IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


රජවරුන්ටත් ප්‍රතිකාර කළ ලන්දේසි රෝහල

කොළඹ කොටුව සියවස් කිහිපයකට පෙරාතුව පෘතුගීසින් ලංකාව ආක්‍රමණය කළ අවධියේදී ඉදිකෙරුණු බළකොටුව හේතුවෙන් කොළඹ කොටුව යන නම ලැබුණ මේ පුරවරය අද අප රටේ අග නගරයයි. පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය යන යුග තුනක් පසුකරමින් පැමිණි බැවින් ඒ යුග තුනටම අයත් විවිධ සංකේත ස්මාරක, ගොඩනැගිලි ආදියෙන් කොළඹ පිරී තිබේ. කොළඹ කොටුවේ ලන්දේසි රෝහලද මේ අයුරින්ම සියවස් ගණනක් පැරැණි ගොඩනැගිල්ලකි.

“Old Dutch Hospital” නැතහොත් ලන්දේසි රෝහල යනු මෙරට ලන්දේසි සමය දක්වා දිවෙන ඉතිහාසයක් සහිත පැරණි ගොඩනැගිලි කිහිපය අතුරින් එකකි. මෙම ගොඩනැගිල්ල දැනට කොළඹ ඉතිරිව පවතින පැරණිම ගොඩනැගිල්ල ලෙසද සලකනු ලබයි. එදවස මෙම ගොඩනැගිල්ල භාරව සිටියේ ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගමටයි. 1686 වර්ෂයේදී ලන්දේසින් විසින්, ඔවුන්ගේ නිලධාරීන්ට හා සේවකයන්ට ප්‍රතිකාර සේවා ලබා දීමේ අරමුණින් කොළඹ කොටු‍ව ආශ්‍රිතව රෝහලක්‌ ඉදිකරන ලදී. රොබට් නොක්ස්ගේ වාර්තාවලට අනුව, මෙම රෝහලෙන් ලන්දේසි නිලධාරින්ට අමතරව, 1739 වර්ෂයේදී එකල මෙරට පාලනය කළ නරේද්‍රසිංහ රජතුමා ද ප්‍රතිකාර ලබා ගත් බවටද සාක්ෂි තිබේ. ලන්දේසි රෝහල ගැන සඳහන් වන ඉතිහාසයේ පළමු වැනි වාර්තාව හමුවන්නේ 1677 වසරේදීය. ඒ ජර්මන් ජාතික ක්‍රිස්ටෝපර් ස්විට්සර් ලියූ වාර්තාවකි. නැවතත් 1730 වසරේදී බ්‍රෝහියර් නිර්මාණය කළ කොළඹ සිතියමක ලන්දේසි රෝහල පිළිබඳ පැහැදිලි සටහනක් හමුවෙයි. එහෙත් මේ රෝහල පිළිබඳ චිත්‍රයක් හිතේ ඇඳගත හැකි ආකාරයේ අංගසම්පූර්ණ විස්තරයක් සටහන් කර ඇත්තේ 1734 වසරේදී හෙයිට් නම් පුද්ගලයකු විසිනි. ඔහුට අනුව එවකට ලෝකයේ තිබූ සියලුම යටත් විජිත අතරින් හොඳම රෝහල, කොළඹ මේ රෝහලයි.

හෙක්‌ටයාර භාගයක පමණ භූමි භාගයක ඉදිකොට ඇති මෙම රෝහල් ගොඩනැගිල්ල යුරෝපීය ගොඩනැගිලි කලාවට සමීප ලන්දේසි ලක්ෂණ පෙන්නුම් කරයි. භූමි නිර්මාණය කුරුසියක හැඩය ගෙන තිබේ. පැරණි ලන්දේසි රෝහලේ ගොඩනැගිලි පහක් දැකගත හැකිය. මෙයින් හතරක් නිර්මාණය කර තිබෙන්නේ විශාල මැද මිදුලක් නිර්මාණය වන ලෙස චතුරශ්‍රයක් වටේටය. පස් වැනි ගොඩනැගිල්ල පවතින්නේ අනෙක් ගොඩනැගිලි හතරත්, එයත් අතර තවත් මිදුලක් නිර්මාණය වන ආකාරයටය. ඉදිරිපස ගොඩනැගිල්ලේ උඩු මහලකුත් දකින්න ලැබේ. කොටස් පහක් මැද මිදුල් දෙකක් සහිත මේ සුවිසල් ගොඩනැගිල්ලේ ඉදිරිපස දිගටම විහිදෙන ආලින්දයකි. මෙහි ඇති එක් මැද මිදුලකට ගොඩනැගිල්ලෙහි කොටස් හතරක්ම සම්බන්ධ වන අතර, අනෙක් කොටස අනෙක් මැද මිදුල හා සම්බන්ධ වෙයි. ගොඩනැගිල්ලේ ඉදිරි කොටස තට්ටු දෙකකින් යුක්තය. එහෙත් මේ උඩ තට්ටුව නිර්මාණය කර ඇත්තේ ලී තට්ටුවකිනි. එකී ලී උඩුමහලට යෑම සඳහා ඇත්තේද ලී පඩි පෙළකි. එහෙත් සියවස් තුනකට පසුවත් මේ ලී පඩිපෙළත් ලී උඩුමහලත් අතිශයින්ම ශක්තිමත්ව පවතී.

