කලින් කලට ලෝකයේ විවිධ වසංගත තත්ත්ව නිර්මාණය වේ. එදා බුදුන් දවසත් හටගත් එවැනි දරුණු වසංගත රෝග ගැන අපේ ත්‍රිපිටක සාහිත්‍යයේ ඕනෑ තරම් සාක්ෂි සාධක තිබේ. ලංකා ඉතිහාසය පුරාත් එවැනි ආපදාපන්න තත්ත්ව ගැන ඕනෑ තරම් සඳහන් වේ. පොසොන් පොහොය උදාව සමග අප කල්පනා කළ යුත්තේ මෙවැනි සමාජ පරිසරයකදී බුදු දහමේ දාර්ශනික හර පද්ධතියෙන් ගත යුතු ආදර්ශය ගැනය.
එහිදී මූලිකවම විමසා බැලුවහොත් මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කර දේවානම්පියතිස්ස රජු මුලින්ම මුණගැසුණු අවස්ථාවේ ඔහුට දුන් උපදේශය ඉතා වැදගත්ය. උන්වහන්සේ පැවසුවේ මහ රජ ඔබ මේ මහපොළවේ බාරකරු මිස අයිතිකරු නොවන බවය. මේ සංකල්පය වත්මන් සමාජ පරිසරයට අදාළ කරගෙන සිතන්නේ නම් ඉතා වටී. විශේෂයෙන්ම වර්තමාන සමාජයේ බොහෝ දෙනා මමය මාගේය යන දැඩි මමත්වයෙන් දේවල්වලට ඇලී ගැලී තෘෂ්ණාභරව ක්‍රියා කිරීම නිසා හටගෙන ඇත්තේ කනගාටුදායක තත්ත්වයකි. භූමිය වේවා වෙන වස්තුවක් වේවා භාරයක් හැටියට සලකන තැනැත්තෙකුට ඇත්තේ යුතුකම් හා වගකීම සමුදායකි.
රාජ්‍ය පාලකයාගේ සිට රාජ්‍ය සේවකයා, ව්‍යාපාරිකයා, ගොවියා යනාදී වශයෙන් ගත්තත් පවුල, පාසල, පන්සල වශයෙන් වූ විවිධ සංස්ථා ගත්තත් අපට මෙය පොදු උපදෙසක් ලෙස සැලකිය හැකිය.
නිදසුනක් ලෙස ගතහොත් භික්ෂුවගේ කාර්ය වන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ප්‍රතිපත්තිවලට කැප වී මෙලොව පරලොව යහපත වෙනුවෙන් කැපවීමය. සිය දායක කාරකාදීන් ඇතුළුව ගම රට ගැන සොයමින් පරාර්ථය වෙනුවෙනුත් කැපවීමය. රාජ්‍ය පාලකයා ගතහොත් තව තවත් බලය ඒකරාශී කරගැනීමට පොර ඇල්ලීම නොවේ.
ලබාගත් බලය පාවිච්චි කර ජනතා සුබසිද්ධියට කටයුතු කිරීමය. සමාජයක විෂම පැවැත්මට දිළිඳුකම මූලික හේතුවක් බව බුදු පියාණන් වහන්සේ වදාළහ. රජයක් අවශ්‍ය වන්නේ එම විෂමතා මැඩලමින් පොදු ජන සමෘද්ධිය ඇතිකිරීමටය. මහජන ඡන්දයෙන් බලයට පත්වන රජයකට එය අත්නොහළ හැකි වගකීමකි. ආරක්ෂාව, රැකවරණය, සුබසාධනය මෙන්ම මහජන සෞඛ්‍ය ආදී වගකීම් රැසක් ආණ්ඩුවකට පැවරේ. ඔවුන් නිශ්චිත කලකට රටේ භාරකරුවා කර ඇත්තේ මේ වගකීම් ඉටුකිරීමට මිස තවදුරටත් බලය ගැන සිතීමට නොවේ. වෛද්‍ය වෘත්තිකයන් ගත්තත් එසේය. ඔවුන් ඉටු කරන කාර්යභාරය හා කැපකිරීම් ගැන විවාදයක් නැතත් වෛද්‍යවරයකු බිහිකිරීම සඳහා මේ රටේ මහජනයා දක්වන දායකත්වය සුළුපටු ද නැත.
