හිටපු රගර් ක‍්‍රීඩිකයකු වූ තාජුඞීන්ගේ මරණයේ පරීක්ෂණ යළි පැවැත් වූ මොහොතක සමාජ වෙබ් අඩවි ඇතුළු අන්තර්ජාලයේ අදහස් හුවමාරු විම් අතර වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වූයේ යසාරා අබේනායක වන ඇයයි. ඇය එකළ තාජුඞීන්ගේ පෙම්වතිය වි සිටියාද? තාජුඞීන් ඇයගේ මිතුරකු වී ද යසාරා අබේනායක ප‍්‍රථම වතාවට ජාතික පුවත්පතකට ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ අවස්ථාවකි මේ.
කාගේ කවුරුන්ද?
මගේ මව තනූජා වෛද්‍යවරියක්. පියා සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ආනන්ද අබේනායක.
ඔබ මොනවද කරන්නෙ?
වයෝවෘද්ධ (වැඩිහිටි) පිරිස් රැක බලා ගැනීමේ කටයුතුවලට සම්බන්ධව දායකත්වය ලබා දෙනවා.
හිටපු රග්බි ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මරණ පරීක්ෂණ යළි පැවැත් වූ මොහොතක ඔබ ඔහුගේ පෙම්වතිය වී සිටි බවට අන්තර්ජාලයේ විවිධ කතා පැතිර යනවා. ඒවායේ ඇත්ත මොකක්ද?
ඇත්තටම මම කවදාවත් ඔය කියන වසීම් තාජුඞීන් කියන පුද්ගලයාව හමුවෙලා නැහැ. අඩු තරමින් ෆෝන් එකකින් කතා කරලාවත් නැහැ. ඕක ඇත්තටම 2012 දී විතර වෙබ් සයිට් එකකින් පතුරවපු දෙයක්. පසුව එය ඊමේල් (විද්්‍යුත් තැපෑල් මාර්ගයෙන්) රටටම වගේ ප‍්‍රචාරය වුණා. දැන් ආයෙමත් ඔය කතාව එළියට ආවේ පසුගිය ජනවාරි 8 වැනිදා පැවැත් වූ ඡන්දයෙන් පසුවයි.
2012 දී ඇයි ඒ විදියට කතාවක් පැතිරෙන්න ඇත්තේ?
ඔය කියන තාජුඞීන් මැරිලා තියෙන්නේ ඒ අවුරුද්දෙයි. ඊට මාසයකට විතර පස්සෙ තමයි මගේ නම සම්බන්ධ කරගෙන අන්තර්ජාලයේ මේ විදියට කතා පැතිරුණේ.
ඒ විදියට කතා පැතිරයාම කුමක් නිසා වෙන්න ඇති කියලද ඔබ හිතන්නේ?
ඒක තමයි මට තියෙන ප‍්‍රශ්නය, මම දැකලාවත් නැති කෙනෙක් සම්බන්ධ කරගෙන ඇයි මේ විදියට පුවත් ප‍්‍රචාරය වුණේ කියලා. ඉස්සෙල්ලා කියැවුණේ අනතුරක් කියලා. පසුව මෙය අනතුරක් නොවෙන්න පුළුවන් කියලා පුවත් පළ වුණා. එක එක විදියට පුවත් පළ කෙරෙන අතරේ මම දන්නෙවත් නැති කෙනෙක්ට මගේ නම ගාවලා.
2012 සිට මේ විදියට ඔබගෙ නම සම්බන්ධ කරගෙන පුවත් ප‍්‍රචාරය වෙද්දී ඇයි ඔබ ඊට එරෙහිව නීතිමය ක‍්‍රියා මාර්ගයක් නොගන්නේ?
එදා ඔය කතාව කරළියට ආවම ඒ ගැන මාධ්‍යයට කියන්න මට අවශ්‍ය වුණා. නමුත් බොහෝ දෙනාගෙන් ඇහුවාම ඒ හැමෝම වගේ කිව්වෙ. ඔය ” ඕපදූප” අඩවිවල පළ කෙරෙන පදනමක් නැති ඕපාදූප ගණන් ගන්න එපා කියලයි. ඇත්තටම මිනිසුන්ගේ ආත්මයට මඩ ගහන ඕපාදූප අඩවි පස්සෙ යන්න මට ඕන වුණේ නැහැ. කොහොම වුණත් පසුව ඔය කතාව නතර වුණා. ආයෙත් පසුගිය මැතිවරණයෙන් පසුව කරළියට ආවා.
