තථාගතයන් වහන්සේ විසින් දීර්ඝකාලීනව පර්යේෂණ කොට අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය ඇතුළත් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී දුක්ඛ සත්‍ය පිළිබඳව කෙරෙන විග්‍රහය නැවත නැවතත් සිහිපත් වන කාලයක් එළඹ ඇත. එහිදී ඉපදීම දුකක් බව වියපත් වීම මතු නොව රෝගී වීමත් මරණයත් ඉමහත් දුකක් බව පෙන්වා දී තිබේ.
එම පෙන්වා දීම් අතර “ව්‍යාධි” හෙවත් ලෙඩ වීමත් මරණ හෙවත් මියයාමත් මෙම කාල වකවානුවෙහි බහුල වශයෙන් ලෝවැසියන්ගේ අවධානයට ලක්ව ඇත. ස්වාභාවික ධර්මතාවයන් වන ඉපදීමත් වයස්ගතවීමත් ලෙඩවීමත් මරණයට පත්වීමත් කිසිවකුටත් අහඹු සිදුවීම් නොවේ. එහෙත් වර්තමානයෙහි ලොව පුරා දක්නට ලැබෙන ලෙඩවීමත් එනිසාම බහුල වශයෙන් අසංඛ්‍යාත්මකව මියයාමත් වසරකට වැඩි කාලයක සිට ලෝවැසියන් අත්විඳින දුක්ඛදායී අත්දැකීමකි. මෙසේ දිනකට විවිධ රෝග ලක්ෂණ සහිතව දහස් ගණනින් මියයාම හඳුන්වනු ලබන්නේ වසංගත රෝග ස්වරූපයක් යනුවෙනි. එබඳු විවිධ වසංගත රෝගී තත්ත්ව පිළිබඳ තොරතුරු අපේ ධර්ම සාහිත්‍යයෙහි සඳහන් වේ. වසංගත රෝගවල ආරම්භය මානව සමාජයෙහි ආරම්භයේ සිටම වරින් වර පැතිරී යන්නට ඇතැයි අනුමාන කළ හැකි ව තිබේ.
ජාතක පාලිය හා දම්පිය අටුවාව ආදියෙහි සඳහන් විවිධ වසංගත රෝග අතර “අහිවාතක” ආදී රෝගයේ තිබූ ප්‍රභලත්වය පිළිබඳ සඳහන් වන්නේ රෝගය පිළිබඳ දැනගත් මොහොතේ නිවසෙහි බිත්තිය බිඳගෙන නිවසින් පිටවිය යුතු යන නියමය අනුවය. එහි අදහස එතරම්ම ඉක්මනින් නිවසින් ඉවත්ව යාම යන්න විය හැකිය. නිවසෙහි අනෙක් නිවැසියන් සමඟ මුසු වීමකින් තොරව නික්ම යාමක් ද විය හැකිය. එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයෙහි විශාලා මහනුවරට බලපාන ලද රෝගී තත්ත්වය ද වේසාලිය මුල්කොට සොළොස්මහා ජනපදයන්හිම පැතිර නොගියේ යැයි නොකිය හැකි වේ. බෞද්ධ ධර්ම සාහිත්‍යයෙහි මෙම වසංගත රෝග හඳුන්වා ඇත්තේ “ජනපද රෝග” යන නමිනි. සෞභාග්‍යමත් වේසාලිය අමු සොහොනක ස්වරූපය ගත් අයුරු ධර්ම සාහිත්‍යය මගින් වාර්තා කොට තිබේ.
පිරිනිවන් පෑම සඳහා කුසිනාරාවට වැඩම වන භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවරින් පිටත්ව නැවත නගරය දෙස හැරී බලමින් “රමණීයං ඛෝ ආනන්ද වේසාලියං රමණීයං ඛෝ ආනන්ද වේසාලියං” යනුවෙන් විශාලාවෙහි සුන්දරත්වය බුදු මුවින් දෙවරක්ම ප්‍රකාශ කිරීමෙන්ම එම නගරයෙහි සුන්දරත්වයත් සෞභාග්‍යයත් වටහාගත හැකි වේ. එසේ රමණීය වූ වේසාලිය රෝග, අමනුෂ්‍ය, දුර්භික්ෂ යන ත්‍රිවිධ බියකට නතු කිරීම සඳහා හේතු වූයේ වසංගත රෝගයක් වන්නේ මතු නොව ඒ අනුව සෞභාග්‍යය පිරිහී ගොස් රෝගීන්ගෙන් පිරී ගිය මිනී කඳු ගොඩගැසුණ මිනිස් තැන තැන ඇටසැකිලිවලින් ගහනය වූ අභාග්‍ය සම්පන්න ස්වරූපය බුදුගුණාලංකාර කතුවරයා ද මැනවින් ප්‍රකාශ කළ අයුරු බොහෝ දෙනකුට මතක ඇතිවාට සැක නැත. එසේ බියංකර වූ පිළිකුල් සහගත වූ මරණයේ දෝංකාරයෙහි ඇලී ගිලීගිය විශාලාවෙහි තුන් බිය දුරු කිරීම සඳහා තථාගතයන් වහන්සේ විසින් දේශිත රතන සූත්‍ර දේශනයෙන් එම වසංගත රෝග දුරු කරගැනීම පිළිබඳ පුවත ද ඉතා ප්‍රකට වූවකි.
