IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


නව ලිබරල් ආර්ථිකය මුළාවක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම කළේ විධායක තීරණයක් අනුව යමින් ය. ලෝකයේ රටවක් 75කට පමණ ඔහු මේ තීරු බදු පැනවීම සිදු කර තිබේ. අපේ රටට සියයට 10ක පමණ අගයක පනවා තිබූ තීරු බදු සියයට 44 දක්වා වැඩිකර ඇති බව පෙනේ.

වියට්නාමයට සියයට 94 දක්වාද ඉන්දියාවට සියයට 34 දක්වාද ඇමෙරිකාව බදු ඉහළ දමා තිබේ. මේ අනුව සංවර්ධිත රටවලට පමණක් නොව සංවර්ධනය වෙමින් පවත්නා රටවලටද ඌන සංවර්ධිත රටවලටද විවිධ මට්ටම්වලින් බදු ඉහළ දමා ඇත.

ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් කියා සිටියේ ආනයන අපනයන ක්‍රියාවලියේදී ඇමෙරිකාවට අවාසියක් සිදුවන නිසා මේ තීරණය ගත් බවය. එහෙත් ඇමෙරිකාව මේ බදු වැඩි කිරීමෙන් අත් වන ප්‍රතිඵලය කුමක් ද? එක්වරම වෙළෙඳපොළ කඩාවැටීමය. ඇමෙරිකාවේ සමීපතම මිත්‍ර රටක් වන ජපානයේ විදේශ අමාත්‍යවරයා පවා ට්‍රම්ප් ගේ තීරු බදු තීරණය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කළේය. ලෝකයේ විවිධ ප්‍රබල රටවල් ට්‍රම්ප්ගේ තීරණය සම්බන්ධයෙන් දැක්වූ විවිධ ප්‍රතිචාර නිසා අවසානයේ ඔහුට සිදු වූයේ මේ තීරුබදු පැනවීම දින 90කට කල් දැමීමටය. සාකච්ජා සඳහා ඉඩ තැබීමටය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවෙන් ද නියෝජිත මණ්ඩලයක් මේ වන විට ඇමෙරිකාවට පිටත්ව සිටිති. එම සාකච්ජාවලදී කවර මට්ටමේ එකගතාවලට එළැඹෙන්නට හැකියාව ලැබෙනු ඇතිදැයි තවමත් කිව නොහැකිය.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් ගේ ජාතික ආරක්ෂක ලේකම්වරයා සමුගන්නා අවස්ථාවේ එක්තරා ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු කියා සිටියේ නව ලිබරල්වාදය අසාර්ථක බවත්  එයට විකල්පයක් සෙවිය යුතු බවත් ය. ඒ සඳහා යළි රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යවන බවය. ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණීමට පෙර මෙන්ම පසුවත් එම අර්බුදය සම්බන්ධයෙන් ජාතික ආර්ථිකය ගොඩනැගීමට ආරක්ෂණවාදයට යා යුතුයැයි පවසයි. ජෝ බයිඩන් ප්‍රකාශ කළ පරිදි නව ලිබරල්වාදය අසාර්ථක බව නොපිළිගෙන ආරක්ෂණවාදය පිළිබඳ විශ්වාසය තබයි. ට්‍රම්ප් කියන්නේ කර්මාන්ත ක්ෂේත්‍රයේ නිෂ්පාදනය සියයට 15 දක්වා අඩු වී ඇති බවයි. බටහිර පැවැති වෙළෙද බලය මේ වන විට ආසියාව වෙත ඇදී එමින් පවතියි. ඇමෙරිකාවේ ව්‍යවසායකයන් පිටරටවලට ඇදෙන බවටත් ඒ නිසාම ප්‍රාග්ධනය පිටතට ගලා යන බවටත් ආදි වශයෙන් ට්‍රම්ප් මේ වනවිට දුක් ගැනවිලි කීමට පටන්ගෙන තිබේ.