මේ රටේ නිදහස් අධ්‍යාපනය නඩත්තු වන්නේ සාමාන්‍ය ජනයාගේ බදු මුදලිනි. රාජ්‍ය නිලධාරියා, සාම නිලධාරියා, ගොවියා ආදී වශයෙන් විවිධ වෘත්තිකයන් ගත්තත් ඒ පරිද්දෙන්ම සිය වගකීම් හා යුතුකම් ගැන සිතිය යුතුය. මේ සියල්ලේම සර්වත්‍ර කුලකය වන පුරවැසියා ගත්තත් එසේය. තමන්ගේ නොසැලකිලිමත්කම නිසා කොරෝනා වයිරසය වැළඳගන්නවාට අමතරව නෑ සිය මිතුරන් ද කරදරේ වැටෙන්නේ පුරවැසි වගකීම ඉටු නොවන නිසාය. එය සෙසු ජනයාට කෙතරම් අසාධාරණයක් ද?
රට වර්තමානයේ පවතින තත්ත්වයෙන් වැඩියෙන්ම මිනිසුන් බැටකන්නේ ආර්ථික වශයෙනි. එදිනෙදා කුලියක් මලියක් කරගත් මිනිසුන් ඇතුළු අවිධිමත් අංශයේ රැකියා කළ විශාල පිරිසක් මේ අවස්ථාවේ සිටින්නේ සිය දෛනික වියදම පවා සරිකරගැනීම සම්බන්ධයෙන් අර්බුදයකය. කිසියම් මුදල් ඉතිරියක් කරගැනීමට ශක්තියක් නොතිබූ අහිංසක මිනිසුන් විශාල පිරිසක් මේ අර්බුදයට පත්ව සිටිති. එවැනි අවස්ථාවක ඇති හැකි උදවියට මේ අසල්වැසියන් ගැන සොයන්නට හැකි නොවේද? සාමාන්‍ය කාලපරිච්ඡේදවලදී අපි පොසොන් පොහොයට තරගයට මෙන් දන්සැල් පැවැත්වීමු. එහෙත් ඒ දන්සැල්වලට ගොස් කෑම ගත්තේ කෑම නොමැති පිරිස් නොවේ. එසේ නම් ඒ දානපතීන්ට දැන් සිය අසල්වැසියන්ගේ ආහාර අවශ්‍යතාව, ඖෂධ හිඟය ගැන විමසා බැලීමට හැකිය. බුදු දහම කියන්නේ ඒ සොයාබැලීම ගැනය.
මහා කාරුණික බුදු පියාණන් වහන්සේ නිරන්තරයෙන් වදාළේ තමන්ගේ ජීවිතය උපමා කරගෙන අන්‍යයන් දෙස බලන්නටය. තමා තම ජීවිතයට ආශා කරන්නේ යම්සේද අනෙකා ද එසේම සිතන බව මෙනෙහි කරමින් සමාජය පිළිබඳ දයානුකම්පාවෙන් බැලීම උන්වහන්සේ අපට දුන් ආදර්ශයයි. ඉතින් ලෝකයට පෙනෙන්නට මහා දන්සැල් සංවිධානය නොකළත් තමන්ගේ අල්ලපු වැට මායිම ගැන සංවේදීවීමට අපට හැකි නම් ලොකුම සීලය ඇත්තේ එතැනය. බුදු පියාණන් වහන්සේ වදාළේ තමන්වහන්සේ ආමිසයට වඩා ප්‍රතිපත්ති දානය අගයන බවය.
