අධිරාජ්‍යවාදීන්ට බැල මෙහෙවර කරන කණ්ඩායම් ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා |
නවනීදන් පිල්ලේ මහත්මිය ලංකාවට ඒමට පෙර මහා ගෝරනාඩු කළ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා නවනීදන් පිල්ලේ මහත්මියට ලංකාවට ආපසු අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවට වැටුණි. ඒ ඇයි? මේ ඒ පිළිබඳවය!
ප‍්‍රශ්නය - නවනීදන් පිල්ලේ මහත්මිය එන්න කලින් මහා ගෝරනාඩු කළ ඔබ ඒ මහත්මිය ආවට පස්සේ අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවට වැටුණා. ඔබ හැංගුණේ ඇයි?
පිළිතුර - නවනීදන් පිල්ලේ මහත්මිය ආපු කාලයෙත්, ඊට පෙරත් අපට තිබුණෙත් තියෙන්නෙත් එකම දේශපාලන ස්ථාවරයක්, මාධ්‍යකරුවන්ට ඕනෑ වෙලා තිබුණා නවනීදන් පිල්ලේ නෝනා ආපු දවස්වල මම හැංගිලා හිටියා කියලා පෙන්වන්න. මම හඬ නැඟුවොත් ඒකට එක අර්ථකථනයක් කරනවා. හඬ නොනැගුවොත් ඒකටත් එක අර්ථකථනයක් දෙනවා. මම මොනවා කළත් ඔය මාධ්‍යයෙන් හදන අර්ථ නිරූපණ නතර වෙන්නේ නෑ.
ප‍්‍රශ්නය - ඒ කියන්නේ ඔබ නිහඬව හිටියේ නෑ?
පිළිතුර - මම නිහඬව හිටියේ නෑ. මම මැතිවරණ රැස්වීම්වල කොච්චර කතා කළාද? රටේ දේශපාලන කටයුතුවල කොච්චර නියැලිලා හිටියද? අපි කොහොමද නිහඬව ඉන්නේ. පිල්ලේ නෝනා එනවා කියලා නිහඬව ඉන්න අවශ්‍ය නෑ. හැබැයි අනවශ්‍ය විදියට ඒකට මත දක්වන්න ගියෙත් නෑ.
ප‍්‍රශ්නය - එහෙම නොවෙයි. ජනාධිපතිතුමා ‘ස්විච් එක ඕෆ් කළා.’ ඔබ ‘සයිලන්ස්’ වුණා?
පිළිතුර - ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා දැන් අවුරුදු පහක් වෙනවනේ. මේ මුළු කාලය තුළම කිසිම වෙලාවක අපි කතා කරන දේශපාලන කරුණුවලට එපා කියලවත් මෙහෙම කියන්න කියලවත් නෑ. ඒ ගැන කිසිම චකිතයක් තියාගන්න එපා. අපි හඬ නගනවානම් හඬ නගන්නෙත් එය අවශ්‍ය නිසා. හඬ නොනගනවානම් එහෙම කරන්නෙත් ඒක අවශ්‍ය නිසා. නවනීදන් පිල්ලේ එනකොට ඔබ හිතන්නේ මම පාරට බැහැලා කෑ ගහන්න ඕනෑ කියලද? එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ඔය පළවැනි වාර්තාව එනකොට මේ රට අවදි කරන්න අපි කරන්න ඕනෑ ටික කළා. ඒක තමයි අද පේලියට ඔප්පු වෙමින් තියෙන්නේ. කාටත් කලින් අපි අනාවරණය කරපු කාරණා තමයි මේ ඔප්පු වෙන්නේ. නවනීදන් පිල්ලේ එන එක සමහරුන්ට අරුමයක් වුණාට අපිට අරුමයක් නොවෙයි. අපි දන්නවා මේ මාර්ග සිතියමට අදාළව මේක මෙහෙම වෙනවා කියලා. පිල්ලේ දෙන වාර්තාවක් ලියලා ඉවරයි කියලත් අපි දන්නවා. දරුස්මාන් වාර්තාව හැදෙන විදියට තමයි ඕක හැදෙන්නෙත්. සමහරුන්ට නම් මේ සත්‍ය තේරුම් ගන්න පුළුවන් වුණේ පිල්ලේ නෝන එනකොටයි. එහෙම අයට මේක ලොකු ප‍්‍රශ්නයක් තමයි. අපි මේක දීර්ඝකාලීනව තේරුම් අරගෙන ඉන්න අය. පිල්ලේ නෝනා ආවත් තාවත් වෙන්නේ එකම දේ. නාවයි කියලත් වෙනසක් නෑ.
ප‍්‍රශ්නය - නවනීදන් පිල්ලේ මහත්මියගේ සංචාරය ගැන ආණ්ඩුවේ ස්ථාවරය වුණේ ‘‘තල්රුප්පාවේ මල් බලන්න’’ ඇය එන බවයි. නමුත් ඒ ගමනින් ආණ්ඩුවට තරු පෙනුණා.?
