IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ජිනීවා කඩුල්ලෙන් පිම්මක්

එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල රැස්වීමට සහභාගිවීම සඳහා ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවරට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් 19 වැනිදා එ.ජා. මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් හමුවී සාකච්ඡා කළේය. සැප්තැම්බර් 22වැනිදා ඔහු එ.ජා. මහා මණ්ඩලය ඇමතීය.

 එම සාකච්ඡාවේ දී හා මහා මණ්ඩලයේ පැවැත් වූ කතාවේ දී ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ආණ්ඩුවට තර්ජනයක් වී ඇති එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සිත්හි තබගෙන අදහස් පළ කළ බවක් පෙනේ.

මෙම අවස්ථා දෙකේදීම, විශේෂයෙන්ම එජා, මහලේකම්වරයා සමඟ පැවැත් වූ සාකච්ඡාවේ දී දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැක්වූ අදහස් ආණ්ඩුවේ හා පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතිකවාදී නායකයන් කෙසේ ජීර්ණකර ගත්තේ ද යන්න පැහැදිලි නැත.

එම අදහස් එම ජාතිකවාදී පිරිස්වල මත හා ගැටෙන නමුදු ඔවුන් ඒ ගැන විරෝධය පළ කරනු තබා වචනයක්වත් කතා කළේ නැත. එහෙයින් ඕනෑම කෙනකුට මතුවන ප්‍රශ්නයක් නම් ජනවාර්ගික ප්‍රශ්නයට අදාළ ඔවුන්ගේ ස්ථාවරය දැන් වෙනස් වී තිබේ ද යන්නයි.

2015 දී  යහපාලන ආණ්ඩුවේ එකඟතාවෙන් එ.ජා මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ යෝජනාව අනුව පසුගිය ආණ්ඩුව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් හා යුද්ධයේ දී ජීවිත හා දේපළ විනාශ වූ පවුල්වලට වන්දි ගෙවීම සඳහා හානිපූරක කාර්යාලයක් පිහිටුවීය. ඒ අනුව විපතට පත් පවුල්වලට වන්දි ගෙවීම් පිළිබඳව හා අතුරුදන් වූවන් සඳහා මරණ සහතික නිකුත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා එ.ජා. මහ ලේකම්වරයාට විස්තර කළේය.

එසේම යුද්ධය පැවැති කාලයේ දී ආරක්ෂක හමුදා උතුරේ ඇතැම් ප්‍රදේශවල පෞද්ගලික ඉඩම් පවරා ගත්තේය. ඒවා යළි ඒවායේ හිමිකරුවන්ට පවරා දීම පිළිබඳව ද ඔහු මහලේකම්වරයාට පැහැදිලි කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ දී උතුරේ කරන ලද සංවර්ධන කටයුතු එසේ විස්තර කරන ලද තවත් කාරණයකි.

 ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද බොහෝ තරුණයන් මේ වනවිට නිදහස් කරනු ලැබ ඇති බවත්, එසේ අත්අඩංගුවට ගන්නා ලද අනෙක් තරුණයන් සම්බන්ධයෙන් වූ නීතිමය කටයුතු ඉක්මන් කරන බවත් දීර්ඝ කාලයක් අත්අඩංගුවේ සිටින්නන් පිළිබඳ නීතිමය කටයුතු අවසන් වූ පසුව ඔවුනට ජනාධිපති සමාව දීමට තමන් නොපැකිළෙන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

එම හමුවේ දී ජනාධිපතිවරයා කළ විශේෂම ප්‍රකාශය වශයෙන් සැලකිය හැක්කේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න අභ්‍යන්තර යාන්ත්‍රණයක් මඟින් විසදා ගත යුතු යැයි ද ඒ සඳහා සාකච්ඡා කිරීම  පිණිස දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන්නේ යැයි ද කළ ප්‍රකාශයයි.