ඇත්තටම ඇයි මේ කතාවලට ඔබගෙ නම සම්බන්ධ කර ගන්න ඇත්තෙ?
මට අදටත් තේරුම් ගන්න බැරි දේ එයයි. කවදාවත් කතා කරලවත් නැති කෙනෙක්ව ඇයි මට සම්බන්ධ කළේ කියන එක.
කෙසේ වෙතත් මේ මරණය සම්බන්ධයෙන් මෙලෙස පුවත් ප‍්‍රචාරය වෙද්දී මොනයම් විදියකට හෝ ඔබගෙන් ප‍්‍රශ්න කිරීමක් සිදු කර තිබෙනවාද?
මගෙන් ප‍්‍රශ්න කරන්න හේතුවක් නැහැනේ. අඩු තරමින් ඔය කියන තාජුඞීන්ට මම කෝල් කළා නම්, ඒවා සොයාගන්න පුළුවනිනෙ. ඒ මොනවත් නැතුව, හිස් විදියට ප‍්‍රචාරය වෙච්ච කතා මේවා.
ඇයි දැන් ඔබ ඊට එරෙහිව ක‍්‍රියාත්මක නොවන්නේ?
ඇත්තටම ලංකාවේ පිළිගත් කිසිම මාධ්‍යයකින් මේ සම්බන්ධව මගේ නමට කැළලක් වන විදියට පුවත් ප‍්‍රචාරය කරලා නැහැනේ. හිස් ඕපාදූප වෙබ් අඩවිවල පළවෙන ඒවා පස්සෙ යන්නවත්, මම නොදන්න කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින්නවත් මට අවශ්‍ය වුණේ නැහැ. පිටරටවල සිට පවත්වාගෙන යන වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය කළ මේ දේවල් ඇත්තටම කෙනෙකුගේ ආත්මය විනාශ කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක කළ ඒවායි.
මේ නිසා අද ඔබ මුහුණ දි සිටින්නේ මොන වගේ තත්ත්වයකටද?
ඇත්තටම කිව්වොත් අද මම කොහේ හරි ගියාම එක් එක්නෙකා එක එක දේ කියනවා. මගේ පවුලේ අයත් මේ නිසා අපහසුතාවට පත් වෙලා. මේක කොච්චර අසාධාරණ ද බලන්න පදනමක් නැති කතා නිසා මිනිස්සු කොච්චර පීඩාවට පත් වෙනවාද?
මේ පුවත් ගැන මොනයම් විදියකින් හෝ විශ්වාස කරන මිනිස්සුන්ට මොනවද ඔබට කියන්න තිබෙන්නේ?
අන්තර්ජාලයේ පළ කෙරෙන සෑම දෙයක්ම වැළඳගන්න එපා කියන ගෞරවනීය ආයාචනය කරන්න කැමතියි. ඇස් දෙකට නොදැක කිසිම දෙයක් ගැන තීරණය කරන්න එපා. මේ වාර්තා එළියට ආවාම මිනිස්සු සත්‍ය තේරුම් ගනීවි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදු සාක්ෂියක් නොමැතිව මේ දැරිවියට මෙහෙම චෝදනා කරන එක වැරදියි (නදී)
මෙයාගේ තාත්ත හැම පෝයකටම රුපවාහිනියේ ආදර්ශමත් කෙටි නාට්‍ය හදල පෙන්නනවා.ඒවගෙන් අපිත් හොද දේවල් ජීවිතේට අරගෙන තියනවා.නමුත් දුව ඒවා බලලා නෑ වගේ.ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ මේකටද?(ම)
අනේ මුකුත් දන්නැති බබා. මේ මොන කතාද (අ)
ඔස්ට්‍රලියාවේ තානාපතිනිය වෙන්න මොන සුදුසු කමද තියෙන්නේ?.රටේ ඉන්නේ ඔක්කොම මෝඩයෝ නෙමෙයි. (නදී)
තාජුඞීන් මැරුනේ වාහන අනතුරකින් නෙමෙයි කියන එක දැනටමත් ඔප්පු වෙලයි තියෙන්නේ. වැඩි විස්තර ඉදිරියේදී අපිට අහන්න දකින්න ලැබේවි. (නදී)
අනේ දන්නා ඔලු ගෙඩිය (නදී)
මට නම් තේරෙන්නේ නැහැ ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා (නි)