පිළිතුර - මල් පිපෙන හැටි බලන්න නම් එක්කරගෙන යන්න තිබුණේ නුවරඑළිය පැත්තටයි. ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවනේ අධිරාජ්‍යවාදීන්ට බැලමෙහෙවරකම් කරන කණ්ඩායමක්. ඒ අයට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් එක එක ව්‍යාපෘතිවලට සල්ලිත් ලැබෙනවා. තව තව තැන්වලින් ඒ අමාත්‍යංශවලට උදව් කරනවා. අන්තිමට වාර්තාව දුන්නම තේරෙයි එතුමිය දැකලා තියෙන්නේ මල් ද ගල් ද කියලා.
ප‍්‍රශ්නය - පිල්ලේ මහත්මියගේ සංචාරයට රජය රාජ්‍යතාන්ත‍්‍රිකව මුහුණ නොදුන් බවටත් චෝදනාවක් තියෙනවා. ඔබ ඒ ගැන මොකද කියන්නේ?
පිළිතුර - පළමුවෙන්ම, එතුමියට ආරාධනා කිරීම ගත්තොත් ඒක බලාපොරොත්තු විය හැකි තත්ත්වයක්, රජයකට චෝදනාවක් එල්ල වුණාට ඒ රජය දන්නවා තමන් නිර්දෝෂයි කියලා. ඒ නිසා කියනවා, ‘‘ඇවිත් බලන්න’’ කියලා. එහෙම ආරාධනා කරන්නේ සද්භාවයෙන්. හැබැයි සද්භාවයෙන් රජය කරන ආරාධනාව එතුමිය යොදාගන්නේ සද්භාවයෙන් නොවෙයි. ඇය මේ ගමන යොදා ගන්නවා ඇය ඉදිරිපත් කරන්න හිතාගෙන හිටපු වාර්තාවට සුජාත භාවයක් ලබා ගන්න. එතුමිය එන්නේ ඒ අරමුණෙන්. මම ලංකාවේ සතියක් ඉන්නවා. වෙන කිසිම රටක මෙච්චර කාලයක් ඉඳලා නෑ. මම හැමදේම හෙව්වා කියමින් තමයි අර ප‍්‍රහාරය දෙන්නේ. එතැනදී ආරාධනා කිරීම ගැන දෙපැත්තටම කරුණු තියෙනවා. එසේ නැතිමනම් ඇගේ පැමිණීම මගින් ලංකා රජයට ප‍්‍රයෝජනයක් අත්වන්නේ නෑ. ඇය පැමිණියත් සිදුවන්නේ නොපැමිණියත් සිදුවන දේමයි. පැමිණීමෙන් වුණේ ඇගේ වාර්තාවට සුජාත භාවයක් ලබාගැනීම පමණයි.
ප‍්‍රශ්නය - පිල්ලේ මහත්මිය ලංකාවට ඇවිත් කළ කී දෑ ගැන ඔබේ තක්සේරුව?
පිළිතුර - ඔය අර තරුණ පාර්ලිමේන්තුවට කතා කරන්න දීපුවා ගත්තොත් කිසිම වැඩකට ඇති දේවල් නොවෙයි. ඒවා නිකම් පැනලා දීපුවා. ඕනෑවට වඩා ආරක්‍ෂාකාරීව පහරක් එල්ල කිරීමක්.
ප‍්‍රශ්නය - ප‍්‍රභාකරන්ට මල්වඩමක් තියන්න ඇය සූදානමින් හිටියා කියලත් වාර්තා වුණා ?
පිළිතුර - ඒකටනම් ඉඩ දිය යුතුව තිබුණා. ඒකෙන්ම ඇගේ ක‍්‍රියාවලිය නතර කරන්නත් තිබුණා. මල් වඩම තියන්න දීලා මේක ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවට පත් කැර ගෙන ඇයට සහයෝගය දැක්වීම එතැනින් නතර කරන්නත් තිබුණා. ඇයගේ පක්‍ෂපාතීත්වය ලෝකයට අනාවරණය කරන සිද්ධියක් බවට මේක පත් කරගන්න තිබුණා.
ප‍්‍රශ්නය - කවුද ඒක වැළැක්වූවේ?
