IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පුනරුදයේ දේශපාලන දඩයම

ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් භාරයට පත්විය. ඒ කියුබාවේ සහ ඇමරිකාවේ නිල සංචාරයක් අවසන් කර ආපසු එන ගමනේ දී මහා බ්‍රිතාන්‍යයේ නැවතී තම බිරිඳගේ උපාධි ප්‍රදානෝත්වයකට සහභාගීවීම හේතුවෙන් එදින වැය වූ මුදල් රාජ්‍ය මුදල් අවභාවිතයක් සේ සලකා අධිකරණයට චෝදනා ඉදිරිපත් කිරීම හේතුවෙනි.

එවැනි චෝදනාවක් නැගීම සඳහා රජය අනුගමනය කළ ක්‍රියාපිළිවෙත් පිළිබඳව මෙන්ම එක්තරා යූටියුබ් සමාජ මාධ්‍යවේදියකු විසින් එසේ සිදුවන බවට රනිල් වික්‍රමසිංහ මහතා උසාවියට ඉදිරිපත් කිරීමට ප්‍රථම ප්‍රකාශ කර සිටීම යන කරුණු විපක්ෂයේ සියලු‍ දෙනාගේ දෝෂදර්ශනයට හා විවේචනයට ලක්ව ඇත. විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ එකතු වී ඒ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විවිධාකාරයේ සාකච්ඡා පවත්වති. මෙම සිදුවීම හේතුවෙන් සමාජයේ සැලකිය යුතු පිරිසක් තුළ දැඩි කම්පනයක් ඇතිව තිබෙන බව ද පෙනේ.

එම නිසා රටේ සෑම තැනකම පාහේ සෙත් පැතීම් මෙන්ම පොල් ගැසීම් ද, කළු කොඩි ඔසවා විරෝධය ප්‍රකාශ කිරීම ද සිදුවන බව පෙනේ. මේ දිනවල මාධ්‍යවල ද ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ ද එයයි. කවුරු කුමක් ප්‍රකාශ කළ ද මෙම සිදුවීමේ ජයග්‍රහණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිමිව ඇත. තවත් දින කීපයකින් ඔහු ජනාධිපති ධුරයට පත්වී වසරක් සම්පූර්ණ වේ. එම වසර තුළ ඔහු සහ ජාතික ජනබලවේගය බලයට පත්වීමට පෙර වේදිකාවල දී සහ මැතිවරණ ප්‍රකාශනවලින් ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නැත. ඉතිහාසය තුළ මේ දක්වා බලයට පත්වූ සෑම රජයකම කාර්යභාරය නිරීක්ෂණය කළහොත් බලයට පත්වී වසරක් තුළ කිසිදු වැදගත් කාර්ය භාරයක් ඉටු කිරීමට නොහැකි වූ එකම රජය ලෙස මෙම රජය වාර්තාවලට එකතු වනු ඇත. එහෙත් ප්‍රශ්නයක් නැත. දැන් ඒ පිළිබඳව කිසිවකු කතා කරන්නේ නැත. සියලු‍ දෙනාගේ අවධානය රනිල් වික්‍රමසිංහ මහතා සිරගත කිරීම පිළිබඳවය.

සියලු‍ දෙනාටම තරාතිරම නොබලා සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුය යන්න මෙම සිදුවීම පිළිබඳව රජයේ පාර්ශ්වයෙන් දක්වන ප්‍රතිචාරවලින් ප්‍රකාශ වේ. ප්‍රශ්නය මුලින්ම පැන නැගුණේ සමාජ මාධ්‍යකරුවකු වන සුදත්ත තිලකසිරි නමැති පුද්ගලයා තම යූටියුබ් මාධ්‍ය අවකාශය හරහා රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කරන බවත්, ඔහු සති දෙකක් රිමාන්ඩ් ගත කරන බවත්, එම ප්‍රකාශය ලියා තබා ගන්නා ලෙසත්, එසේ නොවුණහොත් තම යූ ටියුබ් මාධ්‍ය අවකාශය වසා දමන බවත් සඳහන් කළේය. ඔහු විවිධ මැති ඇමැතිවරුන්ට දුරකතන මගින් අමතන ආකාරය ඔහුගේ නාලිකාව ඔස්සේ දැක ගැනීමට අවස්ථාව සලසා තිබේ. කුමන හේතුවක් නිසා ද යන්න ප්‍රකාශ වී නැතත් ඔහුට පොලිස් නිලධාරීන් දෙ‌දෙනකු ආරක්ෂකයන් ලෙස ලබා දී ඇති බව ද ප්‍රකාශ වේ.

