IMG-LOGO

පෙම් දැලේ පැටලී ගෙදර ගිය ලෝක නායකයෝ

අනියම් ඇසුරු හෝ පෞද්ගලික සබඳතා හේතු නිසා හෝ අමාරුවේ වැටුණු දේශපාලනඥයන් ගැන ලෝකයේ දේශපාලන ඉතිහාසය පුරා අසන්නට ලැබේ. එම හුටපට, ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට මරු පහරක් එල්ල කළ අතර, ඇතම් විට ඔවුන්ට ඔවුන්ගේ ධුරවලින් හෝ තනතුරුවලින් ඉවත් වීමට පවා හේතු විය.

එසේම දේශපාලන ජීවිතය ද අහිමි කිරීමට හේතුවක් විය. ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අනියම් ඇසුරු හෝ පෞද්ගලික සබඳතා හුදු පෞද්ගලික කාරණා ලෙස නොසැලකෙයි. මහජන විශ්වාසය කඩවීම, සදාචාරාත්මක ගැටලු‍, සහ මාධ්‍ය අවධානය හේතුවෙන් එම හුටපට දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වූ අවස්ථා නැත්තේ ද නොවෙයි.

දේශපාලනඥයකුගේ පෞද්ගලික ජීවිතය, විශේෂයෙන්ම අනියම් සම්බන්ධතා නිරන්තරයෙන්, මහජනතාවගේ සහ මාධ්‍යයේ දැඩි අවධානයට ලක් වෙයි. රහසිගතව පවත්වාගෙන යන එවැනි සබඳතා හෙළිදරව් වූ විට, එය එම දේශපාලනඥයාගේ චරිතය පිළිබඳව ප්‍රශ්න මතු කරයි. මහජන මුදලින් යැපෙන, රටේ නීතිය හා සදාචාරය ආරක්ෂා කිරීමට දිවුරුම් දී ඇති අයකු ලෙස, ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ අඩුපාඩු සමස්ත දේශපාලන පද්ධතිය කෙරෙහිම මහජන විශ්වාසය බිඳ දැමීමට හේතු වෙයි. මෙය, මඩ ගසමින් ප්‍රහාර එල්ල කිරීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට හොඳ අවස්ථාවකි. ඇතැම් විට ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් විය හැකි තත්ව ද නිර්මාණය  වෙයි.

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයකු වන, බිල් ක්ලින්ටන් සම්බන්ධ සිදුවීම මීට හොඳ උදාහරණයකි. 1990 දශකය අගභාගයේදී, ධවල මන්දිර අභ්‍යාසලාභිනියක ලෙස කටයුතු කරමින් සිටි මොනිකා ලෙවින්ස්කි සමග ජනපති බිල් ක්ලින්ටන් අනියම් සම්බන්ධයක් පැවැත්වූ බවට චෝදනා එල්ල විය. ක්ලින්ටන් මුලින් එය ප්‍රතික්ෂේප කළ ද, පසුව සත්‍යය හෙළිවීමත් සමග ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගොනු කෙරිණි. ඔහුට ජනාධිපති ධුරය අහිමි නොවූව ද, ඔහුගේ කීර්තිනාමයට හානි වී, දීර්ඝකාලීන දේශපාලන අර්බුදයකට මුහුණ දීමට සිදු විය. මෙම සිදුවීමෙන් පෙන්නුම් කළේ, ලෝකයේ බලවත්ම නායකයකුට පවා පෞද්ගලික සම්බන්ධතා නිසා ඇති වන බලපෑමය.

ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලු‍ස්කෝනිගේ සිදුවීම ද මෙවැනිම තත්වයකි. බර්ලු‍ස්කෝනිට එරෙහිව එල්ල වූ බුංගා බුංගා නම් සාද සහ තරුණ කාන්තාවන් සමග පැවති සම්බන්ධතා පිළිබඳ චෝදනා, ඔහුගේ දේශපාලන ප්‍රතිරූපයට දැඩි ලෙස හානි කළේය. රුබිගේ නඩුව වැනි සිදුවීම් හරහා බාලවයස්කාරියක සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම සහ බලය අනිසි ලෙස භාවිත කිරීම වැනි චෝදනා බර්ලු‍ස්කෝනිට එල්ල විය. මෙම අපකීර්තිමත් සිදුවීම්, ආර්ථික අර්බුදයක් සමග එක්වී, අවසානයේ ඔහුට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට බලපෑම් එල්ල වීමට හේතු විය.