පිළිතුර - මෙතැනදි තර්කයක් මතු කරනවනේ එහෙම මල් වඩමක් තියන්න දුන්නානම් බෙදුම්වාදීන්ට මොරාල් එකක් එයින් එනවා කියලා. නමුත් තියන්න ගියා කියලා දැන් කවුරුත් දන්නවනේ. තිබ්බත්, තියන්න ගියත් ඒ මොරාල් එක එනවනේ. කොටි ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් මල්වඩම තියලා දෙමළ සමාජයට පණිවිඩයක් දෙන්න තමයි එතුමිය බැලූවේ. ‘‘උඹලා බයවෙන්න එපා. අපි ඉන්නවා. සටන කරගෙන පලයල්ලා’’ කියන පණිවිඩයයි ඇය දෙන්න හිටපු පණිවිඩය. මල් වඩම තිබ්බත් නොතිබ්බත් ඒ පණිවිඩය ඇය දීලා ඉවරයි. ඒ නිසා ඒක තියන්න දුන්නානම් මුළු ලෝකයටම, සාධාරණව හා මධ්‍යස්ථව බලන සියලූ දෙනාම හොඳ පණිවිඩයක් බවට පෙරලා ගන්න තිබුණා. ඒවගේම ඇගේ සංචාරයේ තිබුණු ඒකපාර්ශ්වීය ස්වභාවය ලෝකයට අපූරු ලෙස අනාවරණය කරන්න තිබුණා. ඒ නිසා මල්වඩම තියන්න ඉඩනොදීම දේශපාලනිකව කල්පනා නොකර ගත්ත තීරණයක් කියලයි මට හිතෙන්නේ.
ප‍්‍රශ්නය - නවනීදන් පිල්ලේ මහත්මිය සංචාරයෙන් පසු කොළඹ දී ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා. එහිදී ඇය නොයෙක් දේ කිව්වා. නමුත් ඒවාට පිළිතුරු දෙන්න රජයේ කිසිම නියෝජිතයෙක් හිටියේ නෑ. මේවා මෙහෙම වෙන්නේ කොහොමද?
පිළිතුර - බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමා මේ ප‍්‍රශ්නය කැබිනට් මණ්ඩලයේදිත් මතු කළා. ඒක ලොකු අඩුවක්. විදේශ අමාත්‍යංශයේ නියෝජිතයෙක් ඒ වෙලාවේ එතැන සිටිය යුතුයි. එහෙම නියෝජිතයකුට එතුමිය අවසර දෙන්නේ නැත්නම්, ඒ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට අවසර දෙන්න ඕනෑ නෑ. කරන සාකච්ඡුාවක් පිටරටට ගිහින් කරගත්තදෙන්. කොහොමත් ජිනිවා ගිහින් හිතෙන දේවල් කියයිනේ. හැබැයි රට ඇතුළේ ඉඳගෙන කරන සාකච්ඡුාවක දී රජයේ කෙනෙක් සිටිය යුතුයි. ඒක තමයි සාමාන්‍ය සම්ප‍්‍රදාය.
ප‍්‍රශ්නය - ඒ වැරැද්ද කවුද කළේ?
පිළිතුර - විදේශ අමාත්‍යංශය, විදේශ අමාත්‍යංශයනේ, ඒක ශ්‍රී ලංකාවේ අමාත්‍යංශයකට වඩා විදේශ අමාත්‍යංශයක්.
ප‍්‍රශ්නය - රට හමුවේ තියෙන බැරෑරුම් ප‍්‍රශ්නවලට රජය මෙහෙමද මුහුණ දෙන්නේ?
පිළිතුර - මේක තමයි ඓතිහාසිකව මේ ආණ්ඩුවට මුහුණදීමට සිදුවී තිබෙන ඉතාම සංවිධිත තත්ත්වය. බහු පක්‍ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති තනි පක්‍ෂ ආධිපත්‍ය තියෙන වමේ රටවල් තියෙන්නේ. අන්න ඒ වගේ රටවල්වලට එරෙහිව එල්ල වෙන පීඩනයට සමාන හෝ ඊට වඩා වැඩි පීඩනයකට තමයි අද මේ රට මුහුණ දීලා තියෙන්නේ. හැබැයි මේ රට ඒකට මුහුණ දෙන්නේ වමේ ආණ්ඩු තියෙන රටවල් එයට මුහුණ දෙන ස්වභාවයෙන් නොවෙයි. දැන් අපි දන්නවා එහෙම රටකට මෙහෙම පීඩනයක් ආවොත් ඒ අය ඉතාම නියම විදියට සැලසුම් සහගතව අවුරුදු කීපයක සැලැස්මක් හදලා මුහුණ දෙනවා. හැබැයි අපේ රටට පීඩනය එන්නේ ඒ ප‍්‍රමාණයෙන් වුණාට මුහුණ දෙන්නේ එයට සරිලන ආකාරයෙන් නොවෙයි. ඒක තමයි අපිට වෙලා තියෙන ලොකුම වැරැද්ද.
ප‍්‍රශ්නය - ඔබ කාටද මේ චෝදනා කරන්නේ?