එම සූත්‍ර දේශනාවෙහි බලය වසර දෙදහස් පන්සියය ඉක්මවා ගිය ද අදත් එසේම පවතින බව ද සිහි කළ යුතුව තිබේ.
ගෝලීය වසංගතයක් වශයෙන් හඳුන්වනු ලබන කොවිඩ් හෙවත් කොරෝනා වසංගතය ද මේ වනවිට ලෝ පුරා පැතිර ගොස් අවසන්ය. බුද්ධකාලීනව “ ජනපද” යන්නට වර්තමාන “ගෝලීය” යන අලුත් වචනය ව්‍යවහාර වෙතත් වසංගත ව්‍යාප්තියෙහි ස්වරූපය එකක්ම බව ඉතා පැහැදිලිය.
වසංගත රෝගයක දී එහි ව්‍යාප්තිය වයිරසය හෙවත් රෝග බීජයන් පැතිර යාම පිළිබඳව සඳහන් වන්නේ මතු නොව එම රෝග පාලනය සඳහා ද තථාගත ධර්මයෙහි විවිධ ඉගැන්වීම් පිළිබඳ ත්‍රිපිටක ධර්මයෙහි තොරතුරු සඳහන් වේ. මහාවග්ග පාලියෙහි භේසජ්ඣ ඛන්දයෙහි විවිධ බෙහෙත් වර්ග පිළිබඳවත් ඒවායේ භාවිතය පිළිබඳවත් චර්යාත්මක වූ අනුගමන පිළිබඳවත් සඳහන් වන්නේ මතු නොව පුද්ගල ස්වස්තතාවත් ඒ තුළින් සකසා ගතයුතු සමාජ ස්වස්තතාවත් පිළිබඳ උපදෙස් ලබාදී ඇත්තේ “ආරෝග්‍ය පරමා ලාභා” ආදී වශයෙන් සුවපත් සමාජයක් පිළිබඳ වර්තමාන කියවීම්වලට පූර්වගාමීත්වයක් දක්වමිනි.
මෙවන් වසංගත රෝගයකට මුහුණ දීමේදී මෙහි දක්නට ලැබෙන අතිශය බිහිසුණු බව පමණක් නොව මාරාන්තික වූ අන්තරායී බව පිළිබඳ සියල්ලන්ම තේරුම් ගත යුතුව ඇත. මේ වනවිට කිසියම් ප්‍රතිකාර ක්‍රමයක් ක්‍රියාත්මක වුවද ඒවා ද තවමත් පරීක්ෂණ තත්ත්වයෙන් යුතුව භාවිත කරන බව නොරහසකි. කෙසේ නමුත් එම ප්‍රතිකාර ක්‍රමය වසංගත යම් ප්‍රමාණයකින් පාලනය කිරීමට සමත්ව තිබීම සතුටට හේතුවක් වනු ඇත.
ලෝකයේ ධනවත්ම රටවල සිට අතිශය දුගී දුප්පත් රටවල් වෙත සම්ප්‍රේෂණය වූ මෙම වසංගත රෝගයෙන් බේරී සිටීමට කිසිදු බලවත් රටකට මතු නොව කිසිදු බලවත් පුද්ගලයකුට හෝ ශක්තියක් නොලැබුණි. මූල්‍යමය බලය හෝ අධිතාක්ෂණික ආරක්ෂක බලයන් ද මේ වසංගත තත්ත්වය යටතේ අසරණ වූයේ පමණක් නොව ධනවත් රටවල ධනවතුන් මහමග මැරී වැටෙන තත්ත්වයට පත්වූ ආකාරය මතක ඇතිවාට සැක නැත.