නියම ධර්ම පූජාව එයයි. මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහමේ මූලික හරයන් අපට කියාදෙමින් උත්සාහ කළේ මෙරට සමාජ පරිවර්තනයකටය. දයාව, කරුණාව, උපේක්ෂාව, සමානාත්මතාව ආදී උදාර ගුණවලින් යුත් ශ්‍රේෂ්ඨ ජාතියක් බවට අප පත්වූයේ ඒ මග ගත් නිසාය. ඉතින් අප පොසොන් උත්සවය සැබෑ ලෙස සමරන්නේ නම් කළයුත්තේ එකී ධර්ම සංකල්පනා ක්‍රියාවට නගමින් අපේ ජීවිතවලට ප්‍රායෝගික භාවිතාවක් දීමය.
බුදු රජාණන් වහන්සේ වදාළේ සියලු දේට මනස මූලික වන බවය. එහෙත් ඇතැම් භෞතික විද්‍යාඥයෝ මේ හරයාත්මක කරුණ අභියෝගයට ලක් කළහ. විද්‍යාඥයන් අවධාරණය කළේ මවගේ ලෙය කිරට හැරෙන්නේ රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට බවය. එහෙත් විද්‍යාවෙන් දියුණු ලෝකයට තවමත් මේ ක්‍රියාවලිය පර් යේෂණාගාරයක් තුළ ඔප්පු කිරීමට හැකි වී නැත. ඊට හේතුව නම් මව තුළ ඇති ආදරය, කරුණාව, දයාව යනාදී මානුෂික ගුණාංග යනු ආධ්‍යාත්මික කාරණා නිසාවෙනි. එවිට මනස යනු කෙතරම් ප්‍රබල වස්තුවක්දැයි අප තේරුම් ගත යුතුය. එනිසා සිත දියුණු කරගැනීම යනු සමාජයක දියුණුවට තීරක සාධකයකි. අපට අධ්‍යාපනයේ මහිමයෙන් වෛද්‍ය, නීතිඥ, රාජ්‍ය සේවා ආදී වශයෙන් සමාජයේ ප්‍රභූ සම්මත ක්ෂේත්‍රවලට අවතීර්ණ වීමට හැකියාවක් තිබේ. විද්‍යා තාක්ෂණයෙන් කෙල පැමිණ සමාජයේ කීර්තියක් අත්පත් කරගැනීමට උපරිම වෙහෙසිය හැකිය.
එහෙත් ඒ කැපවීම සමග අපගේ සිත දියුණු කරගැනීමට අපට නොහැකි නම් සිදුවන්නේ කුමක්ද? අදාළ වෘත්තියේ රාජකාරි වපසරියෙන් ඔබ්බට මනුෂ්‍යයන් ගැන සංවේදී වෘත්තිකයකු බිහි නොවීමය. නිදසුනකට, අසරණ වී වෛද්‍යවරයකු වෙත පැමිණෙන රෝගියාට වෛද්‍ය කර්මය මෙන්ම සිත සැනසෙන වදන ද මාහැඟිය. වෙදකම හා හෙදකම යනු කාරියන් දෙකක් හැටියට අප සලකන්නේ එහෙයිනි. එවැනි පිළිගැනීමක් ඇත්තේ කායික රෝගාබාධ ආදිය මැඩලීමට මනසේ තුලනය වැදගත් නිසාය. කොරෝනා වසංගතය සමග මහමග අසරණ වූ මිනිසුන් වෙනුවෙන් කෑම පාර්සල් සකස් කර දෙන, ඇතැම්විට තම ආහාර වේල පරිත්‍යාග කරන පොලිස් නිලධාරින් ගැන පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තා කර තිබිණි. සරලවම ගතහොත් මේ ක්‍රියාවලියට මුල් වී තිබෙන්නේ මනසය. පොලිස් නිලධාරින්ගේ රාජකාරියේ කොතැනකවත් ආහාර පරිත්‍යාගය මූලිකාංගයක් නොවේ. වෘත්තියෙන් ඔබ්බට දිවෙන මනුස්සකම ඉස්මතුවන්නේ එතැනදීය. මනස දියුණු කරගැනීමට පවිත්‍ර කරගැනීමට අපේ අවධානය දීම කාලීන අවශ්‍යතාවක් වී තිබෙන්නේ එහෙයිනි.
