මිනිසුන් බිය කරවන අදෘශ්‍යමාන භූතයින් හෝ භූත කොටස් අප අතර ඇතැයි යන විශ්වාසයක් මුල් බැස ගෙන තිබේ. ඉන් බොහෝ කම්පනයටත් ත‍්‍රාසයටත් පත්වන මිනිසුන් ඒ ඒ උපද්‍රවයන්ට අදාළව ගුරුහරුකම්ද කෙම් පහන් ද කර ගැනීමට හෝ කරවා ගැනීමට මහත් සේ උත්සුක වෙති. ”යක්කුරුල්ලා හෙවත් ”උලමා” මෙන්ම ”බෝදිළිමා” නමැති අදෘශ්‍යමාන ගුප්ත බලවේගය ද ගැමි ජනතාව බියපත් කරවන තවත් එක් භූත කොටසක් සේ විශ්වාසයේ පවතී. විශේෂයෙන්ම රජරට නුවර කලාවිය, කඳුරට සහ වයඹ-සත්කෝරළය බද පිටිසර ගම් වල පැවැති මේ අපූරු භූතාවේශයේ තරම පැරන්නන්ට නොකිවමනා වූවද මේ පිළිබඳව කිසිවක් නොදත් වත්මනුුන්ට ඇත්ත ඇති සැටියෙන්ම කිවයුත්තේය. බෝදිලිමා නමින් ප‍්‍රකට වූවද ගැමියන් විසින් හැඳින් වූ ”බෝදිලියා”ගේ රුව දකින්නට අපහසු වූවත් හඬ නම් කලකින් හෝ අසාගත හැකි විය. මැදියම් රැයේ ඈත වනපෙතකින් ඇරඹි ගම්මානයකින් කෙළවර වන එම හඬ ඇසූවන්ගේ සිරුර ලොමුදැහැගැන්වෙනසුළුය. ඉතාමත් වේදනාවකින් පෙළෙන අසාධ්‍ය රෝගියකුගේ මර කෙඳිරිල්ලකට සමාන කළ හැකි එම හඬ තුළින් ”අනේ.... අපොයි... අම්මො” යන හඬට සමාන කෙඳිරිළි ස්වභාවයක් ගන්නේය.
මා කුඩා කළ වරක් ”බෝදිලියා” නමැති අදෘශ්‍ය හඬක් අසා බියට පත් වූ අයුරු තවමත් මතකයේ තිබේ. අධික වේදනාවකින් නඟන කෙඳිරිලි හඬක් වූ එය ඇසුණේ නම් තරමක් ඈතකිනි. ඔන්න අදත් ”බෝදිලිමා” (බෝදිලියා) කෑගසනවා.... පුතේ ගෙට පලයල්ලා.”යි අම්මා කී එහි කිසියම් ගුප්ත බවක් ඇතැයි මට සිතුණි. ආරම්භයේ ඉතා හෙමින් අරඹා පසුව ඉමහත් වූ වේදනාබර ඝෝෂාවකට පරිවර්තනය වන හඬෙහි කිසියම් බිහිසුණු බවක් ද ගැබ් වී තිබේ.
අපේ පිටිසර ගම් වල ඇත්තෝ මේ අදෘශ්‍යමාන බලවේගයට කීවේ ”බෝදිලියා”. නමුත් ”බෝදිලිමා” නම් වූ නියම නමින් මේ පිළිබඳව වගතුග සොයමු. ”බෝදිලිමා” කුමන වර්ගයක, ආකාරයක භූතයෙක් හෝ එවන් බලවේගයක් දැයි මම නුදුටිමි. නමුත් ඒ පිළිබඳව මදකට හෝ දැනගැනීමට හැකි වූයේ ”බෝදිලිමාගේ” යටගියාව දැක්වෙන ජනකතාව ඇසීමෙනි.
”ඈත අතීතයේ එක් තරුණ අඹුසැමි යුවලක් වාසය කරමින් සිටින අතර කලක් ඇවෑමෙන් බිරිඳ දරුවකු ලබන්නට ගැබ්බරව සිටියාය. නමුත් කිසියම් උපද්‍රවයක් හේතුවෙන් ගැබිනියගේ කුස තුළම දරු සිඟිත්තා මිය ගිය අතර වේදනාවෙන්, ඇඹරී, ඇඹරී අඳෝනාව නඟමින්ම ඇය ද අවසන් හුස්ම හෙළුවාය. මේ නිසා ගැබ්ගත් කත වේදනාවක් තබා මියැදෙන්නට මුල් වුණ තම ස්වාමියාට වෛර බැඳගත් අතර පිරිමි සංහතියටම ද්වේශ කරමින් පසුව ”බෝදිලිමා” ආත්මය ලබා පිරිමින් පසුපස පළිගන්නටම කෑගසමින් එන බවයි එම ජනකතාවෙන් කියැවුණේ.”