ඇමෙරිකානු ආර්ථිකයේ සැබෑ තත්වය එසේ තිබියදී ලෝකයම හොල්ලන ආකාරයට ට්‍රම්ප් තීරු බදු ඉහළ දැමීමට තීරණය කළත් ලෝක වෙළෙද ආර්ථිකයේ නොසිතූ අර්බුදයක් මතු වී ආවේය. අපගේ විමසුමට ලක්විය යුතු ප්‍රධාන කාරණයක් නම් ආර්ථිකයේ සිදුවන මේ ගෝලීය ප්‍රවණතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමය. ලෝක ආර්ථිකය මේ වනවිට මුළුමනින්ම වෙනස් වෙමින් පවතියි. ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක ආර්ථිකයේ බලතුලනය වෙනස්වී තිබේ. නිෂ්පාදන ශක්තිය අඩු මට්ටමේ පැවැති ආසියාව, ලතින් ඇමෙරිකාව අප්‍රිකාව, ප්‍රමුඛ කරගත් ගෝලීය දකුණ මේ වන විට වේගයෙන් සංවර්ධනය වී තිබේ. පසුගිය දශක දෙකක කාලයේ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කර බැලීමේ දී ඒ බව පැහැදිලිව වටහා ගත හැකිය. ගෝලීය දකුණ මේ වනවිට ලෝක දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 57ක් නිපදවන තත්වයට පත් වී ඇත.

ඇමෙරිකාව, කැනඩාව යුරෝපය ඇතුළු ගෝලීය උතුර යනු සංවර්ධිත කලාපයයි. එම කලාපය මේ වනවිට ලෝක දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 43 දක්වා පහළ අගයක් ගෙන තිබේ. මෙම ආර්ථික බලතුලනයේ වෙනස්වීම ශ්‍රී ලංකාවේ දැඩි අවධනයට යොමු විය යුතුය. එහෙත් මෙරට අමාත්‍ය මණ්ඩල හෝ පාර්ලිමේන්තුව හෝ ආර්ථික විද්‍යාව හෝ සමාජය හෝ මේ සම්බන්ධ අවධානයක් සාකච්ජාවක් සංවාදයක් ගොඩනගන බවක් පෙනෙන්නට නැත. මෙරට වෙළෙදාම ඇතුළු ආර්ථික කාරණා බොහොමයක් සම්බන්ධ වී ඇත්තේ ගෝලීය උතුරත් සමගය. එම නිසා මේ බලතුලනයේ වෙනස් වීම අපට ප්‍රබල වශයෙන් බලපාන්නට පුළුවන. එබදු තත්වයක් යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ තීරු බදු තීන්දුව නිසා තවදුරටත් අප අසීරු තත්වයකට පත් වීමේ අවදානම පවතී.