වල පයට යන්න ඔන්න මෙන්න අයත් පහුගිය කාලේ තානාපති තනතුරු ගත්ත එකේ මෙයා ගෙන විතරක් කතා කරන එක අසාධාරණයි සුදුසුකම් නැති ඇමති පුතාල දුවල කීදෙනෙක් තානාපති කාර්යාල වල හොඳ පුටු වලට පත්කලාද?(ම)
සහෝදරිය,අපේ ලංකාවේ ගොඩක් උගත්තු හිටියට, බුද්ධිමත් කියන අය ඉන්නේ ඉතාම ටිකයි.මිනිහෙකුට මඩක් ගහන්න ඕනෑ නම් තම කාලය සහ ධනය නොමසුරුව පරිත්‍යාග කරන මිනිස්සු ඉන්න රටක්.ශක්‍ර දෙවියෝ තවුතිසාවෙන් වැඩලා ඔබ නිවැරදියි කියලා කිව්වත්, කවුරුවත් පිළිගන්න එකක් නැහැ.මොකද තව කෙනෙකුගේ ආත්මය විනාශ කිරීමෙන් ලැබෙන සතුට එතරම්ම ලොකුයි.පසුකාලයේදී ඇත්ත තේරුම් ගත්තත් එය නිවැරදි කරන්න හෝ ඒ වෙනුවෙන් සමාව ඉල්ලන තරම් නිහතමානීකමක් ඇති මිනිසුන් මට තවම ලංකාවේදී හමුවෙලා නැහැ. ඔබ නිවැරදි නම් ඔය හිටපු විදියටම නිශ්ශබ්දව ඉන්න. මොකද ඔබට කිසිදෙයක් වෙනස්කළ නොහැකි නිසා (නි)
බල්ලොත් එක්ක නිදා ගත්තොත් බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියන කතාවට කදිම උදාහරණයක් මේක! (අ)
චන්ද්‍රසිරි, අනවශ්‍ය ප්‍රශ්න මෙතනට වැඩක් නැහැනේ (නි)
අන්තර්ජාලයේ හැම දෙයක්ම විශ්වාස කරන්න එපා. ඒ කතාවට මාත් එකඟයි (නදී)
එතකොට ඡායාරූප බොරු කරන්න බැහැ නේද. (අ)
අහවල් අයගේ පුතාගේ පෙම්වතියනේ. මේවයේ ඇත්ත නැත්ත රටට පෙන්නා දිය යුතුයි.ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනෙ.ඉන්ටනෙට් එකේ හැමදේම විස්වාස කරන්න හොද නෑ නමුත් මෙතන 2012 ඉඳන් කටකතා පැතිරුනානම් මට නම් සැකයක් තියෙනවා.මේ වගේ කතා ළඟකදී වුනා නම් විස්වාස කරන්න අමාරුයි. මෝනා වුනත් ඉවසලා ඉන්නකෝ අපි බලමු මොකද වෙන්නේ කියලා. (බ)
ඔබ වැනි සුදුසු කම් නැති, පළපුරුද්දක් නැති, ලාබාල අයෙකුට ඕස්ට්‍රේලියාවේ කොන්සල් පදවියක් ලැබෙන්නේ කාත් සමග තිබුන බැඳියාවකටද? ඔබ ආපසු කැදවපු විට ලංකාවේ ඔබට ජිවිත තර්ජන තියෙනවා කියල තව දුරටත් සේවා දිගුවක් දෙන්න කියල ඉල්ලුවේ මොකද? ඔබට මේ තනතුර ගන්න උදව් කළ බලවන්තයා කවරෙක්ද? ඔහුත් සමග ඔබගේ තිබෙන සම්බන්ධය කුමක්ද? (බ)
ගින්නක් නැතිව දුම් දානවා කියන කතාවක්. තොත්ත බබෙක්. (නදී)
ඒ කියන්නේ ඔබ ගාමිණී ෆොන්සේකා මහත්තයගේ මිනිපිරියක් (නදී)
දැන් ඉස්සර වගේ දැන් කැලෑ පත්තර නැහැනේ. ඒකත් දැන් අන්තර්ජාලයට ඇවිල්ලා. ගොඩක් අය අනුන්ගෙන් පළිගන්න වර්තමානයේ යොදාගන්න ප්‍රධානතම මාධ්‍ය අන්තර්ජාලයයි. එනිසා අන්තර්ජාලයේ පළවූ පමණින් කිසිම දෙයක් විශ්වාස කරන්න එපා. (නි)
අනේ මන්දා මේවා! (නි)
තාජුඩින්ට පන දීලා අහන්න වෙයි මේ කතාව. (ම)