IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


පාතාලයේ සෙල්ලම්

මාලිගාවත්ත “ලක්සෙත” මහල් නිවාස සංකීර්ණයේ දස වැනි මහලේ දස වැනි නිවෙසේ පැවැති මත්පැන් සාදයකි. මත්පැන් මත්ද්‍රව්‍ය මෙන්ම කායික සැප සම්පත්වලින් ස්වයං පෝෂිතව තිබූ මෙම සාදය සංවිධානය කර තිබුණේ “පවුමි” ය. එම නිවසේ හිමිකරු වූයේ “කුම්බාන්” ය. සාදයේ අරමුණ විරසකව සිටි “රවුෆ්” සහ “කංජිපානි ඉබ්‍රාහිම්” මිතුරු කරවීමය.

“දැන් පරණ කුණු ඕන නැහැ. අයියා එක්ක සමාදාන වෙමු. මම අයියාට කියන්නම්” ඒ, “පවුමි” ය. මේ කියන්නේ ‘රවුෆ්” ටය.

“බලමු. මට දැනට හරියට උත්තරයක් දෙන්න බැහැ. බලමුකෝ” ඒ රවුෆ් ය.

මධ්‍යම රාත්‍රිය පසුවී එළිවන යාමයේදී සාදය අවසන් විය. සාදයෙන් සතියක් ගිය තැන මේ නිවසේ වෙඩි තැබීමක් සිදුවිය. ඒ ඉකුත් මැයි මස 31 වැනිදාය. එහෙත් කිසිදු වෙඩි හඬක් ගෙතුළින් පිටතට ඇසුණේ නැත. නිවෙස්හිමි ‘කුම්බාන්’ වහාම ක්‍රියාත්මක වී වෙඩි වැදුනු තැනැත්තාගේ සිරුරෙන් වහනය වූ ලේ පිසදමන්නට විය. වෙඩි වැදී තුවාල ලබා තිබුණේ මොහොමඞ් රහීම් අබ්දුල් රවුෆ් (38) යන අය ය. විසිරී තිබූ ලේ පැල්ලම් රෙදි කැබලි උපයෝගී කරගනිමින් පිසදැමූ ‘කුම්බාන්’ බිම සෝදා පිරිසිදු කළේය. සියල්ල අවසන් කළ ඔහු  වහා දිව යන්නේ රවුෆ්ගේ නිවසටය.

“අයියට වෙඩි වැදිලා. අපේ ගෙදර ඉන්නේ. මම එද්දි බිම වැටිලා හිටියා. ඉක්මනට ඉස්පිරිතාලේ අරගෙන යමු.”

මෙම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත  පොලිසියට තොරතුරු ලැබෙන්නේ කොළඹ ජාතික රෝහල් පොලීසිය මගිනි. වහා ක්‍රියාත්මක වන පොලීසිය මාලිගාවත්ත ‘ලක් සෙත සෙවණ’ මහල් නිවාස සංකීර්ණය වටලන්නේය. කොරෝනා වයිරස් තත්ත්වය හේතුවෙන් මහල් නිවාසයේ ජනතාවට විශේෂ වත්පිළිවෙත් සෞඛ්‍ය අංශ වෙතින් ලබාදී තිබූ අවස්ථාවක පොලීසියට එදින වැඩි යමක් සොයා ගැනීමට නොහැකි විය. එහෙත් පසුදින පොලීසිය මෙම ස්ථානය සෝදිසි කරන අවස්ථාවේදී එක්තරා පුද්ගලයකු පොලීසිය දැක පලා යාමට තැත් කළේය. ක්‍රියාත්මක වූ පොලීසිය එම තැනැත්තා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කළේය. යම් යම් කරුණු වසන් කරමින් කළ ප්‍රකාශ හේතුවෙන් මෙම තැනැත්තා අදාළ නිවසේ හිමිකරු ලෙස පොලීසිය හඳුනා ගත්තේය. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී රුධිරය පිස දැමූ රෙදිකැබැලි මහල් නිවාස සංකීර්ණයේ කසල බැහැර කරන ස්ථානයක සඟවා තිබියදී පොලීසිය සොයා ගනු ලැබීය.

