කස්තුරි
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ ගැන බොහෝ දේ ඉකුත් සතියේ දේශපාලන කරළියේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබුණේය. මුලින්ම කරළියට පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ කතාවකි. එහි ආන්දෝලනය මැකී යන්නටත් ප්‍රථම තවත් ප්‍රභූ ඝාතන කිහිපයක් ගැන කතාබහට ලක්වූ අතර ඒ සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය සහ සමාජ වෙබ් අඩවි හරහා විවිධ ආකාරයට ආරංචි පැතිර යන්නට පටන් ගත්තේය. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු කීවේ නාමල් කුමාර නමැත්තාගේ නිවසේ සිටියදී අත්අඩංගුවට පත්ව සිටින ඉන්දියානු ජාතිකයාය. ඔහු කියා ඇත්තේ මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ සහ තවත් කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ද ජීවිත තර්ජනයක් ඇති බවකි. ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් කියැවුණේ අත්අඩංගුවට පත් ඉන්දියානු ජාතිකයා රහස් ඔත්තු සේවා නිලධාරියකු බවට සැක කළ හැකි බවකි. වීසා කාලය පවා නිමවී නීති විරෝධී ලෙස රැඳී සිටින බව කියන එම ඉන්දියානුවා සම්බන්ධයෙන් ඉහළම පෙළේ දේශපාලනඥයකුගේ නියමයෙන් විශේෂ රහස් පරීක්ෂණයක් පැවැත්වෙන බවද දැනගන්නට තිබේ. ප්‍රභූ ඝාතන සැලැස්ම පිළිබඳ කතාවට ආණ්ඩුවේ ආරක්ෂක අංශ හෝ ඉහළම නායකයන් හෝ මුලදී එතරම් උනන්දුවක් සැලකිල්ලක් දැක්වූයේ නැත. ඒ හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයට ඔවුන්ගේ මාතෘකාව තව තවත් ඉදිරියට ගෙන යන්නට හැකිවිය.
ඒකාබද්ධ විපක්ෂනායකයෝ විවිධ කතා කීවෝය. උදය ගම්මන්පිල කීවේ මේ තරම් භයානක කතාවක් එළියට ඇවිත් රටේ ජනාධිතිවරයාත් හිටපු ආරක්ෂක ලේකම්වරයාත් ඝාතනය කිරීමේ සැලසුමක් ගැන කියැවෙද්දීත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නවත් ආණ්ඩුවට උවමනාවක් නැහැ. අනිත් අතට මේ සැලසුමේ මහ මොළකරුවා ආණ්ඩුවේම කෙනකුදැයි කියලත් සැක හිතන්න වෙනවා.” ඒ උදය ගම්මන්පිල කියන කතාවයි. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ විවේචන සම්බන්ධයෙන් හෝ ප්‍රභූ ඝාතන සැලැස්ම පිළිබඳ කතාව සම්බන්ධයෙන් හෝ ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් කිසිදු ප්‍රකාශයක් නොකිරීමද විශේෂත්වයකි. පොලිසිය භාර ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර ඉකුත් දා ඒ පිළිබඳව හිතවතුන් පිරිසක් සමග අදහස් දක්වා තිබිණි. “මේ කතාව හිතලුවක්. දැනට සිදු කරන පරීක්ෂණවලට අනුව මෙවැනි සැලසුමක් තිබුණ බවට සනාථ වන බවක් පේන්න නැහැ. මේක දේශපාලන උප්පරවැට්ටියක් වෙන්නත් පුළුවන්. අනික් අතට අත්අඩංගුවට ගත්ත ඉන්දියන්කාරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියලා තියෙන්නේ එයා හිතන දෙයක්. ඒ නැතිව ඇත්ත දෙයක් නෙවෙයි. හීනෙන් බයවෙලා වගේ තමයි මිනිහා කට උත්තර දීලා තියෙන්නේ. එයාට හිතෙනවලු මේ මේ අයට ජීවිත තර්ජන තියෙනවාය කියලා. ඒක එයාට හිතෙන දෙයක්” යැයි රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.
මේ අතර අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයා පිළිබඳව ජනමාධ්‍ය වාර්තා පළවීමත් සමග ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයද කලබලයට පත්විය. කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නවදිල්ලි නුවර විදේශ අමාත්‍යාංශයේද සහාය ඇතිව ඔහු පිළිබඳව සොයා බලා ඇති අතර පසුව මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළේ අත්අඩංගුවට පත් ඉන්දියානු ජාතිකයා කිසියම් මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවය. ඔහු 2000 වසරේදී අනතුරකට පත්ව ශල්‍යකර්මයකට ලක්කළ පුද්ගලයකු බවද එතැන් පටන් ඔහු මානසික ආබාධයකින් පෙළෙන බවද ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් ඉකුත් බදාදා පස්වරුවේ මාධ්‍යයට දැනුම් දුන්නේය.
