IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


දේශපාලක පුතුන්ගේ මැරකම් නවත්වනු බැරිද?

මැයි 9 වැනිදාව මෙරට ඉතිහාසයේ අපකීර්තිමත් දිනයකි. මහජන නියෝජිතයකු මහ මග තිරශ්චීන ලෙස මරා දැමුණු අතර දේශපාලනඥයන් සිය දෙනෙකුට ආසන්න පිරිසකගේ නිවාස සහ දේපළ ගිනිබත් කෙරිණි. ගාලු මුවදොර නිර්පාක්ෂික අරගලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රචණ්ඩ ප්‍රතිහාරය කිසි ලෙසකින් හෝ අනුමත කළ නොහැකි වුවද ගාලු  මුවදොර අරගලයෙන් ප්‍රකාශයට පත්වූයේ මෙරට චෞර, මුග්ධ, පාදඩ නාස්තිකාර දේශපාලනයට එරෙහිව සමාජයේ පතුළ බිඳගෙන මතු වූ  විරෝධතාවය යන්න ඒකාන්ත සත්‍යයකි. 

කොවිඩ් මාරක වසංගතයෙන් පසු කිසිවකුට එතෙක් පැවැති සුපුරුදු ජීවන විලාසයට ගමන් කළ නොහැකිවාක් මෙන්ම මැයි 9 වැනිදායින් පසුව කිසිදු දේශපාලනඥයකුට තමන් එතෙක් පැමිණි ත්‍රාඩ දේශපාලනයට ඉඩක්  නොමැති බව වටහා ගත යුතුව තිබිණි. එහෙත් මුග්ධ බව සාඩම්බර පළඳනාවක්ව පැළදීම දේශපාලන චාරිත්‍රයක්ව  වර නගන අපේ සමාජය තුළ සිදුවීම්වලින් පාඩම් ඉගෙන ගැනීමක් නැත.

එය එසේ නොවේ නම් රාජ්‍ය ඇමැති පුතකු පෙම් පළහිලව්වකට මැරයන් සමග පැමිණ දෙනෝදාහක් ජනී ජනයා ගැවසෙන මංසන්ධියකදී තරුණයන් දෙදෙනකුට පහර දෙන්න යන්නේ නැත. එමෙන්ම ‘අපි ඇමතිගේ මිනිස්සු’ යැයි කියමින් ඉන්ධන පිරවුම්හලකට ගොස් බලහත්කාරය පා මැරයන්ගේද සහායෙන් ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට පහර දීමට යන්නේද නැත.

අපගේ විශ්වාසය වුණේ මැයි 9 වැනිදායින් පසුව මෙරට චණ්ඩි දේශපාලනය අහවරය කියාය. සැබැවින්ම සිදුවිය යුතුව තිබුණේද එයය. මැයි 9 වැනිදායින් පසුව සුපිළිසන් දේශපාලනයක් ආදේශවිය යුතුව තිබිණි. පාඩම් ඉගෙන ගත්තානම් විය යුතුව තිබුණේ එයය. එහෙත් බලහත්කාරයෙන් මත් වූ විට යසස් කාමයෙන් කුල්මත් වූ විට පදවි ලෝභයෙන් අන්දුන්කුන්වු විට දෑස නිලංකාරව යාම බලාපොරොත්තු විය යුතුය.

පුතාගේ වරදකට තාත්තාට තඩි බෑම සදාචාර නොවේ. එහෙත් ඇමැති පුතාගේ අමුතු වැඩවලට චණ්ඩිකම්වලට යොදා ගැනෙන්නේ ඇමැති තාත්තාගේ බලය නම් එම වරප්‍රසාද නම් අමාත්‍යාංශයේ වාහන නම් ඇමැතිවරයාට එම වගකීමෙන් මිදෙන්න නොහැකිය. කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ උපකාරක පන්තියක් ඉදිරිපිටදී සිසුන් දෙදෙනකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීරගේ දහඅට හැවිරිදි පුත්‍රයාටය. පොලිසිය පවසන ආකාරයට ඔවුන් පැමිණ තිබෙන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට අයත් වාහනයකින්ය. රියැදුරු මෙන්ම ඉන්ධන රජයේය. මැරයන් රජයෙන්ද යන්න අපි නොදනිමු. 