මේ අනුව “පවුමි” නොහොත් මොහොමඩ් සාෆි හුසේන් මොහොමඩ් හස්මි පොලිස් අත්අඩංගුවට පත්විය. රවුෆ් මේ වන තෙක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන්නේය. මාලිගාවත්ත පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. ඒ අනුව මාලිගාවත්තේ පදිංචි මොහොමඩ් යුසූෆ් නාසීම් ඉෂාන් නොහොත් “කුම්බාන්” සහ මොහොමඩ් සාෆි හුසේන් මොහොමඩ් හස්මි නොහොත් “පවුමි” මේ වන විට රක්ෂිත භාරයට පත්කරනු ලැබ සිටිති. එසේම, මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් තිදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරයි.

“රවුෆ්” යනු කවරෙක්ද?
රවුෆ් ගැන කතා කරන්නට නම් මාලිගාවත්ත පාතාල කල්ලි ගැන කතා කළ යුතුවෙයි. පාතාල ලෝකයත් මාලිගාවත්තත් අතර ඇත්තේ දීර්ඝ කාලීන මතක සටහන් ය. මාලිගාවත්ත දෙමළ පාතාලයේ නායකයා වූයේ “සුදාකරන්” ය. ඔහුට ගෝලබාලයෝ විශාල පිරිසක් සිටියෝය. ඉන් ඇතැමෙක් පොලිස් කූඩුවේත් තවත් පිරිසක් මාලිගාවත්ත පාතාලයේත් ගොදුරු බවට පත් වී සිටියහ. මේ දෙකෙන්ම දිවි ගලවා ගත් “තෙල්බාලා”, “කිඹුලා ඇලේ ගුණා” වැන්නවුන් ඉන්දියාවට පලා ගියෝය. ඒ 2017 වර්ෂයේ අගබාගයේදීය. දෙමළ පාතාලය අතුගා දමමින් නැගි මුස්ලිම් පාතාලයේ කෙරුමන් වූයේ “ආනමාලු ඉමිටියාස්, නූර්, ෆාජි, මාමාස්මි, මංජල් අක්‍රම්, අයුබ්ඛාන්” වැන්නවුන්ය. මේ එදා පාතාල කණ්ඩායම්වල ඉහළින්ම කියැවුණු නම්ය. එහෙත් ඔවුන්ට වැඩිකලක් සෙල්ලම් දැමීමට නොහැකි වූයේය. නූර් ගේ ආදායම් මාර්ගය වූයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමය. බයියා, ෆාජි, මාමාස්මි, ටෝජ් අච්චා, නවුසර් ෆ්‍රවුම් නුර්ගේ කල්ලියේ සාමාජිකයන් වූ අතර මේ පිරිස කුලියට මිනීමැරුම්, කප්පම් ගැනීම් වැනිදේ සිදුකිරීමෙන් ආදායම් ලැබූහ. අයුබ්ඛාන්, දිගා ෆයිසර්, ආනමාලු ඉමිටියාස්, ලී මෝල වත්තේ රිස්වාන් වැන්නවුන් ප්‍රධාන ආදායම් මාර්ගය කරගෙන තිබුණේ කප්පම් ගැනීමය. හෙරොයින් ආදායමේ යෙදනු නූර් කප්පම් ගැනීම් පිළිබඳව සිටියේ දැඩි ස්ථාවරයකය.

“උඹලා කප්පම් ගන්න එපා.” නූර්ගේ නියෝගයට අයුබ්ඛාන් තරයේ විරුද්ධ විය. “අයියට මොකද අපිත් ජීවත් වෙන්න එපැයි” මේ පාර්ශ්වය දෙකට කැඩුණේ මේ ආකාරයෙනි. එම ගැටුම දුරදිග ගොස් ආනමාලු ඉමිටියාස්ගේ ඥාති පවුල් හතක් මාලිගාවත්තෙන් එලවා දැමීමට ෆාජිගේ කල්ලිය වූ අයුබ්ඛාන් ලා කටයුතු කළහ. මෙයින් උරණ වූ ආනමාලු ඉමිටියාස්, මාලිගාවත්ත අතැර දුම්මලසූරිය ප්‍රදේශයට ගොස් “ගාල්ලේ හාජි” නමින් අලුත් ජීවිතයක් ඇරඹුවේය. එම ප්‍රදේශවාසීන්ගේ ඉතා කුළුපග චරිතයක් වූ ගාල්ලේ හාජි, මාලිගාවත්තේ ෆාජි ඝාතනයට කුරුමානම් අලලමින් සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස මාලිගාවත්තේ ජුම්මා පල්ලිය ඉදිරිපිටදී ආයුධ සන්නද්ධව සිටි ආනමාලු ඉමිටියාස් පල්ලිය අසල යුද පිටියක් නිර්මාණය කළේය. ෆාජි ඉන් බේරිණි. එහෙත් වැඩි කලක් යන්නට පෙර ආනමාලු ඉමිටියාස්ගේ සිරුර කොටහේන ප්‍රදේශයේ වැටී තිබියදී පොලීසිය සොයාගනු ලැබීය. ඉන් වඩාත්ම ප්‍රීතියට පත්වූයේ ෆාජි ය. එහෙත් ඔහුගේ සතුටට ද ආයුෂ තිබුණේ බොහෝම ටික කාලයකි. ඉකුත් 2009 වර්ෂයේ අගෝස්තු මාසයේ 29 වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීමකින් ෆාජි සදහටම දෑස් පියා ගත්තේය.