රජය බලයට පත්වී ඉතා කෙටි කලකින් වසර 15කට පසු දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු කළේය. 2025 වසරේ මාර්තු 26 වැනිදා මල්වතු පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී නාහිමිපාණන් සහ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ගොඩගම මංගල නාහිමිපාණන් වහන්සේ එකතුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ දළදා දැක්ම වෙනුවෙන් මුදල් එකතු කිරීමට කිසිවකුට අවසර ලබා දී නැති බවත්, වංචාකාරීන් පිරිසක් මුදල් එකතු කරමින් සිටින බවත්, ඔවුන්ට නොරැවටෙන ලෙසත් ය. ඊට ආසන්න දිනයකදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදීන් , අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ සුදත්ත තිලකසිරි බැංකු ගිණුමකට මුදල් එවන ලෙස සමාජ මාධ්‍ය මගින් ඉල්ලා ඇති බවත්, මේ වනවිටත් රුපියල් හත් ලක්ෂයක පමණ මුදලක් එම ගිණුමට ලැබී ඇති බව සඳහන් වන බවත්ය. එසේ මුදල් රැස් කිරීමට කිසිවකුටත් අවසර දී නැති බැවින් ඒ පිළිබඳව රජය කුමන ක්‍රියා මාර්ගයක් ගන්නේදැයි ප්‍රශ්න කළහ. ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ඇමැතිවරයා පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළේය. එසේ වුව ද ඒ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවක් හෝ පරීක්ෂණයක් පැවැත්වූ බවක් හෝ මේ දක්වා ප්‍රකාශයට පත්වී නැත.

දළදා දැක්මට පැමිණෙන බැතිමතුන්ට වැසිකිළි පහසුකම් සැපයීම ආදියට යැයි පවසමින් මුදල් එකතු කළ බවට චෝදනා නැගෙන පුද්ගලයාට සැම දෙනාටම සමාන නීතිය’ ක්‍රියාත්මක වූවා ද යන ප්‍රශ්නය පැන නගී. එබඳු පුද්ගලයකු රනිල් වික්‍රමසිංහ මහතා නිත්‍ය වශයෙන්ම රිමාන්ඩ් භාරයට පත් කරන බව ප්‍රකාශ කිරීම තුළ රටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවන බවට ද, රජය එය පිටුපස සිටින බවට ද හැඟීමක් මහජනතාව තුළ ඇති කර තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම අවධාරණය කර සිටියේ එවැනි පුද්ගලයන්ගේ ප්‍රකාශ තුළ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව බරපතළ හානියක් සිදු කර ඇති බවය. ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළහ. එහෙත් ඔහු එළියේය. රනිල් ඇතුළේය. සුදා අගමැතිනියගේ කරට ද අත තබමින් ඇය හෑල්ලු‍වකට ලක් කර ඇත. ඔහු දැන් නැවතත් තවත් දේශපාලන නායකයන් ඇතුළට ගන්නා බව ප්‍රකාශ කරමින් සිටී. රජය සැමට එක සමානව නීතිය ක්‍රියාත්මක කරන්නේ එලෙසය.