මෙහිදී අප උගත යුතු පාඩම කුමක්ද? මගේ නිරීක්ෂණයට අනුව අපිද ඇමෙරිකාව හා යුරෝපය මෙන් 1980 සිට නව ලිබරල් ආර්ථික ක්‍රමයකට මාරු වුණෙමු. එම ආර්ථික ක්‍රමය යටතේ අපිද 2020 සිට බංකොලොත්භාවයට පත්ව සිටිමු. කාර්මික නිෂ්පාදනයේ කඩාවැටීමක් මේ තුළ සිදු විය. කෙසේ වුවද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලය තුළ නිෂ්පාදන අංශයේ වර්ධනයක් දක්නට ලැබිණ. ඊට පසු යුද්ධය අවසාන වී 2010 පමණ කාලයේ යළි යම් වර්ධනයක් පැවතියත් 2013න් පසුව මෙරට කාර්මික නිෂ්පාදනය එක තැන පල් වන මට්ටමක් ඇති විය. 2019-2024 දක්වා කාලය ගෙන බැලු‍වොත් මෙරට කාර්මික නිෂ්පාදනයේ වර්ධනයක් ඇත්තේම නැති තරම් ය. ඇ​ෙමරිකාව මෙන්ම ශ්‍රී ලංකාවද කාර්මික නිෂ්පාදනය රටක නිෂ්පාදන ශක්තියෙහි ප්‍රධාන කාරණය ලෙස සලකා ක්‍රියා කළ බව පැහැදිලිය. එහෙත් මේ වනවිට අපේ රට කර්මාන්ත අංශයෙන් පමණක් නොව කෘෂිකර්මාන්ත අංශයෙන්ද ද සියයට 8ක පමණ අගයක් දක්වා පහළ අගයක් ගෙන තිබේ. දැනට පුළුල්ව පවත්නේ සේවා ක්ෂේත්‍රයයි. එහෙත් සේවා ක්ෂේත්‍රය තුළ අපේක්ෂා කරන මට්ටමේ විදේශ විනිමයක් හෝ දේශීය වර්ධනයක් ඇති කර ගැනීමට මේ වන විටත් සමත් ව නැත. ඩොලර් අර්බුදය ඇතුළු මූල්‍ය අර්බුදයක් ඇතිවීමටත් මේ තත්වය විශේෂයෙන් බලපා තිබේ.

අපේ රටේ විධිමත් ලෙස සාකාච්ජා නොවන ඊටත් වඩා බරපතළ කාරණාවක් නම් මේ වනවිට ලෝක ආර්ථිකයේ ඇතිවී තිබෙන ප්‍රබල වෙනස්වීම යි. 1980-2000 දක්වා ලෝකයේ ආර්ථික වර්ධනයත් 2000-2025 දක්වා වර්ධනයත් බලනවිට 2000න් පසු වෙළෙද බලතුලනය වෙනස් වී ගෝලීය දකුණ ට වාසි වන අන්දමින් ක්‍රියාත්මක වීම මුලින් සදහන් කළෙමු. ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ගෝලීය දකුණේ කාර්මික නිෂ්පාදනයේ සිදුවූ වර්ධනයයි. ගෝලීය උතුරේ එම වර්ධනය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතිණ. 1980 වනවිට ඇමෙරිකාවේ කාර්මික නිෂ්පාදනය සියයට 60කි. එහෙත් එය මේ වන විට සියයට 15 දක්වා අඩු වී තිබේ. වර්තමානය වනවිට ලෝකයේ වැඩිම කාර්මික නිෂ්පාදනය සහිත රට බවට චීනය පත් ව තිබේ. එය සියයට 35කි.

ඉන්දියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව රුසියාව, වැනි රටවල් ද මේ වන විට කාර්මික නිෂ්පාදනයෙන් ශීඝ්‍ර වර්ධනයක් අත් පත් කරගනිමින් සිටින බව පෙනෙන්නට ඇත. එහෙත් ගෝලීය උතුරේ සියලු‍ම රටවල්වල කාර්මික නිෂ්පාදනය මේ වනවිට පහළ බසිමින් තිබේ. යුරෝපයේ රටවල් එකක් දෙකක් හැරෙන්නට අනෙක් සියලු‍ම රටවල කාර්මික නිෂ්පාදනය බින්දුවේ අගයට පහළ බැස තිබේ. එය බරපතළ අර්බුදයක් දක්වා වර්ධනය වී ඇති බව මෙයින් පැහැදිලිය. ජපානයේ පවා මේ වනවිට ඇත්තේ වර්ධනයක් නොව කාර්මික නිෂ්පාදනය එක තැන පල්වන තත්වයකි. ගෝලීය උතුරේ මෙබදු තත්වයක් ඇති වූයේ ඉතිහාසයේ පළමුවැනි වතාවටය.