ෆාජිගේ අඩුව පිරවීමට පැමිණියේ ඔහුගේ සෙවණැල්ල වූ “මාමාස්මි” ය. දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු වූ මොහොමඩ් කාදර් මොහොමඩ් අජ්මීර් නොහොත් “මාමාස්මි” ෆාජිගෙන් පසු මුලු මාලිගාවත්තේම තම අණසකට නතු කර ගත්තේය. කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමැරුම්, කප්පම් ලබාගැනීම්, අවි ආයුධ ජාවාරම හා මත්කුඩු ජාවාරමේ “ලොකු අයියා” ලෙස ද සිටි මාමාස්මි මාලිගාවත්තෙන් එළියට බැස්සේ ද නැත. හදිසියේ ගමනක් යන්නේ ද මුස්ලිම් කාන්තාවක් ලෙස බුරුකාවකින් සැරසීගෙනය. එය ඔහුගේ ආරක්ෂිත වැඩපිළිවෙළයි. මාලිගාවත්තට පිට කෙනෙකුට ඇතුලු වීමට මාමාස්මි ඉඩ නොදුන්නේය.

තිහාරියේ පදිංචි “රහීම්” නැමැති තරුණයාගේ ඝාතනයෙන් ඇරඹි මාමාස්මිගේ ඝාතන ලැයිස්තුවේ මනුෂ්‍ය ඝාතන 20ක් වශයෙන් සටහන්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. වයස අවුරුදු 36ක් පමණ වන විට මොහුට බිරින්දෑවරුන් තිදෙනකු සහ දරුවන් දොළොස් දෙනෙකි. “පාතාලයෝ කිසි දිනෙක සදාකාලික රජවරුන් නොවන්නේය” යන දහම සනාත කරමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරකින් මාමාස්මි මරු දකින්නේ ඉකුත් 2013 ජුලි මස 04 වැනිදාය.
මාමාස්මිගේ සමීපතම ගෝලයන් අතුරින් ඊළඟට කරළියට එන්නේ ‘මංජල් අක්‍රම්’ ය. මාමාස්මිගේ තවත් ගෝලයකු ලෙස තවත් නමක් කියැවෙයි. ඔහු “රවුෆ්” ය. ඉහත කී සිද්ධියට පාදක වී වෙඩි ප්‍රහාරයෙන් කොළඹ  ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන්නේ ඔහුය.

මංජල් අක්‍රම් ද කාලයක් මාලිගාවත්ත “රන්” කළේය. මංජල් අක්‍රම්ගේ හොඳම ගෝලයා වූයේ “කංජිපානි ඉම්රාන්” ය. එවකට මාලිගාවත්තේ හෙරොයින් ජාවාරම ජයටම කරගෙන ගිය මංජල් අක්‍රම්ට, “භානු” නැමැත්තියගේ සහෝදරයා අභියෝගයක් ව තිබිණි. මංජල් අක්‍රම් භානුගේ සහෝදරයාට වෙඩි තබා ඝාතනය කළේ දෙවරක් නොසිතාය. තම සහෝදරයාගේ මරණය භානුට දැඩි වෛරයක් ඇති කරන්නට වූයේ මංජල් කෙරෙහිය. “මම පලිගන්නවා” ඇය දිව්රා කියා තිබිණි. භානු රූප සම්පත්තියෙන් අනූන කාන්තාවක් වූවාය. ඒ රූපයට මංජල් අක්‍රම් වශීකෘතව සිටියේය.
“අයියේ ඔය ගෑනි ගැන මට සැකයි. අයියා ඔය ගෑනි එක්ක තියෙන සම්බන්දේ නවත්වන්න. ඕක විශ්වාස කරන්න පුළුවන් බඩුවක් නෙවෙයි.” ඒ කංජිපානි ඉම්රාන් ය.

