IMG-LOGO

පාස්කු දා ප්‍රහාරය දේශපාලනය යථාර්ථය

පසුගිය ජූලි 28 වැනිදා කොංගෝ දේශයේ කතෝලික දේවස්ථානයකට පහර දුන් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීහු දේවස්ථානයේ රාත්‍රී දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි බැතිමතුන් 45 දෙනකු පමණ කෲර ලෙස ඝාතනය කළහ. ඉස්ලාමීය අන්තවාදීහු ප්‍රහාරයේ වගකීම ද බාරගත්හ. මීට ආසන්න අතීතයේ කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලිවලට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර රැසක් එල්ල වී තිබේ.

ලංකාවේ 2019 වසරේ සිදුවූ පාස්කුදා ප්‍රහාරයට පෙර එනම් 2017 වසරේ ඊජිප්තුවේ ටන්ටා සහ නයිල් ඩෙල්ටා හි දේවස්ථාන දෙකකට එකවර එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරය මේ අතර කැපී පෙනේ. එහි දී 48 දෙනකු මියගිය අතර 700 ඉක්මවූ පිරිසක් තුවාල ලැබූහ. අයි.එස්.අයි.එස්. සංවිධානය මෙහි වගකීම බාරගත්තේ ය. මේ අතර, මෙම කැරලිකාරී ආගමික සංවිධානය සිරියාවේ කතෝලික සහ ක්‍රිස්තියානි සිද්ධස්ථානවලට එල්ල කළ ප්‍රහාර එමට ය. 2017 වසරේ අයිඑස් සංවිධානය ක්‍රිස්තියානීන් ඉලක්ක කළ ප්‍රහාර එල්ල කරන ලෙස නිවේදනයක් ද නිකුත් කළේ ය.

ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ආඛ්‍යානය වරින් වර එක එක පැති ගන්නා සෙයක් දක්නට ලැබේ. එය අතිශයින් ම දේශපාලනීකරණය වීම සහ ආගමිකකරණය වීම මීට හේතුව ලෙස දැක්විය හැකි ය. පසුගිය දා කතෝලික සභාවේ ප්‍රකාශක සිරිල් ගාමිණී පියනම අමුතුම ප්‍රකාශයක් කළේ ය. ඒ වත්මන් මාලිමා ආණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර ඔහුගේ ඇමැති ධුරයේ සිටීම පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධාවක් බවය. ඊට හේතු ලෙස ඔහු කියා තිබුණේ නියෝජ්‍ය ඇමැතිවරයා නැගෙනහිර අණදෙන නිලධාරියාව සිටින කාලයේදී පාස්කුදා ප්‍රහාරය සිදුවීමයි.

කතෝලික පියනමගේ ප්‍රකාශය සිත් ගන්නා සුළු වන්නේ, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජයසේකර මහතා පාස්කු විමර්ශන පවත්වන මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධයක් නැති ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කිරීමය. ඇරත් ඔහු එවක සේවයේ සිටියේ හමුදා නිලධාරියකු ලෙසය. අනෙත් කාරණය නම්, නියෝජ්‍ය ඇමැතිවරයාට ඉහළින් ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාම සිටීමය. සැකයේ වාසිය යම් පමණකට හෝ පියනමගේ ප්‍රකාශයට ලබා දෙමින් මේ ගැන සිතුව ද, නියෝජ්‍ය ඇමැතිවරයාට පැවැත්වෙන විමර්ශනවලට බලපෑමක් කිරීමේ හැකියාවක් නැත. බලපෑමක් තිබේ නම් එය වහාම ජනාධිපතිවරයාට දැන්වීමේ හැකියාව ඕනෑම කෙනකුට ඇත.

අපට මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකුට සහතික නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නැත. එහෙත් යමක වාස්තවික තත්වය සලකා බලා ඒ පිළිබඳ විනිශ්චවලට ඒම අප සැමගේ වගකීමකි.

කතෝලික සභාවේ මෙම ප්‍රකාශයට හේතු ලෙස සිතිය හැක්කේ, පසුගිය කාලය පුරාම පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පතුරුවා තිබෙන විවිධ ගණයේ ප්‍රචාරය. විශේෂයෙන් ම ආරක්ෂක හමුදා විසින් මෙම ප්‍රහාරය කළ බවට වන ප්‍රචාරය ඉහත ප්‍රකාශවල පදනම ලෙස සිතිය හැකි ය. ඔවුන් එසේ කළේ ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට එම ප්‍රචාරයේ ම දිගුවයි.

මේ ආඛ්‍යාන දෙකම කිසිදු පදනමක් නැති ඒවා ය. ඒ ඉතා පැහැදිලි ව අප හමුවේ තිබෙන අපක්ෂපාතී කරුණුමය තත්වයන් සලකා බැලීමේ දී ය.