පිළිතුර - විදේශ අමාත්‍යංශයේ සමහර නිලධාරීන් සේවය කරන්නේ ඇත්තටම ලංකා ආණ්ඩුවට නොවෙයි. ඒ අය යුරෝපය තමයි ලෝකයේ එකම පරමාදර්ශය කියලා හිතාගෙන ඉන්න පිරිසක් ඔය පුටුවල ඉන්නවා. ඒ අය මහින්ද චින්තනය දන්න අය නොවෙයි. ඒ අයට මහින්ද චින්තනය ඕනෙත් නෑ. එතැන වැඩි පිරිසකට තියෙන්නේ ඔබාමා චින්තනය, ඔබාමා චින්තනයට අනුව ප‍්‍රශ්න දිහා බලන පිරිසක් තියාගෙන අපි යනවා මහින්ද චින්තනය ක‍්‍රියාත්මක කරන්න.
ප‍්‍රශ්නය - ඔය චෝදනාව විදේශ ඇමැතිවරයාටත් වලංගුයි?
පිළිතුර - මම මේ කියන්නේ විදේශ ඇමතිතුමා ගැන නොවෙයි. එතුමා අහිංසකයි. එතුමා මහාචාර්යවරයෙක්. එතුමා විද්වතෙක්. ඇත්තටම එහෙම කෙනෙකුට පාලනය කරගන්න බැරි විදියෙ අහිතකර වාතාවරණයක් විදේශ අමාත්‍යංශය ඇතුළේ තියෙන්නේ. දේශමාමකව හිතන පිරිස්වලට එතැන ඉඩක් නෑ. සම්පූර්ණයෙන්ම එතැන අත්පත් කරගෙන ඉන්නේ ඔබාමා චින්තනය සහිත කණ්ඩායමක්. ඒ කණ්ඩායමට අයිති විදේශ ප‍්‍රතිපත්තිය මහින්ද චින්තනයට ගැලපෙන ප‍්‍රතිපත්තියක් නොවෙයි. රජයේ නියෝජිතයෙක් ඒ ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි නොකිරීමත් හිතාමතා කළා වෙන්න පුළුවන්.
ප‍්‍රශ්නය - අවසානයේදී මේ සමස්ත වගකීම බාරගන්න ඕනෑ කවුද?
පිළිතුර - ජනාධිපතිතුමා රජයේ නායකයා හැටියට මේකේ වගකීම ගන්න ඕනෑ. අපි වගකීම දුන්නත් නැතත් හැම වගකීමක්ම බාරගන්න වෙන්නේ එතුමාට තමයි. අපි රටක් හැටියට ගමනක් යනකොට අපි කාටත් පැවරිච්ච වගකීමක් තියෙනවා. අපි ඒ වගකීම් හරියට ඉටු කරන්න ඕනෑ. ඒක හරියට ඉටු කරන තැන්වල ප‍්‍රශ්න මතුවෙන්නේ නෑ. අනිත් තැන්වල මේ විදියෙ පරස්පර හැසිරීම් පෙන්නුම් කරනවා.
ප‍්‍රශ්නය - කොහොම වුණත් නවනීදන් පිල්ලේ මහත්මිය මේ වනවිටත් නොයෙක් දේවල් කියලා තියෙනවා?
පිළිතුර - මේ වසර අවසානයේ ඇය දෙන ලිඛිත වාර්තාවෙන් ඇය තව ඉදිරි පියවරක් තියනවා. ඒක ජාත්‍යන්තර පරීක්‍ෂණයක් කරා යන ඉදිරි පියවරක්. ඇත්තටම ගත්තොත් ඇය ආවේ යුද අපරාධ ගැන හොයන්නනේ. නොකළේත් ඒකමනේ. මාධ්‍ය වාර්තාවලට අනුව මම නම් දැක්කේ නෑ එතුමිය ඔය සමූහ ඝාතන වුණා කියලා කියන තැන්වලට යනවා. යුද්දෙ අවසන් දවස්වල මහා පරිමාණයෙන් ඝාතන වුණා කියලා සාක්‍ෂි එහෙම හෙව්වේ නැහැනේ. ඒ වගේ දේවල්වලට එහෙම සංවේදි වුණ බවක් පෙන්නුවේ නෑ. මාධ්‍ය වාර්තාවලට අනුව නම් බෞද්ධ කොඩිය ඇයි අතන තියෙන්නේ. ඞී.එස්. සේනානායක ප‍්‍රතිමාව ඇයි එතැන තියෙන්නේ. ඔන්න ඕවා හොයන්න තමයි එතුමිය මෙහෙම ඇවිත් තියෙන්නේ. ඊට අමතරව රතුපස්වල ගැනත් කිඹුල් කඳුළු හෙළලා තිබුණා. ආවේ යුද අපරාධ ගැන හොයන්න. ඇවිත් කළේ මොකක්ද? මුළු සමාජයේම ප‍්‍රශ්න හොයන්න ආපු බවක්නේ පෙන්නුවේ.
ප‍්‍රශ්නය - එතුමියගේ ඉලක්කය මොකක්ද?
