IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


මාලිනී හෙළ සිනමා නිළි රැජින

මහා සිනමා නිළි මාලිනී ෆොන්සේකාට ජාති​ෙය් උපහාරය පිරිනැමීමේ උත්සවයක් 2015  දෙසැම්බර්  මස 24 වැනිදා එවකට ජනපති වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

එහිදී සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සූරීන් පැවැත්වූ ප්‍රධාන දේශනය යළි මෙහි පළ කෙරෙන්නේ මාලිනී ෆොන්සේකා මහත්මියට උපහාර වශයෙනි.

මාලිනී යන වචනයෙහි තේරුම “මාලා ගොතන්නී”, “මාලාකාරී” යනුයි. අපේ මේ මාලිනී නමැති මාලාකාරිය පන්සාළිස් වසක් තිස්සේ අපේ සිනමාව වර්ණවත් කරන්නට සුගන්ධවත් කරන්ට මල් මාලා ගෙතුවාය. පසුගියදා ඇය විසින් සිය විචිත්‍රවත්ම සුගන්ධත්ම මල් මාලාවෙන් සිංහල සිනමා සොඳුරියගේ ගෙල සරසන ලදී. ඒ 39 වැනි වරටත් පැවැත්වුණු අන්තර්ජාතික ඉන්දීය චිත්‍රපට උළෙලේදී “ආකාස කුසුම්” චිත්‍රපටයේ සන්ධ්‍යා රාණි නමැති නිළියගේ චරිතය නිරූපණය කිරීම උදෙසා රජත මයුර සම්මානය දිනා ගනිමින් ය.

මීට පෙර මේ අන්තර්ජාතික සම්මාන උළෙලේදී ම අපේ කලාකරුවෝ කිහිප දෙනකු සම්මාන හිමිකර ගත් බව ඔවුන්ට ගෞරවයක් වශයෙන් මෙහි ලා සඳහන් කළ යුතුය. 1985 දී ආචාර්ය ලෙස්ටර් පීරිස්ගේ “ගම් පෙරළිය” ඒ වසරේ හොඳම නිෂ්පාදනය වශයෙන් රණමයුර සම්මානය දිනා ගත්තේ ය. 1969 දී සුගතපාල සෙනරත් යාපාගේ “මිනිසා සහ කපුටා” හොඳම දෙවැනි විත්ති කතා චිත්‍රපටය ලෙස රජත මයුර සම්මානය දිනා ගත්තේ ය. 1987 දී අනෝජා වීරසිංහ “මල්දෙනියේ සිමියොන්” වෙනුවෙන් රජත මයුර සම්මානය දිනා ගත්තා ය. මාලිනී මෙදා ශ්‍රී ලංකාවට රැගෙන ආවේ හතරවැනි මොනරාය.

එහෙත් මේ මොනර ප්‍රදානය සම්බන්ධයෙන් එදා මෙදා තුර වෙනසක් සිදුවී ඇත්තේ ය. එදා තිබුණේ සම්මාන ඉසව් 04 කි. එනම් හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය වශයෙනි. එහෙත් දැන් සිවු වරක් තිස්සේ ප්‍රදානය කෙරෙන්නේ සම්මාන 03 කි. එනම් හොඳම චිත්‍රපටය, හොඳම කුළුඳුල් අධ්‍යක්‍ෂණය, හොඳම සිනමා සහභාගිත්වය හෙවත් දායකත්වය යනුවෙනි. හොඳම නළුවා හෝ හොඳම නිළිය කියා සම්මානයක් නැත. නළුවකුගේ හෝ නිළියකගේ රංගනය. චිත්‍රපටයේ තිර නාටකය, සංගීතය, සංස්කරණය හෝ ඡායාරූප ශිල්පය වෙනුවෙන් පෙර කී “සිනමා සහභාගීත්වය” සඳහා වූ රජත මයුර සම්මානය ලංකාවේ මුදලින් 40 ලක්ෂයක් පමණ වූ මුදල් ද සමග පිරිනැමෙන්ට පුළුවන. මාලිනියගේ රංගනයට හිමි වූයේ මේ සම්මානය යි. මාලිනියට පෙර එම සම්මානය සිනමා තිර නාටක රචකයකුට ද හිමි වී තිබේ. 2004 දී ඉරාන නළුවකුට ද, 2007 දී පාකිස්තානු නිළියකට ද මේ සම්මානය හිමි වූයේ ය.