තථාගත ධර්මයෙහි දුක පිළිබඳ කෙරෙන විග්‍රහයේ දී “ව්‍යාධිපි දුක්ඛා” යන ඉගැන්වීම කොතරම් සත්‍ය අත්දැකීමක් බවට පත්වී ඇති ද යන්න මින් මනාව ප්‍රකට වේ. මෙම රෝගය බෝවන රෝගයක් පමණක් නොව ඉක්මනින් පැතිර යමින් පුද්ගලයා පීඩාවට පත් කරන්නකි. තම මව හෝ පියා වීම මතු නොව ස්වාමි-භාර්යා දූ-දරු ආදී සමීප ඥාතියකු වුවද රෝග ග්‍රාහකයකු වුවහොත් හුදෙකලාවීම අනිවාර්ය වූවකි. ඉන් මියගියේ වුවද කොතරම් බලවතකුගේ වුවද අවසන් කටයුතු ද සිදු කරනුයේ හුදෙකලා වූ අවසන් කටයුත්තක් ලෙසය. සමීප ඥාතීන්ට මෙය කොතරම් අභාග්‍යසම්පන්න වූ අත්දැකීමක් විය හැකිද? එහෙත් මෙම වසංගත රෝගයෙන් අත්මිදීම සඳහා ප්‍රකාශිත එම ක්‍රමෝපායන් අනුගමනය කළ යුතු වේ. ඇතැම් විට දරුවන් අත්හැර මවුපියන්ටත් මව්පියන්ගෙන් මෙන්ම දරුවන්ටත් ස්වාමියාගෙන් බැහැරව භාර්යාවටත් මෙසේ හුදෙකලා වීම මතු නොව මරණයට ද පත්විය හැකිය.
එවන් මොහොතක දැනෙන දුක සන්තාපය මෙපමණ යැයි සීමා කළ නොහැකි වන අතර ගම් ගම් වශයෙන් නිරෝධායනයට ලක් කිරීමේදී තම දූ දරුවන්ගෙන් පවා වෙන්ව හුදෙකලා වීම කොතරම් දුක්ඛදායක අත්දැකීමක්ද යන්න කිව නොහැකි තරම්ය. මේ නිසා පුද්ගලයන් ධර්මයෙහි ඉගැන්වෙන “පිය විප්පයෝග” දුකට මෙන්ම “අප්පිය සම්පයෝග” දුකට ද පත්වනු දක්නට ලැබේ. මෙවන් අත්දැකීම් ශ්‍රී ලාංකික බෞද්ධ අබෞද්ධ ආදී ආගම් වශයෙන් මතු නොව ජාති ගෝත්‍ර වශයෙන් ද ලබා ඇති බව ඉතා ප්‍රකට කරුණකි. ලෝක වාසීන් ද ජාති ආගම් බේදවලින් තොරව අත්විඳින රෝගයක ඇති කටුක අත්දැකීම තුළින් මේ විද්‍යාමාන වන්නේ තථාගත ධර්මයෙහි උගන්වන දුක්ඛ සත්‍යයයි. එමතු ද නොව එවන් රෝගී අවස්ථාවකදී කොතරම් අසරණ වන්නේ ද යන්න පමණක් නොව තමාට ඉතා සමීප වූවන් පවා තමාගෙන් ඈත්වන ආකාරය පිළිබඳ අප්‍රමාණ දුකක් නොවන්නේද? මානව සමාජයෙහි ආරම්භයේ සිටම අත්විඳින අසරණ වන රෝගීන් හා කටයුතු කළ යුතු ආකාරය මතු නොව නිරෝගීව සිටීමේ අගයත් ඉන් ලැබෙන සැනසීමත් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම් ත්‍රිපිටක ධර්මය පුරාම දක්නට ලැබෙන අතර ධම්මපද පාළියෙහි සුඛ වග්ගයෙහි මෙවැනි සඳහනක් දැකගත හැකි වේ.