පිළිතුර - එකම ඉලක්කය අන්තර්ජාතික පරීක්‍ෂණයක් කරා ජාත්‍යන්තර ප‍්‍රජාව එකඟ කර කැඳවාගෙන යාම. ඒකම තමයි මේ පියවරෙන් පියවර යන්නේ. මේ පාර ඉදිරිපත් කරන වාර්තාවෙන් ඒකට ඉදිරි පියවරක් තියනවා. දැන් එතුමියම කියනවා එතුමිය සමඟ කතා කළ අයට තර්ජන එනවානම්, කියලා. එනවානම් කියලනේ කියන්නේ. එහෙම කියන්නෙම පූර්ව උපකල්පනයක් තියෙන අයනේ. ආවොත් නේ බලන්න ඕනෑ. එහෙම තර්ජනයක් එන්නේ නැතිවත් ඇයි එහෙම කියන්නෙ. ඒකෙන්ම පේනවා රටට ගහන්නයි ඕනේ.
ප‍්‍රශ්නය - මේ අභියෝගයට මුහුණදීමේදී බජාර් පන්නයෙන් පුළුවන් ද? ආර්ථික සම්බාධක පැනවීම දක්වා මෙය වර්ධනය වීමේ අනතුර ඔබ දකිනවද?
පිළිතුර - අර්ථික සම්බාධක පැනවීම කෙසේ වෙතත් මේ අයගේ අවශ්‍යතාව තියෙන්නේ ශ්‍රී ලංකාව යළි අස්ථාවර කිරීමයි. ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? ඒක කරයි. විරුද්ධ පක්‍ෂවලට දෙන්න ඕනෑ සහයෝගය දෙයි. ජලයේ පී.එච්. අගය හොය හොය හරි සටන් නිර්මාණය කරයි. මොන මොන විදියකින් හරි රට අස්ථාවර කිරීමේ දිශාවට මේක අරගෙන යයි. ඒකේ සාර්ථක බවට අනුව තමයි අන්තර්ජාතික පරීක්‍ෂණය එන්නේ. මේ ලංකාවේ තියෙනවා නම් මහින්ද රාජපක්‍ෂ පාලනය පෙරළා දැමීමේ රැල්ලක්, ඒක කෘති‍්‍රමව හරි හදන්න පුළුවන් වුණොත් ඒ රැල්ලට සමගාමීව තමයි අන්තර්ජාතික පරීක්‍ෂණය එන්නේ. ඒක හරියට පේ‍්‍රමදාස ජනාධිපතිවරයා මහජන විරෝධයට ලක්වෙලා හිටපු වෙලාවක එල්.ටී.ටී.ඊ. යෙන් ඝාතනය කළාම එල්.ටී.ටී.ඊ. ය කොච්චර ජාතියේ හතුරෙක් වුණත් සමහරු සතුටු වුණානේ. එල්.ටී.ටී.ඊ. ය පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ඝාතනය කරන්න යොදා ගත්තෙත් ඒ වෙලාවනේ. දකුණට ඔහු එපා වෙච්ච වෙලාව තමයි තෝරා ගත්තේ. එල්.ටී.ටී.ඊ. ය විදියටම තමයි අන්තර්ජාතික ප‍්‍රජාවත් තමන්ගේ තුරුම්පු අදින්නේ. ඔවුන් බලනවා මුලින් රාජපක්‍ෂ පාලනය අපකීර්තියට පත් කරන්න. ගැටුම්වලට අවතීර්ණ කරවන්න. ජන විරෝධය ඒ හරහා අවුළුවන්න. ඒක එක්තරා වර්ධිත මට්ටමකට එනවානම්, ඔවුන්ගේ සැලැස්ම ඇති වසර කීයකින්ද කියලා අන්න ඒ වෙලාවේ තමයි අන්තර්ජාතික පරීක්‍ෂණය එන්නේ. එතකොට ඔවුන් බලාපොරොත්තු වෙනවා මහජනයාගේ අනුමැතිය ඒකට ලැබෙයි කියලා. මේ ප‍්‍රශ්නය එයට හිමි බරින් අරගෙන නොවෙයි ආණ්ඩුව මේකට මුහුණ දෙන්නේ. ඒක තමයි මෙතැන තියෙන ප‍්‍රශ්නය.
ප‍්‍රශ්නය - පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ජාතික හෙළ උරුමය නැගිටලා ගියා ඇයි ඔබ තවමත් ඉන්නේ?