”උලමා” නමැති පක්ෂියා ගැමියන් බිය වද්දන්නට මැදියම් රැයේදී හඬනවා සේම ”බෝදිලිමාගේ” අඳෝනාව ඇසෙන්නේ ද මැදියම් රැයේදීය. උලමා ගසක හෝ පර්වතයක සිට හඬ නැඟුව ද ”බෝදිලිමා” බිම දිගේ කෑගසමින් යයි.
මේ අදෘෂ්‍යමාන හඬ අදෝනාවකට පෙරළී පිටිසරබද ගම්මාන වලට පැමිණෙන්නේ ”පිරිමින්” සොයාගෙනය. නමුත් එවන් අවස්ථාවලදී පිරිමියා ගෙතුළට යවා ගෙබිම අතුගාන ”ඉලපත”, (”කොස්ස) ඉඳි අතු වලින් තැනූ පැරනි ගෘහ උපකරණයකි) ගෙන ඊට මුත‍්‍රාකොට මිදුලට බසින කාන්තාව දුටු සැනෙන් එම හඬ හෝ රුව අතුරුදන් වෙයි. ”පල බැල්ලී... තෙට හෙණ ගහපිය.... තෝ....... මකබෑවෙය” ආදී වශයෙන් දොස් පරොස් තබන විට එම අඳෝනාව පැත්ත පළාතේ නොසිට දුවයි. එහෙත් පිරිමියකුට හමුවූවහොත් මන්ත‍්‍රගුරුකම් දත් අයකු හැර සෙසු අයකුට නම් දෙවියන්ගේම පිහිටය.
මීට වසර ගණනාවකට පෙර මේ අපූරු භූත විශ්වාසය සොයා ගවේෂණයක් කරන අතර තුර සැබැවින්ම බෝදිලිමකුට කොටු වී බිහිසුනු අත්දැකීමක් ලද ගොවිමහතකු ගල්ගමුවට නුදුරු ”මහනාන්නේරිය” ප‍්‍රදේශයෙන් මට හමු විය. ත‍්‍රාසය, භීතිය කැටිවුණ එම සිද්ධියේදී මහත් සේ බියට පත් වූ ඔහු කීවේ ”බෝදිලිමා” යනු සැබැවින්ම භූතයකු බවයි.
ඔහු පැවසූ ආකාරයට එදා වැහිබර අඳුරු දිනයකි. වරින් වර වැහි වලාකුළු අතරින් මතුවන සඳ එලිය ගමට මඳ ආලෝකයක් ලබා දී තිබිණ. උස් වූ ගොවිපළෙහි නිදා සිටි මේ ගොවිමහතාට මැදියම් රැයේදී අහම්බෙන් මෙන් ඇසුන කෙඳිරිළි හඬක් නිසා අවදිවිය. ටිකෙන් ටික මේ අමිහිරි වේදනාකාරී හඬ ඔහුගේ නිවස දෙසට එන බව හැඟිණ. ප‍්‍රසව වේදනාවෙන් දඟලන ගැබිණියකගේ විලාපයට සමාන අඳෝනාවක් රැුගත් එය මිදුල අසලටම ළඟාවෙන බවයි ඔහුට හැඟී ගියේ. මහත් බියට පත් ඔහු ගෙපිළ මතම හිඳගත්තේය. පුදුමයකි. අඩියක් හෝ එකහමාරක උසක් ඇති තද කළුපාට ගුලියක් සේ පෙණුන එම රුව මිදුලේම පෙරළෙන්නට පටන් ගත්තේය. තමා දෙසත්, අවටත් බලමින් හැඬ තැලූ එම අඳෝනාව හමුවේ කිසිවක් කරකියාගන්නට අසමත් වූ ඔහු තම බිරිඳට කතා කළේය. ඇය ගෙතුළ සිට එලියට ආවේ ඉළපත ද රැගෙනය. ගෙතුළ සිට ඇයටත් මේ හඬ ඇසී ඇති සෙයකි.
පළ යන්ඩ පාහර බැල්ලී... තෝ මගේ මිනිහා ළඟට එන්නේ කැන්දා ගන්නැයි........” කියාගෙනම මිදුලට බසිද්දී ඒ බිහිසුණු දසුන මෙන්ම හඬ ද ඈතට දිව ගොස්ය. වෙනත් ඉසව්වකින් හඬ නිකුත් වෙනු ඇසිණ. ඔහු දුටු දසුනෙහි රැුඳි රූපය මට විස්තර කළේය.