“සුසුඛං වත ජීවාම - ආතුරේසු අනාතුරා
ආතුරේසු මනුස්සේසු - විහරාම අනාතුරා”
මෙහි සාමාන්‍ය අදහස වන්නේ රෝගීන් අතර නිරෝගීව සිටීමෙන් ලැබෙන ඉමහත් සුවය පිළිබඳවය. මෙය පුළුල්ව සලකා බැලීමේදී මෙහි අදහස වන්නේ කෙලෙස් බරිත සත්වයන් නිරන්තරයෙන්ම එම කෙලෙස්වලින් පෙළෙමින් රෝගී තත්ත්වයන් ඇතිකර ගැනීමෙන් එබඳු ක්ලේෂ සහගත ස්වභාවය නිසා රෝගීන් බවට පත්ව වෙසෙන බවයි. එබඳු කෙලෙස් යටපත් කර ගැනීමෙන් කෙලෙස් බරිත රෝගීන් අතරින් කෙලෙස් නැසීමෙන් ලබාගත යුතු නිරෝගීතාව හෙවත් සසරින් මිදීමේ ස්වභාවය පිළිබඳව පුළුල්ව විස්තර කෙරේ. අප වර්තමානයේ මුහුණ දී සිටින වසංගත රෝගයට ස්ථිර ප්‍රතිකාර ක්‍රමයක් නැත. කෙළෙස් සහගත වූ වසංගතවලට බාහිර ප්‍රතිකාර ක්‍රම නොමැත. කෙළෙස් සහගතව විවිධ අගෝචර ක්‍රියාවන්හි යෙදී කෙළෙස් රෝග වැඩිකරගන්නා සේම වර්තමාන වසංගත තත්ත්වය පැතිර යාම සඳහා ද හේතු වී ඇත්තේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපාය පිළිබඳ නොසලකමින් අගෝචර ක්‍රියාවන්හි නිරත වීම වන්නේය. ඉහත ඉගැන්වීමෙහි “සුසුඛං වත ජීවාම” යන පාලි යෙදුමෙහි අදහස වන්නේ ඒකාන්තයෙන්ම සුවසේ ජීවත් වන්නෙමු යන්නයි.
“ආතුරේසු අනාතුරා” යන්නෙන් ප්‍රකාශ වන්නේ ආතුර වූවන් අතරෙහි ආතුරනොවූවෝ වෙමු යන්නයි. “ ආතුර” යන්න අපට ඉතා හුරුපුරුදු වචනයක් වන අතර රෝගී වූවන් හෙවත් ලෙඩින් පෙළෙන්නන් වශයෙන් එය විස්තර කොට තිබේ. “ආතුරේසු මනුස්සේසු” යන්නෙන් ප්‍රකාශ වන්නේ ආතුරව හෙවත් රෝගීව සිටින පුද්ගලයන් පිළිබඳවයි. “විහරාම අනාතුරා” යන්නෙන් එබඳු රෝගීන් අතර නිරෝගීව සිටීමේ අගය ප්‍රකාශකොට ඇත. මේ පිළිබඳ සලකා බැලීමේදී ඉතා පැහැදිලි කරුණක් වන්නේ කෙළෙස් ලෙඩින් අත්මිදීමට සත්ව පුද්ගලයන් දක්වන මන්දගාමී ස්වරූපය පමණක් නොව අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් උවමනාවෙන්ම මග හැර හිතුවක්කාරීව ක්‍රියා කිරීමෙන් මෙම මාරාන්තික වසංගතයෙන් බේරී සිටීමට ද උනන්දුවක් හෝ උත්සාහයක් බොහෝ දෙනා තුළ නොමැති බවයි.
භාග්‍යවතුන් වහන්සේ විසින් තම මව්පිස ඥාතීන් හා පියපස ඥාතීන් රෝහිණී නදියෙහි ජලය පිළිබඳ ඇති කරගත් ගැටුමකදී යුදමය අවස්ථාවක එම බිහිසුණු ගැටුම නතර කිරීම සඳහා යුද බිමට වැඩමකොට දේශනා කරන ලද මෙම ධර්ම දේශනයෙන් දෙපස ඥාතීහු සංසිඳුවා ලූහ. එසේ උන්වහන්සේ තම දහම් පණිවිඩය විවිධ වූ ස්ථානයන් කරා රැගෙන වැඩම වූ අයුරින්ම අද වන් පොසොන් පොහෝ දිනයක අනුබුදු මිහිඳු මා හිමියන් සිදුකොට ඇත්තේද ඒ උතුම් දහම් පණිවිඩය රැගෙන වැඩම වීමය. එනිසාම උන්වහන්සේ අනුබුදුවරයන් වහන්සේ නමක ලෙස සැලකේ. අපි සියල්ලෝම එම උතුම් දහමෙහි සුවය විඳිමින් සිටින්නෝ වෙමු. එම දහමෙහි අමිල වූ ඉගැන්වීමක් වන රෝගීන් අතර නිරෝගීව සිටීම සඳහා අනුගමනය කළ යුතු උතුම් උපදේශ අනුගමනය කිරීමෙන් මෙම භයානක වසංගත රෝගයෙන් අත්මිදීමෙන් ලබන සුවයත් එම උතුම් දහම් මඟ ගමන් කිරීමෙන් ලැබිය හැකි සංසාරික සුවය සඳහාත් අදිටන් කරගත යුතුව ඇත.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රෝගීන් අතර නිරෝගීව සැපවත් වෙමු
kamal Thursday, 24 June 2021 11:20 AM
මේ අර නාග මාණික්‍යය තිබුණු පැත්ත නේද? සාදු!! සාදු!! සාදු!!