“නෑ එහෙම නැහැ බං. ඒකි හොඳ එකී එකිව මට විශ්වාසයි” ඒ මංජල් අක්‍රම් ය.

මංජල් අක්‍රම්ගේ ඒ විශ්වාසය සී සී කඩ විසිරී යන්නේ එක්තරා දිනෙක බානු සමග නුවරඑළියේ හෝටලයකදී පෙම් සුව විඳිමින් සිටියදී නාදුනන කල්ලියක් විසින් එල්ල කළ ප්‍රහාරයකිනි. මංජල් අක්‍රම් නොඑන ගමන් ගියේය. තම ලොකු අයියාට මේ දේ කළේ බානු බවට සැකයක් කංජිපානි තුළ හට ගත්තේ ඉන් පසුවය.

මංජල් අක්‍රම්ගේ තැනට දැන් එන්නේ කංජිපානි ඉම්රාන් ය. කිසිදු අඩුවකින් තොරව මංජල්ගේ අඩුව පුරවන කංජිපානි ඉම්රාන් දෙස බලා සිටි එක්තරා චරිතයකි. ඔහු රවුෆ් ය. ඒ වන විට කංජිපානිට වඩා ඉදිරියෙන් සිටියේ රවුෆ් ය.

“උඹේ සෙල්ලම් මං දන්නවා. මම ඒවා එළියට නොදා ඉන්න නම් මොකද වෙන්න ඕන කියලා උඹ දන්නවා නේ. මට ඕන වැඩේ වුණාම ඉවරයි. උඹ දැන් ලොකු සල්ලි කාරයෙක් නේ. උඹ හම්බකරන සල්ලිවලින් කොටසක් අපිට ඕන. මොකද උඹ අද මෙතන ඉන්නේ මංජල් නිසා. අපේ මේ ටීම් එකම නිසා. ඒ හින්දා අපිට සල්ලි හදිසියක් වුණාම උඹ ඒ ගැන බලා ගන්න ඕන.”
කංජිපානි ඉම්රාන්ට රවුෆ් ගෙන් ගැලවිල්ලක් නැති විය. කෙසේ වෙතත් ඒ වන විට රජ කරන්නට කංජිපානි අත්පොත් තබා අවසන්ය.

කංජිපානි ඉම්රාන් නැමැත්තා විසින් ඉකුත් 2018 මාලිගවත්තේ ජුම්මා  හන්දියේදී මොහොමඞ් රවුෆ් නැමැත්තාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ කනක් තුවාල වී ඇති බව සඳහන් කරමින් මාලිගාවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණි.

එසේම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කංජිපානි ඉම්රාන් ඇතුලු තිදෙනකු සැකකරුවන් ලෙස නම් කරමින් මාලිගාවත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබූ  අතර, කප්පම් සිද්ධියක් සම්බන්ධයෙන් මෙම වෙඩි තැබීම සිදුවී ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

කංජිපානි ඉම්රාන්, මංජල් අක්‍රම් සමග මිතුරු දමින් සිටි සමයේදී බොහෝ මිතුරන් රාශියක් ආශ්‍රය කිරීමට හැකිව තිබිණි. මොහොමඩ් සිද්ධික්, මාලිගාවත්ත ප්‍රදේශයේ ප්‍රධාන ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් රිස්කාන් ඒ අතරින් ප්‍රධානතම පිරිස් වූහ. ඉතා ඉක්මනින් ධනවතකු වූ කංජිපානි කඩවත ප්‍රදේශයෙන් නිවසක් මිලට ගෙන මොහොමඩ් ෆාතිමා රිනෝසා නැමැත්තිය විවාහ කරගෙන එහි පදිංචියට ගියේය. මංජල් අක්‍රම් මිය යන්නේ මේ කාලයේදීය. කාන්තාවන් සිව් දෙනෙකු විවාහ කරගෙන සිටි මංජල් ගේ අභාවයෙන් ඔහුගේ නිත්‍යානුකූල බිරිඳ වූ දුසාරා සමග කංජිපානි ඇසුරු කරන්නට පටන් ගත්තේ මංජල්ගේ සියල්ල තමාට උරුම වීම නිසා බවට කංජිපානි අදහමින් බවට මාලිගාවත්ත තතු දත් ජනතාව අදටත් කියති.