ආණ්ඩුවේ හා ආණ්ඩු පක්ෂයේ ජාතිකවාදී කණ්ඩායම් මෙම අදහස් කෙසේ ජීර්ණ කර ගත්තේදැයි අප මුලින් ප්‍රශ්නයක් මතු කළේ මේකට එම කණ්ඩායම් විරුද්ධව සිටි හෙයිනි. යහපාලන ආණ්ඩුව හිටපු කොටි සාමාජිකයන් නිදහස් කරන්නට කටයුතු කළ විට ඔවුහු ආණ්ඩුව භයානක ත්‍රස්තවාදීන් නිදහස් කරන්නට යන බව කීහ. හමුදාව  යටතේ ඇති ඉඩම් මුදාහරින්නට ගිය විට එය ආරක්ෂාවට තර්ජනයකැයි කීහ. හානිපූරක කාර්යාලය ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන  බව කීහ. අතුරුදන් වූවන්  පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන්ද ඔවුන්ගේ මනාපයක් නොවීය.

එහෙත් ජනාධිපතිවරයා දැන් මෙම කටයුතු අයහපත් කටයුතු ලෙස නොදකියි. ඔහු ඒවා එ.ජා.මහ ලේකම්වරයාට පවසන්නේ තමන් කළ යහපත් සේවා ලෙසය.

එ.ජා. මහා ලේකම්වරයා සමග සාකච්ඡාවේ දී මෙන්ම මහා මණ්ඩලයේ පැවැත් වූ  කතාවේ දී ජනාධිපතිවරයා අභ්‍යන්තර ප්‍රශ්න විසඳුම සඳහා වූ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ගැන කතා කළේය. ජාත්‍යන්තර යාන්ත්‍රණයක් අවශ්‍ය ද නැත්නම් දේශීය යාන්ත්‍රණයක් අවශ්‍යද යන ප්‍රශ්නය මතු වූයේ කොටි සංවිධානය හා ආරක්ෂක හමුදා අතර කෙරුණු යුද්ධයේ දී සිදුවූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයේදීය.

මානව හිමිකම් කවුන්සිලය දැන් සිටින්නේ ඒ සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් අවශ්‍යය යන ස්ථාවරයේය. ඒ අනුව ඒ ගැන සඳහන් නොකරම එ.ජා. මහා මණ්ඩලයේදීත් එ.ජා. මහලේකම්වරයා සමඟ කරන ලද සාකච්ඡවේදීත් ජනාධිපතිවරයා මානව හිමිකම් කවුන්සිලයේ ස්ථාවරය රාජ්‍යතාන්ත්‍රික භාෂාවෙන් ප්‍රතික්ෂේප කොට තිබේ.

අභ්‍යන්තර ප්‍රශ්නවලට අභ්‍යන්තර යාන්ත්‍රණයක් මගින් විසඳුම් සෙවීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේත් ඒ මහතා නායකත්වය දැරූ හා දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය විය. මෙය මාතෘකාවක් වූයේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයේදී වූ හෙයින් අභ්‍යන්තර යාන්ත්‍රණයක අවශ්‍යතාව පිළිගැනීමම මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වූ බව පිළිගැනීමකි.

ඇත්ත වශයෙන්ම එ.ජා. මානව හිමිකම් කවුන්සිලය ද මුල් කාලයේ දී පැවසුවේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයේ දී අභ්‍යන්තර යාන්ත්‍රණයක් මඟින් වගවීම පිළිබඳ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතු බවය. ඒ අනුව ඇමෙරිකාව මුල් වී 2012 දී මානව හිමිකම් කවුන්සිලයේ දී  සම්මත කරන ලද පළමු යෝජනාවෙන් නිර්දේශ කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවය. එම නිර්දේශවලින් පෙන්වා  දෙනු ලැබ ඇති පරිදි මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපනය කළ යුතු බවය.

එය ඉටු නොවූ තැන 2014 දී එවකට මානව හිමිකම් පිළිබඳ එ.ජා.  මහ කොමසාරිස් නවනීදම් පිල්ලෙයි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සොයා බලන්නට ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වූවාය. එම පරීක්ෂණයේ වාර්තාව 2015 දී  නිකුත් වූ අතර ඉන් කියවුණේ ආරක්ෂක හමුදා මෙන්ම කොටි සංවිධානය ද විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කොට ඇති බවය. වැඩිදුර පරීක්ෂණ කළහොත් ඒවායින් සමහරක් යුද අපරාධ විය හැකි බවය.

