

අපි කළේ මුලින් අපි ලියලා ඒක අපට විඳින්න පුළුවන්ද කියලා බලපු ඒක. ඒක මුලින්ම මට දැනෙන්න ඕනෑ.  ඕක ස්වයං විවේචනයක්. දැන් එහෙම එකක් නෑ. දැන් ඕනෑ විකුණා ගැනීම සහ පොරක්වීම, අපිට තරගයක් තිබුණෙ නෑ. අපිට කවදාවත් ප්‍රේමකීර්ති ද අල්විස්, කරුණාරත්න අබේසේකර, අභිබවා යන්න ඕනෑ වුණේ නෑ. අපිට ඕනැ වුණේ ඔවුන්ටත් අගෞරවයක් නොවන විදිහට නිර්මාණයක් කරන්න. අපිට රිගිං ටෝන් දාගන්න අමාරුවක් තිබ්බේ නෑ. අපිට ඒකෙන් හම්බ කර ගන්න ඕනැ වුණේ නෑ. අද තියෙන්නේ කලාව විකුණලා සල්ලි හොයලා පොරක් වෙන අමුතු මානසිකත්වයක්. ඒත් ඒ නිර්මාණ පපඩම් වගේ. හතු වගේ. පිනි වගේ. ආවා ගියා.

නිර්මාණනයක අර්ථ රසයෙන් පළක් නොවන බව අද බොහෝ දෙනා සිතති. නිර්මාණයක ව්‍යංගයන් තේරුම් ගැනීමට ද ඔවුහු නොසිතති. කලාව යනු හුදු මතුපිට අරුත පමණ ද? ධම්මික බණ්ඩාරයන් එය පැහැදිලි කරන්නේ සුගතපාල ද සිල්වාගේ ‘මරාසාද්’ නාට්‍යය උදාහරණයට ගනිමිනි.

‘මරාසාද් ගොඩනැඟෙන්නෙ ප්‍රංශ විප්ලවයේ පසුබිමත් එක්ක. ඒක විඳින්න පුළුවන් වෙන්නෙ ප්‍රංශ විප්ලවය ගැන යමක් දන්න කෙනාට  පමණයි. ඒ නිසා කලාව ඉදිරියට ගෙනියන්න නම් නිර්මාණකරුවා වගේම රසිකයාත් දැනුවත් වෙන්න ඕනෑ. රසිකයන් බිහි නොවෙන්න ගොඩක් හේතු තියනවා. එකක් තමයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය. පාසල් කියන්නෙ පැකින් වගේ. ළමයට වඩා බර බෑගයක් උස්සගෙන යනවා. පීරියඩ් කවර් කරනවා. අත්සන් කරනවා.  ගුරුවරයා බලන්නෙ පාඩම ඉවර කරන්නයි. ළමයෙක් හදනවා කියන්නේ පාඩමක් ඉවර කිරීම ද? අධ්‍යාපන මනෝවිද්‍යාවට හසු නොවිච්ච දේවල් තියෙනවා.

අද ආදරය අනුකම්පාව වගේ දේවල් විහිළුවක් වෙලා තියෙන්නේ. දුෂ්ටයා කපන්න ඕනෑ මරන්න ඕනෑ කියන මතය තමයි පෙරට එන්නේ. එයා වීරයෙක් වෙනව කියලා හිතන්නෙ එහෙම. ඒත් අපේ ජාතක පොතේ එහෙම කියන්නෙ නෑ. අසනග ජාතකයේ යම් තැනකදී තමන්ගේ බිරියත් එක්ක අභිරමණය කරපු තාපසයා එළවගෙන යනවා. තාපසයගේ ඍද්ධිය නැතුව යනවා. අසනග කුමරයාට තේරෙනවා ඇයි එයාගෙ ඍද්ධිය නැතිවුණේ. කෙළෙස් නිසා ඔහු කපන්න ගත්ත කඩුව ඉවත් කරනවා. අඩුගානෙ එහෙම අවසානයක් තියෙන චිත්‍රපටයක් තියෙනවද අද? ඒ වෙනුවට අද මතු කරන්නෙ සියලු දෙයින් පලි අරන් ඉවර කරන පණිවුඩයක්. ඒක තමයි ළමයින්ට එන්නත් වෙන්නේ. පාතාලයේ තියෙන දර්ශනයමයි මේ තියෙන්නේ.

වර්තමාන කලාවෙත් මේ මතය තහවුරු වෙමින් තිබෙනවා. ඒත් ඉස්සර දුක වේදනාව විඳගන්න හැටි නිර්මාණවලින් කියල දුන්නා. වෙන්වීම දරා ගන්න හැටි කියල දුන්නා.

 

ප්‍රේමකීර්ති ද අල්විස් රචනා කළ

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි.
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි.

 

 ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ

කඳුළැල් සලා දෙනෙත් පියවිලි
නෑවිලා ඔබේ
ඇයි මිහිරියෙ තනිවී කිව මැන
කල්පනා ලොවේ

 

 

කේ. ඩී. කේ. ධර්මවර්ධන ලියූ

ඉවුරු තලා ගංගා බැස යනවා

මහද තලා ඔබ ඉවතට යනවා

 

අජන්තා රණසිංහ ලියූ

මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැටවාගේ මැයි මල් පිපි පිපි
අපට සෙවණ දුන්නා

 

මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ

කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනේ
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව හිටියත් ගොළුවෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

මේ එක ගීතයකින්වත් අපි පත්තු වුණේ නෑ. නිවුණා. වර්තමාන පරම්පරාවේ බොහෝ දෙනෙකුට ඒ නිවීම සංයමය එන්නත් වෙලා නෑ. ඒ වෙනුවට ‘අඩෝ වරෙං ගහ ගන්න’ කියන මතයේ තමයි ඉන්නෙ.