වත්මන් ලෝකයේ බොහෝ සංකීර්ණතාවලටත් ගැටලුවලටත් ප්‍රධාන හේතුව වී තිබෙන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයයි. උපතේ පටන්ම සමාජය තුළ වගා දිගා කරමින් තිබෙන්නේ තරඟයයි. අස්මිමානයයි. එකකු පරයා නැගී සිටීමේ ආශාවයි. සමස්ත සමාජය මුහුණ දෙන ගැටලුවක් වීත් එන්නත්කරණයේ දී වූ විෂමතා ගැටුම් විසින් ඔප්පු කරනු ලැබුවේ එයයි. ලොව ඇතැම් රටවල් වයස් සීමා අනුව පිළිවෙළකට මේ කාරිය නිසියාකාරව කරනු අපි දුටුවෙමු. ගැටුම් සටන් නොවූ ඒ වැඩපිළිවෙළ ලොවටම ආදර්ශවත් ලස්සන එකකි. දැන් ඒ රටවල වයස අවුරුදු 18 ඉක්මවූවන්ට පවා එන්නත ලබාදෙයි. එහෙත් අපේ රටේදී එන්නත්කරණය පවා සිද්ධවුණේ වෘත්තිකයන් හැටියට විවිධ සමාජ කණ්ඩායම් හැටියට දේශපාලන බලය තිබෙන හැටියටය. ලස්සනට වැඩක් කරන්නටත් සමාජයේ මනස දියුණු වෙන්නට ඕනෑය. දියුණු හෘදසාක්ෂියක් තිබෙන්නට ඕනෑය. ඒ අර්ථයෙන් ගත්විට අපේ රට තිබෙන්නේ ඉතාම ශෝචනීය තැනකය. ව්‍යාපාරයක් ආරම්භ කරන්නා බලන්නේ වංචක ධර්මයෙන් ලාභ උපයන්නටය. වෘත්තියක අවතීර්ණ වන්නා සිතන්නේ කෙටි මංවලින් ඉහළට යන්නටය. තනතුරු දරන්නා සිතන්නේ කෙටි මාර්ගවලින් ගොස් වැජඹෙන්නටය. අනෙකා ගැන තමා උපමා කරගෙන සිතන සමාජයකට එසේ හැසිරෙන්නට බැරිය. අනෙක් අතට සීමා මායිම් නොමැතිව ධනය පසුපස හඹායන ලෝකයට කොරෝනා වයිරසය දුන්නේ අගනා පාඩමකි.
අඩුම තරමින් සෙසු සහෝදර රටවලට වූ දේවල් හෝ දැක අපට හැදෙන්නට හැකිය. අප මෙන් නොවේ. සීමා මායිම් නැති ධනයකින් ආඪ්‍ය වූ බටහිර ලෝකයේ දානපතින් කොරෝනා වයිරසයෙන් ජීවිතාපේක්ෂා භංග වෙද්දී සිය උඩු මහල්වල සිට යුරෝ මිටි පිටින් වීසි කරමින් කියුවේ කුමක්ද? මේ ජීවිතයේ අරුත නොවේද? සමාජ සංවිධානයෙන් දර්ශකවල ඉහළ ස්ථාන අත්පත් කරගෙන සිටි මේ ජනයා පවා අස්ථාවර ජීවිත රාජ්‍යට ස්ථාවර කරන්නට නොහැකි බව වටහාගත්හ. ඉතින් බුදු දහමින් ආලෝකය ලැබූ අපට මේ පාඩම ඉගෙනගන්නට නොහැකි ඇයි? ජීවිතයේ අස්ථිර බව කියමින් බුදුන් වහන්සේ අවධාරණය කළේ දුර්ලභ වූ මනුෂ්‍ය භවය අර්ථවත් ලෙස ගත කරන ආකාරය ගැනය. නොඑසේව ජීවිතයෙන් පලායාමක් ගැන නොවේ. ප්‍රශ්නය නම් ඒ අර්ථය නිර්මාණය කරගැනීමට මනස හදා නොගැනීමය.