මහත්තයෝ හරියට ඉත්තෑවෙක් වගේ. දෙපාවලින් ඇවිදගෙන වගේ ආවේ. දෙපැත්තටම පැද්දි පැද්දි. ඔළුව හරියට පුංචියි. පහළ ලොකුයි. හරියට මාලූ අල්ලන කරක් ගෙඩියක් වගේ..? (කරක් ගෙඩිය යනු පුංචි ලී කෝටු වලින් රවුමට සාදා ”පිරමීඩයක් සේ” මුදුනින් සිදුරක් ඇති මාලූ අල්ලන උපකරණයකි. රජරට වන්නිකරයේ වැව් වලදී අදත් දැකිය හැකිය)
මෙම කතාවට අදාළ සිදුවීමේදී ”බෝදිලිමා” බලවේගය කාන්තාවන්ට බිය බව දක්වන ජනප‍්‍රවාදය නම් සත්‍ය වූයේය. කාන්තා හඬට පවා බියපත් වන මුත් පිරිමි පසුපස වෛරයෙන් දිව එන ”බෝදිලිමා” තෙල් ටිකක් ජීවම් කර තමාගේ දුක නිවා ගන්නට සූදානම් බවත් ජනප‍්‍රවාදයේ එයි. නමුත් මෙම අදෘශ්‍යමාන බලය තමගේ දුක කියාගන්නට පිරිමින් සොයා ආවත් ඔවුන් මීට දක්වන බියපත් බව නිසා ”බෝදිලිමා” විශ්වාසය තව තවත් ගුප්ත ජනක වෙයි.
අති දක්ෂ සිංහල කට්ටඩියකු විසින් තෙල් ටිකක් ජීවම් කර දීමෙන් මෙම භූතාත්මයෙන් මිදෙන්නට හැකි බව ගැමි විශ්වාසයේ එන අතර ඊටත් වඩා හොඳම කටයුත්ත නම් ”බෝදිලිමා” ආත්මය වැළැක්වීම බව ද ජනපුවත කියයි.
මේ සඳහා කළ යුත්තේ ගර්භණී කාන්තාවක් මිය ගිය පසු ඇය මිහිදන් කරන්නට පළමුව ඇගේ උදරය මත බුලත් කොළයක් තබා දෙකට ඉරා දැමීමයි. එයින්ම ඇය බෝදිලිමා ආත්මය වැළඳ නොගන්නා බව කියැවෙයි.
ගර්භණී මවක් එයින්ම මිය ගිය ද 1950 දශකය තෙක් රජරට හෝ සත්කෝරළයේ වන්නිහත්පත්තුව තුළ එම්බාම් කටයුතු නොකළ නිසා ඇය මිහිදන් කළේ උදරය පිරුණු ආකාරයටමය. මේ ප‍්‍රදේශවල නිත්‍ය වශයෙන්ම මිනී කල් තබන ”එම්බාම්” යෙදුවේ 1960 දශකයේ පමණය.
අනාදිමත් කාලකය සිට කඳුරට, නුවර කලාවිය සහ සත්කෝරලේ වන්නි-දෙමළ හත්පත්තු තුළ බෝදිලිමා නමැති භූතාත්මය පිළිබඳව විවිධ ජනශ‍්‍රැති පැවැතිය ද නිල වශයෙන්ම දුරාතීතයේදී පවා මේ පිළිබඳ ආකල්ප තිබුණ බව පැහැදිලි වන්නේ පෞරාණික දේශාටනවලත් මේ පිළිබඳ සඳහන් වීමෙනි.
17 වැනි සියවසෙහි ලක්දිව සිංහලේ සිරකරුවකු වශයෙන් දිවි ගෙවූ ඉංග‍්‍රීසි ජාතික රොබට් නොක්ස් විසින් පසු කලෙක ලියන ලද ”An Historical Relation of the Island of Ceylon˜ නම් කෘතියෙහි ද ඔහු මේ බිහිසුණු හඬ ගැන මෙසේ කියා තිබේ.
”යකෙකු රාත‍්‍රී කාලයේ නිතරම නඟන හඬක් මා ද නිතර අසා ඇති බව මෙහි ලා පළ කළ යුතුය. වරෙක බල්ලකු නඟන අදෝනාවක් සේ ඇසේ. මේ අමිහිරි හඬින් කිසිවකුටත් විපතක් වන බව නම් මම නෑසුවෙමි. එහෙත් මේ හඬ නම් යකකුගේම යැයි කීමට හේතු කීපයක් වෙයි. එනම් මේ හඬ නොයෙක් ගම් වලින් ඇසීමයි. ඒ වගේම මේ හඬ නඟන වෙනත් සත්වයෙක් මේ ද්වීපයේ නොවීමයි. මේ හඬ ඇසෙත්ම මිනිසුන් හා ගැහැනුන් ”ගෙරි මස්කන වලා. තෝ හැඳි ගෑවෙයි. නොදකින් විතරක්? දෑහැට නොපෙනී පළ?” යයි කියමින් ශාප කරති. එකෙනෙහිම මෙම අඳෝනාව නම් අතුරුදන් වෙයි”
මෙයට අමතරව ලක්දිව ගැන අතීත රසබර වගතුග ලියූ ඉංග‍්‍රීසි ජාතික එච්.ජී. වේල්ස් ද ”සුදුවැද්දා”, ”සුදුගෝණා” ”අලි පාර” ආදී නවකතා ලියූ ආදිවාසින්ගේ සදාදරණීය සුදු හුරා වූ දොස්තර ආර්.එල්. ස්පිට්ල් ද බැද්දේගම නවකතාව ලියූ, හම්බන්තොට ආණ්ඩුවේ ඒජන්ත ලෙසින් ස්වය කළ ”ලෙනාර්ඞ් වුල්ෆ් ද, හෙළයන් බිය වැද්දු බෝදිලිමා අවතාරය ගැන සඳහන් කරයි.