රිළවුන්ගෙයි වඳුරන්ගෙයි, චිම්පන්චින්ගෙයි කකුල් හතරේ මිනිස්සුන්ගෙයි, ගෝත්‍රිකයන්ගෙයි එකම වෙනසයි තියෙන්නේ. තිරිසන්නු කලිසම් අඳින්නෙ නෑ. අපි කලිසම් අඳිනවා ටයි දානවා. ටයි කෝට් දාපු වඳුරන් වගේ හැසිරෙනවා. එවැනි සමාජයක් හේතුවක් නැතිව බිහිවෙන්නේ නෑ. ඊට බලපාන පරිසරයක් තිබෙනවා. විශේෂයෙන් මේ පරිසරය හැදෙන්නෙ 1977 විවෘත ආර්ථිකය ආවට පස්සෙ හැමෝම හිතන්න ගත්තෙ හොයපන්, කාපන්, බීපන්, නටපන් ඒ ඇති කියන මතයෙ ඉඳගෙන. ඒ පරිසරය තුළ සාක්කුවේ කොච්චර සල්ලි තිබුණත් මදි. උපභෝග පරිභෝග වස්තු ගොඩගහනකොට තෘෂ්ණාව වැඩිවෙනවා. ඉටියෙන් හරි මැටියෙන් හරි සල්ලි හොයන්න ඕනෑ. තමන් ගැන මිස අනුන් ගැන තැකීමක් ඒ පරිසරයේ නිර්මාණය වන්නේ නෑ. ඒ චින්තනය තුළ තමයි අද අපි ඔක්කොම ඉන්නෙ. එවැනි චින්තනයක කොහොම ද උසස් රසිකත්වයක් ඇති මිනිස්සු හැදෙන්නේ.

මේ පැහැදිලි කරන පරිසරය වෙනස් කිරීමට පිළිතුරු සැපයිය යුත්තේ කෙසේද? ධම්මික බණ්ඩාරයන් උදාහරණයට ගන්නේ වත්මන් ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනයි.

පරිසරය පිරිසුදු කළ පමණින් තම රට ක්ලීන් ​ෙවන්නෙ නෑ. ඒකට මිනිසුන්ගේ ආධ්‍යාත්මය ක්ලීන් කරන්න ඕනෑ. මිනිස් මනසයි ක්ලීන් කරන්න ඕනේ. එහෙම වුණොත්  ඉබේම මේ රට හැදෙයි.

ධම්මික බණ්ඩාරයන් පෙන්වාදෙන මෙම කාරණය පාලකයන්ගේත් නිලධාරීන්ගේත් සියලු රටවැසියන්ගේත් අවධානයට යොමුවීම මේ යුගයේ අත්‍යවශ්‍යම කරුණක් වනු ඇත.

 

(***)
සටහන
ගාමිණී කන්දේපොළ



අදහස් (4)

රසවින්දනයට මොකද වුණේ? 

Nickon Tuesday, 25 March 2025 02:29 PM

ඔයාගේ බෑන්ඩ් එකත් එක්ක ගී රසවින්දන වැඩසටහන ගෙන්වන්න ගිහින් ලක්ෂ ගානක් යන හින්දා අපි අත ඇරලා දැම්මා. ඔයා ගීත විචාරය කරන්න විතරක් එන්නේ නෑනේ සාධාරණ මුදලකට. ඔයාගේම බෑන්ඩ් එක ඕන කියනවා. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්...

:       12       5

himal Tuesday, 25 March 2025 03:36 PM

1999 වුඩ්ස්ටොක්, 2021 ඇස්ට්‍රොවල්ඩ් මෙන්න මේ වගේ සංදර්ශන වලත් ගැ‍ටුම් ඇති වුනා. අනික මේ නිවුනා කියන ගීත ගැන කියද්දි පවන කැසට් පටයේ ගීත ගැන මොකද කියන්නේ? බඩගින්නේ ඉන්න මිනිහට බණ කියන්න බෑ වගේ තමයි, තරහ ගියාම ඔය රසවින්දන කතා නෑ. ඕන තරම් ඔය සමාජය ඉදිරියේ මහා ප්‍රබුද්ධ යැයි පෙනී ඉන්නා අයට තරහ ගියාම ගජන් ගායනා කරනවාද?

:       7       8

බද්රානි Wednesday, 26 March 2025 07:55 PM

ලාංකික සමාජ ඛේදවාචකය පිළිබඳව ඉතාම හරවත් විචාරයක් කිරීම ගැන එතුමාට මගේ ගෞරවනීය ප්‍රණාමය...! නමුත් මේ ලිපියට "අම්බරුවන්" පවා ප්‍රතිචාර දක්වා තිබීම ඛේදවාචකයේ තරම පෙන්වන කැඩපතක්... සමාජයට විශාල අවාදර්ශයක් දුන් මැර, තක්කඩි, පිංගුත්තර පූජකයින් ගණත් ලිව්වා නම් තමයි හොඳ..? ඔබ බොහෝ දේවල් පැහැදිලිව ලියා ඇතිහෙයින් මම කිසිවක් නොලියන්නෙමි..

:       6       11

randil dunuwilleFriday, 28 March 2025 08:54 AM

දැන් තියෙන්නේ තිරිසන් රාසාස්වාදය එහෙම අයට මෙතුමා කියන දෙය කළා ඉන්න බෑ තමයි

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 331 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 173 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 592 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 564 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 166 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 47 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 275 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 77 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1104 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site