සම්මානලාභී පරිවර්තකයකු වන කරුණාතිලක හඳුන්පතිරණ මහතා විශිෂ්ට කෘති රැසක් මෙරට සාහිත්‍යයට එක් කළ අයෙකි. ස්පාඤ්ඤ ජාතික මිගෙල් දෙ සෙර්වන්තේස් සාවෙන්ද්‍රාගේ දොන් කිහෝතේ කෘතිය (එල්.ආර්. ප්‍රේමවංශ සමග) සහ රුසියානු ලේඛක ඉවාන් ගන්වරෝව්ගේ A Sane Old Story නම් සම්භාව්‍ය නවකතාවේ සිංහල පරිවර්තනය වන එකම පරණ කතාව කෘතිය යන කෘති දෙක ඔහුගේ නවතම පරිවර්තන වේ.
රුසියානු සාහිත්‍ය වෙනුවෙන් හඳුන්පතිරණ මහතා කළ සුවිශේෂ මෙහෙවර වෙනුවෙන් ඔහු ලියෝ ටෝල්ස්ටෝයි සම්මානයෙන්ද එක් අවස්ථාවකදී පිදුම් ලැබුවේය. මතු දැක්වෙන්නේ කරුණාතිලක හඳුන්පතිරණ මහතා සමග ඔහුගේ නවතම කෘති සම්බන්ධයෙන් අප කළ සංවාදයක සටහනකි.
ප්‍ර දොන් කිහෝතේ නවකතාව ඔබේ පරිවර්තන ගමන්මගේ සුවිශේෂ වූ කෘතියක්. ස්පාඤ්ඤ ජාතික මිගෙල් දෙ සෙර්වන්තේස් සාවේද්‍රාගේ මෙම කෘතියේ ඔබ දකින විශේෂත්වය කුමක් ද?
පිළිතුර: එදා මෙදා තුර විශ්ව සාහිත්‍යයට එක්වී ඇති අසමසම, අග්‍රගණ්‍ය සාහිත්‍ය නිර්මාණයක්. එය අසවලාගේ අසවල් සාහිත්‍ය කෘතිය වගේ යැයි කිව නොහැකි අමුතුම තාලයේ නවකතාවක්. රසයෙන් අනූනයි. පරිච්ඡේදයක්, පිටුවක් නොව ඡේදයක් පේළියක් ගානේ එහි රසය නොමැකී පවතිනවා. එහි ඇති විශේෂය වන්නේ එය නිසයි.
ප්‍ර ස්පාඤ්ඤ සාහිත්‍ය තුළ මිගෙල් දෙ සෙර්වන්තේස් සාවේද්‍රා සහ දොන් කිහෝතේ කෘතිය මේ තරම් වැදගත් වන්නේ කවරනම් කාරණා නිසාද?
පිළිතුර: දොන් කිහෝතේ නවකතාව බිහිවී සියවස් හතරක් ඉක්මවා ගොස් ඇතත්, මේ වනවිටත් එදාටත් වඩා රසවිඳින, විවිධ භාෂාවලට පරිවර්තනය වෙමින් කතාබහ කරන සාහිත්‍ය කෘතියක් බවට පත්ව තිබෙනවා. මේ වනවිට ලොව පුරා සෑම රටකම ඒ පොත ඇසුරින් වෙනත් නවකතා බිහිවී තිබෙනවා.
අනෙක් අතට මෙය රචනා කළ සෙර්වන්තේස් පාසල් අධ්‍යාපනයක් හෝ නොලද අන්ත දරිද්‍රතාවෙන් පෙළුණ පවුලක ඉපිද, පවුලේ අය ජීවත් කරවීම සඳහා ද අන්ත දුක් විඳිමින් හමුදා සෙබළකු ලෙස රැකියාව තෝරාගෙන යුද්ධයේ දී වම් අත අහිමි වී, කිහිප වරක් සිරගත වී දශක දෙකහමාරක් සිරකූඩුවල දුක් විඳිමින් තමාට ඉතිරි වූ අතින් මේ තරම් අතිවිශාල ඊටත් වඩා සුවිශාල සමාජ බලපෑමක් කළ පොතක් ලිවීමට ශක්ති, ධෛර්යය, හැඟීම පුළුල් ජීවිතාවබෝධයක් හිමිකරගන්නකු වීම, මේ කතුවරයාගේ විශේෂ ලක්ෂණයයි. මෙය අශ්වාරෝහක කතාවක් ලෙසයි හැඳින්වෙන්නේ.