මෙයට දෙතුන් මසකට ඉහතදී රාජ්‍ය ඇමැතිවරයකුගේ පුත්‍රයකු මැර පිරිසක් සමග කැලණිය විශ්වවිද්‍යාලයට කඩා පැන යකා නැටූ පුවතක් වාර්තාවිය. එදිනද එම රාජ්‍ය ඇමැති පුත්‍රයා පැමිණ සිටියේ පියාට අයත් අමාත්‍යාංශයේ වාහනයකින් බව කියැවිණි. එහෙත් එම සිදුවීමට අදාළව ගත් ක්‍රියාමාර්ගයක් වාර්තා වූයේ නැත. ‘ඇමති පුතාලගේ හුරතල් වැඩ’ යැයි කියා සරලව ගෙන පහසුවෙන් බැහැර කළා විය හැකිය. මෙවර රාජ්‍ය ඇමැති පුත්‍රයාට අවශ්‍ය උත්තේජනය සැපයෙන්නේ ඒවා එසේ සිදුවීම නිසාය. 

ඉන්ධන ලබා ගැනීමට කිව් ආර් අංකයක් නිකුත් කර තිබේ. මහරගම ඉන්ධන හලකට පැමිණි පුද්ගලයකුගෙන් එම අංකය ඉල්ලූ විට ඔහු කියන්නේ ‘අපි අහසින් වැටුණු මිනිස්සු නොවන’ බවය. පසුව ඔහු ගොස් මැර පිරිසක් සමග පැමිණ ඉන්ධන හලේ සේවකයන්ට පහරදී තිබෙන්නේ ‘අපි ඇමැතිගේ මිනිස්සු’ යැයි කියමිණි. ඇමැතිවරයාගේ නම නොකීමට තරමට බුද්ධියක් ඒ පැමිණි මැරයන්ට තිබී ඇත. එහෙත් මෙබඳු මැරයන් තමන්ගේ සහචරයන් ලෙස තබාගැනීමෙන් පැහැදිලි වන්නේ ඒ ඇමැතිවරයාට බුද්ධියක් නොමැති බවය.

රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ‘හොඳ පුතෙක් මිස මැරයෙක් හදාගන්න මට ඕනෑකමක් නෑ’ යනුවෙනි. එමෙන්ම තමාගේ පුතා යැයි නොසිතා ඔහුට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් බවය. එමෙන්ම එම සිද්ධියේදී තම පුතාද පහර කා ඇති බව සඳහන් කරන රාජ්‍ය ඇමැතිවරයා සිද්ධියට සම්බන්ධ අනෙක් දරුවන්ගේ දෙමාපියන්ට කතා කර කනගාටුව පළ කළ බවත්ය. 

කැලණිය බුදුන් වැඩම කළ පුරවරයකි. එහෙත් පසු කාලයේදී කැලණිය වඩාත් ප්‍රසිද්ධ වූයේ මැරකම්වලටය. කප්පම් ගැනීම්වලටය. කුඩු බිස්නස් එකටය. එහෙයින්ම කැලණියෙන් වාර්තා වන ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් අමුතු විමතියක් ඇතිකර නොගත යුතුයි. 
මේ රටට අද අත්වී ඇති ඉරණම මෙරට පාදඩ දේශපාලනඥයන්ගේ අනුවණ උද්ධච්ඡ සහ හිතුවක්කාර තීරණ බව අවිවාදාත්මකය.

බලය  සදාකාලික යැයි දේශපාලනඥයොත්, ඔවුන්ගේ දූ පුත්තු හා සහචරයොත් සිතති. එසේ සිතා කඹය කඩාගත් ගව රැළක් සේ පිස්සු නටති. ඔවුන් සිතන්නේ ජනී ජනයා ඒවා අනුමත කරන බවය. තමන්ව දේවත්වයෙන් සලකන බවය. එහෙයින් කිසි දිනක එම ජනයා තමන්ට එදිරිව නොයන බවය. එහෙත් එය එසේ නොවන බව ගාලු මුවදොර අරගලයෙන් කියාපෑවේය. සිදුවීම් වන්නේ සිනාසීමට හෝ වැළපීමට නොව ඉගෙන ගැනීමටය. ඉගෙනගැනීම නොගැනීම දේශපාලනඥයන්ට අයිති කාරණයකි. නිවැරැදි මාවතේ ගමන් නොකරන්නේ නම් ප්‍රතිඵලය සුබදායී නොවන බව ඉතා පැහැදිලිය.

(***)



අදහස් (2)

දේශපාලක පුතුන්ගේ මැරකම් නවත්වනු බැරිද?

nimal Friday, 30 September 2022 06:21 PM

වැරදි කරනලද දේශපාලන පුතෙකුට දේශපාලන මැදිහත්වීම් නොමැතිව නිසි දඩුවම අදිකරණයෙන් ලැබුනහොත් අනෙක් දේශපාලක පුතුන්ගේ මැරකම් නවතිනු ඇත

:       0       10

fairoosWednesday, 05 October 2022 05:52 PM

ලංකාවේ නීතියේ තරම තමයි ඕක...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 380 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site