මේ ලන්දේසි රෝහලේ අනෙක් අරුමය වන්නේ එහි ඇති බිත්තියි. එක බිත්තියක පළල සෙන්ටිමීටර් පනහකි. කබොක් ගලින් සාදා හුණු ආලේප කර ඇති මේ ඝනකම් බිත්ති, අද යුගයේ සාදන සිමෙන්ති හා ගඩොල් බිත්ති පරදන තරමට සවිමත්ය. සියවස් තුනකට පෙර ඉදිකරන ලද බව කියතත්, මේ ගොඩනැගිල්ල ඉදිකරන්නට පටන්ගත් හෝ ඉදිකිරීම් අවසන් කළ හෝ, රෝහල පටන්ගත් හෝ දින වකවානු ගැන ඉතිහාසය තුළ පැහැදිලි සටහනක් නොමැත.

මෙම ලන්දේසි රෝහල එවකට ඉතා හොඳ තත්වයෙන් පවත්වාගෙන ගොස් ඇත. කොළඹ කොටුවේ සේවය කළ සහ වාසය කළ ඕලන්ද යටත් විජිතය භාර ඉහළ පෙළේ නිලධාරින් හා ඒ පවුල්වල සාමාජිකයන්ද ප්‍රතිකාර ලබා ගත්තේ මෙම රෝහලෙනි. මෙම රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරු තිදෙනෙක්, කණිෂ්ඨ ශල්‍ය වෛද්‍යවරු තිදෙනෙක්, රෝහලේ සේවය කළහ. මේ සියලු‍ ශල්‍ය වෛද්‍යවරු දිනකට දෙවරක් රෝහලට ආ බවත්, අවශ්‍ය අවස්ථා වල රෝගීන්ගේ නිවෙස් වලටම ගිහින් ප්‍රතිකාර කළ බවත් වාර්තා වල සඳහන් වේ. මොවුන් අතුරින් ප්‍රධාන වෛද්‍යවරු ඇම්ස්ටර්ඩෑම් සරසවියෙන් වෛද්‍ය උපාධිය දිනාගත් දැනුම් තේරුම් ඇති ප්‍රවීණයෝ වූහ. මේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සිටි තුන්වැනි ශල්‍ය වෛද්‍යවරයකු වූ කැරල් ප්‍රෙඩ්‍රික්ගේ විනෝදාංශය චිත්‍ර ඇඳීමය. 1768 දී ලංකාවට පැමිණි ඔහු මේ රෝහලත් අවට භූමි දර්ශනයත් ඇතුළත් අපූරු චිත්‍රයක් ඇඳ තිබිණි. කොළඹ රෝහලේ වැඩිම කාලයක් සේවය කළ ශල්‍ය වෛද්‍යවරයා නමින් බාරන්ඩ් ඇලේමන්ය. ඔහු 1756 සිට 1790 දක්වා වූ කාලය කොළඹ රෝහලේ සේවය කළේය. එහෙත් කොළඹ රෝහලේ සේවය කළ වඩාත් ජනප්‍රිය ශල්‍ය වෛද්‍යවරයා පෝල් හර්මන්ය. මන්දයත් ඔහු වෛද්‍ය වෘත්තියට අමතරව ලංකාවේ ශාඛ පිළිබඳ පර්යේෂණයක්ද කර තිබීමය. ඔහුගේ එකී පර්යේෂණය පිළිබඳ වාර්තාව අතිශය වැදගත් එකකි.