ප්‍ර එකම පරණ කතාව නමින් ඔබ පරිවර්තනය කරන්නේ රුසියානු ලේඛක ඉවාන් ගන්චරෝව්ගේ THE SAME OLD STORY නම් සම්භාව්‍ය නවකතාවයි. මෙම කෘතිය ලාංකික සාහිත්‍යයට අලුත් අත්දැකීමක් යැයි ඔබ සිතන්නේ කුමන හේතු නිසාද?
පිළිතුර: ඉවාන් ගන්චරෝව් යනු රුසියාවේ ව්ලැදිමීර් ලෙනින් උපත ලද නගරයේම 1812 ජූනි 18 දින උපන් අයෙක්. එම කාලවකවානුවේ රුසියාවේ විශිෂ්ටතම ලේඛකයෝ රැසක්ම බිහි වුණා. රුසියාවේ මහා ජාතික ක්වියා, අලෙක්සැන්දර් පුෂ්කින්, මිහයිල් ලර්මන්තෝව්, වැනි විශිෂ්ටතම කිවියනුත් ඒ යුගයේමයි. තොල්ස්තෝව්, වැනි ගද්‍ය සාහිත්‍යයේ දැවන්තයන්, විස්සාරියන් බෙලින්ස්කි වැන්නෝ ද එසමයෙහි බිහිවුණා. දොස්තයෙව්ස්කි මෙම ලේඛකයා ගැන කීවේ “සැබෑම නිපුණයකු” බවයි. ඒ දෙදෙනාම සාහිත්‍ය නිර්මාණයේ එක හා සමාන ලෙස සමාන සමාජමය හා දාර්ශනික විෂයයන් නිරූපණය කර තිබෙනවා. ඒ වගේම රුසියාවේ යථාර්ථවාදී ගද්‍ය සාහිත්‍යයේ සමාරම්භක සලකුණක් සටහන් කළ ලේඛකයකු ලෙස ඔහු සැලකෙනවා. එකම පරණ කතාව ඔහුගේ එම නිර්මාණාත්මක කෘති අතර මුදුන්මල්කඩ යැයි කිව හැකියි.
ප්‍ර රුසියානු සාහිත්‍යයේ මෙන්ම ස්පාඤ්ඤ සාහිත්‍යයේ බොහෝ කලා කෘති ලාංකික සාහිත්‍යයට කළ බලපෑම විශාලයි. රුසියානු සාහිත්‍යයේ බලපෑම ගැන අපි කතා කරනවා. ස්පාඤ්ඤ සාහිත්‍යයෙන් අපට ලැබුණේ මොනවගේ බලපෑමක්ද?
පිළිතුර: කාලයක් තිස්සේ රුසියානු සාහිත්‍යයේ ඇසුර අපේ බොහෝ ලේඛකයන්ටත් පාඨකයන්ටත් ලැබී තිබෙනවා. ඒත් ස්පාඤ්ඤ සාහිත්‍යයේ ඇසුර ඒ තරමට නැහැ. ප්‍රශස්ත හොඳ නාට්‍ය කිහිපයක් කවි සහ තවත් නිර්මාණ යම් ප්‍රමාණයක් ස්පාඤ්ඤ සාහිත්‍යයෙන් සිංහලට පරිවර්තනය වී තිබෙනවා. ගර්සියාලෝර්තා වැනි කවීන්ගේ කවි යෙර්මා වැනි තවත් නාට්‍ය පරිවර්තනත් අඩ සියවසකට ඉහත ගුණසේන ගලප්පත්ති කරළියට ගෙනා මුහුදු පුත්තු වැනි නිර්මාණත් මෙහිදී අපට මතක් වෙනවා. ඉන්ද්‍රාණි රත්නසේකර සම්මානලාභී ලේඛිකාව මෑත භාගයේ ස්පාඤ්ඤ බසින්ම ඍජුව සිංහලට පරිවර්තනය කිරීම අගය කළ යුතු සේවාවක්. එලෙස ස්පාඤ්ඤ බසින් සිංහලට පරිවර්තනය කරන එකම කෙනා මා දන්නා හැටියට ඇයයි.
ප්‍ර එහෙත් ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා හමුවේ පැරැණි රුසියන් හා ස්පාඤ්ඤ සාහිත්‍යයේ ප්‍රභාව වර්තමානයට වලංගු දැයි යන ප්‍රශ්නය ඇතැමුන් තුළ තිබෙනවා නේද?
පිළිතුර: එය නම් කිසිසේත්ම නිවැරැදි විනිශ්චයක් ලෙස මා පිළිගන්නේ නෑ. කාලය ගෙවී ගියත් ඒ සමග සාමාන්‍ය මානව ගැටලු වියැකී යන්නේ නෑ. එය සනාතන දහමක් වගෙයි. වසර සිය දහස් ගණනාවකට පෙර ලියූ, කියූ, නිර්මාණය වූ දේ අදටත් සත්‍ය ඒ නිසායි. නව සාහිත්‍ය නිර්මාණවලට වඩා පැරැණි සාහිත්‍ය රසවින්දනයට පාඨකයා ලොල් වන්නේ ඒ නිසයි.