මේ ආකාරයට බලන කල මාලිනිය දිනා ගත් සම්මානයෙහි බර වැඩි ය. ඇය මේ සම්මානය ලබන්නී “සිනමා සහභාගීත්වය”ට ය. ඒ අනුව ඇය තරග කරන්නී හුදු රංගන ශිල්පීන් සමග පමණක් නොව තිරනාටක රචකයන්, සංගීත අධ්‍යක්‍ෂවරුන්, ඡායාරූප ශිල්පීන්, සංස්කරණ ශිල්පීන් ආදීන් ද සමග ය.

මාලිනිය මෙවර තරග කළේ ඉන්දියාව, බංග්ලාදේශය, ඉරානය, ආර්ජන්ටිනාව, මලයාසියාව, නවසීලන්තය, පිලිපීනය, කසකස්තානය, රුසියාව වැනි රටවල් සමග ය. රංගනයෙන් ආ හා තරග කළෝ කවරාකාර නළු නිළියෝ ද? මජිඩ් අධ්‍යක්‍ෂණය කළ “සෝංග් ඔෆ් ස්පැරෝස්” නමැති ඉරාන චිත්‍රපටයෙහි ප්‍රධාන නළු රීසා නජි එම චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් බර්ලින් චිත්‍රපට උළෙලේ “ගෝල්ඩන් බෙයාර්” සම්මානය දිනාගෙන තිබුණේ ය.

ආර්ජන්ටිනාව- ජර්මානු හවුල් නිෂ්පාදනයක් වූ “මයි මදර්ස් ටියර්ස්” චිත්‍රපටයෙහි රඟපෑ ඇලිස් ඩට්යර්ට එහි රංගනය වෙනුවෙන් ග්‍රීසියේ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී හොඳම නිළියට හිමි සම්මානය ලැබී තිබුණි. කසකස්තානය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, රුසියාව, පෝලන්තය යන රටවල්වල හවුල් නිෂ්පාදනයක් වූ සර්ජි ඩොරස්තේව් (මේ චිත්‍රපට උළෙලේ අනෙක් සම්මාන දෙකම දිනා ගත්තේ මේ සර්ජි ඩොරස්තේව් ය) අධ්‍යක්‍ෂණය කළ 2009 වසරේ ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කිරීමට නියමිත “තුල්ෆාන්” නමැති චිත්‍රපටයේ රඟපෑ තොලෙප්බර්ජන් (උච්චාරණය වැරදි විය හැකිය) විසින්ය. ප්‍රියදර්ශන්ගේ “කාඤ්චිවරම්” නමැති ඉන්දීය චිත්‍රපටයෙහි රඟ පෑ ශ්‍රියා රෙඩ්ඩි විසින් ද විශිෂ්ට රංගන ඉදිරිපත් කරන්නට යෙදුණි.

මොවුනතරින් ද උළෙලේ තරගකාරී අංශයෙහි සෙසු චිත්‍රපටවල සකලවිධ කලා හා කාර්මික අංශ අතරින් ද මාලිනියගේ රංගනය “උපරිම සිනමා සහභාගීත්වය” ලෙස බව තීන්දු කළ ජූරිය ඊට හේතුව ලෝක ප්‍රකට කාන් චිත්‍රපට උළෙල වැනි උළෙලක් පැවැත්වීමට ගෝව වැනි වෙරළාශ්‍රිත ප්‍රදේශයක් වඩාත් උචිත යැයි බලධාරීන් තීරණය කර තිබීම යි. කලක් කප්පාදු කර තිබුණු උළෙලේ තරගකාරී අංශය යළි ඇරඹුණේත් මූල්‍යමය ත්‍යාග මුදල වැඩි කරමින් (රණමයුර) සම්මානය සඳහා වූ ත්‍යාග මුදල (ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 125ක් පමණ වේ). නව තරග ඉසව් තුන ඇරඹුණේත් ගෝවේ දී ය.