2015 දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත් ආණ්ඩුවක් බිහිවිය.  එම ආණ්ඩුව මානව හිමිකම් කවුන්සිලය සමග සහයෝගීව කටයුතු කළ අතර එම වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කවුන්සිලයේදී සම්මත කරන ලද යෝජනාවට එම ආණ්ඩුව සම අනුග්‍රාහකත්වය සැපයීය. එම යෝජනාවෙන් කියවුණේ  දේශීය හා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල විනිසුරුවන් හා නීතිවේදීන්ගෙන් සැඳුම්ලත් දෙමුහුන් යාන්ත්‍රණයක් ස්ථාපනය කළ යුතු බවය.

එහෙත් වසරකින් පමණ පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් විදේශීය විනිශ්චයකාරවරුන්ගේ සහභාගීත්වය ප්‍රතික්ෂේප කළෙන් එම දෙමුහුන් යාන්ත්‍රණ යෝජනාව ද යටපත් විය. ඒ අනුව මානව හිමිකම් කවුන්සිලය ආණ්ඩුවේ සහයෝගයෙන් තොරව ශ්‍රී ලංකාවේ වගවීමේ ප්‍රශ්නයට විසඳුම් සොයන්නට විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය මාර්තු මාසයේ දී මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව  සම්බන්ධයෙන් තවත් යෝජනාවක් සම්මත කළේය. ඉන් කියැවුණේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන් හට හා ආයතනවලට එරෙහිව නීතිමය  ක්‍රියා මාර්ග ගැනීම සඳහා සාක්ෂි හා තොරතුරු රැස් කිරීම පිණිස මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහ කොමසාරිස්වරියගේ කාර්යාලයේ දත්ත බැංකුවක් ස්ථාපනය කරන බවය. එසේම එසේ මානව හිමිකම් උල්ලංඝනය කළවුන්ට එරෙහිව ඒ ඒ රටවලදීම නඩු පවරන ලෙසත් ඔවුනට එරෙහිව ආර්ථික හා ගමන් තහංචි පනවන ලෙසත් මහ කොමසාරිස්වරිය එ.ජා. සාමාජික රටවලින් ඉල්ලා සිටියාය.

පසුගිය මාසයේ කවුන්සිලය රැස්වූ විට මහ කොමසාරිස්වරිය දැනුම් දුන්නේ එම දත්ත බැංකුව ස්ථාපනය කිරීමේ කටයුතු ආරම්භ වී ඇති බවත් දත්ත වාර්තා 120,000ක් පමණ එක්රැස් කොට ඇති බවත්ය. අභ්‍යන්තර ප්‍රශ්න අභ්‍යන්තර යාන්ත්‍රණයකින් විසදා ගත යුතු යැයි  ජනාධිපතිවරයා දැන් පවසන්නේ ඒ පසුබිම තුළය. එසේ කරන්නට නම් මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ආපස්සට හැරවිය යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකාව එම කවුන්සිලයට  දිය යුතු සහතිකය අති විශාල වනු ඇත.

එහෙත් අභ්‍යන්තර ප්‍රශ්න දේශීය වශයෙන් විසඳා ගත යුතු යැයි ද ඒ සඳහා දෙමළ පාර්ශ්වය සමඟ සාකච්ඡා කිරීමට සුදානම් යැයි ද ජනාධිපතිවරයා කරන ප්‍රකාශයට  කිසිවකුටත් විරුද්ධ විය නොහැකිය විය යුත්තේ එයයි.