ප්‍ර ලංකාවේ පරිවර්තන කලාවේ එදා තිබුණු බරසාර බව හෑල්ලු වෙමින් තිබෙන බවට බොහෝ දෙනා කියනවා. මෙහි සත්‍යයක් ඔබ දකිනවාද?
පිළිතුර: ඇත්තවශයෙන්ම එය සම්පූර්ණ සත්‍යයක් ලෙසයි මා දකින්නේ. අද හතු පිපෙන්නාක් වගේ ලොකු ලොකු පොත් පරිවර්තනය වී අධිවේගයෙන් වෙළෙඳපොළට එකතු වෙනවා. ඒවා වැඩි හරියක් කෘත්‍රිම යාන්ත්‍රික නිෂ්පාදන ලෙසයි සැලකිය හැකි වන්නේ. මේවා මුල් කතුවරයාගේ භූමිකාව තුළ සිට ඔහුගේ හැඟීම් තමන් වෙත උකහාගෙන එහි ප්‍රතිඵලයක් ලෙස පරිවර්තනය කෙරෙන පොත් නොවෙයි. නවක පාඨකයන්ගේ ආකර්ෂණය දිනාගත්තත් පොත් වැඩිපුර අලෙවි වුණත් සම්භාව්‍ය සාහිත්‍ය කෘතියකින් අපේක්ෂිත ආනන්දයක් හෝ ප්‍රඥාවක් ඒවායින් බලාපොරොත්තු විය නොහැකියි. පහුගියදාක එක්තරා සංස්කෘතික බලමණ්ඩල රැස්වීමක දී මා සමග දොන් කිහොතේ පරිවර්තනයට එක් වූ එල්.ආර්. ප්‍රේමවංශ මහතාත් සහභාගි වුණා. එහිදී අප දෙදෙනා එක්ව කළ මෙම පරිවර්තනය කිරීමේදී කාලයක් තිස්සේ කළ කැපකිරීම් සහ එහි බැරෑරුම්කම කතා කළා. එහිදී අපගේ කතාවට දැඩි විරෝධය දැක්වූ එහි සිටි සාමාජිකයකු කියා සිටියේ ඔය ඔක්කෝම මෙන්න මෙයින් කළ හැකියි. අප වෙත ස්මාර්ට් දුරකතනය පෙන්වා සිටියා. මම නම් මට අවශ්‍ය සෑම දෙයක්ම කරගන්නේ මේකෙන්. ඒ අයගේ මතය අප වැන්නන් දුක් විඳින්නේ නොදැනුවත්කමට යන්නයි.
ප්‍ර ලේඛකයන් සාහිත්‍ය පෝෂණය වෙනුවෙන් කවර වෑයමක් ගත්තත් ලංකාවේ සාහිත්‍යයට තිබෙන තැන එන්න එන්නම දුර්වල වන බවට මැසිවිලි නැගෙනවා. මේ ගැන ඔබ මොකද හිතන්නේ?
පිළිතුර: එහි යම් සත්‍යතාවක් තිබිය හැකියි. ඒත් ඒ මා ඉහත කී අය වැනි නව පරපුරේ නව තාක්ෂණික මෙවලම්වලට පමණ ඉක්මවා කටයුතු කරන අයයි. මානව හැඟීම්වල සියුම්කම් උකහා ගැනීමේ ප්‍රධාන මාධ්‍යයක් වන සාහිත්‍ය පොත පත කියැවීම සහ සාහිත්‍ය කලා ඇසුර මඳ බව තමයි මෙයින් පෙනී යන්නේ. දොන් කිහෝතේ කියන්නේ බටහිර සාහිත්‍යයේ මුදුන්මල්කඩයි. සාහිත්‍යය රත්නය නැතහොත් ස්පාඤ්ඤ සාහිත්‍යයේ මාණික්‍යයයි. රුසියානු සාහිත්‍යයේ එකම පරණ නවකතාව ලියූ ගන්චරෝව් රුසියානු සාහිත්‍යයේ යථාර්ථවාදී සාහිත්‍යයේ ප්‍රවණතාව සඳහා බලපෑ ප්‍රථම පෙළේ ලේඛකයායි.
(***)
සංවාද සටහන
ගාමිණී කන්දේපොළ
2025 දෙසැම්බර් මස 18
427
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැන් පොත්වල ආනන්දයත් නෑ... ප්‍රඥාවත් නෑ...