බ්‍රිතාන්‍යයේ දේශපාලනඥයන් කිහිප දෙනකුට ද අනියම් ඇසුරු නිසා ධුරය අහිමි වී තිබේ. 1963 වසරේ දී ප්‍රොෆියුමෝ සිද්ධිය ඒ අතරින් කැපී පෙනෙයි. එවකට යුද ලේකම්වරයා (යුද කටයුතු සම්බන්ධ අමාත්‍යවරයා) ලෙස කටයුතු කළ ජෝන් ප්‍රොෆියුමෝ, ක්‍රිස්ටින් කීලර් නම් නිරූපිකාවක සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ බව අනාවරණය විය. කීලර්ට, සෝවියට් නාවික නිලධාරියකු සමග ද සම්බන්ධයක් තිබූ බැවින්, මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකනු ලැබීය. ප්‍රොෆියුමෝට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය.

2021 වසර යනු කොවිඩ් 19 වසංගතය අපේ ඔළු අවුල් කළ කාලයයි. අපේ දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ කළ කාලයයි. බ්‍රිතාන්‍යය ‘කොවිඩ් 19’ වසංගතයෙන් බැටකන යුරෝපා රාජ්‍යයකි. ඒ වන විට එන්නත්කරණ කටයුතු වේගයෙන් සිදුවුවත්, වයිරස ව්‍යාප්තිය අපේක්ෂා කරන ආකාරයට අඩුවක් දකින්න නොලැබුණි. සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක විය. මුහුණු ආවරණ පැලඳීම, පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම අනිවාර්ය විය. සෞඛ්‍ය අංශ ලබා දෙන මාර්ගෝපදේශ පිළිපදින්නැයි දිගින් දිගටම ඉල්ලා සිටියේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් එසේත් නැතිනම් එරට සෞඛ්‍ය ඇමැති 42 හැවිරිදි මැට් හැන්කොක් ය. මැට් හැන්කොක්, රාජකාරි වේලාවේ, සිප වැලඳ ගත්තේ, සෞඛ්‍ය අමත්‍යාංශයේ විධායක නොවන උපදේශිකාවක ලෙස ද රාජකාරි කරන ජීනා කොලඩැන්ගෙලෝ ය. මැට් සහ ජීනා වසර ගණනාවක් තිස්සේ මිතුරන් බව ද පැවැසිණි. ඔවුන්ගේ පවුල්වල අය අතරේ ද ඇත්තේ සමීප හිතවත්කමකි. කෙසේ නමුත්, මැට් සහ ජීනා මුහුණු ආවරණ පැලඳීම, පුද්ගල දුරස්ථභාවය පැත්තකට දමා හැඟීම්වලට වහල් වී සෞඛ්‍ය අමත්‍යාංශය තුළ සිප වැලඳ ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සහ ඡායාරූප මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් විය. මැට් හැන්කොක්ට කටඋත්තර නැතිවිය. ඔහු වහාම ධුරයෙන් ඉවත් විය. හාදුවක් නිසා ධුරය අහිමි වුණු බ්‍රිතාන්‍ය ඇමැතිවරයා යැයි මැට් හැන්කොක් සම්බන්ධයෙන් දෙස් විදෙස් පුවත් පළ විය.