පිළිතුර - තේරීම් කාරක සභාවට විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයට රජය ඉදිරිපත් කරපු යෝජනා තිබුණා. අපිත් මේ කරුණු ඉදිරිපත් කළා. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයන්ගෙනුත් සහාය ලැබුණා. මුලින් ඒ ටික කතා කළා. ඒකට මාර්ග සිතියමකුත් හැදුවා. ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ ආරාධනයෙන් මම චම්පික රණවක ඇමැතිතුමා, දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා අපි හමු වුණා. එදා මම තමයි යෝජනා කළේ මුලින් මේ යෝජනා සාකච්ඡාවට ගන්න අපි බලපෑමක් ඇති කරන්න ඕනෑ. ඒ ටික අරගෙන අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ක‍්‍රමයකට මේක යොමු කරන්න ඕනෑ. මම තමයි ඒක යෝජනා කළේ. එතැනදි ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් ප‍්‍රකාශ කළේ ගන්න තීරණයක් පක්‍ෂ තුනට එකට ගන්න කියලා. ඔය අවසන් කාරක සභාවට කලින් අවස්ථාවක චම්පික රණවක ඇමතිතුමා ඔය අතුරු වාර්තාව පිළිබඳ අදහස් ඉදිරිපත් කළා.
ප‍්‍රශ්නය - ඔබ එතැනදි විරුද්ධ වුණා ද?
පිළිතුර - මම උත්සාහ කළේ අතුරු වාර්තාව පිළිබඳ අදහස එතැනට ගන්න එක වළක්වන්නයි. මොකද මුලින් අර යෝජනා කතා කරලා එකඟතාවකට ආවොත්නේ අතුරු වාර්තාවක් දීගන්න පුළුවන් වෙන්නේ. මම හිටියේ අතුරු වාර්තා කතාව මෙතැනට දැන්ම කිව්වොත් විරුද්ධ අය කලබල වෙනවා. ඒක බාධාවක් කියන ස්ථාවරයේ. ඉතින් එහෙම තිබියදී ඔය අවසන් කමිටුවට මට යන්න බැරි වුණා. මැතිවරණ ව්‍යාපාරයේ හිටපු නිසා එතැනදී තමයි ජාතික හෙළ උරුමය තීරණය කරලා තියෙන්නේ ඉවත් වෙන්න. අපේ පක්‍ෂයේ ස්ථාවරයනම් ඉවත් වෙනවානම් අපේ පක්‍ෂ තුනම සාකච්ඡා කරලා තමයි ඒක සිදුවිය යුත්තේ කියලා. ඒ වගේම ඉවත් වෙනවානම් අර යෝජනා ගැන අතුරු වාර්තාවක් ඉදිරිපත් කරන්න ඉඩක් නෑ කියලා අපටම සනාථ විය යුතුයි. නමුත් එහෙම ඉඩක් ඉතිරි වෙලා නෑ කියලා අපි හිතන්නේ නෑ. ඒ නිසා තිබෙන කුඩා හෝ ඉඩකඩ ඇතුළේ අපේ අරමුණ ඉටු කරගන්න මැදිහත් වෙනවා. ඒ නිසා අපි ගැනම එහෙම ඉවත්වීමේ තීරණයක නෑ.
ප‍්‍රශ්නය - දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශය ගැනත් රටේ ලොකු ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා?
පිළිතුර - මේක තමයි අපි කිව්වේ. උතුරු පළාත් සභා මැතිවරණය මේ බලතලත් එක්ක තිබ්බම ගැටුම එන්නේ එතැනින්. අප ඒ අය ජාතික කොඩියට සිංහයා වෙනුවට දිවියා දාන්න ඕනෑ කියලා කියනවා. පූර්ණ ස්වයං පාලනයක් ඉල්ලනවා. ස්වයංපාලනයක් කියන්නේ මධ්‍යම රජයත් එක්ක නූලකින් ගැට ගැහෙන පැනයක්. ඒක ඉල්ලනවා. උතුරු පළාත් සභාව ඒ අය දිනුවොත් ඒකට මහජනයා සම්බන්ධ වුණු සටනකුත් ඒ අය පටන් ගන්නවා. මේ මැතිවරණ ප‍්‍රකාශනයට තමයි ජනවරම ලැබුණේ කියලා අන්තර්ජාතිකව ඒත්තු ගන්වනවා. නැගෙනහිර පළාතත් ඒ රැල්ලට අල්ලා ගන්නවා. ඊළඟ මහ මැතිවරණය එනකොට ඒ අය හිතනවා දකුණේ සිහංල සමාජයේ ආණ්ඩුවට තියෙන කැමැත්ත අඩුවෙයි කියලා. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කියලා හාමුදුරුනමක් ඉදිරිපත් වුණොත් සිංහල ඡන්ද තව ටිකක් කැඩෙයි. ඒ අය හිතන්නේ එහෙමයි සිංහල මුස්ලිම් ගැටුමක් හදලා මුස්ලිම් ඡුන්දත් ආණ්ඩු විරෝධී වෙයි. බෞද්ධ, කතෝලික ගැටුමක් හැදුවොත් සිංහල කතෝලික ඡුන්දත් ආණ්ඩුවට අහිමි වෙයි. එහෙම කරලා බොහොම අමාරුවෙන් යංතං සන්තං ආණ්ඩුවක් පත්කර ගනී. ඒ ආණ්ඩුව ටී.එන්.ඒ. එකේ ප‍්‍රාණ ඇපයට අරගෙන ඒ ආණ්ඩුව නටවලා අර ස්වයං පාලනය සඳහා වූ ගමන නව වටයකින් ආරම්භ කරයි. ඒක තමයි මේ කරන්න හදන්නේ. මේ අනතුර කල් ඇතුවම කිව්වා. මේක මුලදී හරියට කළානම් නියපොත්තෙන් මේක කඩන්න තිබුණා. නමුත් දැන් තියෙන්නේ පොරොවෙන් කපන තැනකයි. මේකත් ඉතින් ආයිත් පොරොවෙන්ම කපමු.