විවිධ ජනශ‍්‍රැති ද, දේශාඨන වතගොත ද සැබෑ අත්දැකීම් ද කැටි කරගනිමින්, ගැමි පෙදෙස් වල ගොවි ජනතාව බිය වද්දන මෙකී ”බෝදිලිමා” පිළිබඳ භූත විශ්වාසයෙහි ඇති සත්‍යාසත්‍යතාවය සොයා, මීට වසර 35කට පෙරාතුව වර්ෂ 1977 දී පමණ ගවේෂණයක් කරන්න මා තෝරාගත්තේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයට අයත් විල්පත්තු වනෝද්‍යානයට නුදුරු වනගත ගම්මාන කිපයකි. අනුරාධපුර-පුත්තලම මාර්ගයේ පහළ මාරාගහවැව නම් ස්ථානයෙන් හැරී ගිය කල හමුවන ”කටුකැලියාව, ”පන්වැව” සහ ”කටුපත්වැව” යන පිටිසර ගම් ඒ සඳහා තෝරා ගතිමි. ”කටුකැලියාව” නම් වනගත ගමෙහි ජීවත් වූ ”මුදලිහාමි” නම් වයෝවෘධ ගොවිමහතකුගේ මඟ පෙන්වීම මත පලූගසක් උඩ තැනුන උස් පැළක සිට මේ අපූරු අත්දැකීම වින්දෙමි.
එදා සඳ ඇති රැුයකි. අසළ විල්පත්තු වන පෙත තුළින් අලින් අතු බිඳින හඬ ද, ඉඳහිට කොටියකු ගොරවන හඬ සහ මුවකුගේ හූවක් මෙන්ම තවත් වනසත්ව හඬ ද මිස තද නිහඬියාවකි. හේන වටා දඬු වැට නම් හේන කපන විට එකතු වන කඳන් කොටන් එකතු කර තැනූ වැටය. ගස උඩ තනා තිබුණ පැලට නැඟීමට ඉණි මං පොලූ 18ක් තිබුණා මතකය. මුදලිහාමි මාමාත් මාත් තේ කහට බොමින් බුලත් විට හපමින් මැදියම් රැුය තෙක් විපරමින් සිටියෙමු. යාන්තම් සඳ අවරට හැරුණා පමණය. මුදලිහාමි මාමා මට ඇඟිල්ලෙන් ඇන්නේය.
”ඔන්න බෝදිලිමා එනවා ඔය කෙඳිරි ගාන්නේ”
ඇසුණ අඳෝනාව හද කම්පා කරවනසුළුය. ලොමු දැහැගැන්වෙනසුළුය. බියෙන් ඉවසුවෙමි. ඉතා දුරින් ඇසුන ඒ අමිහිරි හඬ හේනට එපිටෙන් වූ වනපෙත තෙක් ළං වී ඇත. තවත් මොහොතකින් හේනෙහි දඬුවැට අයිනේ පෙරළෙමින් දඟළමින් කෑගසමින් විලාප නඟන ”කළු ගුලියකි”. සඳ එලියේ පැහැදිලිව දකින්නට ලැබුණ මේ දසුන අප‍්‍රසන්න නිසා මම ”ඇති.... ඇති... යයි ඔහුට කීවෙමිි. ඔහු යමක් මුමුණා අතේ ඇඟිලි වලින් අසුරක් ගැසුවා. පමණි. අඳෝනාව මැකී ගියේය. කළේ කුමක්දැයි මම මුදලි මාමාගෙන් ඇසුවෙමි.
ඔහු කීවේ
”සබ්බ පාපස්ස අකරණං”
කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝ දපනං
ඒතං බුද්ධානු ශාසනං” ගාථාවට මේ අදෘශ්‍ය බලවේගය මහත් බියක් දක්වන බවය.
බෝදිලිමා පිළිබඳ ගවේෂණයේදී ඉමහත් මෙහෙවරක් කළ මුදලිහාමි මාමා තවත් අපූරු සිද්ධියක් පැහැදිලි කළේය.
”බෝදිලිමා මන්තර හරි ගාථා වලට හරි බය වුණාට තුවක්කුවට බය නෑ. ඒ වුණාට දවසක් දා මම ඒ කෑගහන වේලාවකම වෙඩිල්ලක් තිබ්බා. සද්දෙ නැතුව ගියා. පහුවෙනිදා මම ගිහිල්ලා බලද්දි වෙඩි පහරට මැරිලා හිටියෙ තඩි පිල කොටියෙක්”? (පිල කොටියා යනු වනාන්තර වල වෙසෙන බළල් පවුලට අයත්” අඳුන් දිවියාය)මේ අනුව පෙනී යන්නේ බෝදිලිමා පිළිබඳ සත්‍ය පැත්ත භූත කතාවකට හෝ මිථ්‍යා කතාවට හෝ පටහැනි නොවන බවයි. නමුත් බෝදිලිමා පිළිබඳ විද්‍යාත්මක ඇසින් බලන කල්හි මේ ජනකතා, භූත කතා සියල්ලක්ම මිථ්‍යා කතා ලෙසට කඩා වැටෙන බවයි.