ඩේවිඩ් මෙලර් බ්‍රිතාන්‍යයේ ජාතික උරුම පිළිබඳ ලේකම් එසේත් නැතිනම් ජාතික උරුම පිළිබඳ ඇමැතිවරයාය. 1992 දී ඩේවිඩ් මෙලර්, ඇන්ටෝනියා ඩි සැන්චා නම් නිළියක සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ බව හෙළි විය. ජනතා අප්‍රසාදය එල්ල වෙද්දී, ඩේවිඩ් මෙලර් ධුරයෙන් ඉවත් විය. සෙසිල් පාකින්සන් බ්‍රිතාන්‍යයේ වෙළෙඳ හා කර්මාන්ත ලේකම් ලෙස කටයුතු කළේය. 1983 දී, සෙසිල් පාකින්සන්, ඔහුගේ හිටපු ලේකම්වරිය වූ සාරා කීස් සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ බවත්, එම සම්බන්ධයෙන් සාරාට දරුවකු ලැබීමට සිටින බවත් හෙළි විය. පාකින්සන්ට අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට සිදුවුණු අතර, මෙම සිදුවීම සෙසිල් පාකින්සන්ගේ දේශපාලන ජීවිතය අවුල් කළේය.

එලියට් ස්පිට්සර් නිව්යෝක් නුවර ආණ්ඩුකාරවරයාය. 2008 දී, එවකට ඔහුට නිව්යෝර්ක් නගරයේ ගණිකා ව්‍යාපාරයක් සමග සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණි. ඔහුට මෙම චෝදනා එල්ල වූයේ එම ව්‍යාපාරයට සම්බන්ධ වූ කාන්තාවන් හරහා වීම විශේෂත්වයකි. ඉන් ලැබූ අපකීර්තියෙන් පසු ඔහුට ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ආගන්තුක නැත. අයි.එම්.එෆ්. යන වදන අපේ කන්වල නිතර දෝංකාර දෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප්‍රධානියා ඩොමිනික් ස්ට්‍රෝස්-කාන් 2011 වසරේ දී ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී හෝටල සේවිකාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල විය. එම සේවිකාව නෆිසාතු ඩයල්ලෝ ය. එම චෝදනා ඔප්පු කිරීමට ඇයට හැකිවිය. ඒ අනුව, ලෝකයේ වැදගත්ම තනතුරක් ලෙස සැලකෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියාට එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. ඩොමිනික් ස්ට්‍රෝස්-කාන් ප්‍රංශ ජාතිකයෙකි. ඔහු ප්‍රංශ ජනාධිපති ධුරයට මීළඟට සුදුස්සා ඔහු යැයි බොහෝ දෙනාගේ බලාපොරොත්තුවක් තිබුණි. මෙම සිදුවීමත් සමග ප්‍රංශ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තිබූ බලාපොරොත්තු බිඳ වැටුණි.

කාන්තාවන් නිසා සහ කාන්තාවන්ගේ බලපෑම නිසා රාජකීයත්වය අහිමිවූ රජවරු ද වෙති. තෙවැනි පීටර්, රුසියාවේ අධිරාජ්‍යයා ලෙස 1762 දී ඉතා කෙටි කාලයක් රට පාලනය කළේය. ඔහු අතාර්කික හා ස්ථාවර නොවන පාලකයකු ලෙස සැලකෙන අතර, ඔහුගේ ක්‍රියා කලාපය රුසියානු වංශවතුන් අතර අප්‍රසාදයට හේතු විය. පීටර්ගේ බිරිඳ වූ දෙවන කැතරින් අධිරාජිනිය, තම සැමියාගේ අස්ථායී පාලනය සහ ජනප්‍රිය නොවන ප්‍රතිපත්ති හේතුවෙන් ඇති වූ අතෘප්තිය ප්‍රයෝජනයට ගත්තාය. ඇය, හමුදාවේ සහ වංශවතුන්ගේ සහයෝගය ඇතිව, කුමන්ත්‍රණය කරමින් තෙවැනි පීටර් බලයෙන් පහ කළාය. ඉන් පසුව ඇය රුසියාවේ කැතරින් අධිරාජිනිය බවට පත් වී, වසර 34 ක් පුරා ඉතා සාර්ථකව පාලනය කළාය. මෙම සිදුවීම, කාන්තාවක් සෘජුවම රාජ්‍ය නායකයකු බලයෙන් පහ කළ ප්‍රධානම ඓතිහාසික සිදුවීමක් ලෙස සැලකෙයි.