සාකච්ඡා කළේ - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ දැක්ම ඇති විශිෂ්ටයි. (දී)
අපේ දරු පැටියා මේ ප්‍රවෘත්තිය බලා මට එස්.එම්.එස්. එකක් ගහලා අහනවා තාත්තේ, ඒ අන්කල් ඒ දවස් ටිකේ හැන්ගිලාද හිටියේ කියලා? මම කිවුවා මම දන්නේ නැහැ පුතේ කියලා. ටික වෙලාවකින් තව එස්.එම් එස් .එකක් ආවා තාත්තේ එහෙම වෙන්න ඇති මම දන්නවා තැන කියලා. මම ගැහුවා කොහෙද කියලා. එයා එවනවා අර මාමලාගේ ගෙදර කියලා. මෙය සත්‍ය සිදුවීමක් (නි)
පිල්ලේ නෝනට සිංහල කතාකරන්න බැහැනේ. ඉතින් කොහොමද සාක්ච්ඡාවට යන්නේ.(නදී)
සිංහලෙන් කතාකරන පිල්ලේ එනකන් තව ටිකක් ඉමු සහෝදරයා.(නදී)
විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ලංගමයට උන දෙයම වෙන දවස ඈතක නැහැ. දේශපාලන බලය මත තිබෙනවාටත් වඩා තනතුරු ඇතිකර නුසුදුස්සන් පත් කර රට සවාරි, රට රැකියා ලබා දෙන ගුහාවක් කරලා. එහෙම ආවත් රටට වැඩක් කරන්න උනන්දු අය නැහැ. මේ අය හොයන්නේ තමන්ට විරුද්ධ දේවල් තියනවාද කියලා විතරයි. ටිකක් හොයලා බැලුවොත් විදේශ කටයුතු ඇමැතිතුමාට තේරෙයි. ඒත් හොයන්නේ නැති එකනේ ප්‍රශ්ණය. (නදී)
ඔබගේ කයිවාරුව ඉවරයි, ඔයා කතා කරන්නේ බෙදුම්වාදය ත්‍රස්තවාදය පමණි. (ස)
මෙතුමා ඔය කතා කියන්නේ කොහොමද කියලා හිතාගන්න බැහැ.මෙයාගේ පරණ පක්ෂයේ මොන ප්‍රශ්න තිබුනත් කොහොම හරි ගොඩදාගෙන රැදිලා හිටියා නම් මිනිස්සුන්ගේ ලොකු කැමැත්තක් තිබුණා. (නි)
විදේශ කටයුතු අමාත්‍යාංශය හරිම හොදයි. අනේ අපිටත් ඒ වාසනාව නැද්ද? (නි)
මට ලජ්ජත් හිතුනා ඒ අහපු ප්‍රශ්නයට (දී)
තිලක් මට නම් අපි ගැන දුකයි...මන්ත්‍රී හොදයි ..ඇමති හොදාආආආයි........ (නි)
මේ අය දන්නේ සිංහල පමණයි. දෙමලවත් දන්නවනම් පිල්ලේ නෝනත් එක්ක කතා කොරන්න තිබුනා. ඒකනේ පිටරට සවාරි ගහන්න කැමති නැත්තේ.(නදී)
කටින් බතල කොළ විතරයි. කයිවාරුව තිබුනට වැඩ නැහැ. අනාගතය හිස් . සිය දිවි හානි කර ගත්ත වගේ. (දී)
පළාත් සභා මැතිවරණයේදී වයඹ සහ මධ්‍යම පළාත්වල දිස්ත්‍රික් 05 ක් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වූ ' ජාතික නිදහස් පෙරමුණේ' අපේක්ෂකයින් 05 දෙනාම පරාජයට පත්වී තිබෙනවාලු නේද? (නි)