ට්‍රැක්ටර් එන්ජිම් තුළ සඟවා මෙරටට හෙරොයින් ගෙන්වීමේ මහා ජාවාරමක් වැටලීමට ආරක්ෂක අංශ සමත් වන්නේ ඉකුත් 2009 වර්ෂයේ දීය. ඒ සඳහා කංජිපානි ඉම්රාන්ගේ නමද ගෑවී තිබේ. මෙහි සැකකරුවන් ලෙස හඳුනාගන්නේ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සහ මොහොමඩ් සිද්ධික්ය. මෙම වැටලීමෙන් පසු කංජිපානි ඉම්රාන් සිය අනියම් බිරිඳ වූ දුසාරා සහ ඇගේ දරුවන් දෙදෙනාත් සමග ඩුබායි රාජ්‍යයට පැන යයි. පසුව කංජිපානි ඉම්රාන් ඔහුට දාව රිනෝසාට උපන් දරුවන් දෙදෙනා සහ ඔහුගේ මවත් ඩුබායි වලට ගෙන්වා ගත්තේ රිනෝසාව අත්හැර දමාය.

කංජිපානි ඉම්රාන් රටින් පැනයාමට පෙර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් පහක් සන්තකයේ තබා ගෙන සිටීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ පවතින නඩුවකට ඇප තැන්පත් කරන්නේ කංජිපානිගේ නිත්‍යානුකූල බිරිඳ රිනෝසා සහ ඇගේ පියාය. එම නඩුව කොළඹ මහාධිකරණයේ විභාග වන අවස්ථාවේදී චූදිත අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් විණි. මෙහිදී ඇප රාජසන්තක කිරීමට පෙර අධිකරණය චූදිත සම්බන්ධයෙන් ඇපකරුවන්ගෙන් කළ විමසීමේදී ඔවුන් කියා සිටියේ චූදිත එනම් කංජිපානි ඉම්රාන් නැමැත්තා ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් විදෙස් ගත වූ බවයි. මෙහිදී කොළඹ මහාධිකරණ නියෝග ප්‍රකාරව ඇපකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග නිකුත් වූ අතර, අමතර ඇපයක් තබා ඔවුන් දෙදෙනා මුදා ගන්නේ කංජිපානිය. ඩුබායි සිට කංජිපානි සිය නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දෙමින් එසේ කටයුතු කර තිබිණි.

“මට සල්ලි ඕන මේ නඩුවෙන් ගැලවෙන්න. තමුසේ මට සල්ලි එව්වේ නැත්නම් මම තමුසේ ගැන සී සී ඩී එකට කියනවා.” රිනෝසා දුරකතනයෙන් අමතා කංජිපානිට කියන්නීය’.

මේ වන විට මීගමුව බන්ධනාගාරයේ සිටියදී හඳුනාගත් මාකදුරේ මධූෂ් ද කංජිපානි සමග ඩුබායි රාජ්‍යයේ සිටියේය.
“නංගි ඔයා කලබල වෙන්න එපා. මං කංජිට කියන්නම් සල්ලි එවන්න කියලා.” මධූෂ් ද පවුල් ප්‍රශ්නයට මැදිහත් වන්නේ මේ ආකාරයෙනි. එහෙත් තම සැමියා තමාව ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බවට රිනෝසා දැනගන්නීය. මේ බව රිනෝසා මධූෂ්ට කතාකොට කීවාය.

“නෑ නංගි මම ඔයාව මරන්න දෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා.” මධූෂ් කීවේය.
එහෙත් රිනෝසාගේ පියා ඇය මට්ටක්කුලිය ප්‍රදේශයේ නිවෙසක සඟවා තබන්නේය. එහෙත් පසුව නැවත ඇය මාලිගාවත්තට පැමිණ සිටි බවට කංජිපානිගේ ඔත්තුකරුවන් ඔහුට තොරතුරු ලබාදී තිබිණි. ඒ අනුව මධූෂ්ගේ ආයුධවලින් කංජිපානිගේ සහචරයෝ මාලිගාවත්ත ලොන්ඩරිය අසලදී රිනෝසාට වෙඩි තබා ඝාතනය කළහ. (මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තක් විභාග වෙමින් පවතියි.)