එංගලන්තයේ දෙවැනි එඩ්වඩ් රජු 1307 සිට 1327 දක්වා රට පාලනය කළේය. ඔහු දුර්වල පාලකයකු ලෙසත්, ප්‍රියතමයන්ට අධික ලෙස බලය පැවරූ අයකු ලෙසත් ප්‍රකටය. ඉසබෙලා රැජින දෙවැනි එඩ්වඩ් රජුගේ බිරිඳයි. ඇය ප්‍රංශ ජාතික කාන්තාවකි. රජුගේ පාලනය සහ ඔහුගේ ප්‍රියතමයන් කෙරෙහි ඇය දැඩි අප්‍රසාදයකින් පසු වූවාය. ඉසබෙලා රැජින ඇගේ පෙම්වතා වූ රොජර් මෝටිමර් සමග එක්වී කුමන්ත්‍රණය කර එඩ්වඩ් රජුව බලයෙන් පහ කර සිරගත කළාය. සිරගතව සිටිද්දී දෙවැනි එඩ්වඩ් රජු  මරණයට පත් විය. මෙම සිදුවීම ද කාන්තාවකගේ සෘජු මැදිහත් වීමෙන් රජ කිරුළත් අහිමි වූ අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක් වෙයි.

නීරෝ, රෝමයේ අධිරාජ්‍යයා ලෙස කටයුතු කළේ  ක්‍රි.ව. 54 සිට 68 දක්වා කාලයේය. ඔහු කෲර පාලකයකු ලෙසත්, විචිත්‍රවත් ජීවිතයක් ගත කළ අයකු ලෙසත් ඉතිහාසයේ ප්‍රකටය. ඔටාවියා සහ පොපියා සැබීනා ඔහුගේ බිරියෝය. නීරෝගේ පළමු බිරිඳ ඔටාවියායි. එහෙත් නීරෝ ඇය දික්කසාද කර පොපියා සැබීනා සමග විවාහ විය. මෙම විවාහය සහ පොපියාගේ බලපෑම, නීරෝගේ පාලනයට සහ ඔහුගේ ප්‍රතිරූපයට විශාල හානියක් කළේය. නීරෝගේ පාලනයේ පරිහානියට ඔහුගේ පෞද්ගලික ජීවිතය සහ කාන්තා සබඳතා එක් හේතුවක් ලෙස සැලකෙයි. අවසානයේදී, නීරෝට වංශවතුන්ගේ සහ හමුදාවේ සහාය අහිමි විය. ඔහු දිවි නසා ගත්තේය.

(***ලු‍සිත ජයමාන්න)



අදහස් (1)

පෙම් දැලේ පැටලී ගෙදර ගිය ලෝක නායකයෝ

sam Thursday, 12 June 2025 02:38 AM

දේශපාලනය රාජ්‍ය පාලනය යනු බුද්ධිමත්ව ප්‍රවේශමෙන් කළයුතු රාජකාරියකි. අතීතයේ සිට කාන්තාවන් යොදවා නායකයින්ගේ පුද්ගලික තොරතුරු, රාජ්‍ය රහස් සහ රජයේ තොරතුරු ලබාගැනීමට උපක්‍රමශීලිව සිදුවේ. කාන්තාවන් නිසා තනතුරේ ගරුත්වයට හානිවීම, පුද්ගලයාගේ ආත්ම ගරුත්වයට හානිවීම, තනතුරු අහිමිවීම පමණක් නොව සමස්ත රටම අනතුරට පත්වීමද සිදුවිය හැකියි. වර්තමානයේ සමාජ මාධ්‍ය තුළින් පවා කාන්තාවන් යොදවා පුද්ගලයින් පිළිබඳ සොයා බැලීම් කළහැකි වේ. එවැනි තත්වයන් තුළදී අවස්ථාවලදී ප්‍රවේසම් විය යුතු අතර කාන්තාවන් සේ පිරිමින්ද, පිරිමින්සේ කාන්තාවන්ද ඔබ සමග සම්බන්ධ විය හැකිය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය සමග ගනුදෙනු කිරීමේදී පුද්ගලයා බුද්ධිමත්ව ක්‍රියා කළහොත් රැවටීමට ලක්වූවකු සේද කටයුතු කළහැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1441 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 530 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site