රටේ දේශපාලන පක්ෂ නායකයන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවල දී ඇතැමුන් ප්‍රශ්න කළේ රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හමුවට පැමිණවීමේ දී අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳවය. ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට දන්වා, එසේ පැමිණීමෙන් පසු පැය හතරක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන පොලිස් අත්අඩංගුවට ගත්තේය. මේ පිළිබඳව මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා ප්‍රශ්න කළේ “බී” වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර අධිකරණයෙන් කැඳවීමක් කර, ඊළඟ පියවර ගනු ලැබුවේ නම් වඩා සුදුසු නොවේදැයි කියාය.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ජනාධිපති කාර්යාලයේ දූෂණ විරෝධී සහ විශේෂ විමර්ශන ඒකකයක් ආරම්භ කර ඇත. එයට පත් කර ඇත්තේ ඊට ඉහත යහපාලන රජය වකවානුවේ ආනන්ද විජේපාල ඇතුළු පිරිස සමග දූෂණ විරෝධී කටයුතු සම්බන්ධව රාජකාරී කළ කේ.එන්.එම්. කුමාරසිංහ මහතාය. රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ප්‍රශ්න ගත ගමන පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස නව රජය යටතේ ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර විගණනය සඳහා පත් කළ නිලධාරියකුට දන්වනු ලැබ ඇත්තේ ඔහු විසින් යැයි කියැවෙයි. මුදල් අවභාවිතයක් සිදුව ඇතැයි වාර්තා කරනු ලැබ ඇත්තේ ද එම නිලධාරියා විසින් යැයි කියැවේ. 2023 වසර සඳහා රජයේ විගණන දෙපාර්තමේන්තුව විගණන පරීක්ෂාවක් කර තිබේ. එහිදී මෙබඳු අක්‍රමිකතාවක් පිළිබඳව වාර්තා කර නැති අතර එම විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ද ඇතුළත් කර තිබේ.

මේ වනවිට රටේ සංවාදයක් ඇතිව තිබෙන්නේ ජනාධිපතිවරයාගේ වියදමට ඇතුළත් කළ යුත්තේ කුමන දේවල් ද යන්න පිළිබඳව ය. ජනාධිපතිවරයකුට රාජකාරි සහ පෞද්ගලික වශයෙන් ඔහු නියැළෙන කාර්යයන් බෙදීමකට ලක් කළ නොහැකි නිසා රාජකාරී ගමනක දී සියලු‍ වියදම් රජයෙන් දැරීමට සිදුවන බව එක් පිරිසක් ප්‍රකාශ කර සිටිති. තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ පෞද්ගලිකව දැරීමට සිදුවන වියදම් රජයෙන් ලබාගැනීම මූල්‍ය අවභාවිතයක් ලෙසය.

කෙසේ වුව ද ජනාධිපති කාර්යාලයේ විගණන නිලධාරියාගේ වාර්තාව පිළිබඳව රජයේ විගණකාධිපතිවරයාගේ අදහස් විමසා තිබේ ද යන්න සහ ඔහුගේ විගණනයෙන් එම කරුණ බැහැර වූයේ කෙසේද යන්න විමසා සිටියේ ද යන්න වැදගත් වනු ඇත. නීත්‍යනුකූල නොවන අයුරින් ගෙවීමක් කර තිබුණි නම් එම මුදල ආපසු ගෙවන ලෙස දන්වා එය ඉටු නොවූයේ නම් ඊළඟ ක්‍රියාමාර්ගවලට යෑමට ද හැකියාවක් තිබේ.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ගෞරව උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූ ජනාධිපතිවරයාට නිව් යෝර්ක් සිට ආපසු පැමිණීමේ දී ගුවන් යානයකට මාරුවීම සඳහා අතරමග නතරවීමට සිදුවේ. උපාධි ප්‍රදානෝත්සවයකට නොගිය ද එම නැවැතීම සඳහා ද එම මුදලම වැය කිරීමට සිදුවනු ඇත. ආරක්ෂක සේවා නිලධාරීන්ට ජනාධිපතිවරයා සමග යෑමට සිදුව ඇත්තේ ඔහුගේ ආරක්ෂාව ලබාදීම රජයේ වගකීමක් වීම හේතුවෙනි. ජනාධිපතිවරයකුගේ නිල සංචාරයක දී ද නිල නොවන සංචාරයක දී මෙන්ම ආරක්ෂාව සැපයීමට රජයට සිදුවේ. එය ඔහු විසින් තම සංචාරයට ආරක්ෂක නිලධාරීන් රැගෙන යනු ලැබීමක් ලෙස සැලකිය නොහැකිය.