තම බිරිඳට වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුවක් බාර දීමට පෙර, කංජිපානි මරණ වරෙන්තුවක් ලබා දුන්නේ “බානු” නැමැත්තියගේ බාල සහෝදරයා වන “නිප්පු” ටය. ඒ වන වන විට මාලිගාවත්ත ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ ඉහළින් කියැවෙන නම කංජිපානි වීම හේතුවෙන් “බඩු ටිකක්” ඉල්ලා ගැනීමට නිප්පු කංජිට දුරකතනයෙන් කතා කරන්නේය.
“කංජි, මම කතා කරන්නේ නිප්පු. මට හොඳ බඩු ටිකක් ඕන.”

“හරි උඹට ඉස්සෙල්ලා සාම්පල් ටිකක් දෙන්නම්. උඹ ඒක චෙක්කරලා බලපං.”

“හරි මම කොහේටද එන්න ඕන.”

“මස්සිනා උඹ මේන් ස්ට්‍රීට් එකේ මහා විද්‍යාල මාවතේ ඔරලෝසු කණුව ළඟට වරෙන්. හැබැයි එක දෙයක් මතක තියා ගනින් උඹ එන්න ඕන තනියම. එක එක එවුන් එවන්න එපා. වැඩේ නෝන්ඩි වෙයි. හරිද? තනියම වරෙන්.” නිප්පුට  ලැබෙන විධානය එයයි.

සාම්පල් වශයෙන් හෙරොයින් ග්‍රෑම් 10ක් සමග මීගමුවේ සිට කණ්ඩායමක් කොළඹට එන්නේ කංජිපානිගේ නියෝගයෙනි. තවත් කණ්ඩායමක් වෙනම යොදවා තිබුණේ නිප්පු පැමිණෙන්නේ කෙසේද යැයි විමසා බැලීමටය. එහෙත් එදා නිප්පු නොව ඔහුගේ ගෝලයෝ දෙදෙනෙක් අදාළ ස්ථානයට ළඟාවෙති.

“අඩෝ මස්සිනා. උඹට කිව්වා නේද වෙන කවුරුත් එවන්න එපා කියලා. උඹ වරෙන් පිට එවුන් එවන්න එපා. බඩු හොඳයි. ආයි දෙකක් නැහැ. වෙන එවුන් එව්වොත් නෝන්ඩි වෙන්න වෙයි’.” ඒ ඇමතුම නිප්පුට ලැබුණේ කංජිපානිගෙනි’.
“හරි අයියා කියනවා නම් බඩු හොඳ ඇති.” එහෙනම් මට කිලෝ එකක් දාන්න.”  නිප්පු පිළිතුරු දෙයි.
“හරි උඹ වරෙන් මාලිගාවත්ත කෝවිල ළඟට.”

නිප්පු ත්‍රිරෝද රථයට ගොඩවන්නේ මාලිගාවත්තෙනි. කෝවිල අසලට යන නිප්පුට දුරකතන ඇමතුමක් එයි. “ඔතනින් බැහැලා ඉස්සරහට වරෙන්. දැන් ඔහොම්ම රූමි හෝල් එක ළඟට වරෙන්. එතැන බඩු තියෙනවා.” නිප්පු සොයා යන්නේ මාරයා බව ඔහු දන්නේ නැත. මෝටර් සයිකලයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු නිප්පු සදහටම අවසන් ගමන් යවන්නේ ඒ අයුරිනි. මංජල් අක්‍රම් මැරූ පලිය කංජිපානි වාඩුව ගන්නේ ඒ ආකාරයෙන් බව සඳහන් වෙයි.