මාලිනියගේ සම්මානය පිටුපස තවත් මහා පුරුෂයෙක් සිටින්නේ ය. ඔහු නම් නව පරපුරේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් අතර විශිෂ්ටතමයා ලෙස අවිවාදයෙන් හඳුන්වා දිය හැකි ප්‍රසන්න විතානගේ ය. සිනමා නිර්මාණයක කවර අංශයෙන් හෝ සම්මානයට පාත්‍ර වන්නේ නම් එම ගෞරවයෙන් කෙටසක් අධ්‍යක්‍ෂවරයාට හිමි වන්නේ ය. ඒ චිත්‍රපටයක ආධිපත්‍යය දරන්නේ ඔහු බැවිනි. ප්‍රසන්න සම්මානීය නළු නිළියන් තනන්නෙකැයි අපට සිතෙන්නේ ඔහුගේ සෑම චිත්‍රපටයකම ප්‍රධාන චරිත රඟ පෑ සෑම නළුවකුම සෑම නිළියකම සම්මානයට පාත්‍ර වී ඇති බැවිනි. “සිසිල ගිනි ගනී” හි සනත් හා සබීතා ද “අනන්ත රාත්‍රියෙහි” රවීන්ද්‍ර හා ස්වර්ණා ද “පවුරු වළලු” හි ටෝනි සහ නීටා ද “පුරහඳ කළුවරෙහි” ජෝ (ප්‍රධාන නිළියක් සිටියේ නැත) ද “ඉර මැදියමෙහි” පීටර් අල්මේදා සහ නිම්මි හරස්ගම ද ඒ ඒ වර්ෂවල හොඳම නළු නිළියන් වශයෙන් සම්මන ලදහ. 88 සිංගප්පූරුවේ පැවැති අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ දී නීටා හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ (පවුරු වළලු) ද 99 සිංගප්පූරුවේ පැවැති අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ දී ජෝ (මෙරට සිනමා සම්මාන උළෙලේ දී ජෝ (මෙරට නළුවකු ලැබූ එකම අන්තර්ජාතික සම්මානය මෙය යි) හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ (පුරහඳ කළුවර) ද 2004 ස්පාඤ්ඤයේ පැවැති අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ දී නිම්මි හරස්ගම, හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ (ඉර මැදියම) ද ප්‍රසන්නගේ චිත්‍රපටවලිනි. මාලිනීගේ සම්මානය පූර්වෝක්ත අන්තර්ජාතික සම්මානවලින් වෙනස් වෙනුයේ එය ප්‍රසන්න මස්සිනා (ප්‍රසන්න විවාහ වී සිටින්නේ මාලිනීගේ සොහොයුරියක වන දමයන්ති සමග ය) මාලිනී නෑනාට ලබා දුන් නෑනා-මස්සිනාගේ ගනුදෙනුවක් නිසා පමණි.

රංගනය වෙනුවෙන් දේශීය සම්මාන රැසක් හිමි කරගෙන සිටින මාලිනිය 1975 නව වැනි අන්තර්ජාතක මොස්කව් සිනමා උළෙලේදීත් (ධර්මසේන පතිරාජගේ “එයා දැන් ලොකු ළමයෙක්” වෙනුවෙන්) 1977 6 වැනි අන්තර්ජාතික නවදිල්ලි සිනමා උළෙලේදීත් (අමරනාත් ජයතිලකගේ “සිරිපාල හා රංමැණිකා” වෙනුවෙන්) ගෞරව ඩිප්ලෝමා සහතික ලැබුවාය.