වත්මන් සත්ව විද්‍යාඥයින් විසින් ”බෝදිලිමා” ලෙසින් හඳුන්වන්නේ ”කටුසු” විශේෂයකටය. මේ මතය පළමුව අපට හඳුන්වා දුන්නේ අපේම සත්ව විද්‍යාඥයකු වූ ඇනස්ලම් ද සිල්වා මහතායි. මිනිසා බිය කරවන ”බෝදිලිමා” නම් බලවේගය භූතයකු නොව ඉඳුරාම ප‍්‍රමාණයෙන් විශාල කටුස්සකු බවයි. මේ තර්කය සනාථ කළ ඒ මහතා බෝදිලිමා වර්ගයේ කටුස්සකු වර්ෂ 1974 අගෝස්තුමාසයේ මහනුවර බෝගම්බර පිටියේ පැවැති විෂඝෝර සර්ප ප‍්‍රදර්ශනය මධ්‍යයේ ජනතාවට කරුනු හෙළි කිරීම සිදු කළේය.
තද කොළ පාටින් යුත්, වරින් වර සිරුරේ වර්ණය වෙනස්කරනසුළු, කටුස්සකු මෙන් හිස සලන, කොඳු නාරටිය දිගට මෝරෙකුගේ වරල් මෙන් යුත් ප‍්‍රමාණයෙන් කුඩා දඬුලේනකු තරම් වූ ඒ ”බෝදිලිමා” එදා කාගේත් සිත්ගත්තකු විය. කළබලයක් නැති ඌ, ඒ දින ගණනම ගොළුවත රැුක්කා මිස මවිසින් සඳහන් කරන ලද බෝදිලිමා මෙන් අඳෝනාව පැතිරෙව්වේ නම් නැත. මේ හා සමානම තවත් බෝදිලිමකු දෙහිවල අපේ සත්ව උද්‍යානයේ ද ජීවත් වන බව ඔබ දැක ඇතැයි සිතමි. ඌද අහිංසක ගොළුවෙකි.
බෝදිලිමා පිළිබඳ පර්යේෂණයක් කළ වනජීවි නිලධාරින් පිරිසකට පොලොන්නරුව වනාන්තරයකදී දැකගන්නට ලැබුනු බෝදිලිමා නම් අමුතුම වර්ගයේ උපද්‍රවයකින් නිර්මාණය වූවෙකි. ඌ දැකගන්නට ලැබී ඇත්තේ ද මැදියම් රැයකය. විපරමින් නිරීක්ෂණය කළ පසු දැකගන්නට ලැබුණේ ඇටි කෙහෙල් අහරට ගෙන වසුරු හෙළන්නට දඟලන උගුඩුවෙකු හෙවත් කළවැද්දෙකි. 1960 වර්ෂයේ මෙවන්ම අත්දැකීමක් ලද නිකවැරටිය-ගිරිල්ල මධ්‍ය මහා විද්‍යාලයේ නේවාසිකව සිටි ගුරුවරයකුට බෝදිලිමකුගේ අඳෝනාව අසා විදුලි පන්දම අල්ලා බැලූ කල දක්නට ලැබී ඇත්තේ ”කළවැද්දෙකුගේ ග‍්‍රහණයට අසු වී මරණ බියෙන් හඬ තැලූ හම්බාවෙකි. මේ කාරණා අනුව ”බෝදිලිමා” හඬන හඬින් අඳුන් දිවියන් ද කළවැද්දන් සහ හම්බාවන් ද මෙම බිහිසුණු හඬ පතුරවන බව පිළිගතහැකිය.
මෙම පිළිගැනීම් වලට අමතරව වර්ෂ 1964 දී අම්පාර දිස්ත‍්‍රික්කයේ ලාහුගල ප‍්‍රදේශයේ මැනුම් කඳවුරක රාත‍්‍රිය ලැගුම් ගෙන සිටි සේවක පිරිසකටබෝදිලිමකුගේ විලාප හඬ ඇසී ඇත. ඒ අදෘශ්‍යමාන බලවේගය පිළිබඳව කාරණා දැන සිටි එක් නිලධාරි මහතකුට මේ අපූරු අත්දැකීම ලබා ගනු අදහසින් සෙසු අය සමග කඳවුර වටපිටාව පරීක්ෂා කරන ලද අතර බෝදිලිමා සැබැවින්ම දක්නට ලැබුණි. එනම් ගැබ්බර වී ගිය වැළහින්නක් පැටවු වැදීමට ආසන්නයේ පැවැති තද සීතල නිසා කඳවුරු මිදුලේ ඇවිලෙමින් තිබුණු ගිනි මැලය අසළට පැමිණ ප‍්‍රසව වේදනාවෙන් කෙඳිරිගාන බවයි.