ජී - හත නියෝජය කරන්නේ ලෝකයේ පොහොසත්ම රටවල් හතයි. මේ වනවිට එම රටවල් හතේම සමස්ත දල දේශීය නිෂ්පාදනය සියයට 26කි. අනෙක් පැත්තෙන් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල සමස්ත දල දේශීය නිෂ්පාදනය සියයට 33 දක්වා මේ වනවිට වර්ධනය වී තිබේ. මේ වෙනස් වීම ලෝකයේ සියලු‍ම රටවල් ආර්ථිකයට බලපෑම් කරන සාධකයක් බව අප අමතක නොකළ යුතුය. එහෙත් මෙම තීරණාත්මක සාධකය එනම් ලෝක ආර්ථිකයේ බලතුලන වෙනස්වීම අඩුම තරමේ අපේ රටේ අයවැය විවාදයකදීවත් සාකච්ජාවට ලක්වනවාද? මාධ්‍යය තුළ සාකච්ජා වනවාද? ආර්ථික විද්වතුන් සංවාදයට ලක් කරනවාද?

ඇමෙරිකාව මේ අර්බුදයට ලක්ව ඇත්තේත් මේ බලතුලන වෙනස තේරුම් නොගැනීම නිසාය. ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් හදිසියේම මෙන් කලබලවී උත්සාහ ගන්නේ මේ තත්වය වෙනස් කිරීමයට. ඇමෙරිකාවේ කර්මාන්ත බොහොමයක් චීනය වෙත ගොස් ඇතැයි ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. එයින් පැහැදිලිවන්නේ ඇමෙරිකානු කර්මාන්ත පාලනය කිරීමට ට්‍රම්ප්ට මේ වනවිට නොහැකි වී ඇති බවයි. ව්‍යාපාරිකයන් උත්සාහ කරන්නේ ප්‍රාග්ධනය සහිත රටවලට ගොස් ආයෝජනය කිරීමටය. ලෝක මට්ටමේ ප්‍රබල ව්‍යාපාරිකයෝ ඇමෙරිකාවට නොගොස් චීනය, ඉන්දුනීසියාව ආදී රටවල ආයෝජනය කරන්නට කැමැත්තක් දක්වති. ඊට හේතුවූයේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියයි. ඇමෙරිකාවේ ආර්ථිකය මේ වනවිට කාර්මික ක්ෂේත්‍ර‍යෙන් පමණක් නොව කෘෂිකර්ම හා සේවා ක්ෂේත්‍රවලින් ද අඩුවෙමින් තිබෙන බව පැහැදිලිය. ඇමෙරිකාවේ දැන් ප්‍රබලව පවත්නේ මූල්‍ය ක්ෂේත්‍රයයි.

මෙරටින් අපනයන කරන භාණඩ වැඩි කොටසක් යන්නේ යුරෝපයට හා ඇමෙරිකාවටය. ලෝක ආර්ථිකයේ වෙනස්වීම හරිහැටි තේරුම් නොගෙන වෙළෙදාම විවිධාංගීකරණය කිරීමට කටයුතු නොකර ලංකාව තවමත් පැරැණි ක්‍රමය පිළිබදවම විශ්වාසය තබමින් සිටියි. තවදුරටත් යුරෝපය සහ ඇමෙරිකාව කෙරෙහිම විශ්වාසය තබා පමණ ක් කටයුතු කිරීම ප්‍රායෝගිකද යන්න සිතා බැලිය යුතුය. ලෝක ආර්ථිකයේ මේ නව ප්‍රවණතාවලට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත්වීම තුළ පැහැදිලි වන්නේ මෙරට විදේශ අමාතාංශයේ දුබලතාවය ය. මුදල් අමාත්‍යාංශයේ දුබලතාවය ය.