ත්‍රස්තවාදී ක්‍රියා සහ සංවිධානාත්මක අපරාධ සිදුකිරීම හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම් පිළිබඳ විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමට තැත් කිරීම තර්ජනය කිරීම මෙන්ම කොළඹ සහ අවට සිදුවූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගන්නේ ඉකුත් මාර්තු මස 28 වැනිදාය. ඒ, මාකදුරේ මධූෂ් නැමැත්තා සමග ඩුබායි රාජ්‍යයේ දී සාදයකට සහභාගී වෙමින් සිටියදී එරට පොලීසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට පිටුවහල් කිරීමෙන් පසුවය. මාකදුරේ මධූෂ් මෙම සාදය පවත්වා තිබුණේ ඉකුත් මාර්තු මාසයේ 03 වැනිදාය. මේ වන විට මාකඳුරේ මධූෂ් ඇතුලු පාතාල ක්‍රියාකාරීහු පිරිසක් පොලිස් අත්අඩංගුවේ පසුවෙති.

ඉකුත් 2017 වර්ෂයේ මැයි මස 09 වැනිදා පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද, ඉකුත් 2018 මාර්තු මස 06 වැනිදා අගුණකොලපෑලැස්ස ප්‍රදේශයේදී “කොස්මල්ලි” නැමැත්තකු ඝාතනය කර ඔහුගේ හිස කෙසෙල්වත්ත ප්‍රදේශයට රැගෙන විත් දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙන්ම කොළඹ සහ අවට සිදුවූ ඝාතන රාශියක් පිළිබඳව ද කංජිපානි ඉම්රාන් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණි.

මෙම සැකකරු සම්බන්ධයෙන් මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු මෙසේය.
2017 දෙසැම්බර් මස 9 වැනි දින කෙසෙල්වත්ත පොලිස් වසමේ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම, යන චෝදනා සම්බන්ධයෙන් නඩුව.

2018 පෙබරවාරි මස 20 වැනි දින බොරැල්ල පොලිස් වසමේ කොටා පාරේදී ගිනි අවියකින් වෙඩි තබා රණසිංහ ආරච්චිගේ ප්‍රසාද් කුමාර නැමැත්තා ඝාතනය කිරීම කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව.

2018 වර්ෂයේ මාර්තු මස 19 වැනි දින කොටහේන පොලිස් වසමේ මැසෙන්ජර් වීදියේදී විනාශ මුත්තු ඇන්තනී රාජ් යන අයට වෙඩි තබා ඝාතනය කිරීම, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව.

2018 වර්ෂයේ මාර්තු මස 27 වැනිදා මාලිගාවත්තේ දී සාවුල් හමීඩ් මොහොමඩ් නිප්රාස් නොහොත් නිප්පු නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව.

2018 වර්ෂයේ ජුලි මස 08 වෙරළබඩ පොලීස් වසමේ ජම්පටා විදීයේදී සෙල්ලයියා සේල්වරාජ් සහ කදන ආරච්චිගේ ක්ලැරන්ස් පෙරේරා යන දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව.

2018 වර්ෂයේ අගෝස්තු මස 3 මෝදර පොලිස් වසමේ තැපැල් කාර්යාලය අසලදී ගෝපාල් පිල්ලේ බාලචන්ද්‍රන් නමැත්තාට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව.

2018 වර්ෂයේ අගොස්තු මස 26 වැනිදා මාලිගාවත්ත පොලිස් වසමේ මාලිගාවත්ත පෙදෙසේ මොහොමඩ් ෆාතිමා රිනෝසා (බිරිඳ) ඝාතනය කිරීම කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව.

2018 වර්ෂයේ අගොස්තු මස 30 මාලිගාවත්ත පොලිස් වසමේ ජුම්මා මස්ජිඩ් පාරේදී මොහොමඩ් රවුෆ් නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව.

2018 වර්ෂයේ මාලිගාවත්ත ලක්සෙත මහල් නිවාස සංකීර්ණය අසලදී මොහොමඩ් අජිමි නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව.

2018 වර්ෂයේ ඔක්තෝම්බර් මස 20 දින මාලිගාවත්තේදී මොහොමඩ් අජිමි නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව.

2018 වර්ෂයේ නොවැම්බර් මස 7 වැනිදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පරාක්‍රම මාවතේදී මොහොමඩ් නිප්රාස් යන අයට ගිනි අවියකින් මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීම කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව.

2018 වර්ෂයේ දෙසැම්බර් මස 10 මෝදර පොලිස් වසමේ රාස්සමුල්ල කන්ද අසලදී ප්‍රසානි, චමින්ද, ප්‍රදීප්, නාලක, පුෂ්පරාජ්, කුංදන් අම්මාන් යන කට්ටිය ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව.