මේ ශල්‍ය වෛද්‍යවරු දවසකට දෙවතාවක් රෝගීන් පරීක්ෂා කර බැලූ අතර, කිසියම් රෝගියකුගේ රෝග තත්වය උත්සන්න වූ හැම විටෙකම යළි රෝගීන් බැලීමට පැමිණියහ. මේ නිසා වෛද්‍යවරයාගේ නිල නිවාස පිහිටා තිබුණේද මේ රෝහලේම ඉදිරිපස කොටසේය. එකී නිල නිවෙසට යටින් තිබුණේ රසායනාගාර සහ ඖෂධ නිෂ්පාදනාගාරය. දෙවැනි ශල්‍ය වෛද්‍යවරයා විවාහකයකු වූ බැවින් ඔහුගේ නිවෙස පිහිටා තිබුණේ නගරයෙන් පිටතය. එහෙත් කතා කළ ඕනෑම මොහොතක රෝහලට වාර්තා කිරීමට ඔහු බැඳී සිටියේය. තවත් වෛද්‍යවරු ගණනාවක්ම වාසය කළේ රෝහල ආසන්නයේ මය. මේ නිසා අමාරු ලෙඩෙක් ගැන වාර්තා කළ ඕනෑම මොහොතක ඔහු බලන්නට වෛද්‍යවරු සැදී පැහැදී සිටියහ.

මේ යුගයේ මහනුවර රජ කළේ නරේන්ද්‍රසිංහ රජුය. වරක් තදබල ලෙස රෝගාතුර වූ ඔහුට රාජකීය වෛද්‍යවරුන්ගේ ප‍්‍රතිකාර ප්‍රමාණවත් නොවීය. රජු ඕලන්ද රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා රජ වාසලට ගෙන්වාගෙන ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගත්තේය. වෛද්‍ය කාර්ය මණඩලයට අමතරව බර ගෙනයන්නන්, ඉවුම් පිහුම් කරන්නෝ, මෙන්ම කම්කරුවෝද සිටියහ. විශේෂයෙන් කම්කරුවන් ලෙස සේවය කරන ලද්දේ වහලු‍න්ය. මේ සියල්ලන්ට මාසිකව පඩි ගෙවා තිබේ. රෝහලේ වැඩිපුරම ප්‍රතිකාර ලබාගෙන ඇත්තේ ලන්දේසි හමුදා සෙබළුන් සහ දීර්ඝ මුහුදු ගමන්වලදී අසනීප වන වෙළෙඳ සමාගමේ නිලධාරීන්ය. රෝහල වරාය කිට්ටුවෙන්ම ඉදිකිරීමට හේතුවද එයමය. නැවක් වරායට පැමිණි විගස මුහුදු ගමන්වලදී රෝගාතුර වූ රෝගීන් ඉක්මනින්ම රෝහලට ගෙන ආ හැකි විය. කෙසේ වෙතත් එකල බහුලවම වාර්තා වූ රෝග අතර තිබුණේ උණ, සිරුරු කුහරවල ජලය රැස්වීමේ රෝගය, අපස්මාරය, සෙම්ප්‍රතිශ්‍යාව, පාචනය ආදියයි.

එදා මේ අන්දමින් ඉතා විශිෂ්ට අන්දමේ සේවයක් සැපයූ ලන්දේසි රෝහල, පසු කලෙක අභාවයට ගියේය. 1980 දී මේ රෝහල් ගොඩනැගිලි වෙනස්කම් කිහිපයක් සිදුව ඇති බවද පැවසේ. කෙසේ වෙතත් ගොඩනැගිල්ල අවට වූ පරිසරය නම් බොහෝ සේ වෙනස්ව තිබේ. එදා රෝහල පසෙකින් වරාය දක්වා විහිදුණු ඇළ මාර්ගයක් ද තිබී ඇත. වරායේ සිට රෝගීන් ගෙන ආවේ මේ ඇළ දිගේ විය යුතුය.

1980 දී මේ රෝහල් ගොඩනැගිල්ල පොලිසියට පැවරී තිබිණි. ඒ යුගයේ වැසිකිළි පද්ධතියක් මෙයට අලූතින් එකතුව තිබේ. 1996 පිපිරී ගිය මහ බැංකු බෝම්බය ලන්දේසි රෝහලට බරපතළ හානියක් කළේය. කාලයත් සමග ගරාවැටීමට ලක්ව තිබූ ගොඩනැගිල්ල, කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙළ යටතේ සුපිරි සාප්පු සංකිර්ණයක් බවට පත්කොට 2011 වර්ෂයේ දෙසැම්බර් මස 2 වැනි දිනදී විවෘත කරන ලදී. එදා තිබූ ඉපැරැණි බවට කිසිදු හානියක් නොවන සේ ප්‍රතිනිර්මාණය කෙරුණු මේ වෙළෙඳ සංකීර්ණය දේශීය විදේශීය සංචාරකයන්ගේ සිත් ගන්නා වූ ස්ථානයක් වී ඇත.

(*** ශෂිකා අබේරත්න)



අදහස් (0)

රජවරුන්ටත් ප්‍රතිකාර කළ ලන්දේසි රෝහල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 284 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 246 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site