බ්‍රික්ස් සංවිධනයේ ඊළග සමුළුව මෙම වසරේ ජූලි මාසයේ පැවැත්වෙන බව ප්‍රකාශයට පත්කර ඇත. ගෝලීය දකුණේ රටවල් 44ක් මෙම සංවිධනයේ සාමාජිකත්වය ඉල්ලා ඇත. මේ සදහා ඇතුළත්ව සිටින ප්‍රධාන රටවල් 10ට මෙම රටවල් 44ද එක්වූ විට රටවල් 55ක් වනු ඇත. එවිට දල දේශීය නිෂ්පාදිතය ලෝක මට්ටමින් ගත් විට තවත් ඒ පැත්තට බර වන තත්වයක් පෙන්නුම් කෙරේ. එය ලෝක ආර්ථිකයේ ප්‍රබල වෙනසකට හේතු වනු ඇත. මෙතෙක් කල් ලෝකය පාලනය කළේ ප්‍රංශ අධිරාජ්‍යවාදය, ජර්මන් අධිරාජ්‍යවාදය, ඇමෙරිකන් අධිරාජ්‍යවාදය, ජපන් අධිරාජ්‍යවාදය ආදියයි. අදවනවිට එය වෙනස් වී තිබේ, තුන්වැනි ලෝකය ඉල්ලා සිටියේ මේ වෙනස ඇතිකිරීමටය. එම වෙනසට අවශ්‍ය කොන්දේසි නිර්මාණය වෙමින් තිබේ. අලු‍ත් ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයක් ලෝකයේ ඇති කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. ලෝක බැංකුවට විකල්පයක් ලෙස සංවර්ධන බැංකුවක් ඇති කිරීමට බ්‍රික්ස් සංවිධානයේ අවධානය යොමු වී තිබේ. එම බැංකුව ණය දීමේදී දේශපාලනය හෝ කොන්දේසි බලවත් නොවනු ඇත.

චීනය මේ වන විට සැපයුම් දාමයක් ආරම්භ කර තිබේ. ලෝකයේ සියලු‍ රටවල් ආවරණය වන ලෙස යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ යටතේ සිදුවේ. මේ නිසාම භාණ්ඩ ප්‍රවාහනයේ පිරිවැය අවම වී තිබේ. ඇමරිකාවට එබදු සේවා සැපයුම් මාර්ගයක් නැත. ගෝලීය දකුණේ වෙනස ඇතිවීමට ප්‍රධාන කාරණා දෙකක් හේතු වී තිබේ. එහි අංක එක චීන ආර්ථිකයයි. අනෙක් පැත්තෙන් සෝවියට් දේශය කඩාවැටුණාට පසු රුසියාව ලැබූ වර්ධනයයි. රුසියාව ඇමෙරිකාවද අබිබවා යන න්‍යෂ්ටික බලවතා බවට පත්ව ඇති බව ඇමෙරිකාවද පිළිගනී.

මේ ප්‍රවණතා කිසිවක් සැලකියයුතු ලෙස අපේ රට තවමත් සාකච්ජා වන බවක් නොපෙනේ. ආර්ථික සංවර්ධන මාවතට පිවිසීමට නම් ආර්ථික උපාය මාර්ග වෙනස් කළ යුතුව ඇත. තවදුරටත් නව ලිබරල් ආර්ථික උපායමාර්ගය තුළ ගමන් කිරීමෙන් මේ ආර්ථික වර්ධනය ළඟා කර ගත නොහැක. ඇමෙරිකාව පවා කඩා වැටී තිබියදී අප තවදුරටත් නව ලිබරල් ආර්ථිකයක් ගැන විශ්වාසය තැබීම මුළාවකි. මේ සම්බන්ධයෙන් විධිමත් සාකච්ජාවක් සංවාදයක් රටේ නොමැති වීම කනගාටුවට කරුණකි.

(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (1)

නව ලිබරල් ආර්ථිකය මුළාවක්

ලුම්බිණි Monday, 28 April 2025 06:32 AM

මොකද්ද විකල්පය කියලත් කිව්වා නම් නේද හොඳ ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 287 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 166 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 425 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 537 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 159 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 46 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 253 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 74 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1102 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site