රනිල් වික්‍රමසිංහ මහතාට බටලන්ද සහ මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ඇතැම් පුද්ගලයන් චෝදනා නගා ඇත. එසේ වුව ද ඔහුගේ වසර 48ක දේශපාලන ජීවිතය තුළ රජයේ මුදල් හෝ අයුතු ලෙස උපයාගත් මුදල් යොදවා ගනිමින් දේපළ හිමිකරගත් බවට හෝ ව්‍යාපාර ඇරඹූ බවට හෝ නිවාස ඉදිකළ බවට හෝ චෝදනා නැගුණේ නැත. ඔහු අඩුම තරමින් වාහන බලපත්‍රයක් හෝ ලබාගෙන නැත. ඔහුගේ දේපළ තම පාසල වන රාජකීය විද්‍යාලයට සහ පුණ්‍යායතනවලට හිමිවන ලෙස අවසන් කැමැත්ත සකස් කර ඇත. මීට පෙර රාජ්‍ය නායකයන් පමණක් නොව ඇමැතිවරුන් පවා නිල සංචාරවල දී බිරිඳ හා දූ දරුවන්ගේ වියදම් රජය විසින් දරනු ලැබූ අවස්ථා කොතෙකුත් තිබේ.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ජනාධිපතිවරයා සමග සහභාගි වූ චාරිකා බොහොමයක දී ඇගේ ගුවන් ටිකට්පත් සඳහා වියදම ඇයම දරා ඇත. ඇයගේ මව පසුගිය වසරේ දී අභාවප්‍රාප්ත වීමෙන් පසු එම මෑණියන් පිළිබඳ තොරතුරු සමහර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එම පවුලේ දේපළ සහ මුදල් සෑහෙන ප්‍රමාණයක් සමාජ කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කර තිබූ ආකාරය ඒවායේ සඳහන් විය. ඒවා ඊට පෙර ප්‍රසිද්ධිය සඳහා කිසිඳු අවස්ථාවක ප්‍රකාශයට පත් කර තිබුණේ නැත. එසේ තිබියදී විදේශ සංචාරයක් සඳහා මුදල් අවභාවිත කිරීමට අවශ්‍යතාවක් තිබුණේ ද යන ප්‍රශ්නය පැන නගී.

තම අසාර්ථකත්වය වසා ගැනීමට දේශපාලන නායකයන් දඩයම් කිරීමෙන් හැකිවනු ඇතැයි සිතූ ආණ්ඩුවට වැරදී තිබේ. සිද්ධියෙන් පසු රනිල්ගේ ජනප්‍රියතාව මීට පෙර කිසිදු අවස්ථාවකට වඩා වැඩි වී තිබේ. රජයේ මෙම ක්‍රියාමාර්ගය මහජනතාවගේ දැඩි අප්‍රසාදයට හේතුවකි. ‘දඩයම’ වෙනුවට ‘වැඩ’ තෝරා ගැනීමට කල්පනා කරන්නේ නම් එය ආණ්ඩුවේ කල් පැවැත්මට හේතු වනු ඇත.

(***)



අදහස් (3)

පුනරුදයේ දේශපාලන දඩයම

wedage Wednesday, 27 August 2025 02:35 PM

පිස්සුද හලෝ... ?

:       19       14

randil dunuwille Wednesday, 27 August 2025 02:52 PM

බත් බැලයින්ගේ සෝකය...

:       18       16

Amila Thursday, 28 August 2025 04:54 PM

එතකොට හමින් බර්ඩ්?

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site