මේ සිද්ධියට සමානව විල්පත්තු වන තීරුවේ දී මා දුටු බෝදිලිමාත් ලාහුගල ගිනිතැප්ප සතාමදැයි මට සැකයකි. නමුත් මට මතු වූ ගැටලූව නම් ඌ එක්තරා ගාථාවකට බිය වී සැණෙන් පලා යෑමය. අනෙක් කරුණ නම් විල්පත්තුවේදී මගේ ගවේශනයට උදව් කළ මුදලිහාමි මාමා වරක් බෝදිලිමකුට වෙඩි තබා බැලූ කල මැරී සිටියේ අඳුන් දිවියකු වූයේ කෙසේද යන්නය.
කෙසේ නමුත් වත්මන් සමාජයට මේ කියන ”බෝදිලිමා” හෙවත් ”බෝදිලියා” පිළිබඳ දැනුමක් නැත. ඒ ඔවුන්ගේ යුගය වන විට බෝදිලිමා බලවේගය අතුරුදන් වී ඇති නිසාය. එහෙත් .....? දැන් දැන් බොදිළිමා ආත්මය ලබන්නන් හිඟ වීමට හේතුව ගැබ්බර මව්වරුන්ගේ මරණ අනුපාතය අඩු වීමත්, තවත් මළ සිරුරු එම්බාම් ආදී කටයුතු කරන නිසාත් මෙන්ම අඳුන් දිවියන් හම්බාවන්, කළවැද්දන් ආදී සතුන් වඳ වීමේ තර්ජනයට ලක් වීමත් නිසා විය හැකි යැයි සිතේ? එසේ විය හැකිද...?
නාලගමුවේ උබේසේකර කුමාරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා රසවත් කතාවක්. මේක දිගටම කියවද්දී මටත් හිතුනා මේ බෝදිලිම කියලා ගැමියන් බයවෙලා තියෙන්නේ එක්කෝ බල්ලෙක්ට නැත්නම් බලල් පවුලේ වෙනත් සාමාජිකයෙක්ට කියලා. මොකද බලලට පුළුවන් වෙලාවකට මේ විදියට කෑගහන්න (දී)
බොහොම වැදගත් ලිපියක්,මේ පිලිබන්දව සත්‍ය අත්දැකීම් මටත් තියනවා.කිසිම දෙයක් නොදත් මාව බේරුනේ නම්පෙර පිනකට. මතක් වෙනකොටත් මාව සීතල වෙනවා. (නි)
අවංකවම හරිම වටිනා ලිපියක්.මේ කරුණු හොයාගෙන ගොනුකරලා අපට බෙදලා දුන්නට ඔබ ගොඩක් පින්. (නි)
බෝදිලිමා කියන්නෙ නිසාචර පක්ෂියෙක්. කටුස්සෙක් නොවේ. (නදී)
ඉගෙන ගන්න ළමයන්ට හොඳ ලිපියක් වගේම වැඩිහිටි අයටත් මේක හොඳ ලිපියක්.(නදී)
හරි හොඳ ලිපියක් (නි)
බොහොම ස්තුතියි මේ ලිපියට. (අ)
මම නම් අහල තියෙන්නේ මේ සතා මිනිස්සුන්ගේ ලේ උරා බොන එකෙක් කියලයි, මාත් අසා තිබෙන ගොඩක් සත්‍ය සිදුවීම් එත් වචන ගලපලා ලියන්න නම් ටිකක් අමාරුයි , හුගක් කාලෙකට පස්සේ හොඳ ලිපියක් කියෙව්වා ස්තුති ලංකාදීප (අ)
කරුණාකර සත්තු වත්තට ගිහින් බලන්න බෝදිලිමා. මු කටුස්සෙක් නොවෙයි, කුරුල්ලෙක්. (නි)
ගොඩාක් බයයි වගේ...... (අ)
මගේ ආතම්මා ඉස්සර මේ ගැන කියලා තිබුනා. එයාට මේ ගැන අත්දැකීමුත් තිබුනා. කිරි දරුවන්ගේ හෝදපු රෙදි රෑට එළියේ දාන්න එපා බෝදිලිම ඒවා අරගෙන යනවලු. ඒක දරුවාගේ ජීවිතයට අනතුරුදායකයි කියලත් මට ඇය කියලා තිබුනා. මේ ලිපිය නිසා මගේ පරණ මතකය නැවත අලුත් වුනා. බොහොම ස්තුතියි මේ ලිපියට. (දී)
මේ ලිපිය නම් බොහොම වටිනවා.ඉස්කෝලේ යාළුවන්ටත් කියන්න පුළුවන්.ඔබට බොහොම ස්තුත්යි!! (නි)
අපි අහලවත් නැති කතාවක් මේ.ඔබට බොහොම පින් .(අ)
මෙවැනි වැදගත් ලිපි පළකිරීම පිළිබද බොහොම ස්තුතිය පිරිනමනවා ......! (දී)
ඉතා වැදගත් ලිපියක්. වර්තමානයේ අපි අතරින් වැළලී යන කතාවක්. අනාගත පරපුරට ගොඩක් වටිනා ලිපියක්. (නි)
ගොඩක් හොද ලිපියක් (අ)
බෝදිලිමා?