ඉන්දියාවේ ෂාරුක් ඛාන්ට මලයාසියාවේ දී එරට රජයෙහි ඉහළම සම්මානය පිරිනැමුණේය. අපේ මාලිනියට අපේ ජනාධිපතිතුමා ද ලංකා රජයේ ඉහළම ගෞරව පිරිනමන්නේ ය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වශයෙන් අපට මාලිනිය වෙත යම් දිනෙක පිරිනැමිය හැකි ඉහළම උපහාරය නම් ගෞරව ආචාර්ය උපාධියක් (D.Litt) පිරිනැමීම යි. එහෙත් ලංකාවේ පහළ වූ ශ්‍රේෂ්ඨම නර්තන ශිල්පිනිය වන වජිරා චිත්‍රසේන මහත්මියට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීම සඳහා ශාස්ත්‍ර පීඨයේ හා සනාතන සභාවක ඒකමතික අනුමැතිය ඇතිව කළ නාම යෝජනාව උසස් අධ්‍යාපන ඇමැතිවරයා විසින් පත් කරන ලද පාලක සභා සාමාජිකයන් කිහිප දෙනකු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම යි. වඩාත් හාස්‍යජනක වන්නේ එම ප්‍රතික්ෂේප කිරීමට දක්වා තිබුණු හේතුව යි. ඔවුන් කියා තිබුණේ නර්තන ශිල්පය මෙම විශ්වවිද්‍යාලයට සම්බන්ධයක් නැති බැවින් එය නො දිය යුතු බව යි. මේ හාස්‍යෝත්පාදක තීන්දුවට එරෙහිව කරුණු දක්වමින් සංගීතඥ අමරදේවයන්ට සංගීතඥ කේමදාසයන්ට සිනමාවේ දී ලෙස්ටර් පීරිස්ට සම්මාන ආචාර්ය උපාධි පිරිනැමුවේ පේරාදෙණිය, කොළඹ, රුහුණ ආදී විශ්වවිද්‍යාලවලින් බව ඒ පාලක සභා සාමාජිකයන්ට කියා දීමට කෙනෙක් එහි නොසිටීම පුදුමයක් නොවේ ද?

මාලිනී රංග කලාව පිළිබඳ ආයතනික පුහුණුවක් නො ලැබුවාය. ඇයගේ රංග ප්‍රතිභාව උද්දීප්තියට පත් වූයේ මේ ඝෝර සසරේ ඈ වින්ද්‍ා වූ අප්‍රමාණ දුක් පීඩා, හෙළුෑ කඳුළු සුසුම්වලිනි. ඈ වඩාත් සිනාසී ඇත්තේ රිදී තිරයේ දී පමණක් ද විය හැකි ය. එහෙත් ඈ තවත් පැත්තකින් භාග්‍යවන්තියකි. මේ මොහොතේ මගේ සිහියට නැගෙන්නේ “කැලෑ හඳ” චිත්‍රපටයේ මාලිනී නමැති චරිතය වෙනුවෙන් හර්බට් ඇම්. සෙනෙවිරත්න ලියූ ගීතය කොටසකි. එම ගී කොටසෙහි තුන්වැනි හතරවැනි පද අපේ මාලිනියට ද මැනවින් ගැලපෙයි.

 

“මගේය ප්‍රේම මාලිනී

ඔබේය මාව රාජිනී - ඕ ප්‍රේම්

අගේ වූ ස්ත්‍රි රත්නෙකි

සොබාදහම් මැවූ දයා

 

(***)
සම්මානිත මහාචාර්ය
සුනිල් ආරියරත්න



අදහස් (0)

මාලිනී හෙළ සිනමා නිළි රැජින

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 603 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 348 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 491 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site