2019 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා වෙරළබඩ පොලිස් වසමේ ජම්පටා විදියේ දී මැල්කම් යන අයට වෙඩි තැබීමට තැත්කිරීම කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව.

2019 වර්ෂයේ ජනවාරි මස 20 වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටියේ ඇන්ටනී කෲස් යන අයට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව.

2019 වර්ෂයේ පෙබරවාරි මස 14 කොටහෙන පොලිස් වසමේ මෛත්‍රී බෝධිරාජ මාවතේදී ආශා ෆාරික් යන කාන්තාවට වෙඩි තබා ඝාතනය කිරීම, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව.

කංජිපානි ඉම්රාන් මේ වන විට හෙරොයින් නඩුවකට වරදකරු වී සිරදඬුවම් විඳින අතර, ඔහු බූස්ස බන්ධනාගාරයේ රඳවා තබා සිටියි. බන්ධනාගාර තුළ සිට පාතාල ක්‍රියාකාරකම් සහ හෙරොයින් ජාවාරම මෙහෙයවන සිද්ධීන් සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහකට ලක්ව තිබෙන අවස්ථාවක මෙම සැකකරු රඳවා සිටින සිර කුටියේ සිවිලිමේ සඟවා තිබී නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකතනයක්, සිම් කාඩ් පත් දෙකක් ඇතුලු විද්‍යුත් උපකර කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකාය පසුගිය දිනෙක සොයාගනු ලබන්නේ මේ අතරය.

කංජිපානි ඉම්රාන්ගේ පැටිකිරිය මෙසේ වන අතර, මේ කියන රවුෆ් ද තම නිත්‍යානුකූල බිරිඳ වෙනත් පුද්ගලයකු ලවා ලිංගික අතවර කරවීමට සලස්වා, එම දර්ශන වීඩියෝ ගත කර ඒවා අන්තර්ජාලයට මුදා හරින බවට පවසා තර්ජනය කරමින් එම පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 5කට ආසන්න දේපල කොල්ලකෑ බවට වන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක ප්‍රධාන සැකකරුවෙක්ද වෙයි. එසේම තවත් කප්පම් සිද්ධීන් ගණනාවක සැකකරවකු වශයෙන් මෙම රවුෆ් අධිකරණය ඉදිරියේ සැකකරුවෙක්ද වෙයි.

පාතාලයෝ යහමින් මුදල් හම්බකරති. ඒවා පාලනයටත් තම බල පරාක්‍රමය විහිදුවා ලීමටත් ඔවුහු මහත් වෙහෙසක් දරමින් තැන රැක ගැනීමට දඟලති. කෙසේ වෙතත් අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන දහම තවමත් මොලොව තුළ සදාතනික දහමක්ව පවතී. මොවුන්ගේ ඉදිරි අනාගතය කෙසේ වීදැයි අපි විමසිලිමත්ව සිටිමු.

(*** විමුක්ති කුමාරසිංහ)



අදහස් (4)

පාතාලයේ සෙල්ලම්

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 11 June 2020 09:54 AM

මේ රට වනසන පාතාල භීෂණය නිමාකොට රට යහපත් මාවතකට ගැනීම වත්මන් ජනපතිතුමාගේ යුතුකම හා වගකීම වන්නේය. ඒ සඳහා එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා !!! කියා අපි ප්‍රාර්ථනා කරමු.

:       111       424

AthulsFriday, 12 June 2020 09:27 AM

පාතාලය මත්කුඩු මෙිවාට ශක්තිය ලබාදෙන්නෙ මේ නායකයොම තමයි.

:       44       384

Banda Thursday, 11 June 2020 12:29 PM

ඉතින් මෙච්චර කෙළි කරපු අය අපේ බදුමුදල් වලින් පෝෂණය කරන්නේ ඇයි..?

:       0       143

priyantha. Sunday, 14 June 2020 04:28 AM

මෙච්චර විස්තර ලිපිය ලියන කෙනා දන්නවා නම් පොලිසිය නොදන්නවා වෙන්නේ කොහොමද?

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 305 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 169 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 452 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 550 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 162 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 46 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 259 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 75 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1103 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site