එසේ වුවද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ නායකයන් දක්වා ඇත්තේ මිශ්‍ර ප්‍රතිචාරයි. ඇතැමුන්  එම ප්‍රකාශය අගය කොට ඇති අතර ඇතැමුන් එම ප්‍රකාශයේ අවංකභාවය පිළිබඳ සැක පහළ කරමින් අදහස් දක්වා ඇත. උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන ප්‍රධාන දේශපාලන සන්ධානය වන දෙමළ ජාතික  සන්ධානයේ ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීම සඳහා ඔවුනට ආරාධනා කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අගය කරන අතර ඊට පෙර මෙරට දෙමළ ජනයාගේ නියෝජිතයා වන තම සන්ධානය සමග සාකච්ඡා කළ යුතුයැයි පවසා තිබිණි.

පසුගිය ජූලි 16 වැනි දින දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා යොදා ගෙන තිබිණි. එහෙත් අවසාන මොහොතේ එම සාකච්ඡා දින නියමයක්  නැතිව කල් දමනු ලැබීය. ඒ ගැන සඳහන් කරමින් සුමන්දිරන් මහතා  පවසා තිබුණේ ළඟදීම තම සන්ධානය සමඟ සාකච්ඡා කරන බව දන්වමින්  ජනාධිපතිවරයා තම සන්ධානයට  ලිපි දෙකක්ම ඒවා ඇතත් මාස දෙකක් ගතවීත් ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු බවත් තමන් ඒ ගැන බලාපොරොත්තුවෙන්  සිටින බවත්ය.

 මේ අතර විදේශගත ශ්‍රී ලාංකික දෙමළ පුද්ගලයන්ගේ සංවිධාන අතරින් ප්‍රධාන සංවිධානයක් වන ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරෙන්ද්‍රන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ප්‍රගතිශීලී පියවරක් වශයෙන් හඳුන්වන අතරම දෙමළ ඩයස්පෝරා සංවිධාන සමඟ සාකච්ඡා කරන්නට ජනාධිපතිවරයා සුදානම් යැයි පැවසුව ද පසුගිය මාර්තු මාසයේදී ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් පත්‍රයක්  මගින් දෙමළ ඩයස්පෝරා සංවිධාන ගණනාවක් හා විදේශගත දෙමළ  පුද්ගලයන් ගණනාවක් ත්‍රස්තවා දී යැයි කියමින් එම සංවිධාන හා පුද්ගලයන් තහනම් සංවිධාන හා පුද්ගලයන්  වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇතැයි පවසා තිබිණි.

මෙරට පිළිගත් හා පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ පක්ෂ තිබිය දී ජනාධිපතිවරයා දේශීය යාන්ත්‍රණයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට දෙමළ ඩයස්පෝරාව වෙතට යොමු වූයේ මන්දැයි යන්න පැහැදිලි නැත. ඇත්ත වශයෙන් මෙම දෙමළ පක්ෂ සමග එකඟතාවක් ඇතිකර ගැනීම ඩයස්පෝරා සංවිධාන සමඟ එකඟතාවක් ඇතිකර ගැනීමට වඩා පහසුය.

 මන්දයත්, මෙම පක්ෂ දැන් වෙනම රාජ්‍ය සංකල්පයෙන් ඉවත් වී සිටියි. එහෙත් බොහෝ ඩයස්පෝරා සංවිධාන තවමත් තමිල් ඊළම් ඉල්ලීම අත්හැර නැත. ඔවුන් සිය උද්ඝෝෂණවල දී ප්‍රදර්ශනය කරන්නේ ද කොටි සංවිධානයේ කොටි කොඩියයි.

දේශීය යාන්ත්‍රණයක් කුමක් සඳහා ද යන්න පැහැදිලි හෙයින්, එවැනි යාන්ත්‍රණයක් ස්ථාපනය  කිරීම හා ඒ සඳහා දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීම යන කාරණා සම්බන්ධයෙන් බැරෑරුම්සිව සිතන්නේ  නම් ජනාධිපතිවරයා පළමුව ඒ පිළිබඳව පොදු ජන පෙරමුණ තුළ  එකඟතාවක් ඇති කළ යුතු වනු ඇත.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (1)

ජිනීවා කඩුල්ලෙන් පිම්මක්

fairoos Sunday, 03 October 2021 02:19 PM

කොහොමද ගැම්ම

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 413 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 321 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 161 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 338 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 513 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1137 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1200 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1498 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site