පළමු කරුණ නම් පාස්කුදා ප්‍රහාරය සිදු කරනු ලැබූවේ සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් ය. ඒ බවට කිසිදු සැකයක් නැත. ඔවුන් ජන වර්ගයෙන් මුස්ලිම් වන අතර ආගමිකව ඉස්ලාම් ය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ තිබූ ප්‍රධාන තේමාවක් නම් ඔහු සිංහල බෞද්ධ නායකයකු යන්න ය. එසේ නම් සිංහල බෞද්ධ නායකයකු බලයට ඒම සඳහා ඉස්ලාම් බැතිමතුන් සාමාන්‍ය බැතිමතුන් නොව ඉතාම අන්තවාදී ගණයේ බැතිමතුන් පිරිසක් මරාගෙන මැරීම තෝරා ගනී ද යන්න ය.

දෙවැනි කරුණ නම් ප්‍රහාරයට සම්බන්ධ වූ බවට මේ වන විට තහවුරු වූ පිරිස් ය. කොළඹ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුගේ උගත් පුතුන් දෙදෙනා මේ අතර කැපී පෙනේ. ඔවුන් ගෝඨාභය වෙනුවෙන් දිවි දෙයි ද? ඇරත් මෙම ව්‍යාපාරිකයා ජනතා විමුක්ති පෙරමුණට ප්‍රබල ලෙස ආධාර උපකාර කළ, එම පක්ෂයේ ජාතික ලැයිස්තුව ද නියෝජනය කළ අයෙකි. තවමත් ඔහු එම පක්ෂයට සම්බන්ධව කටයුතු කරන බව වාර්තා වේ. ගෝඨාභය ජයග්‍රහණය කරවීම සඳහා ඔහු සිය පුතුන් දෙදෙනාට දිවි නසා ගැනීමට උපදෙස් දෙයි ද?

තෙවැනි කාරණය නම්, ගෝඨාභය රාජපක්ෂට මැතිවරණයක් ජය ගැනීම සඳහා මෙවැනි විනාශයක් කිරීමට දේශපාලනිකව අවශ්‍ය ව තිබුණා ද යන්නය. අප සැමදෙනා ම දන්නා ඉතිහාසය තුළ යහපාලන ආණ්ඩුව පැමිණ වසරක් යෑමට ද කලින් එහි ජනප්‍රියත්වය අතිශයින් ම පහතට වැටුණේ ය. විශේෂයෙන් ම මහ බැංකු වංචාව වැනි ආර්ථික සහ දේශපාලන තලයේ බිම් මට්ටමේ සිට ඉහළ ම අංශ කැළැඹූ අධිසංවේදී සිදුවීම් මත 2018 වන විට සිරිසේන ආණ්ඩුව සිටියේ අමාරුවෙන් තම වසර පහ පවා ගෙවා දමන මට්ටමේ ය. ආණ්ඩුව තුළ ම වූ සිරිසේන - වික්‍රමසිංහ ගැටුම මගින් ඉඟි කර තිබුණේ, ඊට බාහිර සතුරකු අනවශ්‍ය බවය. ඒ බව හොඳින්ම පැහැදිලි වූයේ 2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමෙනි. පුංචි ඡන්දයක දී විපක්ෂයක් විසින් ආණ්ඩුවක් පරාජය කරනු ලැබූ පළමු අවස්ථාව එය වේ. මෙවන් පරිසරයක ගෝඨාභයට මතු නොව, එම දේශපාලන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම අපේක්ෂකයකු ජනාධිපතිවරණය ජය ගැනීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් විය. ඒ අනුව, පාස්කුදා ප්‍රහාරය වැනි අමානුෂික ක්‍රියා කිරීමෙන් දේශපාලන වාසි ගැනීම් වැනි දෙය කිසිසේත්ම අවශ්‍ය නොවේ.

සිව්වැනි කරුණ නම් අප ඉහත සඳහන් කළ මෙම පසුගිය 2 වැනි දා කොංගෝහි සිදුවූ ප්‍රහාරය වැනි සියලු‍ ප්‍රහාර ඉස්ලාම් අන්තවාදීන් විසින් ම කර තිබීමය. ඔවුන් ඒවාහි වගකීම ද බාරගෙන තිබේ. ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ද ඔවුහු ඒ ආකාරයෙන් ම බාරගත්හ. ලංකාවේ ආරක්ෂ අංශ මගින් සිදු කෙරුණ ප්‍රහාරයක වගකීම අන්තර්ජාතික ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් බාරගනී ද?

මේ සියලු‍ කරුණු සලකා බලන විට පාස්කුදා ප්‍රහාරය පිළිබඳ ලංකාවේ ගොඩ නගා තිබෙන සාහසික සහ පදනම් විරහිත ප්‍රචාරවල තරම මොනවට පැහැදිලි වේ. ඇත්ත වශයෙන්ම පාස්කුදා ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබා ගත්තේ නම්, එසේ කළේ වත්මන් මාලිමා ආණ්ඩුවයි. මෙම ප්‍රහාරය දේශපාලනීකරණය කරන ලද්දේ සපුරා ඔවුන් විසින් ය. අද ද පාර්ලිමේන්තුව තුළ කරන ප්‍රකාශවලින් එය ගම්‍ය වේ.