හරිම රසවත් ලිපියක් ! ස්තුතියි. (නි)
බය හිතෙන පෙනුමක් තියෙන්නේ (දී)
ගොඩක් වැදගත් තොරතුරු ටිකක්. හරිම ආසාවෙන් කියෙව්වා. ගොඩක් ස්තුති කරනවා මේ වගේ දේවල් පල කරනවට. මම ලංකාවේ නැතත් මේ දේවල් හරි ආසාවෙන් කියවනවා. (නි)
ගොඩක් වටිනා ලිපියක්. මේ වගේ දේවල් සමහර වෙලාවට පොත් වලත් නෑ (දිල්)
බොහොම වටිනා ලිපියක්. (දී)
බොහොම වටිනා ලිපියක්. අහලවත් නැති කතාවක්. පාසල් වලට ඉතාමත් වැදගත්. පාසලේ ලිපියකට ලියන්නත් පුළුවන්. ඔබට බොහොම පින් ! (දී)
නියමයි. ගොඩක් වැදගත් (නි)
ගොඩක් ආසාවෙන් කියෙව්වා. ගොඩක් හොද ලිපියක් (නි)
හරිම රසවත් ලිපියක් ..! (නි)
ඇතැම් අය සොදරී කියලත් කියනවා මේ සතාටෙ.(නදී)
හොද ලිපියක් (නි)
නියමි මම හිතුවේ කාලයත් එක්ක මේ සතා අමතක වෙලා කියල මම මගේ ජීවිතේට දෙපාරක් මූ කෑගහනවා අහල තියෙනවා ඇත්තටම බොහොම බය හිතෙනවා (අ)
ලිපිය බොහොම රසවත්. ස්තුතියි. එය වගේම සේනානායක, ඔයාගේ කතාවත් කෙටියෙන් හරි දානවා නම් බොහොම වැදගත් (දී)
මමත් පොඩි කාලයේ මේ කතාව මේ විදිහටම අහලා තියෙනවා . ඒත් විශ්වාස කලේ නැහැ. (ම)
කියවන්න කියවන්න උනන්දුවක් ඇතිවුන හරිම අපූරු ලිපියක්..ඇත්තෙන්ම බෝදිලිමා යනුවෙන් මමත් දැනන් හිටියේ අර කියපු කටුස්සා ගැන විතරමයි..ඔබට බොහොම ස්තූතියි!! (අ)
කියවද්දිත් බය හිතෙනවා. (ර)
මෙවන් නිර්මාණ තුලින් සමාජයේ තිබෙන වැරදි මත ඉවත් කිරීමට තරම් ප්‍රමාණවත් වන මෙවන් වැදගත් ලිපියක් ඉදිරිපත් කල ඔබට ගොඩක් ස්තුති.(නදී)
මේ ලිපියේ සදහන් දේවල් සහතික ඇත්ත. ඈතට ඇහෙන්නේ ඒ සද්දේ හරියට කාගේ හරි බෙල්ල මිරිකනවා වගෙයි (නි)
ගොඩක් වැදගත් ලිපියක්. අතීත ජනප්‍රවාද වැළලී යන මේ කාලයට විශේෂයෙන් ගැලපෙනවා. ගොඩක් ස්තුතියි ඔබට. (නි)
අපි පොඩි කලෙත් මේ බෝදිලියගේ කතාව අස තියෙනවා නමුත් දෙන අපේ දරුවන්ට අපි මේ ගෙන කිව්වත් යල විස්වාස කරන්නේ නැහැ නමුත් මෙවෙනි ලිපියකින් අපට ඒ යට වඩාත් හොදින් මෙය අවබෝද කර දීමට හැකි අතීතයෙන් ඇසුනු මෙවෙනි දේවල් වත්මන් පරපුරටත් කියා දීමේ වේදගත්කම මෙම ලිපියෙන් ලේබෙනවා. බොහොම ඉතුති(අ)
කුමාරසිංහ මහතාට මල් මිටක්. මගේ සුන්දර කුඩා කාලය යලි අවදි කලාට. මම මේ කියන කාලය 70 දශකය. ඒ කාලෙ මගේ ආච්චි මාව සවස් කාලයේ පාලනය කළේ මෙම රසවත් ජනස්රුතිය යොදා ගෙන බව මට දැන් පැහදිලිය. එතුමිය මෙය දැන සිටියාට සැක නැත. " ඔන්න ඔන්න ...අජියෝ ගෙට වරෙන් ..බෝදිලිම එනවා ....ම්ම්...ම්ම්" කියා බියකරු ශබ්දයක් ඇයගේ මුවෙන්ම වාතලයට මුසු කරමිනි.(නදී)
මාර ලිපියක්නේ මේ.... (දී)
මතක ඇති කාලයකින් පත්තරයකින් වදගත් ලිපියක් කියවන්න ලැබුනේ අද තමයි! පල කල සියලුමදෙනට ස්තුතියි!(නදී)