සජිත් ප්‍රේමදාසගේ ගම්උදා වැඩසටහන යටතේ ඉදිකළ ඩී.එස්. සේනානායක ගම්මානය විවෘත කිරීම ඉකුත් දා හම්බන්තොටදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය. අගමැතිවරයා ඇමැති සජිත් ප්‍රේමදාස සමඟ ඉතා සුහදව කතා බස් කරමින් නිවාස පරීක්ෂා කළේය. සජිත් ප්‍රේමදාස එහිදී අගමැතිවරයාට විශේෂ ආරාධනාවක් කළේය. ඒ තමන්ගේ රථයට නගින ලෙසය. රියැදුරාද ඉවත්කළ සජිත් සිය මෝටර් රථයේ රියැදුරු අසුනට නැග්ගේය. සිදුවූයේ අගමැතිවරයාවත් නොසිතු දෙයකි. එහෙත් අගමැතිවරයා දෙවරක් නොසිතාම සජිත්ගේ රථයෙන් නව ගම්මානයේ නිවාස දැකබලා ගැනීමට ගියේය. මේ අතර එම ගම්මානය විවෘත කිරීමේ උත්සවය නිමවී සතුටු සාමීචියේ යෙදී සිටින අතරවාරයේ අගමැතිවරයා සජිත් හා ගයන්ත ගැන හොඳක් කීවේය. “නිවාස ඇමැතියි ඉඩම් ඇමැතියි දෙන්නම හොඳට වැඩකරනවා. දෙන්නම වැඩක් දුන්නොත් ඒක හරියටම කරනවා. පාර්ලිමේන්තුවේ වැඩ ටික ගයන්ත හොඳට කරන නිසා තමයි මම ඉඩම් ඇමැතිකමත් දුන්නේ. සජිත් ප්‍රේමදාසත් එහෙමයි.” අගමැතිවරයාගේ ප්‍රශංසාවට සජිත් සහ ගයන්ත සිනාසෙමින් සතුට පළ කළහ.
ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීම සඳහා විවිධ දේශපාලන පක්ෂ හමුවීමට සූදානමින් සිටී. ඉකුත් සඳුදා ජවිපෙ නායකයෝ කොළඹ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයට ගොස් ඩිව් ගුණසේකර සහ චන්ද්‍රසිරි ගජධීර හමුවූහ. විස්ස ගැන පැහැදීමෙන් කතා කළ ඩිව් සහ ගජධීර සංශෝධනය පිළිබඳව සිය අදහස් ද ප්‍රකාශ කළහ. සාකච්ඡාවෙන් අනතුරුව ගජධීර මන්ත්‍රීවරයා ජවිපෙ නායකයන්ට යමක් කීවේය.
“මම ඇමරිකාවට ගිය වෙලාවේ අසනීප වුණා. මට පපුවේ අමාරුවක් හැදුණා. ඒ වෙලාවේ මම හිතුවේ මට විස්සට ඡන්දය දෙන්න අවස්ථාවක් ලැබෙන එකක් නැහැ කියලයි,” ගජධීර කී කතාවට ජවිපෙ නායකයෝ සංවේදී වූහ.
ඒකාබද්ධ විපක්ෂය මුල සිටම විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දැක්විය. මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, ජී.එල්. පීරිස් සහ උදය ගම්මන්පිල ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් විසිවන සංශෝධනය පට්ට පතුරු ගසන තත්ත්වයක් තුළ කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් විසිවන සංශෝධනයට පක්ෂවීම විශේෂත්වයක් වී තිබේ. විශේෂයෙන් විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකට ලක් කළ හොත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැත්තෑ දෙනාගෙන් තවත් ඡන්දයක් අහිමිවීම නතර කළ නොහැකියි.
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ඉකුත් දා සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැත්විණි. එහිදී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ ජනාධිපතිවරයා පිළිබඳව පක්ෂයට පැමිණිල්ලක් කළේය. “ජනාධිපතිතුමා වගක් විභාගයක් නැතිව කටයුතු කරනවා. අපට විරුද්ධව විදේශ රටකින් ආපු පැමිණිල්ලක් එකපාරටම අල්ලස් කොමිසමට දීලා. එහෙම කරන්නේ කොහොමද? මේවා ඇත්තද කියලා මූලික වශයෙන් හරි සොයා බලලයි තීන්දු ගන්න ඕනේ” යැයි සුජීව තරමක් ආවේගශීලී ලෙස කීවේය. සුජීවගේ කතාවට පසුබිමක් තිබේ. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැතිවරයාටත් රාජ්‍ය ඇමැතිවරයාටත් සහ ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ නිලධාරීන්ටන් එරෙහිව විදේශ ව්‍යාපාරිකයකුගෙන් ජනාධිපති කාර්යාලයට ඉකුත් දා පැමිණිල්ලක් ලැබී තිබිණි. ඉන් කියැවුණේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් වෙනුවෙන් ඇමැතිවරයා, රාජ්‍ය ඇමැතිවරයා සහ නිලධාරීන් අල්ලස් ඉල්ලන ලදැයි කියන කතාවකි. ජනාධිපති කාර්යාලයට ලැබුණ පැමිණිල්ල ජනාධිපතිවරයා විගසකින්ම අල්ලස් කොමිසමට යොමුකර ඇතැයි සුජීව සේනසිංහ කියන්නේය. සුජීවට කේන්ති ගොස් ඇත්තේ ඒකටය. අසත්‍ය පැමිණිල්ලකට ජනාධිපතිවරයා ක්‍රියාත්මකවී ඇතැයි කියමින් සුජීව එක්සත් ජාතික පක්ෂයට පැමිණිල්ලක් කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ හෝ එජාප ජ්‍යෙෂ්ඨයන් හෝ සුජීවගේ කතාවට ඇහුම්කන් දුන්නා මිස කිසිවක් කීවේ නැත.
පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණය සමාලෝචන කමිටු වාර්තාව තවත් මාස දෙකකින් කල්යෑම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙන්ම මැතිවරණ කොමිෂන් සභාවද කලබලයට පත්ව තිබේ.
“අගමැතිතුමාගේ කමිටුව පත් කළේ මාස දෙකකින් වාර්තාව සකස් කරන්න. ඒක කතානායකවරයාට ලියුමක් ලියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කැබිනට් මණ්ඩලයට අනුමත කර ගන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. මේක නීතියක්. 2017 අංක 17 දරන පළාත් සභා සංශෝධන පනතට අනුව මේ වගේ කමිටුවකට දෙන්නේ මාස දෙකයි. තවත් කල් දාන්න බැහැ. එහෙම නම් පනත සංශෝධනය කරන්න වෙනවා” යැයි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් ජනමාධ්‍යවේදීන් සමඟ ප්‍රකාශ කළේය. මේ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ අගමැතිවරයාගේ කමිටුවේ ඉල්ලීමට විරෝධය දක්වයි.
“ආණ්ඩුවට අවශ්‍ය ඡන්දය කල්දාන්න. එහෙම වුනොත් අපට කරන්න දෙයක් නැහැ. කරන්න පුළුවන් එකම දෙය තමයි මැතිවරණ කොමිසමට තීරණයක් ගන්න එක” යැයි ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයෝ කියති.
මේ අතර ආණ්ඩුව නියෝජනය කරන සුළු දේශපාලන පක්ෂ තදබල ලෙසම නව මැතිවරණ ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් සිටී. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, කඳුරට ජනතා පෙරමුණේ නායක පලනි දිගම්බරන්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන් ආදී ආණ්ඩුවේ පක්ෂ තවදුරටත් නව මැතිවරණ ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් සිටිති.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ පවතින තත්ත්වය ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමේ ක්‍රියාමාර්ගයකට ප්‍රතිචාර දැක්වීම සඳහා යම් තීන්දුවක් ගැනීමට කොමිෂන් සභාව අපේක්ෂා කරන බවයි. මැතිවරණ කොමිෂන් සභාව රැස්වී ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය. මැතිවරණ කොමිෂන් සභාවට පැවරී තිබෙන නීතියට ප්‍රතිපාදන උපයෝගී කරගෙන පැරැණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමේ හැකියාව ඇද්දැයි කොමිෂන් සභාව සොයා බලන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත් දා නිව්යෝක් නුවර බලා පිටත්ව ගියේය. එක්සත් ජාතීන්ගේ 73 වැනි සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ඇමැතිවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න සහ මනෝ ගනේෂන් ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටිති.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ඉන්දියාවේ සංචාරයට සහභාගි වීමට නියමිතය. ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ආරාධනයකට අනුව එහි පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණයක් සඳහා ජවිපෙ නායකයා සහභාගි වීමට නියමිතය. නවදිල්ලි නුවරදී ලබන සඳුදා පස්වරුවේ එම සම්මන්ත්‍රණය පැවැත්වෙන අතර විද්වතුන් හා වෘත්තිකයන් පිරිසක් එම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබේ.
අනුර දිසානායකගේ ඉන්දියානු සංචාරය අතරවාරයේදී එරට මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් සහ ඕල් ඉන්ඩියා ෆෝවර්ඞ් බ්ලොක්හි නායකයන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතව ඇතැයි වාර්තාවේ.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් මීට පෙර කිසිදු අවස්ථාවක මාලදිවයිනට ගොස් තිබුණේ නැත. එහෙත් බ්‍රහස්පතින්දා සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මාලදිවයින බලා පිටත්ව ගියේ දින තුනක සංචාරයක් සඳහාය. මාලදිවයිනේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ආරාධනාවකට අනුව හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මාලදිවයිනේ එතෙර අපි සංවිධානයේ ශාඛාවක් පිහිටුවීමටද නියමිතය. මේ අතර හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවීමටත් එරට සංචාරක ක්ෂේත්‍රයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් හමුවීමටත් නියමිත බවද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මැකෝ කඩුව අතට ගනීද