පාස්කුදා ප්‍රහාරය යනු ආරක්ෂක රික්තයක සිදු වූ එකක් නොවේ. එවක යහපාලන ආණ්ඩුව ඒ ගැන පුදුම වූයේ ද නැත. ප්‍රහාරය සිදුවී පැය කීපයක් ඇතුළත එම රජයේ ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ “ගහන බව දැනගෙන හිටියා. මෙහෙම ගහයි කියල හිතුවේ නැහැ” යනුවෙනි. ඇත්ත වශයෙන්ම ප්‍රහාරය පිළිබඳ එවක යහපාලන ආණ්ඩුවට විදෙස් බුද්ධි සේවා ඇතුළු අංශ ගණනාවකින් නිරන්තර ව අනතුරු අඟවා තිබුණි. 94 වතාවක් එසේ කර තිබෙන බවත්, ප්‍රහාරය සිදුවීමට විනාඩි ගණනක් තිබිය දී පවා අනතුරු ඇඟවීම් කළ බවත් කොමිසම් සාක්ෂි හරහා හෙළි විය. එසේ කර තිබිය දීයි, වත්මන් මාලිමා නායකයන්ගේ ද සහාය ඇති ව පත් වූ සහ පවත්වාගෙන ගිය ආණ්ඩුව මෙම ප්‍රහාරය වළක්වා නොගත්තේ.

නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර ගැන ප්‍රශ්න කරන කතෝලික සභාවට පැන නොනැගි ප්‍රශ්නයක් තිබේ. එනම්, වත්මන් රජයේ ආරක්ෂක ලේකම්වරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා එවක පාස්කුදා ප්‍රහාරය සිදුවන විට ද අපරාධ විමර්ශන සහ වළක්වා ගැනීමට අදාළ ඉහළම ධුරවල කටයුතු කිරීමය. ඇත්ත වශයෙන්ම ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන යමකු වගකීම ගන්නේම නම්, එය මුලින්ම බාරගත යුතු අය අතර මේ නිලධාරීන් දෙදෙනා ප්‍රමුඛ ය. එහෙත් කතෝලික සභාව ඔවුන්ට ‘ප්‍රේම’කරනු දැකිය හැකි ය. පාර්ලිමේන්තු සභානායක ඇමැති බිමල් රත්නායකට අනුව, මෙම නිලධාරීන් නැවත වරක් අදාළ තනතුරුවල තබන ලෙස ඉල්ලා සිටියේ ද කතෝලික සභාවය.

පාස්කුදා ප්‍රහාරයේ නියම තතු දැන ගැනීමට නම් මුලින්ම කළ යුත්තේ කතෝලික සභාව පමණක් නොව මේ රටේ ඊට උනන්දු සියලු‍ දෙනා මෙම සිදුවීම දෙස දේශපාලන පාට කණ්ණාඩි අතහැර විවෘතව බැලීමය. තමන්ගේ හිතේ තිබෙන විවිධ නිගමන අතහැර ඒ දෙස බැලීමය. දැන් සිදුවන්නේ, තමන්ගේ හිතේ තිබෙන නිගමන තහවුරු කිරීමට සාක්ෂි සෙවීමය. මෙම විමර්ශන ඉදිරියට නොයන්නේ ද ඒ හේතුව නිසායි. මේ තත්වයට දැඩි ලෙස හේතු වූයේ හිටපු නීතිපති දප්පුල ඩි. ලිවේරා විසින් කරනු ලැබූ ‘මහමොළකරු’ ප්‍රකාශයයි. විශ්‍රාම යෑමට දින කිහිපයකට කලින් කළ එම ප්‍රකාශය නිසා බොහෝ දෙනා පාස්කු මහමොළකරු සෙවීමට අවධානය යොමු කළහ. අදත් එසේ ය.

දෙවැනිව කළ යුතු වන්නේ තමන් ප්‍රකාශ කළ මහමොළකරු කවුදැයි යන්න ඩි ලිවේරා හරහා හෙළිකර ගැනීමය. එහෙත් ඔහු එය මග හැරීමට අධිකරණය භාවිත කර තිබෙන බව පෙනේ. පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන තිබෙන සියලු‍ දෙනාගේම බොහෝ ගැටලු‍ ලිවේරාගේ පිළිතුර මත නිරාකරණය වේ. විශේෂයෙන්ම පරීක්ෂණ නැවත ආරම්භ කිරීම සඳහා ලොකුම ඔත්තුවක් ඒ ඔස්සේ ලැබේ. එසේ තිබිය දී, කිසිවකු මේ පිළිබඳ හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රකාශයක් නොගන්නේ මන්දැයි රටම අසන ප්‍රශ්නයකි. ඒ මේ ඛේදවාචකය තවදුරටත් දේශපාලනිකව පාවිච්චි කිරීමට ද? එසේත් නැතිනම්, මෙම ප්‍රහාරයේ සැබෑ තතු හෙළිවීම, තමන් විසින් හිතාමතා වැපිරූ මිථ්‍යාව පුපුරුවා හරින නිසා ද? එසේත් නැතිනම්, අප නොදන්නා වෙනත් කුමන්ත්‍රණකාරී අරමුණක් නිසා ද?

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (0)

පාස්කු දා ප්‍රහාරය දේශපාලනය යථාර්ථය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 342 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site