වටිනා ලිපියක්.බොහොම ස්තුතියි. (දී)
ඉතා වැදගත් මෙන්ම හරවත්, රසවත් ලිපියක් බව පැහැදිලිවම ප්‍රකාශකළ හැකි වේ. අතීත මිනිසුන්ගේ අත්දැකීම් පිළිබඳව පවතින ජනප්‍රවාද ගැන ඔබ විසින් කරන ලද අධ්‍යයනය ඉතා වටිනේය. ඔබට තුති. (නි)
කියවන්න කියවන්න උනන්දුවක් ඇතිවුන හරිම අපූරු ලිපියක්. ඇත්තෙන්ම බෝදිලිමා යනුවෙන් මමත් දැනන් හිටියේ අර කියපු කටුස්සා ගැන විතරමයි. ඔබට බොහොම ස්තූතියි.(නදී)
මම හිතුවේ සම්ප්‍රදායක විදියට කුරුවිට වාර්තාකරුගේ තවත් එක ලිපියක් කියලයි. නමුත් මෙම වාර්තා කරු අජිත් ලාල් ශාන්ත උදයට වඩා ඉහලින් ඉන්නවා. උබේසේකර මහතා පාඨකයාව අදුරින් එලියට ගෙනයාමට පියවර තබා තිබෙනවා.(නදී)
කොච්චර වටිනා ලිපියක්ද? කියවන්න ආසා හිතෙන ලිපියක්. ඒ වගේම අසා තිබුනත් නියම ස්වරුපය නොදත් කුතුහලයක් පමණක් තිබු බෝදිලිමා ගැන දැනුවත් වුනා. නුතන පරම්පරාවට මේවා ලියාතැබිය යුතුයි. ඔබට බොහොමත්ම ස්තුතියි (දී)
ෂා සුපිරිම ලිපියක් ! ඉතාම හොදයි. (නි)
ඉතාමත් හොද ලිපියක්. අපේ අම්ම සහ අත්තම්ම මට පොඩිකාලේ මේගැන කියල තියෙනවා. අතීත කතා තුල යම් සත්‍යක් තියෙනවා. සමහර දේවල් විද්‍යාවෙන් ඔප්පුකරන්න බැහැ. ගොඩක් ස්තුතියි ඔබේ ලිපියට. තවදුරටත් මේ වගේ ගවේෂන කරන්න.(නදී)
මෙම කලාපය පල කෙරූ නාලගමුවේ උබේසේකර කුමාරසිංහ මහතාව මට සම්බන්ධ කර ගැනීමට හැකිද , මේ සම්බන්ධව එතුමන්ගේ පර්යේෂණයන් හා අත්දැකීම් බෙදා ගැනීමට කැමැත්තෙමි. හැකිනම් එතුමන්ව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ලබා දෙන්න , ස්තූතියි ෴
වටිනා ලිපියක්. මගේ ආච්චි අම්මා මේ ගැන කියලා දීලා තිබ්බත් අද වෙනකල් නම් අහලා නෑ.. එයා කියන විදියට කිතුල්ගල පැත්තේ මීට අවුරුදු 50කට විතර කලින් නිතරම මේ ශබ්දය ඇහුණාලු...
මේ ලිපිය ගොඩාක් වටිනවා..මං මේ හඬ ඇහුවේ 2014 වර්ෂයේදී.. රෑ 9ට විතර උඩ ගෙදරට උඩින් තියෙන්නේ ටිකක් ලොකු කැලයක්.. අපේ ගේ ගාවට එනකම් ගෙයක් හමු වෙන්නේ නෑ මීටර් 800ක් වගේ දුරකට.. පාළු කරුවලත් එක්ක ඒක මහ අඳෝනාවක්.. ඒ කෙඳිරිය අහන් ඉන්න බෑ.. ඒ ගෙදර ලොකු පුතා නාන්න ටැප් එක ළගට ගිය වෙලාවේදී තමයි ඒ හඬ ඇවිත් තිබුණේ.. ඒ ගෙදර ඒ දිනයේ ගැහැණු කෙනෙක් හිටියේ නෑ.. මගේ ආච්චිඅම්මා මාව ගෙට දාලා ඉලපතක් තිබුණේ නෑ.. කොස්සත් අරන් එළියට බැහැලා කෑ ගැහුවාම ඒ හඬ නැතිව ගියා.. නමුත් ආයේ ටික වේලාවකින් ටිකක් ඈතින් ඇහුණා.. ගමේ කීප දෙනෙක්ට ඇහුණා.. මිථ්‍යාවක් නොවේ මෙය නම්..!!!
බෝදිලිමාට පිරිමි කෙනෙක් අහුවුනොත් මොකද කරන්‌නේ? මොකක්ද වෙන කරදරේ?