වීරවංශ ඇමති තුමා ආවට ගියාට යමි ප්‍රකෂණයක් කරන්නේ නෑ. එතුමා දූරදර්ශීව බෙහෝ දේ කල් ඇතිව රටට හෙලි කරණ අයෙක්. පාර්ලිමේන්තුවේ, රාජ්‍ය ආයතනවල කාර්‍යන් හරිහැටි නොකරණ , රජයේ ප්‍රතිපත්තියට පටහැනිව වැඩ කරණ අය ඉන්නවා නම් එම ආයතනෙය් ප්‍රධානියා සිදවන හැම දෙයකටම වගකිව යුතුයි. රටට ආදරය නොකර කටයුතු කරණ අය ගැන පිය වර වහාම ගතයුතුයි. පුටුව රත්කර කර ඉදලා හරියන්නේ නෑ. වෙන කිසිවකු මේවා ගැන කථා නොකරයි. පඩිය වෙලාවට අරගෙන රටට හෙන ගහලා ගියත් කමක් නෑ කියලා වැඩ කරණ අයට සාපයක්ම වේවා!. සම හරක් පාඨකයින් කර ඇති විවේචන කිසිම පදනමක් නෑ. මේ රටට ආදරය කරණ අය පමණක් මෙතුමාගේ අදහස් තේරුම් ගනීවි.(නදී)
මට රතු මල්ලි ගැන දුකයි. (නි)
අපිට දේශප්‍රේමය ගැන කියා දෙන මෙයාගේ දරුවන් කොයි රටේද ඉගෙන ගන්නේ කියල කියන්නකෝ.(අ)
මිනිසුනේ, මොලයක් තියෙන්නේ හිතන්න. (නි)
සදුනි, ඔබේ දැක්ම අති විශිෂ්ටයි. (නි)
මෙයාගේ කතා වලට හුරේ දාන අය තවමත් ඉන්නවද අප්පා? (නි)
රටේ අසරණ මිනිසුන්ගේ මොළ හෝදනවට මෙයාට හොදට ගෙවනවා.නැතිනම් සෙරෙප්පු දෙකක් නැතිව හිටිය රතු මල්ලි කෝටි ප්‍රකෝටි පතියෙක් වුනේ කොහොමද?කවද හෝ දවසක ජනතා අදිකරණය තීන්දු කරාවි දෙන දඩුවම මොකක්ද කියල.(අ)
දයා, ඔබ තමා හරි අදහස පළ කළේ,නියමයි (නි)
මොනවා වුණත් කයිවාරු ගහන අයට වැඩිය රටට වැඩක් කරලා තියෙනවා. (නි)
මෙතුමාගේ කතා ශෛලිය වැදගත් වන්නේ බත් පැකට් වලටයි බෝතල් වලටයි චන්දෙ දෙන මෝඩ අයගේ මොලේ පෑදෙන්න.එක එතුමාගේ හැකියාව.මෙතුමාට ඉගන ගන්න දුන්නේ නැනේ ඉතින් ටයර් සෑ උඩ තරුණයෝ දහස් ගණන් ම්ලේච්ච ලෙස ගුවන් ගත කරද්දී ?. (අ)
දිනක් කැපුවත් කොළ කියන පාක්ෂිකයෙක් මට කීව බජිරි බත් හරිම රසයිලු.මම ඇහුව කාල තියේද ?.කාලත් නැතිලු ?. (අ)
එයාගේ දර්ශනය ගැන මිනිස්සුන්ගේ කැමැත්ත පළාත් සභා ඡන්දෙදි මිනිස්සු පෙන්නුවේ එයාගේ පක්ෂේ අපේක්ෂකයන්ට නියම උත්තරයක් දීලා (නි)
මෙයාගෙ ඉංග්‍රීසි දැනුම අන්තිමයි,එය ජාත්‍යන්තර මට්ටමට යාමට ලොකු බාධාවක්. (ස)
අදහස් ටිකනම් හොදයි. ඔය කියන දේවල් ඒ විදියටම කරනවානම් හොදටම හොදයි.(දී)
නියමයිනේ... (නි)
අපිට නම් අරගොල්ලො ගැන ඇති වෙන්නෙ ලොකු අනුකම්පාවක්.!!! (නි)
මෙතුමා කියන අධිරාජ්‍යවාදී බලවේග කියන ඒවා හෑල්ලුවට ලක් කරන්න එපා. ජිනීවා පැත්තෙන් ඇහෙන කතා පේනවා නේද? දැන් දැන් ශ්‍රී ලංකාවේ දේශපාලනය කරන්න හොඳ කථිකත්වයක් තියෙන්න ඕන ඒකට සිංහල /දෙමළ භාෂා දෙක හොඳටම ඇති. චීනය, ජපානය, අරාබිය කටයුතු කරන්නෙ ඔවුන්ගේ භාෂාවෙන් මිසක් ඉංග්‍රීසියෙන් නෙවෙයි. (ස)
ඔයා හැංගුන තැනට ටිකක් එහායින්.... (ස)
පිල්ලේ අපු වෙලාවේ හැංඟෙන්නේ නැතුව කතාකරන්නේ කොහොමද? අනෙක් පාර එනකොට එයාට සිංහල ඉගෙනගෙන එන්න කියමු (නි)
ඒ වැඩ මෙයාගේ නැතත් මිනිස්සු මෙයත් සිල්වා ගානටම දාලා නේද? (ස)