බොහෝ අස්ථිර දේවලට ස්ථිර පැවැත්මක් මිනිසුන් දෙන්නේ ධනය හා බලය නිසාය. එහෙත් ඒ දෙකම කොතරම් අස්ථිරදැයි කොරෝනා වයිරසය විසින් ලෝකයටම වටහා දෙනු ලැබිණි. ඒ අර්ථයෙන් බැලුවහොත් මේ වසංගතය වුව අපට ධනාත්මක පෙළඹීමක් කර තිබේ. ඒ, ජීවිතය ගැන විවේක බුද්ධියෙන් ආපසු හැරී බලන්නටය.
බුදුන් වහන්සේ දේශනා කළේ ‘පරත්ථං පටිපජ්ජත’ හෙවත් පරාර්ථයේම යෙදෙන්න කියාය. සැබැවින්ම මිනිසා යනු සමූහචාරී සත්වයෙකි. මිනිසාට ඒකචාරී ජීවිතයක් ගත කළ නොහැකිය. ඒ සාමූහිකත්වය රඳාපවතින්නේ අන්‍යෝන්‍ය වශයෙන් අප යුතුකම් හා වගකීම් ඉටු කරන තරමටය. මිනිසුන් හැටියට අප කාටත් ප්‍රශ්න තිබේ. ප්‍රශ්න නැති කෙනෙක් නැත. එහෙත් ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන අතරේම පවා අපට අන්‍යෝන්‍ය පැවැත්මක් ඇති බව අමතක කළ යුතු නැත. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යැයි අප විශ්වාස කරන්නේ ද මේ නිසාය. කොරෝනා වයිරස සමය යනු මුළු ලෝකයටම මේ පණිවුඩයේ වටිනාකම වැඩි වැඩියෙන් දැනෙන කාලයකි. නිදසුනක් ලෙස වයිරස ව්‍යාප්තිය දරුණුවීම සමග එහි මුල් වටයේදී ආසාදිත ජනයා පිළිකුල් කර කොන් කරන ප්‍රවණතාවක් අප රටේද දැකගන්නට ලැබිණි. එහෙත් අන්‍යයා කෙරෙහි කරුණා මෛත්‍රියෙන් කටයුතු කරන සැබෑ බෞද්ධයාට එසේ ඉවත බලාගන්නට හැකියාවක් නැත. සැබැවින්ම කොරෝනා වයිරසයේ ස්වභාවය හා එය ජයගැනීම යන තේමාව වඩාත් ධර්මානුකූලව විවරණය කරගත හැකි තැනැත්තා බෞද්ධයාය. මන්දයත් එක් අතෙකින් මේ සමාජ අභියෝගය ජයගැනීමට අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ එක අතකින් සම්බන්ධ වී තිබෙන්නේම අපේ සිත සමග නිසාය. අනෙක් අතට එහි ඇති සාමූහික සටන ගැටගැහෙන්නේ මහා කාරුණිකයාණන් වහන්සේ වදාළ පරාර්ථ චර්යාව සමග නිසාය. ඒ සියලු සටන් ව්‍යර්ථ වීමට ඇති විභවතාව හා අවසානය ගැන වුවද බුද්ධිය විමසා තේරුම්ගැනීමට හැකි දාර්ශනික හරය ඇත්තේ බුදු දහමේ නිසාය. ඉතින් දැන් අප කළයුත්තේ මේ අභියෝගාත්මක මොහොතේ බෞද්ධ දර්ශනයේ එකී මූලික හරයන් ඇසුරෙන් ජීවිතය තේරුම්ගැනීමය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මග කී සමාජ පරිවර්තනය අපේ ජීවිතවලට ගළපාගත හැක්කේ එවිටය.
(*** සටහන - බිඟුන් මේනක ගමගේ)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පොසොන් යුතුකම් වගකීම්
K Perera Monday, 28 June 2021 08:15 PM
ජනාධිපතිතුමා නම් පොසොන් දවසේ යුතුකම් සහ වගකීම් ඉටුකර මහා පුණ්‍ය කර්මයක් කරගත්තා.